එක එක හැඩෙන් කියවන්න

Sunday, November 20, 2016

ඔබ ගිය පසු...

පෙරදා සිරිතට ම මළ හිරු බසියි ඔහේ
මතකය අවදිවෙයි - සුපුරුදු හැඟුම් ලිහේ
නුඹගෙන් සොරාගත් සුමධුර ස්වරය මෙහේ
ඇළ, දොළ, මඳ නළක සැන්දෑ කලෙක ඇහේ

                                                                      -මුදිත්-
                                                              2016.11.11

Saturday, October 15, 2016

නුඹ - ඉරබටු තරුව...

සඳක සරතැස නිවන මදහස
බහින ඉරු රැස නිතින් ඉවසන
අවර අහසක අගින් ගිලිහුණ
කඳුළ, ඉරබටු තරුව නම් ලද..

ගත'කුරකි කව් පෙළක, හෝඩියක් අහිමි
වුණ
මුකුලිත වු ලියවැලකි, ඉඩෝරෙක ගෙල නැමුණ
උසුලගෙන සුසුමනුත් මදහසක,
පටළැවුන
ඇණ ගැසූ කුරුසියකි මග බලා උන්නු
තැන..

කල්වාරි මුදුනතට තව දුරයි, බෝ
දුරයි
මග බලන ඇස් අගට දුක වැඩියි, තව
රිදෙයි
'සඳ එළිය..' නෙතින් නෙත කොඳුරමින් නුඹ යදියි
ඒ වුණත් සඳවතින් හලාහල විශ
ගලයි..

                                                              -මුදිත්-
                                                             2016.10.15


Monday, July 11, 2016

දස්කොන්...

තරු අගිසි වසාගෙන
උතුරා හැලෙනකොට
සඳදිය,
සිරි යහන පුරාවට
සෙවනැළි මවයි
සකි නුඹ..
ඇත්තමයි
නුරාවෙක නම් නොවෙයි හදවත...

සැලෙයි තිරපට
සුළඟට,
නිවී ගිය පසු- පහන් සිළ
අඳුර දැවටෙයි සියොලඟ..
මුදු හාදුවකි කොපුලත
නුඹේ උණුසුම මා ලඟ...

තිගැස්සී ඇහැරෙමි..!!
අසිපත් ගැටෙන හඬකට,
සිහිනයෙන්- රෑ මැදියම..
සවන් පත් වෙහෙසමි,
විමසමි..
මිමිණේද නුඹ නම
සුළඟකින් හෝ හෙමිහිට...

                                  -මුදිත්-
                         2016.06.29

Anna Razumovskaya Praying For Love Painting


Sunday, June 12, 2016

"අප" යන අනුක්තය...

නුඹ,
  රැයෙක- ගණ අඳුරක..
  හිස්තැනකි
  කළු වළාවක් යට...

මම,
  බුබුළකි දැවී ගිය..
  සියළු වෙර ගෙන- නුඹ අස
  වරක් පමණක් දැල්වුණ...

                             -මුදිත්-
                     2016.06.11


Tuesday, May 3, 2016

මගහැරුණු උරහිසක්...

පතින් පත ලිහි ලිහී ජීවිතේ අතු පතර
රිදුම් කන විට නිබඳ හදවතේ මුදු නහර
මගහැරුණු උරහිසක්, වදන් හී සර අතර
ඇඳි ඇඳී යලි මැකේ සිහිනයක් සේ නිතර

                                           -මුදිත්-
                                    2016.04.27

Monday, March 7, 2016

නුඹ තවම ඔතැනම...?

පහන් සිළ නිවුණ පසු,
මඳක් පය බර කර
කළුවර තබා ගිය
පියවර..
එකින් එක
පිසදමනු ඇත
විදුලිය තිබෙන තුරු,
ලුමිනස් පහන් ඇස...

ඉදින්,
එ'පෙම් වතටත්
නමක් ඇති විට...

කළු වළා කැටිත්තක,
නොපෙනෙන්ට
පිනි කඳුළු හංගන,
අරුණ ගොඩවුණ හැටිය
මියෙන බව දැන දැන
එළිය..

අන්ධකාරේ තාරකාවිය,
නුඹ තවමත් තනිව ඔතැනම..?
පෙර දා බලාහුන් ලෙසටම...

                               -මුදිත්-
                        2016.03.05

Saturday, March 5, 2016

ෆාතිමා..

සුමුදු වත,
සඳ රැස
විඳින්නට,
රිසි ලෙස..

මෑත් කළ නොහැකිද
ටිකකට,
කවුළුව වසා ඇති
තිරපට...

                    -මුදිත්-
             2016.03.01



Monday, February 15, 2016

රැයේ ප්‍රේමය...

දෝත දී මඳනළකට
අසාගෙන
නාඳුනන මගතොට,
හෙමි හෙමින් එයි
හෙන්දිරික්කා සුවඳක්
සොයාගෙන බඹරෙකුගෙ හැඩරුව
පාන්දර සිහිනයෙක හමුවුණ..

ලොවට මුමුණා
ඉමිහිරි ම නැළැවිලි ස්වර
ලොවම නිදිගත් පසුව..
සළෙළු ඇස් මුළා කර
සඳ වඩියි වැව් තලයට..
නෙළුම් පතකින් වසාගෙන ළැම
වරල අතුරයි සීත දිය මත...

