එක එක හැඩෙන් කියවන්න

Monday, September 21, 2015

කිරි අම්මා උන් මහගෙදර....

අවාරෙට ගමට ගිය දවසක
නළවමින් කිරට හඬනා සිත
නතර වෙමි මම තවම
කිරි අම්මා උන් මහ ගෙදර
ගුරු පාර අද්දර...

"කිරි අම්මගෙ හිතත්
මේ ඉඩම වාගෙයි"
මායිමක් නොතිබුණු බව
ඕපපාතික තාප්පයකට
කොහොමින් කියා දෙන්නද..
මෙපිටින් නතර වෙමි මම,
ගේට්‍ටුව අතරින්
මතකයට හැක ගොසින් එන්නට...

ඉස්සරම දවසක
සෙල්ලම් ගෙයක් ඉදිවුණ තැන
පෙම් කුරුළු කූඩුවකි අද
දවස තිස්සේ දුක කියන
නොතේරෙන බහකින් හඬන...

එදවස මිදුලේ තැනින් තැන
දුව පැන නැටූ ලෙහෙනුන්
ගී ගැයූ විහඟුන්
නැත උන් අද දකින්නට
කොහේ හෝ යන්නට ඇත...

සුදෝ සුදු හුණු බිත්ති කම්මුල්
"මේක් අප්" පුයර තවරාගෙන
රෝස පැහැ ගෙන ඇත අද..
සංසාරෙ පුරාවට
වට්ටියක් පුරා බුදු පුදට මල් දුන්
පිච්ච පඳුරත් නිවන් යන්නට ඇත...

බුදුන් වැඩ හුන්
"ඉස්සරහ කාමරය"
පාළුය, දොර අගුළු ළා ඇත..
සමහර විටෙක දැන්
ඉස්ටෝරු කාමරයක
මෙහෙය ඉටුකරනවා ඇත...

ඉඩමේ කෙළවරක, මුල්ලක
වැල් පඳුරු ගාලෙන් වටව
තවමත් සොහොන ඇති
කිරි අම්මා නිදන..
තවමත් එදෙසින් හමයි
සෙනේබර පවනක් ඉඳහිට...

රත් කළ පොල්තෙල් අතක්
හිස් මුදුනේ තියා පිරිමදින්නට
බණ පදයක් දෙකක්
මුමුණමින් හිස අතගාන්නට
ඉඩක් නොතියා අප
සංසාරයේ අතරමං වන්නට
නිර්වාණයට මෙපිටින්
කිරි අම්මා නතර වෙන්නැති, සමහර විට....

                                                  -මුදිත්-
                                           2015.09.03

No comments:

Post a Comment