එක එක හැඩෙන් කියවන්න

Friday, December 18, 2015

හිස්තැනක හිඳ....

අවරග ඉතිරි වුණු
අවසාන රන් රේඛාවද
අතකින් පිසදැමූ පසු..
සන්ධ්‍යාව දැන් ඉතින්
අවසන් ය...

සැඳෑ සාදයෙහි අවසන
හිස් වුණු මධු බඳුන් ගෙන
ආකාස උයනේ තැනින් තැන,
වළාකුළු පවා අසරණය
ඉබාගාතේ ඇවිදින...

අහසේ කෙළවරින් ගිලිහෙන
තරුවක මළානික ප්‍රේමය
ශිශිර සුළඟක හැපී
ගලා එද්දී පාතට..
සියුම් රිදුමක් සමග
ඇසේ..
හදවත් කුහරයක බොල් හඬ...

ප්‍රියාවිය,
නුඹ මැවූ සැඩ සුළඟට
ගිලිහුණු බව හැඟේ
ශිශිරයේ අවසන් තුරු පත...

jdslanka අඩවියේ "අවකාශ"යට>>>>>
                                                  -මුදිත්-
                                           2015.11.28

Friday, December 11, 2015

ඇත්තටම පව් නැද්ද...??

නිදහසේ සැමරුමට
අහසට විසි කරන්නට
ඇත්තටම පව් නැද්ද,
පරවියකු අල්ලන් සිර කෙරුම...?
අළු පාට අහස දිග
නිල් පාට තවරන..
සුදෝ සුදු තටු අතර
තියෙන්නට පුළුවනි
දහසකුත් මල් හීන...

ඇත්තටම පව් නැද්ද...??

කොයිතරම් ඉඩ තියෙන මුත්
ගාලු මුවදොර අහස යට..
පුලුවන් ද ඇත්තටම
එක මලක් වත් අලවන්න,
හිත කැමති හැටියට...?
දිගට හරහට මල් පිපෙන්නෙත්
කියා දී ඇති හැටියට..
ලියා දී ඇති තැන්වල...

ඇත්තටම පව් නැද්ද...??

ඉස්තරම් සුනුසහල් ඇට ගිලින
තෙල් පිරුණ ගෙල වටා
සිහිනියට පෙඳ වැඩුණ
පරෙවි රැජිණියන් ඇති..
ජීවිතය කියන්නේ ඒකද...?
ඇස් අගින් ඉඟි කරන
නොතේරෙන බහකින් දොඩන
අහස අත වනනු ඇති..
නිදහස ය කියන්නේ ඒකද...?

ඇත්තටම පව් නැද්ද...??

                                         -මුදිත්-
                                  2015.12.11

Saturday, December 5, 2015

කුමට සොයමුද පතිනි අම්මා....

නිමිත්ත:
මැද පෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක, එහි ම සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු හා ඇතිවූ අනියම් සබඳතාවක් හේතුවෙන්, දඬුවම් ලෙස ගල් ගසා මරා දැමීමට නියම වෙයි.

ගිනි දැවෙන කතර පිට පැණි පිරුණු දඬු බෑය
නරුමකම සඟවාන කහවණුම ගෙන පෑය
මරු සිටින දිසාවේ සැඟව හිඳි දර සෑය
කිරිලියන් අපමණක් මරා පළහා කෑය
___________________________________________________

අසන වගතුග රිදුම් සනහන බිඳක් තෙත රැඳි හදවතක් නැති
බිමක කවදා සිනහසෙන්නද විසිර ගිය සඳ සියපතක පෙති
සියල් කෙළෙසුන් නැසූ පොළොවක සියල් සත වෙත මෙත සදන නිති
ඉරෙන් එපිටට පා තැබුණු තැන ඉබේ එසවෙන කැට මුගුරු වෙති

උපන් බිමමය රැඳී උන්නේ නිබඳ හිත යට සරල සුන්දර
රැඳී ඉන්නට වරම් නැතිවුණ අගහිඟ ය ජීවිතයෙ අද්දර
ණයට ගත් අත්තටු විදාගෙන පියාඹා ගොස් බිමෙන් පෙම්බර
කොපමණක් කිරිලියන් උන්නද තුරුළු කරගත් නරුම ගින්දර

සිතේ සිරවුණ නේක අගහිඟ ඇස් අගිස්සෙන් වාං දැම්මා
අතේ ගුලිවුණ කඳුළු අරගෙන නරුම කතරට බාර වෙම්මා
උපන් බිම මත රැඳෙනු බැරි වුණ වරද වහගෙන, වැරෙන් බුම්මා
සැරද මහතුනි තරහ අවසර, කුමට සොයමුද පතිනි අම්මා
                                                                            
                                                                                         -මුදිත්-
                                                                                  2015.12.04

Wednesday, December 2, 2015

කදෝකිමි වත...

වසන්තය ගෙට ආ සඳ
කොවුලෝ එමට ඇත
උද්දාම ගී ගයන්නට...
මධු බඳුන් අපමණ ඇත
සව්දිය පුරන්නට..
මඳක් හිස ඇලකර...

වසන්තය ගෙට ගන්නට
දහදිය හෙලූ, තැන තැන
ලේ කඳුළු වැපිරූ, බිම මත..
කදෝකිමියන් වෙති එක දෙක
එ'සියල්ලට ම ඉඩ දී
රහසේ අඳුරේ ම දියවෙන....

                                 -මුදිත්-
                          2015.11.23

Saturday, November 7, 2015

ආපසු හැරී එමි....

ශිශිරයක් තරමට ම ශීතල
නොවැම්බර හැන්දෑවක
විසිරුණු කටු පතුරු මත
සීරුවෙන් තබනෙමි පියවර..
කෙතරම් දිගු මගක වුව
නැවතුම්පොළක් ඇති වග
නුඹ කී අයුරු මතකය...

පිය නගමි මෙ'මග දිග
තනිවම...
පමාවිය නොහැකිය
නතරවී මතකය අස..
එහෙයින්ම අමතක කරමි
උණුහුම,
සුළැඟිල්ල පැටලුණ පෙරදින...

නොනැවතී ආපසු එමි
මෙතෙක් අත අතැර ආ මග දිග
සොයා ගත යුතුමය තොටුපළ,
ප්‍රේමයැයි නොමදැන
ප්‍රේමය එදා වැළලුව තැන...
 
                                       -මුදිත්-
                              2015.11.07

Friday, November 6, 2015

අපි බඳිමූ...!!!

ටික ටික වඩිනකොට වයසත් බරසාර
දෙන්නම වෙලා බෑ ලෝකෙට ණයකාර
අතමිට හොයන් බඳිනා කොට කරකාර
ගෙවිලා වයස අපි දෙන්නගෙ හැඩකාර

යන්තම් සිනා නුඹෙ මූණට කුමක් වැනී
රන්දම් වැලට මුතු ඇට ඇමිණුවා වැනී
මොකටද සැලුන් අක්කල ලඟ දණින් වැටී
ඔය ලස්සන වටී මට මහ මෙරක් වටී

මල් බොකෙ මොටද මිදුලෙම පිපිලා රෝස
තව තරු මල් තියේ යහනේ ආකාස
පළඳාගෙන හිතේ පෙම්බර මදහාස
තව පහු නොකර අපි කියමුද මේ රහස

හැරිලා බැලුවාම පහුවුණු හැමදාම
එක එක හැඩෙන් ලස්සන දවසක් නේද..?
පැටියෝ ටිකක් නැවතී හිතුවම මේම
නැකතක් කියා මොකවත් තව ඕනෑද..?

