එක එක හැඩෙන් කියවන්න

Monday, December 27, 2021

මිස් වේවි මම හෙටත්...

"කොයි තරම් ෆොටෝ ගත්තත් බලන්නකො, ඔයාගෙ එකම එක ලස්සන ෆොටෝ එකක් නැති හැටි.."
-මිතුරියක්-

නින්නාද දී නැගෙන කවිය, එළිවැට බින්ද
දම් පාට හැන්දෑව අහස කෙළවර ඇන්ද
ගංගාව මත අතැර මහනෙලක මකරන්ද
සංකාව මේ තරම් වර නගනු කවුරුන්ද

දුරින් පිපි මදහසය මං ළඟට ළං නූන
පුරුද්දකි ඇස කඳුළ කැමරාව මට ගේන
දුරුත්තක සීතලෙන් හිරි වැටී හිත හීන
උරිස්සක සැඟවුනිද රෑ සඳේ ඇගෙ මූණ

බිඳෙන වැව් දිය මතම තව සොයමි සඳ බිඹුව
රිදෙන හැම මොහොතකම පිරිමදිමි සිත මුදුව
සිඳෙන බව දැන දැන ම තත් පෙළන රැය, නුඹව
ඇඳෙන සිතුවම් පෙළට අරගනිමි මතකැ'තුව

ඉස්සර ම මතකයක පැහැයක් ව නැවතුනත්
අස්වසන සුරත වී හිඳින්නෙමි නුඹ ලඟත්
දිස්නෙ දෙන තරු අතර සැරිසරමි, ඒ වුණත්
ලස්සන ම පොටෝවල මිස් වේවි මම හෙටත්

-මුදිත්-
27.12.2021


Painting: "Photographer" by Vera Dorkina

Saturday, December 4, 2021

හඳුනාගැනීමේ පෙරෙට්ටුව

ඔබ මැවූ මිනිසෙකුම ද,
මේ දැවෙන්නේ මා පසෙකින්..?

බොහෝ කල් වැයකොට
කිම ඔබ මැවූයේ මිනිසෙකු,
ඔබ වෙත අඳ ව නොබැඳුණු...?

නුඹේ දෙව් නාමෙන්,
වෙන් කළෙම් මූල ධාතුවටම..
පළමුව අත් පයෙන්, 
දෙවනුව ගලින් - පොලු මුගුරෙන්,
ඉනික්බිති සුවිශුද්ධ ගින්නෙන්...

එයින් පසුවය දුටුවේ
ලෙය ද මස් ඇට නහර
සම සම ව ඇති බව..
ඔබ සුවච පුත්  මා මෙන්
එක ලෙසම පිහිටිය බව...

උතුම් වූ දෙවිඳුනි
බලා මේ පින්තූරුව,
දන්වා එවනු මැන දේව පණිවුඩයක
මේ දැවෙන මිනිසා ද
ඔබ මැවූ මිනිසෙකුම ද...?

-මුදිත්-
2021.12.04


සටහන: 
පාකිස්ථානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වූ ප්‍රියන්ත දියවඩන මහතා, සිය සේවා ස්ථානයෙහි අලවා තිබූ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක පෝස්ටර් පත්‍රිකාවක් ගලවා දැමීම හේතුවෙන්, එහි සේවය කල, එකී ආගමික අන්තවාදයට සම්බන්ධ පිරිසක් විසින් අමානුශික ලෙස, මරණයට පත්වන තෙක් පහර දී, ඉනික්බිති ගිනි තැබූ පුවතක් ඉකුත් දා වාර්තා විණි. එකී පුවත හා සබැඳිව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඉහත ඡායාරූපයෙහි දැක්වෙන්නේ සිය පිරිවර විසින් වධහිංසනයට ලක්කොට මරා දැමූ "මිනිසාගේ" දැවෙන සිරුර පසුබිම් වන පරිදි හිඳිමින් 'සෙල්ෆි' ඡායාරූපයක් ලබා ගන්නා තවත් "මිනිසෙකි" .