වළාකුල ඇහැ අරින්නට පෙර
පිනි බිඳක් රහසේම ඇවිදින්
තියයි සීතල දෙතොල
නෙළුම් කොපුලතක් මත..
බිඳුම් හඬෙකින් සෙමෙන් කොඳුරයි
යන්ට වෙන වග
හෙට පාන්දර...

                                          -මුදිත්-
                                  2016.01.24

Tuesday, January 26, 2016

නුඹේ මෙහෙසිය වූ පසු...

කුරුළු තුඩු පටලැවෙන සද්දෙට
පාන්දර ඉරපාන ඇහැරෙයි
කවුළුවට ඉර එළිය වැටුණම
හුඟක් ඉස්සර දවස් සිහිවෙයි

පාට පාටින් තටු සැලෙන කොට
බලන් ඉන්නට හරිම ලෝබයි
සුදෝ සුදු සාරියක් ඇඳගෙන
වැඩට යන්නට මටත් ආසයි

නිකිණි සැණකෙළි මඟුල් කාලෙට
නුවර සල්පිල් තොරණ ඉදිවෙයි
හවස මල් පෙරහැර වඳින්නට
මටත් නොදැනිම දෙපා ඉස්සෙයි

පෙළක් හවසට ඉර බහින කොට
මඟුල් උයනම හරිම එළියයි
රාජ පුරුෂයො නැතුව ඩිංගක්
ඇවිද යන්නට හිතට ආසයි

පිපෙන සුවඳම මලින්, එක්ටැම්
කුටිය සැරසෙන බවත් ඇත්තයි
ඒ වුනත් හැමදාම හවසට
හදවතේ පිපි මලක් මැළවෙයි

                                      -මුදිත්-
                             2016.01.16

Wednesday, January 13, 2016

චිත්‍රාවියකගෙන් හසුනක්...

සැළලිහිණියෙක්, ගිරවෙක්
අඩුම තරමේ කපුටෙක්
සොයාගන්නට නොමැත පෙම්වත
හිත මිතුරු දූතයෙකු ලෙස..
ඉතින් මේ වගතුග
අමුණා එවමි සුළඟක...

කපු තෙම වඩින තුරු
වාසලේ හරි කලබල
මහළු බමුණන් නිබඳ
කියත් කේලම් විස්තර..
අඟුටු වාමන සෙනග
බීඩි දුම් උර උර
සරත් නිරතුරු
එක්ටැම් කුළුණ පාමුල..
විටෙක මුර බල්ලන් ද
හතිලන හඬ ඇසෙයි වටපිට...

ඈත වෑ කන්ද මුල
එදා අප සක්මන් කල තැන..
"සිකියුරිටි" නා රජු ද නිරතුරු
පෙන ගොබ සතම පුප්පයි,
මේ කුටිය අවටින් හමන
සුළඟට පවා සසැලිව..

ඉතින් පෙම් කුමරුවනි
පිපුණු මල් දුටුව පසු,
ඔහොමයි මෙහෙ අලුත් විස්තර...

                                         -මුදිත්-
                                  2016.01.13

මැවුම්කරුවාණනි...

අනුභව කළෙමි
තහනම් ඵල..
මැවුම්කරුවාණනි,
පිළිගනිමි මම
එ'වරද...

උද්‍යානයේ තැන තැන
ලදළු, පිනි බිඳිති මත
ඔබ විසින් දුටු සියල් කවි
ලීවේ ඊට පසුවය...
වළාකුළු කැටිති මත,
රැළිති නඟනා
සීත දිය මත..
තවත් ඔබ නුදුටුව
බොහෝ දෑ ලියැවී ඇත
ක්ෂුද්‍රව...

දනිමි,
දැන් මා
පියාපතකි ය ගිලිහුණ..
මැවුම්කරුවාණනි,
නෙරපනු මැනවි මා
පාරාදීසයෙන් එපිටට...

                                     -මුදිත්-
                              2016.01.02

නිදිකුම්බා මලට...

සිහිනිම සුළඟකට පවා
ගැස්සෙන
ළා රෝස පෑ මදහස..
සුමුදු පෙත්තක මෙලෙක..
බඹරෙකුට කුමටද
මධු කෝෂ, මකරන්ද මිස...

ඉතින් හැම රැයකම,
සොළොස්වක සඳ වුනත්
වමාරනකොට කළුවර..
පුංචි තරුවක් මම,
මක් කරන්නද...

රැය ගෙවෙන තුරු ඉන්න..
ලොකු කඳුළු බිංදුවක්
මිට මොළවගෙන එන්න..
හෙටත් වැට අයිනට...
අපිට පුළුවනි
පේළියට අමුණන්න,
මුතු පොටක හැඩයට...

බැරි වුනත් පළඳන්න
තැල්ලක් වාගෙ නළලත..
පළඳන්න පුළුවනි,
ඉර බහින
හැන්දෑ අහසට..
තිත්ත කරුවල රැයක
තනියට
පෙනෙන්නට සිහිනයක
හැඩයට...

                                             -මුදිත්-
                                    2015.12.16