සාරිය හදා දෙයි අහසේ සේද වළා
මුදුවක් තනමු තරුවක කැටයමක් කපා
පලවැල තියේ නටු අග මුදු සිනා පපා
මීවිත පිරේ මල් කෙමිවල දෝරෙ ගලා

කවුරුත් නෑසියන්මයි බැලුවාම සොයා
ලඟ උන්නා හුඟක් හිත් අපි අතැර නොයා
කෙනෙකුට දෙන්නෙකුට මොකටද මගුල් කියා
ලොවටම කියමු සුළඟේ පණිවුඩය ලියා

"සෙට්බැක්" මොටද සඳ පලුවේ වාඩි වෙමූ
"ලයිටිං" ඉස්තරම් සඳ මඬලෙන් ඉහුනූ
තව මල් කම් මොටද රැය යට මල් පිපුනූ
"තැන්ක්‍ යූ කාඩ්" සුළඟේ පා කර යවමූ

                                                   -මුදිත්-
                                            2015.11.07

පුතාගේ චිත්‍රය...

තාත්තේ..!
තාත්තේ...!!
මං ඇන්ද චිත්‍රේට
හම්බුණා තරු තුනක්...!!!
තරඟෙකට තෝරන්න
හෙට ගේන්නෙයි කිව්ව..
මට ඕන සායම් එකක්...

රතු ම රතුපාට ඉර
ගස් වලට කොළ පාට
මූද තද නිල් පාට...
බෝට්ටුව "සාමය" ට
තනිකරම සුදු පාට...
හැන්දෑවෙ කරුවලට
එක වගෙයි කවුරුත්ම
තාත්තට මාමලට
ඒ හින්ද අළු පාට...

******

වැල්ල දිග විසිර ගිය
කටු රූප අහුලගෙන
කඩදහිය උඩ තියා
පුතා දුර සිහිනයක...

ළපටි හිත නොහඬවා
කියා දෙන්නද කෝම..

ජීවිතේ වසාලුව
මේ අඳුරු අවපාට,
මිල වැඩියි තවරන්න
මයෙ පුතේ පින්සලට...

                                       -මුදිත්-
                                2015.11.03

Friday, October 30, 2015

නළ ලිඳ ගාව වැල් ගාල...

වැව් අමුණු ඇළවල්
තිබුණු බව කිව්වට
ඉස්සර අච්චු පොත්..
වතුර ඉනුවෙම අපිට
වැල් ගාල ලඟ නළ ළිඳෙන්...

දූවිළි වැදී මැළවුණු
ඕලු මානෙල් එහෙමත්
පුංචි කළ පොඩි අරන්
වතුර පුරවන් යන්ට ආවේ
නළ ළිඳ ළඟටමයි කවදත්...

දවසක් ගොම්මනක
සඳ පවා
සළු ඇඳගන්ට කලියෙන්..
කලුවර ඇවිත් තිබුණලු
නළ ළිඳ ගාව පහලින්...
බොරළු ගුරු පාර ළඟ
තැලී පොඩිවී ගිහින් තිබුණලු
යන්තමට පෙති දිගහැරුණු
නෙළුමක්...

ඇඟේ ඇඳිවත පවා
ඉරී, එහෙ මෙහෙ වෙලා තිබුණත්
තැනින් තැන -අතරින් පතර
කසු කුසු රහස් තිබුණත්..
කළු ජීප්පෙක ආවහම
කවුරුත්ම කිව්වේ
ගහලයි කියලමයි අලියෙක්...

ඇහින් දැකලත් තිබුණලු
"පෝස්ටර් සමරෙ" ගේ පවුලත්...

"සංසාරෙ හැටි තමයි"
කිව්වාට ලොකු හාමුදුරුවොත්..
බොරළු ගුරු පාරෙ තාමත්
තියෙනවා හරි අමුත්තක්...

ඉන්නේම බිම බලාගෙනමයි
බටේ ලඟ වැල් ගාල තාමත්....

                                     -මුදිත්-
                              2015.10.17

ගුරුපාර....

අතීතෙන් පංගුවක්
සින්නවම ලියාගෙන
හරියටම ළයේ මැද්දෙන්
වංගු දම දම
සර්පයෙකු සේ ඇදෙන
ගුරුපාර...

ගොයම් කොළ වල
පිදුරු ගොඩවල
කිමිදි කිමිදී..
හැලුණු කිරිදත් හෙව්ව...
බොරළු කලුගල් පතුරු උඩ
දණිස් හම යන තුරුම
ගුඩු පැන්න...
එකා පිට වැටි වැටී
පන්තියෙන් කට්ටි පැන
වෙරළු ගාලේ හැංගිච්ච...

පැටි වියේ මී පැණි මතක
වද බැඳන්
තවම සුරකින ගුරුපාර...

කාලයා පැන යද්දි
තැනින් තැන හැලී විසිරී
හැඳුනුම්පත් මගහැරුණු
මුහුණ වත් නොබලන
"එක වල්ලෙ පොල්..."
අනුන්ගේ වතු වල
ජීවිතේ වගාකර
අස්වනු නෙළද්දී
තනි තනිව වෙන වෙනම..

තවමත්,
ඉඳහිටක හෝ යන විටෙක
හිතේ කහටක් නැතිව
දයාබර ලෙස හිනැහෙන..
අතීතේ පිංතූර ඇල්බම
ළමැද්දේ සඟවන් සුරකින
මහළු මව් කෙනෙක්මය
සදාදර ගුරුපාර....

                                      -මුදිත්-
                               2015.10.11

නුඹ ඇවිත් යන්නැති...

දවල් දොළහේ පැයට
ඉස්පිරිතාල ගේට්ටුව
පහුකර..
ගලාගෙන එන- මහා ගංගාවක
පුංචි ම බිඳිත්තක් වී
නුඹ එන්න ඇති
තනියම...

දන්න හඳුනන
උකුසු ඇස් මගහැර
දුක සැප අහන්නට
දෑසට වත් ඉඩක් නැතිකොට..
බෙදාගෙන හෙලන්නට ඇති
තව කඳුළු බිංදුවක්..
තනියෙන්ම
හිතේ හිරකරගෙන...

කාලයක් පුරාවට
කියවන්ට මග බැලූ
"ඇට මැස්සා"..
සැළලිහිණියක වෙස් ගත්
න(ර්)ස් නෝනා කෙනෙකු බාරේ,
නතර කර තනියට
මා ළඟ...

නුඹ ඇවිත් යන්නැති
නොකියම....
                                   -මුදිත්-
                            2015.10.11

Saturday, October 3, 2015

මේ රැයේ අඳුරට යට...

බර අඩි තියා
වියළි දර අතු මත
සර සර ගා ඇදෙනකොට
කළුවර..
තිගැස්සී ඇහැරෙයි
හෙන්දිරික්කා මල්
කඩ කඩා නිදිගැට...

සිහිනිම සුළඟකින්
අහුලගෙන නැළවිළි ස්වර
කාටත්ම කලියෙන්
නින්දට වඩින්නේ
ළපටි ම දළු කොළ...

සඳ වතුර දෝතට ගෙන
සඳ පවා එබෙන්නේ
හෙමිහිට
දෙතොල් තුඩු දිගු කරගෙන,
ආලෝක වස් ගණනක් ඈත
මියෑදුණ තරු ලියක
අවසාන හාදුව වෙත...

උණ පඳුර
පතින් පත පිරිමැද
සුමිහිරි ම වීණා වැයුමක...

හති වැටී නැවතී
ඇළෙන් ගිලිහුණ දිය කඩිත්තක
සාරියේ රැළි හදයි
මත්ස්‍ය පිරිවර
හෙට උදා හිරු වෙත
පූජා නැටුමට...

                                     -මුදිත්-
                              2015.10.03

දියඹ සංකාව...

පොල් අතු පැළැල්ලට
වාරු වී හිඳ,
පෙරමං බලා ඇති
නුඹ,
දකුණු කුරුසිය...

දියඹ පීරන මම
ඈත කණමැදිරි දිලිහුමකටත්
ගැස්සෙන,
"නිවුණාද ලංතෑරුම
අතු පැලේ දැල්වුණ..."

ඇත්තමයි..
උඹ දන්නෙ නෑ,
මේ වැල්ලකර අකැපයි
තුරුණු සඳවතකට
තනියම...
           