Saturday, November 6, 2021

Enemy (2013)

     මිනිස් සන්තානය ඇතුලෙ බලාපොරොත්තු සහ ආශාවන් ට තියෙන්නෙ මොන විදිහක වටිනාකමක් ද? එහෙමත් නැත්නම් මිනිහෙකුට ආශාවක්, බලාපොරොත්තුවක් කියන්නෙ මොන ආකාරයක දෙයක් ද? සරලවම කියනවා නම්, මිනිහෙක්ව ඊළඟ තත්පරය වෙනුවෙන් තමන්ගෙ ජීවිතයට අලවලා තියාගන්න මැලියම වෙන්නෙ බලාපොරොත්තු සහ ආශාවන්. ඒ අර්ථයෙන්, ආශාවන් සහ බලාපොරොත්තු මිනිසාව ජීවත් කරවනවා. නමුත් යම් මොහොතකදි මේ බලාපොරොත්තුවක, එහෙමත් නැත්නම් අසීමිත ආශාවක වෙන බිඳවැටීම ඒ පුද්ගලයාගෙ ජීවිතයෙ මොන විදියෙ කඩාවැටීමකට හේතු වේවිද..?

     Anthony කියන්නෙ නළුවෙක් වෙන්න හීන දැකපු මනුස්සයෙක්. වගකීම් වලින් මිදුනු සෙල්ලක්කාර ජීවිතයකට ආසා කරපු මනුස්සයෙක්. කොහොම නමුත් චිත්‍රපටි කීපයක සුළු චරිතයකට දෙකකට තමන්ගෙ මේ නළු හීනය සීමා කරන්න Anthony ට සිද්ධ වෙනවා. ඒ වගේම වගකීම් විරහිතව, විවිධ කාන්තාවන් ඇසුරේ ගෙවන්න ආසා කරපු ජීවිතය වෙනුවට විවාපත් වෙලා, දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න තමන්ගෙ බිරිඳගෙත්, ඒ වගේම තමන්ගෙ අම්මගෙත් වගකීම් බර පැටවුනු ජීවිතයක් ගෙවන්නත් සිද්ධ වෙනවා.

     Adam කියන්නෙ ඉතිහාසය ආචාර්‍යවරයෙක් විදියට රැකියාව කරන, ඒකාකාර නීරස ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. ආශාවන් අවුලනසුළු පෙම්වතියක් ඔහුට හිටියා වුනත් ඇය එක්ක තියෙන කායික සම්බන්ධය පවා අර කියපු ඒකාකාර රටාවේම තවත් එක සිදුවීමක් විතරයි. 

     චිත්‍රපටය පටන්ගැන්මේ ඉඳන්ම චිත්‍රපටය පුරා ඇඳෙන කුතුහලය මිශ්‍ර 'වෙනස්' හැඟීම තියෙනවා වුනත් චිත්‍රපටයෙ එක පීක් එකක් විදියට, මුලින් කියපු චරිත දෙක ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන අවස්ථාව හඳුන්වන්න පුළුවන්.  ඇත්තෙන් ම Anthony සහ Adam දෙන්නා රූපයෙන් සර්වසමයි. තවත් ටිකක් ඉස්සරහට මේ ආඛ්‍යානය ගලාගෙන යද්දි මේ දෙන්නාගෙ කටහඬවල් පවා සර්වසම බව පේන්න ගන්නවා. මේ විදියට ගලාගෙන යන චිත්‍රපටයෙ කෙළවර මොන වගේ එකක් වේවිද? ඇත්තටම Anthony සහ Adam කියන්නෙ කවුද? චිත්‍රපටයට අනුව Anthony ගෙ ජීවිතයට Adam ගෙ පැමිණීමත්, ඒ වගේම Adam ගෙ ජීවිතයට Anthony ගෙ පැමිණීමත් කියන කාරණාව මේ චරිත දෙකට කොයි විදියෙ බලපෑමක් වේවිද..?

     ඉතින්, මේ කියපු චරිත ද්විත්වය විසින් ඔබට මට කියන්න උත්සාහ කරන යම් දෙයක් තියෙනවා. ඒ තමයි දිනෙක ඔබටත් මටත් මුණ ගැහෙන්න ඉඩ තියෙන සතුරෙක් ගැන.  චිත්‍රපටය ඉඳුල් කරන්නෙ නැතිව කතාව මීට වඩා එහාට කියන් යන්න අමාරුයි. Anthony සහ Adam යන චරිත ද්විත්වයටම පණ පොවමින් Jake Gyllenhaal, psychological thrillers ඇතුලෙ තියපු තමන්ගෙ ලකුණ ඒ විදියටම මේ චිත්‍රපටය ඇතුලෙත් තියලා තියෙනවා. ඒ වගේම Denis Villeneuve ගෙ අධ්‍යක්ෂනයත්, ඇහැටත් මනසටත් අමිහිරි නොවෙන විදියට චිත්‍රපටයෙ ආඛ්‍යානය ඇතුලට රූපක ගෙන ආපු විදියත් මේ කෙටි සටහන ඇතුලෙ මතක් කළ යුතුමයි. මෙතැනින් ඔබ්බට චිත්‍රපටය නැරඹීම ඔබට ඉතිරි කරලා, චිත්‍රපටය ආරම්භ වෙන තැනින් මම සටහන අවසාන කරන්නම්.