                                           -මුදිත්-
                                   2015.06.28

චේ.. උඹ මළේ මෙහෙදී...

ටී ෂර්ට් වලට සිල්ලර වුණු
මාල පෙති වල පවා රජවුණු
චේ..
වෙන කවුරුවත් නැතුවැති
උඹ තරම් තැන තැන විකිණුනු..

ඇදුම පෙනහළු පවා
හුස්ම ගත්තේ ඇද ඇද
විකුණන්න නොවෙයි
ලියා දෙන්නයි අයිතිය..
මානව රුධිරයේ කකියන
එකිනෙකා වෙත ඇති නෑකම
නහර තුල හැපි හැපී දිව්වේ
විප්ලවය වෙනුවෙනි අමිලම...

චේ...
එහෙව් උඹටත් කෙලෙව්ව
බිමක් තිබුණා නරුම ම...

උඹෙන් ගිණිහුල් බැඳගෙන
තිත්ත කලුවර කාගෙන
එන්න ආවා මෙහෙත් හුඟ උන්
වීරියෙන් ගැල් බැඳගෙන..

හඳ තරු පවා නන්නත්තාරව
පාර කීවෙත් ඇදයට
එක එකා ගැල කරෙන් ඇදගෙන
ආයෙ ආවේ පුරුදු තැනටම..

ඒ ගමන කෙළවරදී
යනෙන මහ මග පවා
දුටුවෙ උඹමයි අනගී..
ටී ෂර්ට්- කර මාල පෙති වී
විප්ලවේ විකිණුනා බං මෙහෙදී...

ඇත්තමයි චේ..
උඹ මළේ මෙහෙදී....

                                                 -මුදිත්-
                                          2015.09.26

වැහි වළාකුළු බාරේ වැහි දෙයියන්ට...

වළාකුළු ගැස්සෙයි
ආයෙමත් ගුගුරයි
වැහි දෙයියනේ තව
හිත නිවුනෙ නැතුවැයි...?

යලේ දා දිය කඳුළු
අන්තිම ම බිඳුවත් උරාගෙන
මහේ අපි එක්කම හඬන්නට
වැහි වළාකුල් කැටි ගැහුනු බව
ඇත්තයි..
ඒත්,
නාහෙට උඩින් ගලනා කඳුළු
නා කපන වැස්සටම හේදී
වැහි වතුර ලුණු රහ අරන්
ගෙදර පිළිකන්න දිග ගලන හැටි
දන්නෙ අපි අපි විතරයි...

කොඳු බිඳුණු
කිරි වැදුන ගොයමේ
තැනින් තැන දෙයියන්නෙ උදහස..
බුරා පනිනා ණය පොත්
ඉහට ඉහළින් තප්පුලන හඬ ඇහෙයි...
ගෙයි සාලෙ මැද්දෑවෙ
හැදුණ දිය කඩිති වල
කෝටු කැබලිති අරන්
අමාවක හඳ හොයන
පොඩි එවුන් සිහිවෙයි...

තරහ අවසර
දෙයි හාන්දුරුවනේ
හෙට උදැහැනැක්කේවත්
අපිටත් ඉරපාන දෝතක්
ඉහිනවැයි...

                                       -මුදිත්-
                               2015.09.30

ලැබීමට යන බස්සෙක...

ඇදෙන තරමක් බස් ඇදෙනකොට
කොළඹ- මාතර
තිස්සෙම
හරි අපූරුම බස් එකයි උඹ
හදවතක් ඇති
ගැස්සෙන
තියෙන තරමක් වංගු- වලවල් මැදින්
ලැබීමට යන
බස්සෙක...

තේ වතුර -උණු වතුර බෝතල්
රෙදි මළුත් තව බඩු මළුත්
මොකුත් නොකියම
උස්සන
කොයි කාගෙ කවුරුන් වුනත්
බලන්නට දුක සැප
අලුත් ඉස්පිරිතාලෙටත්
ආ-ගිය

හරි පුදුම බස්සෙක...

වංගු, වළවල්, කාණු, මහ ගල්
එක්ක පොරබදන කොට
තිස්සෙම
ඇංජිමෙත් පොට නොගියොතින් ඒ
එහෙමටත් එක
දවසක...

මාතරින් ගත්තාම හුස්මක්
හති කඩන්නෙත් ඉඳහිට
ආයෙ හුස්මක් ගත්තොතින් ඒ
නැවතුනාමයි වැලිගම
මගනෑර ගුරු පාරවල් වල
පවා දුක- සැප විස්තර
ලැබීමේ බර කරෙන් ගෙනියන
උඹයි නෑයා පුදුම ම...

                                        -මුදිත්-
                                 2015.09.28

*ලැබීම- මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ග්‍රාමයකි.

Monday, September 21, 2015

ගඟක්...

ගලා එන ගඟකට
ගලින් ගල පැන
තැළුණු අත පය සනසගන්නට
ඉසිඹුවක් ගැන හිතක්
පහළ වෙන්නට නොහැකිද...?

සයුරක් සොයා එන
එහෙව් ගඟකට
තනාදී බෑවුමක්
"ඉතින් පැනපන් පහළට"
කියා සිරි නරඹන
ලෝකයත් කෙතරම් රුදුරුද...?

                                             -මුදිත්-
                                      2015.09.21

ඒ දවස් දහසය....

රෝහල් සයනයක පාමුල
බොල් කොන්ක්‍රීට් පොළොවක
මල් පිපෙන්නට හැකි බව
කියා දුන් ඒ දවස් දහසය...

දුනු හී අත දරන්
සැරිසරද්දී පිරිවර
වෙද නළාවක් අත දරන්
සැප දුක සෙවූ කැමිලියා මලකට
සිත නිවාලන්නට හැකි බව
කියා දුන් ඒ දවස් දහසය...

අහර පිඬු, දිය බිඳු පවා උරණව
කුස අතැර හැරී එද්දී වියරුව
සේලයින් බිඳුවක දියවූ
කැමිලියා සුවඳකට
පණ ගැටගසන්නට හැකි බව
කියා දුන් ඒ දවස් දහසය...

පිය නගද්දී ක්ෂිතිජය සිට මෑතට
අහස පොළොවට දුර බව
අවසාන මොහොතේ පවා නොකොට අමතක
කියා දුන් ඒ දවස් දහසය...

                                             -මුදිත්-
                                      2015.09.19

බුම්මාගත් වැහි වළාකුළු...

අඳුරු කර වත
නිකට ද මඳක් උස්සාන
වැහි වළාකුළු ඇත
කඳු මුදුන් නොදැක්කා සේ යන
තරහෙන් බුම්මාන...

කොයි හැටි වෙතත්
යනෙන එක වරෙක වත්
හොරැස් අග්ගිස්සෙන්
එකම බැල්මක් වත් හෙලා යන
පුරුද්දක් ඇත වැහි වළාකුළකට
තව අතැර ගන්නට බැරි වුණ...

                                   -මුදිත්-
                            2015.09.19

කිරි අම්මා උන් මහගෙදර....

අවාරෙට ගමට ගිය දවසක
නළවමින් කිරට හඬනා සිත
නතර වෙමි මම තවම
කිරි අම්මා උන් මහ ගෙදර
ගුරු පාර අද්දර...

"කිරි අම්මගෙ හිතත්
මේ ඉඩම වාගෙයි"
මායිමක් නොතිබුණු බව
ඕපපාතික තාප්පයකට
කොහොමින් කියා දෙන්නද..
මෙපිටින් නතර වෙමි මම,
ගේට්‍ටුව අතරින්
මතකයට හැක ගොසින් එන්නට...

ඉස්සරම දවසක
සෙල්ලම් ගෙයක් ඉදිවුණ තැන
පෙම් කුරුළු කූඩුවකි අද
දවස තිස්සේ දුක කියන
නොතේරෙන බහකින් හඬන...

එදවස මිදුලේ තැනින් තැන
දුව පැන නැටූ ලෙහෙනුන්
ගී ගැයූ විහඟුන්
නැත උන් අද දකින්නට
කොහේ හෝ යන්නට ඇත...

සුදෝ සුදු හුණු බිත්ති කම්මුල්
"මේක් අප්" පුයර තවරාගෙන
රෝස පැහැ ගෙන ඇත අද..
සංසාරෙ පුරාවට
වට්ටියක් පුරා බුදු පුදට මල් දුන්
පිච්ච පඳුරත් නිවන් යන්නට ඇත...

බුදුන් වැඩ හුන්
"ඉස්සරහ කාමරය"
පාළුය, දොර අගුළු ළා ඇත..
සමහර විටෙක දැන්
ඉස්ටෝරු කාමරයක
මෙහෙය ඉටුකරනවා ඇත...

ඉඩමේ කෙළවරක, මුල්ලක
වැල් පඳුරු ගාලෙන් වටව
තවමත් සොහොන ඇති
කිරි අම්මා නිදන..
තවමත් එදෙසින් හමයි
සෙනේබර පවනක් ඉඳහිට...

රත් කළ පොල්තෙල් අතක්
හිස් මුදුනේ තියා පිරිමදින්නට
බණ පදයක් දෙකක්
මුමුණමින් හිස අතගාන්නට
ඉඩක් නොතියා අප
සංසාරයේ අතරමං වන්නට
නිර්වාණයට මෙපිටින්
කිරි අම්මා නතර වෙන්නැති, සමහර විට....

                                                  -මුදිත්-
                                           2015.09.03

Sunday, August 9, 2015

සැඩ සුළඟකට පසු...

පත් එකින් එක හැලී
අතු, ඉපල් වන තුරුම
සැඩ සුළං හැමුවාම
කියන්නට තව කතාවක්
ඉතිරිව තියේවිද ගසකට...

තන්තු මුල් එකිනෙකින්
අත් හැරෙද්දී වැලඳගත් පස
මතුවුණ එකම ළා දල්ලේ පවා
අරුණෝද දිලිහුම
පිණිකැට නොවේ, මැදියම් රැයක
සීතලට ගල් ගැහුණු කඳුළුය...

                                           -මුදිත්-
                                    2015.08.09

විරසක...

රැයක් නිදි වර්ජිතව
ලියූ කවියක
සුසුම් තිබුණා ඉතිරිව
තැනින් තැන අතරමංවුණ..

"මේඝයක් ආවාම,
ඉතිරි වේවිද
වැහි වළාවක්වත් අහසක..?
හිත නිවා යන්නට..?"

අවසන,
මේඝයක පය ගැටී විසිවුණ
ප්‍රේමය සඳකි, ගං දිය මත
රැළි නැගී කැබලිති විසිරෙන..

තදින් සුසුමක් පිටකර
පිරෙන තුරු බිඳුවෙන් බිඳුව
කවියක සිර කලෙමි හදවත
අඩක් හිස්වුණ...

                                          -මුදිත්-
                                   2015.08.09

Friday, August 7, 2015

ශේෂය...

හදවත,
කපුරු පෙත්තකි දැවෙන..
සිහිනය- නුඹ,
කපුරු සුවඳින් ඇඳෙන...

ඔව්..
දෙවොලක් ය ප්‍රේමය,
නුඹ කී ලෙසම....
                         -මුදිත්-
                  2015.08.07

Thursday, August 6, 2015

බිම්සරා...

ගලා යන ලෙස නයගරා
ගලාවිද සෙනෙහස බිම්සරා
කුමාරිය වුනත් නුඹ සඳසරා
එදා වගෙ නෑ අද මල්සරා..

විද්දත් කැඩුණු හී තුඩකී
වැදුනත් වැරදි එල්ලයකී
හිත මිස කිසිත් නැති අතකී
ඉතින් ප්‍රේමය දුකකී..

රැකියාව හිස්තැනකී
"සිහින" විකුණනු නොහැකී
හොඳ හිත නවාතැනකී
"ජීවිතය" බිඳුණු පඩිපෙළකී..

අකුරු අඩු නැති කවකී
පිදිය හැකි එපමණකී
හිනැහී හඬවන්ට නොහැකී
භාවනාවම සැපකී...

                                  -මුදිත්-
                           2015.08.05

Saturday, August 1, 2015

අතැර යා නොහැකි සන්ධ්‍යාව...

දහවල ද රැය ද
ඉරකින් වෙන් කල හැකිද...?
නොහැකිය..
පැන යා නොහැක
සන්ධ්‍යාව අතැර....

ළා රත් අහසකට,
තෙත් පිළුණු ගඳ මුසු
පරවුණු අරලියා සුවඳකට,
ඇවිලවිය හැක මතකය...

එළිය පහ වන තුරු
කළුව බෝ වන තුරු
ගෙවාලිය යුතුමය
ගන්ධබ්බ හෝරා දෙක තුන..

හරියටම - නුඹ මෙතැන
පසු කරන් යන බව, දැන දැන ම
කෙළිලොල් සිනා හඬ මැද
කළුපාට මරුතියක....!!!

                                              -මුදිත්-
                                       2015.07.16

Friday, July 31, 2015

ඉන්දුමතී...

හංගා අඳුරු පිටු අතරේ තැනක හිතේ
උන්නා මතයක් යනු බැරි හතර අතේ
හිරවුණු කඳුළු මියගිය කෙවිලියක නෙතේ
තවමත් රිදුම් දෙයි තැවරී තැනක හිතේ

තල් මණ්ඩියක ළය ඉපදුණු තල් කිරක
පොල් මණ්ඩියක විකසිත වුණු පොල් මලක
දූවිලි සුවඳකින් ඉපදුනු මඳ නළක
සුවඳයි ළයේ තිබුණේ නුඹ ලියු කවක

තල් කොළ වල ලියූ පෙම් කවි තුඩින් අරන්
කිරිල්ලියක් ඉගිල ගියා අහස උඩින්
ඈ පියහඹද්දී ගිනිගත් ඉරට යටින්
අත්තටු දැවී වැටුණිද ගිනි අඟුරු ලෙසින්

පිපිරුණ නුඹෙ ළයෙන් ගිලිහුණ සුසුම් පෙතී
තවමත් ඇවිත් යන සේ මේ ළයට නිතී
දූවිලි සුවඳ හුළඟක රහසින්ම එතී
ඇවිදින් සිනාසී පලයන් ඉන්දුමතී

                                                    -මුදිත්-
                                             2015.07.31


Tuesday, July 21, 2015

සබඳ, ඔය පින්සල....

"උඹේ අදහස් තාර්කික නෑ..."
                                     -හිතවතෙක්-

සබඳ,
ඔය පින්සලෙන් හැකිද
පින්තාරු කරන්නට
හතරැස් නොවුණු හැඩතල...?

තැනින් තැන වක් වුණු
අතරින් පතර එකමත වැටුණු
තද ඉරි, ළා පෑති ඉරි
මතින් නිමැවුණු සිත්තම..

තැනින් තැන
විටෙක උණුහුම, සිසිල
පවා රැඳි මේ සිත්තම...
හැකිද පින්තාරු කරන්නට
ඔය සුරත රැඳි තර්කයට...?

සබඳ...,
ජීවිතය කියන්නේ
චතුරස්‍ර, ෂඩස්‍ර, බහුඅස්‍ර විතරමද...?
ඉඳහිටක හෝ මුණ ගැහෙන
වෘතයන්, වක්‍ර රේඛා අතැර යා හැකිද...?

ඔතරම් උණුහුම් ම නම් හදවත...

                                                        -මුදිත්-
                                                  2015.07.22

Saturday, July 18, 2015

මේ පේළි වහිනා කාලයයි....

මේ පේළි වහිනා කාලයයි..
අතැඟිළි අතැර ගිලිහුණු
ඳඟකාර වැහි බිඳු
පොළොව මත හාදු දෙන කාලයයි...
වැහි වළාකුළු පවා
හිත හදාගන්නා කාලයයි...