" Chaos is order yet undeciphered"

මම හිතන්නෙ ඔබේ movie list එක ඇතුලෙ මේ චිත්‍රපටයට ඉඩක් වෙන්විය යුතුමයි.





-මුදිත්-
2021.10.31

Sunday, October 3, 2021

තෙමෙන්නම ඕන...

     "දැන් නම් අඩුවෙලා යයි.." මං එහෙම කිව්වත් මෙහෙම වැහි තව සෑහෙන වෙලාවකට ඉවර නොවෙන බව මං දැනන් හිටියා. ඒත් මං මගේ අසල්වැසි මගියාට බොරුවක් කිව්වා. ඒ සමහරවිට මේ පුංචි පියැසි තීරුව ඇතුලෙ තියෙන සුව පහසුව තව කෙනෙක් එක්ක බෙදාහදාගන්න තියෙන නොකැමැත්ත වෙන්නත් පුළුවන්, එක්කෝ මිනිහා, තමන්ගෙ අතේ තිබුණු කුඩේ ගැන වැඩි තක්සේරුවක ඉන්න බව මට ඇඟෙව්ව නිසා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඒක වචනෙකට ගන්න බැරි මොකක් හරි හැඟීමක් එක්ක මතු වුණු හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වැස්ස තුනී වෙන්න හදන බව පෙන්නන්න අහස මවාපාපු ලකුණු වලට, කුඩයක් අතේ තිබුණු උජාරුවත් කවලම් වුණු නිසා මිනිහා ඒ තුනී වැස්සෙ එළියට බැස්සා.

     කාලයක් තිස්සෙ මේ වැස්ස හුරු නිසාත්, කුඩයක් පාවිච්චි කරන පුරුද්ද අතෑරල දාපු නිසාත් තව ටිකක් වෙලා මේ පියසි තීරුව යටට වෙලා වැස්ස දිහා බලන් ඉන්න මං තීරණය කළා. දැන් මං ඉස්සරහ තියෙන කෙලින් විහිදෙන පාර දිගේ, පේන දුරකට ඉන්න එකම ප්‍රාණියා අර තරුණයා විතරයි. දහ අටක් ඇති වයස, ඒක එහෙම නම් මගේ වයසෙන් හරියටම බාගයක් ඇති. වැස්සකට තෙමෙන්න බැරි වයසක් නෙමෙයි ඒක... මට මගේ කල්පනාවෙ මිනිත්තු දෙකක් නැත්නම් තුනක් ඉන්න ලැබෙන්න ඇති, වැස්ස එක පාරටම කීප ගුණේකින් සැර වැඩිකළා. ඒක කුඩේකට කොහෙත්ම දරන්න පුලුවන් වැස්සක් නෙමෙයි. වැස්සත් එක්ක අන්දුන් කුන්දුන් වුණු තරුණයගෙ ඡායාව දිහා සුදු පාටට වැටෙන තද වැස්ස අතරින් මං බලාගෙන හිටියා.

     වැස්ස එක්කම ආවෙ තද හුළඟක්, මෙහෙම වැහි එක්ක හැමදාම වගේ එන විදියෙ තද හුළඟක්. ඒ හුළඟ එක්ක ටිකක් වෙලා ඔට්ටු වුණු තරුණයගෙ කුඩේ ඊළඟ මොහොතෙ ඇඹරිලා යන හැටි මට වැස්ස අතරින් අපැහැදිලිව පෙනුනා. අවසානෙ අසීරුවෙන් කුඩේ අකුලගත්තු තරුණයා ආපහු මං ඉන්න දිහාවට පය තිබ්බා. මං හිතපු විදිහට ම ඉක්මන් අඩි.. ඒ කොහොම වුණත් තරුණයා මෙතෙන්ට නො එන බව මම එතකොටත් දැනන් හිටියා. හරියටම හරි... තරුණයගෙ වේගෙ අඩු වුණා. පියවර දහයක් වත් නෑවිත් මිනිහ නැවතුනා. මං හිතපු හැටියටම ආපිට හැරුණා. මේ තරම් තෙමුණට පස්සෙත්, ආයෙ මොකටද හෙවණක්..? තරුණයා ශාන්තදාන්තව යන්න ගිය දිහාවට ඇවිදන් යන්න පටන් ගත්තා.