මිටියාවතට ගොඩ වෙන
හැම සුළං රැල්ලක්ම
සුසුමක් තරම් තෙත ඒ නිසයි..
කඳු මුදුන් මත පවා
ලියා ඇත්තේ විරහවයි...

ඉඳහිට සවන් ගැඹුරේ ගැටෙන
අති මන්ද්‍ර ස්වරයක දෙදරුම
බිඳෙන හදවත් තතක අනුනාදයයි..
වීසිවෙන අකුරක පවා
වෙවුලුමක් ඇත්තේ ඒ නිසයි...

මේ,
වැහි වළාකුළු යට
එදා තැවරුණ අඳුරමයි...

                                        -මුදිත්-
                                 2015.07.15

Saturday, July 11, 2015

නුඹ, වීණාව සහ මම - එදා සහ අද...

එදා,
සංගීතය කියන්නේ ස්වර හතකට ද,
නුඹ ඇසුවා හසුනක..

සුදෝ සුදු කඩදහියක
සුදෝ සුදු තීන්තෙන්
ලියා යැව්වා මම,
අනන්තය වෙත- තීර්ථය වග..
නොදකින්නටත් ඇති නුඹ...

"කාලය කියන්නේ
දැවෙන දුම් වැටියකට..."

අද,
තත් සිඳිය හැක වීණාවක
නුඹේ මුදු අතැඟිලි වලට..
මම සිටිද්දී
තවම ඒ තීර්ථය ලඟ..
වැරදිකරුවා
කාලයද ප්‍රේමයද..

මුදු ම ස්වරයෙන් අසමි මම,

"කාලය රැළි නැගූ පළියට
සංගීතයේ ස්වර හත
ඌනනය වේවිද,
ස්වරයකට දෙකකට..?"

වටහා ගත යුතුයි නුඹ
ඒ වග...

                                                  -මුදිත්-


Painting: Dynamic Duo - Cello And Scroll by Susanne Clark

Tuesday, July 7, 2015

අහඹු පෙම් වත...

හුරු පුරුදු මග වුව
ධාවනය වන අතරතුර
නන්නාඳුනන රථයක
ඝට්ටනය වන්නට පුලුවන...

සමහර විටෙක,
පුරුදු සුක්කානම
අත හැරෙන්ටත් පුලුවන...

                         -මුදිත්-
                   2015.07.07

වස්සානයේ අග හිඳ...

ඔව්..
කඩමාළු අහසකට
රනින් රන් සැරසිලි කුමටද...

ඒත්..
සඳක් නැතිනම් තරුවක් වත්
අමුණා එවන්නට නොහැකිද...

මේ වස්සානයෙත් අග......

                         -මුදිත්-
                   2015.07.07



*"the lonely night" oil painting of Mark Harrison

Friday, June 26, 2015

නුඹටත් එහෙමම ද....?

මිදුලේ කෙලවරක
පිච්ච පඳුරේ සුවඳට
තිගැස්සෙමි ඉඳහිටක
සති අන්ත ඉරිදාවක..
සිහිවී පැරණි පෙම් හසුනක
නුඹ සතපවා ලූ
සුදු පිච්ච මල් දෙක..

"ඇත්තට ඒ තරම් පිච්ච මල් සුවඳ ද...?"

කන්තෝරු තෙහෙට්ටුව
විතරක්ම ශේෂ වුණ
වෙහෙසකර සිනහවක
සොයමි අර සෙනෙහස..
කාටත්ම රහසින්- නුඹේ මුව අග,
එදා මගතොටකදි පිපුණ...

ඇත්තටම,
සඳ එළියටත් බිය වෙමි
එදා අපි කවි ගී ලියුව,
පෙම් හසුන් වල අමුණා එව්ව..
සාවියක් කොයිබින්ද අද එතැන
කඳු ආවාට මිස...

"හිරයි මේ මංගල මුදුව"
නුඹටත් එහෙමමද....?

                                       -මුදිත්-
                                2015.06.24

*love painting by pino daeni 4*

සන්ධ්‍යාව වියැකෙයි....

වියැකෙයි සන්ධ්‍යාව,
කැන්වසය මත
නුඹ තියා ගිය...

"අවුරුදු ම කීයක්ද.."

නැගුණු රැළි, බිඳෙන පෙණ
එකින් එක දියැවෙයි..
අව පැහැය සීරුවෙන්
අළු පැහැති අඩඳුරක කිමිදෙයි..

වෙරළ අද්දර බංකුවක් මත
නුඹ තියා ගිය සිනහවක
කාන්තිය හෙමි හෙමින් බොඳවෙයි..

රාත්‍රියකට ඉඩ නොතබාම,
නුඹ තියා ගිය සන්ධ්‍යාව
නිහඬවම කැන්වසය මත වියැකෙයි....

                                            -මුදිත්-
                                       2015.06.19

එ'බිම මත...

නිරුවත් පොළොව පිට
සැඩ හිරු රැස් ම වැගිරෙයි,
නහර වැල් සිඳි සිඳී
අවසන් දිය බිඳත් වියැලෙයි..
සිහින් වැහි පොද එක දෙකක්
අවාරෙට පොළව පිට ඉහිරෙයි,
දැවෙන වැලි කැට මත වැතිර
එ'බිඳත් සිඳී වියැලෙයි...

දිගම දිග නිද්‍රාවෙක
සැඟව හුන් මල් ඇට
වියළි බිම මත විසිරෙයි..
ගිනි ගැනෙන රස්නෙට
මල් ඇටත් ගිනිගෙන පුපුරයි...

මල් කළල බිළිඳු ඇස්
බිම මත ඉකි බිඳුම් ඉහිරෙයි,
හමන එක සැඩ සුළඟකට
එ'හැම හැඬුමන් යටවෙයි...

රැය- දාවල යලිත් රැය
මාරුවෙන් මාරුවට එලැඹෙයි,
අඳ ගොලු බිහිරි තුඟු රුක්
එ'බිම මත සීරුවෙන් පැළවෙයි..
ඇස් කොනක වත් නොගැටී
එ'බිම මත මල් ඇට පුපුරයි...

                                          -මුදිත්-
                                   2015.06.26

Tuesday, June 23, 2015

වළාකුළු...

උනා හැර සුදු සේද සළු,
නිරුවතිනි කළු වළාකුළු..
කඳු මුදුන් මත අව අළු,
සරාගී රැඟුමකිය නෙත්කළු...

                                            -මුදිත්-
                                   2015.06.11

Saturday, June 20, 2015

අවසානයට පසු....?

ඉදින් අවසන,

බිඳී ගිය වීදුරුවක
කටු කැබලි මත වුව,
තැවරී තිබිය හැක මීවිත..

වියළිව ගිය මලෙක වුව
සුවඳක් ඉතිරි විය හැක,
සීරුවෙන් බැලූ තැන හමුවෙන..

ඉපැරණිම හාදුවක වුව
කැළලක් තිබිය හැක,
නළලතක නොව හදවතක..

දැවූ කඩදහියක වුව
අකුරක් ඉතිරි විය හැක,
දිගුව යා හැකි, අතීතය වෙත..

ඉදින්, මේ අවසානය
නැවතුම් තිතක් වෙද,
කොමාවක් මිස..

හෙටත් තව පිටුවක්
නොලියැවේ මැයි,
කිව හැකිද නුඹට, මට...

                                   -මුදිත්-

Thursday, June 4, 2015

මල් ගස...

ඒ ඉඩෝරය අහවරද
වැසි වැටේවිද තව නැතිද
පහු කරන් යන වැහි වළාවක් ගානේ
දෙගිඩියාවක මල් ගස..

පරාගණ දොර ලඟ හිඳින
සිනිඳු සමනළ තටු ගණින
රේණු විහිදුනු මල් දරා අත
දෙගිඩියාවක මල් ගස..

"පරාගණයෙන් පස්සේ
ළපටි ඵල දරා අතු අස්සේ
අමුණලා පොඩි කුරුළු තුඩකට
යැවිය යුතු වැහි වහින බිමකට.."
............

කේඬෑරි අතු මිය යද්දී
මියෑදුණ පත් ගිලිහෙද්දී
දරා අවසන් මල් පොකුර ළැම
නිහඬ සටනක මල් ගස...
                                    -මුදිත්-
                                2015.05.26

දෙවිවරුන් හිඳීවිද මලින් පිරි පුදසුනක...

වැටි පිටින් පළතුරුත් ගොඩ ගසා පුදසුනක
කහවණුත් පඬුරු ලා දෑත් බැඳ නළලතක
යාදිනිත් ගය ගයා ගුමු හඬින සවනතක
උවැසියන් පොදි ගැසී ලඟ නිවන් යනු පිණිස...

හෙටක් නොව බත් කටක් යදින පොඩි ඇස් දෙකක
මිදුණු ලුණු කඳුලකට උණු නොවෙන පපු ගැබක
රුපියලක් විසි කරන අත් දෙකක් නැති බිමක
දෙවිවරුන් හිඳීවිද මලින් පිරි පුදසුනක...

පුදසුනක පුදන්නට ගෙනෙන රස මසවුලට
ගිනිගැහෙන හිස් කුසක් නිවන්නට හැකි දාක
නිකැළැල්ම පුදසුනක් තනාගෙන හදවතක
මිනිස්කම වපුරපන් මියෑදෙන පින් බිමක...

                                                    -මුදිත්-
                                             2015.06.13


රස්තියාදුකාරයාගේ වෙසක්...

වෙස් මූණු දාගෙන
යන්ට බැරි නිසා පන්සල්..

වෙස් මූණ දාගෙන..
කහටක් නැතිව..

පන්සල් ආව
කාටත් දුන්නා දන්සල්....

                                    -මුදිත්-
                                2015.05.04

වැඩ මුර....

වැඩ මුරය අහවරව
ඉර රැස් සේනාව
ක්ෂිතිජය තෙක් ඇවිද
ක්ෂිතිජය කෙලවරින් පැන යති,
බෝඩිමට, ගෙදරට...

දිගම දිග දහවලක කෙලවර
සඳ රැස් කැකුළියන්
ක්ෂිතිජය කෙලවරින් මතුවෙයි
නිවසින් වැඩපළට,
රෑ වැඩ මුරයට...

ක්ෂිතිජය කෙළවරදි හමුවී
විඩාබර ඉරු රැසක්
තබයි,
සඳ රැස් කැකුළියක නලළත,
දවසේ එකම හාදුව...

                                    -මුදිත්-
                                2015.04.29

Monday, April 27, 2015

එකම එක අකුරක්...

අහස දුර කෙළවරක
තරුවකට තනි රකින,
අමාවක අහසකත්
සඳක් ඇති හැංගිච්ච...

නිය තුඩින් කුරුටු ගෑ
කතාවක නැවතිච්ච,
එකම අකුරක් තියේ
මැදියමක තනි රකින...

                                    -මුදිත්-
                                2015.04.27

Saturday, April 11, 2015

අහිමි පයකට වඩා නපුරුය- හදවතක් නැති ළයක දෙදරුම...

ප්‍රධාන පාසලක අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආබාධිත දැරියක්, ඉහල මාලයේ පන්ති කාමරයක සිට පහල මාලයේ පන්ති කාමරයක් වෙත මාරු කරලීමට කිහිප විටක් කල ඉල්ලීම් විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම නිසා දැරිය මාස තුනක් මුලුල්ලේ පාසල් යාමට නොහැකිව සිටී.
                                                                                                          -පුවතක්-

පාන්දර සීණුව
බොල් හඬින් හැඬුවා
නුඹ ඒද නුඹ ඒද
හැරි හැරිත් බැලුවා..
සුදු ගවුම් රැලි
සිනා හඬ මැද
මහා බර පාලුවක් තිබුණා..

දියණියක නෙතු කඳුළු නොදුටුව
දිසාපාමොක් හිතක් කුමටද..
උපන් නූපන් කඳුලු අහුලා
එහෙව් පා යුග වඳිනු යෙහෙකිද..
අහිමි පයකට වඩා නපුරුය
හදවතක් නැති ළයක දෙදරුම..
ළපටි මලකට ඇහැරෙන්ට හෙට
බිමක් තිබුණොත් එයයි අරුමය...

පිල්ලමක් ඇද අකුරකින් ලියු
කතාවෙක මහ බරක් තිබුනූ..
හදවතක් නැති ඇසක අද්දර
ඉතිරි කරලිය හැකිද කඳුලූ..
'අ' යනු 'ආ' යනු අකුරු ඇදවී
ඇඟිළි අතරින් ගිලී වැටුණූ..
තැනක දෙතැනක රැඳී තිබුණා
ඉකිලුමක් කවුරුත්ම නෑසූ...

                                                          -මුදිත්-
                                                      2015.04.11

Sunday, April 5, 2015

භාවනාව...

              ඒ 2012 වසර අග ය. සුපුරුදු ගමන් මග ගෙවා මා ගාලු කොටුවට පැමිණ එයිනුදු සුපුරුදු හෙවන යට දන්නා හඳුනන බංකුවකට බරවීමි. ඒ මා මුහුදට ප්‍රේම කළ අතීතයක ආරම්භය යැයි මට හැඟේ. මා මුහුදේ ගුප්ත ඝෝෂාවට ඇලුම් කලෙමි. බිඳෙන රළ දෙස බලා හිඳිමින් නැගෙන ශබ්දය රළට ගලපනවාට වැඩියෙන්, මුහුදට පිටුපා මේ බංකුවක වාඩි වී එකී ගුප්ත ඝෝෂාවට කන් දීමට මම ඇලුම් කලෙමි.
           
              මේ සෑම දිනකම මගේ පසුපස සාක්කුව තුල තෙරපි තෙරපී පුංචි සටහන් පොතක් ද මෙහි ආවේය. ඇත්තෙන්ම මා කවියකු වන්නට ආසා කළෙමි. මා කොතෙක් දුරක් ඒ මග ආවාද, අද කොතැන නතර වී ඇත්ද මා නොදනිමි. එමෙන්ම නොසොයමි. එහෙත්, මා ඒ මග ගෙනෙන්නට අත්වැල ඇල්ලූ නුඹ, ඒ අනපේක්ෂිත හමුවීම, අදටත් මේ මෙතැන; නුඹ මුලින්මත් අවසානයටත් හමුවූ මේ බංකුව මත හිඳ දයාබරව සිහිපත් කරමි. කියාගන්නට නොහැඟෙන මේ පහන් හැඟීමෙන් යුතුව මෙනෙහි කරමි.

             ඒ 2012 ඔක්තෝබරය වන්නට ඇත. දින වකවානු මතකයට ඔබ්බවන්නට හැමදාමත් අපොහොසත් වූ මට, නුඹ මේ කුඩා දිනපොත තිලිණ දීමට දෙමසකට පමණ පෙරාතුව ය. මා මෙතැන, බංකුව මත ම වාඩි වී හිඳ මගේ කුඩා සටහන් පොතේ සුදෝ සුදු පිටුවක කලු තීන්තෙන් අකුරු කුරුටු ගෑමට වෙර දරමින් සිටියෙමි. සැඳෑව නිසල ය. කලබලකාරී නැත්තේ ද නොවේ. මා වයසේම වාගේ පිරිස් කුඩා කණ්ඩායම් ලෙස ඔවුන්ගේ සැන්දැව තුටින් බුක්ති විඳිති. එහෙත් නිසලතාවය සොයන්නේ නම් එයද මෙහි ඇත්තේය. ඉදින්, ඔවුන්ගේ ලෝකයත් මගේ ලෝකයත් වෙන්කරන මායිමට මෙපිටින් හිඳිමින් මා අකුරු ඇමුණුවෙමි.

             "එක්ස්ක්‍යුස් මී, මෙතන කවුරුත් නෑ නේද...?"  ඈ මගේ බෑගය පෙන්වා ඇසුවාය. "නෑ නෑ, කවුරුත් නෑ, මගේ බෑග් එක" මා මදහසක් පාමින් බෑගය ගත්තෙමි. "තෑන්ක්ස්" කී ඈ අසුන් ගත්තාය. ඈ අත කැමරාවක් වීය. ඈ තිරය දෙස බලමින් ඈ ගත් ඡායාරූප පිරික්සුවා විය යුතුය. මා මඳ වේලාවක් හිඳ අවධානය නැවත මගේ සටහන වෙත තල්ලු කළෙමි. එහෙත් මඳ වේලාවකින් නැවත අවධානය මට අවනත නොවීය. මා පෙරළෙන සයුරට කන් දීමට උත්සාහ දැරුවෙමි. ඈ මඳ වේලාවකින් කැමරා තිරයෙන් ඇස් ඉවතට ගත්තාය. කැමරාව කැමරා බෑගය තුළට දමාගත් ඈ මා දෙස බලා මදහසක් නැගුවා ය. මම ද සිනාසුනෙමි. ඇගේ පරික්ෂාකාරී දෑස් මා අත වූ සටහන හා ගැටුනාය. නිරායාසයෙන් ම මා අතින් සටහන වැසුණේය. "ඔයා ලියනවනේ.." ඈ මදහසින් යුතුව ඇසුවාය. "එහෙමමත් නෑ" මම ද මඳ සිනාවෙන් පිළිතුරු දුන්නෙමි. " මමත් ලියනව, ඒත් නිතර නෙමෙයි.. වැඩිපුර ෆොටොග්‍රැෆි තමා කරන්නෙ. ඔයා නිතර ලියනවද..?" ඈ ඇසුවාය. "මම නිකම් හිතට එන දේවල් ලියනව විතරයි" මම පිළිතුරු බැන්දෙමි. අප සංවාදය ඇරඹුනේ මෙලෙසිනි. ලජ්ජාශීලී තරුණයකු වූ මා සෙමෙන් මුත් ඇගේ මිත්‍රත්වයේ උණුසුම් දෑත් පිළිගතිමි.

               අවස්ථා කිහිපයක්ම අපි මුණ ගැසුනෙමු. බංකුව දයාබරව අපත් මිත්‍රත්වයත් නොපැකිලව දරා උන්නේය. ඈ මගේ කවි කියැවූවාය. අඩු ලුහුඬුකම් දයාබරව පෙන්වා දුන්නාය. අපි විවිධ දෑ සංවාදයට නැගුවෙමු. ඈ මට වඩා වයසින් මෙන්ම කලාවෙන්ද, දැනුමෙන්ද පරිණත එකියක වූවාය. එකී පරිණතභාවයම මා හට කාව්‍ය වියමන් තුල අනන්‍යතාවක් ගොඩනගාගන්නට, පියෙන් පිය ඉදිරියට යන්නට අත්වැල ද සැපයූයේය. ඈ, මා ඇගේ හිතවතුන්ට ද හඳුන්වාදුන්නාය. ඔවුහු සමහරෙක් මේ ක්ෂේත්‍රයේ පතාක යෝධයන්ය. අපි විටෙක රැස්වීමු. විවිධ දෑ සාකච්ඡා කලෙමු. ඔවුන් ඉදිරියේ මා මුණිවත රකිද්දී ඈ මගේ නිහැඬියාව එළවා දැමූ වාර අනන්තය. ඈ, මා පුවත් පත් කවි පිටු වලටද හුරු කෙරුවාය. විටෙක දයාබර මිතුරියක වූවාය. මා ලියූ දෑ විචාරය කලාය, ඇතැම් විට නොපැකිලව මා විවේචනය කලා ය. වරක් ඈ මා කවියක් ලියා යැවූ පුවත් පතක් ගෙන මා හමුවට ආවාය. එහි පළවූයේ හා හා පුරා කියා මා ලියූ පෙම් කවියක් ය. ඈ පුවත්පතින් මගේ හිසට ගැසුවාය, "මෝඩයා, මොකක්ද මේ ලියල දාපු කෝලම. නාහෙන් ඇඬිල්ලක් නෙ." ඈ කීවාය. ඒ ඇගේ හැටිය. මා සිනාසුනෙමි. ඉඳහිට ඈ මා සමග බීර වීදුරුවක් ලෙංගතුව බෙදාගත්තාය. එවන් අවස්ථාවක ඈ මෙසේ කීවා මට මතකය, " මල්ලියෝ, ඔය ආදරේ තියනව නේද. ඕක ඇත්තටම භාවනාවක්. ඇත්තටම.. මට භාවනා කරන්න නෙ අමාරුම.. " ඈ සිනාසුනාය. මමද සිනාසුනෙමි.

              එහෙත් මා පමණක් දැන සිටි අන්දමට; මා සිතූ පරිදි මා පමණක් දැන සිටි අන්දමට, මා ඇයට ආදරය කළෙමි. සහෝදරියකට ලෙසත්, මිතුරියකට ලෙසත්, විටෙක පෙම්වතියකට පරිද්දෙනුත් මා ඇයට ආදරය කළෙමි. එහෙත් එය ඈ හමුවේ අප්‍රකාශිත ම වූයේය. ඇයට භාවනා කළ නොහැකි බව අන් කාටත් වඩා මා දැන සිටියෙමි. එහෙත් ඇය ද බොහෝ අවස්ථා වල මා පිලිබඳ සොයා බැලුවාය. හිතේ කොයි මුල්ලක ඇණුනු කටුවක් වුව ඇද දමන්නට ඈට පුදුමාකාර හැකියාවක් විය. ඈ එලෙස ඇගේ ළබැඳියන් බොහොමයක් සුවපත් කලාය.

              අපූර්ව වූ නිමේශයන් මතක ලෙස ශේෂ කරමින් කාලය ගලා ගියේය. සීත නොවැම්බරය උණුසුම තැවරී තිබුණි. දෙසැම්බරයද ශීත ය. එහෙත් හදවත උණුහුම් වීය. දෙසැම්බරයේ අග අපි හමුවීමු. ඇගේ ළඟ හිතවතුන් එක්කාසු වූ කුඩා සැමරුමක් වෙනුවෙන් අප නිතර හමු වූ ඒ පුංචි කුටිය එදා සැරසී උන්නේය. මෙ දින උදාවූයේ අපට රහසින් නොවේ. ඇය ස මසකට එක්සත් රාජධානිය බලා පිටත්ව යන බැව් මම ද මේ කුඩා කුටියද දැන හුන්නෙමු. එකී ගමනට ශුභ පතන්නට එදා ඒ කුටියද කඩතොළු බිත්ති වල තැවුල්, පින්තාරු වලින් වසා අප හා එක්කාසු වූවා සේ මට හැඟිනි. සාදය අවසන ඇය මා පිටත් වන්නට මත්තෙන් මා ඇම්තුවාය. "මල්ලෝ, ඔයයි මමයි මේක සෙලිබ්‍රේට් කරන්න ඕනෙ මෙතන නෙමෙයි." ඇය මදහසින් යුතුව කීවාය. "පුරුදු තැනම.. හෙට අනිද්දම, මොන වැඩේ තිබ්බත් යමු. හොඳද.." ඈ එසේ කීවා ය. ඉදින්, එදිනද උදා වීය. කොටු පවුර පාමුල අපි හමුවීමු. මුලින් ම ඇය මා හමුවූ දා අප දරා හුන් බංකුව වයසක මහතෙකු දරා සිටියද තවත් බංකු දෙකක් ම අප වෙනුවෙන් බලා සිටියහ. එහෙත් ඈ වාඩි වූයේ නැත. දෑත බැඳගෙන මුහුද දෙස මදහසින් යුතුව බලා සිටියා ය. මා ඈ දෙස බලා සිටියෙමි. "මූද හරි ලස්සනයි නෙ.. කොහොම උන්ත් අද කැමර් එක නම් අතට ගන්නෙ නෑමයි." ඈ කීවාය. අඩ හෝරාවක් පමණ නිහඬ දැහැනක ගතකර, මුල් ම දිනයේ අප දරා හුන් බංකුව හිස් වූ පසු අප එ මතට බරවීමු. දොඩමළු වූ වචනයක් වචනයක් පාසා මතකයේ නැතිමුදු අදටත් ඒ මොහොත සීරුවට ස්පර්ශ කල හැකි ලෙස මා මතකයේ කෙටී ඇත්තෙය. දොඩමළු නිහැඬියාව අතරින් පතර බිඳි ඇගේ හඬින් දැන් දනුදු මට ඇගේ මේ වචන ඇසේ. "මං ගියාමත් ඔයා මෙතෙන්ට එන්න ඕන. හොඳද... මේ කොටුව හවසට ඔයාට පේන හැටි කැප්ච කරල එවන්න ඕන මට." ඈ කීවාය. මා නිහඬවම ඇගේ බෑගය ගෙන කැමරාව ගතිමි. ඇය නිහඬව බලා උන්නාය. මා පසුපස වූ හිස් බැම්මේ ඡායාරූපයක් ගත්තෙමි. කැමරාව නැවත බැගයට දමා ඇගේ උකුළ මත තැබුවෙමි. "අද දවස මතක් වෙන්න.." මම කීවෙමි. එදින බොහෝ වේලා දොඩමළු වූයේ නිහැඬියාව ය. නිහැඬියාව දයාබරය. "ලියන ඒව පත්තර වලට දාල මටත් මේල් කරන්න.. කාලෙකට සැරයක් හරි ඔය කුරුටු ගාන විදියටම අතින් ලියල දිග ලියුමක් එවන්න..." ඇය කීවාය. "ගන්න ෆොටෝස් මේල් කරන්න මටත්." මමද කීවෙමි. යන්ට මත්තෙන් ඈ මේ කුඩා දිනපොත මා අත තැබුවාය. "ලියන්න මේකෙ හැමදාම. පුංචි පුංචියට හරි ලියන්න. මං ආයෙ ලංකාවට ආවම මටත් කියවන්න ඕන." මා එය සිරකර ගතිමි. මතකය ලෙංගතුය. දයාබරය.. මා හුස්මක් ළයට පුරවා ගමි. නුඹ කී අවසාන වචන මෙනෙහි කරමි. "හවස් උනා නේද, අපි යමු දැන්.. මන් යද්දි ඔයාට එයාපෝට් එකට එන්න වෙන්නෙ නෑ. ඒත් ඔයා ආව වගේ දැනෙයි." "පරිස්සමෙන් යන්න, මේල් කරන්න ඉඩ ආවම" මා කීවේ එපමණකි.

                දෙසැම්බරය අග සීත ය. ජනවාරියෙන් පටන් ගත් වසර පුරා ලියූ අකුරු පුරාවට ද සීත තැවරී තිබුණි. ලිපි හුවමාරු වීය. මා එදා කොටු බිත්තියේ ගත් ඡායාරූපය මුද්‍රණය කර ඈ මා වෙතද එව්වාය. ලිපි ගනුදෙනු අතර වරක් දෙකක් ඈගෙන් පිළිතුරු පමාවිය. පමා වූ පිළිතුරක ඈ අසනීපව හුන් බව සඳහන්ව තිබුණි. කාලය, ඉඳහිට වූ ලිපි ගනුදෙනු ද අතර ගෙවී ගියේය. අසනීපය පිළිබඳ දිගු සඳහනක් නොලද මුත් ඈ එවූ පිළිතුරු ලිපි වල මලානික බවක් තැවරී තිබිණ.

                 කාලය ගෙවී ගියේය. වෙනදාටත් වඩා මන්දගාමීව ගෙවී ගියේය. දෛවයේ අවසන් පරිච්ඡේද කිහිපය, ඇය දරුණු පිළිකා රෝගී තත්වයකට පත්ව ගත වන්නට ලියැවී තිබෙද්දී සීතල එක්සත් රාජධානියේ හිතවතෙකුදු නැතිවම සිය දෛවය හා සටන් වදින්නට ඈ තෝරාගෙන තිබුණාය. මා හට ඈ සැනසීම හැර වෙන කළහැක්කක් නොමැති තැනක මා ද සිරවී සිටියෙමි. එහෙත් සනසන්නට තරම් ඈ සිතින් දුර්වල නුවූවාය. "මං ආයෙ ලංකාවට ඇවිත් යන්න හරි එනව ළමයෝ" ඇය වරෙක ලියා එව්වාය. එහෙත් යතාර්ථය ඉන් අපගමනය වූවක් බව ඇයද දැන සිටින්නට ඇත. මාස කිහිපයක් එක්සත් රාජධානියේ ආරෝග්‍ය ශාලාවක හුදෙකලාවම ජීවිතය හා සටන් වැදි ඇය  අවසානයේ නිහඬවම ලංකාවට ආවාය. නිහඬවම පෑ විසි හතරක් අප අතර හිඳ සුපුරුදු මඳ සිනාවෙන්ම යන්නටම ගියා ය. ජීවත්ව හුන් ඈ අත කිසිදා තබන්නට නොහැකි වූ මලක් පමණක්, මා ඇගේ නිසල අතැඟිලි අතර සිරකළෙමි.

               සතියකට පමණ පසු මා නමට කුඩා පාර්සලයක් ලැබුණි. කුඩා ලිපියක්ද ඒ සමග විය. එක්සත් රාජධානියේ වූ ඇගේ හිතවතියක මා නමට එවූවකි. පාර්සලය තුල, ඈ මට දුන් දිනපොත වැන්නක්ම නිසලව වැතිර හුන්නේය. මා ඇයව කියවීමි. ඈ මා වෙනුවෙන් අකුරු කළ ඇගේ හිත සෙමෙන් පිරිමැද්දෙමි. බීර වීදුරු හිස්වෙද්දී මා කෙමෙන් ඈ වෙත සමීප වූයෙමි.

                ආදරේ කියන්නෙ භාවනාවක්ලු... මට පුංචි කාලෙ ඉඳන් කවමදාවත් භාවනා කරන්න පුළුවන් උනේ නෑ. ඒත් මට වෙලාවකට හිතෙනව භාවනාවකට වැදුනම අපි භාවනා කරනවද කියන එක අපිටම නොතේරෙනවද කියල.

                මම කල්පනාවේ ගිලෙමි. ඈ මා පසෙකින් හිඳගනී. "මොකද කල්පනාව.." ඈ සිනාමුසුව අසයි. "මුකුත් නෑ" මා උත්තර බඳිමි. "දැනෙන දේ ලියන්නකෝ, ලියල මටත් දෙන්නකො බලන්න" ඈ කියයි. මා කුරුටු ගාන්නට වෙර දරමි. එහෙත් කියවන්නට ඈ නැත. මට පිටුපසින් කොටු බැම්ම නිසලව බලා හිඳී. මා කොටු බැම්මේ ඡායාරූපය දෙස බලමි. කොටු බැම්ම එසේමය. මා බංකුවෙන් නැගිටිමි. කෑ ගසන සුළඟේ හඬ නෑසෙන තුරු මා ඇවිද යමි. සුළඟ බෝ දේ නොදනී, කෑගසයි. මුහුද බෝ දේ දනී, නිහඬය. භාවනාවක් බව නොදැනම භාවනා කරයි. මා සිතින් ඈ වෙතට යමි. ඈ රහසින් මට කොඳුරයි. "ආදරේ භාවනාවක්" මා ගැඹුරු හුස්මක් ඇද ගනිමි.. "ඔව්, ආදරේ භාවනාවක්..."

                                                                                                             -මුදිත්-
                                                                                                    2015.03.23