     "සමහර වැහි තියෙනවා, ඒවට තෙමෙන්නම ඕන.." වැස්ස නවතින්න තව සෑහෙන තරම් වෙලාවක් යන බව දන්න හින්දම, මං හීතලට සිගරට් එකක් පත්තු කරගත්තා.


-මුදිත්-
2021.10.03

Image source: www.pinterest.com


Monday, September 20, 2021

පිනි මත ය - ඔය සිලිටි පා ලකුණ...

ඝනව එන සීතෙන්
මිහිදුමකි මා දෑස් මත්තෙන්..
හිරිකඩ ය - මල් පෙති මත
පිනි මත ය - සිලිටි පා සලකුණ,
දකිමි නැවතී මෙතෙකින්...

පසු හඹා එනු බැරි
මේ හැටි ම රළු පයකින්..
කොයි ලෙස ගලා ආවද
කෙටි කථාවක - දිගු ඡේද
නතර විය යුතු කුඩා තිතකින්...

හිරිකඩට එපිටින්
නුඹ ඇති නතර වී,
ඔය හිතට රිසි තැනෙකින්..

ශීතලම රැයෙහිත්
තුහින මිහිදුම් සළුව
තුරුළු කරගමි දෙඅතින්..
අතැර යනු බැරි සුවඳක්
තවමත් ඉතිරි වී ඇතියෙන්...

-මුදිත්-
2021.08.11


Painting: Mountains In The Mist by Joyce Combs

ඉතිරිව ඇතිද කිසිවක්...?

සුසුමක වෙස් රැගෙන
නික්මුණි, හදෙහි අවසන් පැතුම..
අවාලූ අහස් ගෙත්තම මත
දවාලූ වළා කැබලිති ය තැන තැන..

නොදොඩා බලා ඉමි
මතකය අතින් පිසලනු බැරියෙන්,
මුදවා ගමි දෙ'ඇස
ඈතින් ඈත යන ඔබගෙන්...

පියෙන් පිය නුඹ නික්ම යන,
මොහොතින් මොහොත
රිදුමකි හද කොනින් ලියලන..
හුයක් හෝ කිසි බැඳුමක්
ඉතිරිව ඇතිද තව අප'තර...?

-මුදිත්-
2021.07.24 


Painting: Imaginary friend leaving by Vladimir Hristov (2016)

Friday, July 16, 2021

මිස්සක පව්ව මත දී, මුවෙක් කී කව...

දඩයම් හීය මානා
මිග පා ලකුණු පිට පැන්නූ
මහ රජුනි - තරහ අවසර,
කමා කර කිව මැනවි
ඉතිහාස ලියැවිල්ලේ
කවර රූපකයක් ද ඔබ...?

මිස්සක පව්ව පිට
ඔබ තනා දුන් අත් වැට ය,
සෙල්මුවා පියගැට පෙළ ය..
මිහිඳු හිමියනි අපට ද
නැගගත හැකිය දැන් ඉහළට,
උපදවා ගෙන බැති සිත්
අවට සිරි නැරඹිය හැකිය...

ස්ථූප - පිළිම - ස්මාරක
පෙනේ පූජා නගරය,
දසරාජ ධර්මය මතින්
ගඩොලින් ගඩොල ඉදිවන...

කුකුස නම් හිමියනි,
අතරින් පතර තවමත් ඇසෙයි
සහෝදර මුව රැළක
මරහඬ..
ඉවකින් මෙන් දැනෙයි
දඩ කෙළිය
කෙළවර නැති වග...

උස් ය හිමියනි මේ,
ඔබ නැගුණු ගිරි මුදුනත..
පහදා දෙනු මැනවි හැකි නම්
දඩ කෙළිය - දඩබිම
අප හට නොපෙනෙනා කාරණ...

-මුදිත්-
2021.06.24
(පොසොන් පුන් පෝදා ය)



Friday, June 4, 2021

හන්තාන ඇති බිම බලාගෙන

අවරගිරි පත් ඉරුව මතුපිට
තබා, සෙවනැළි රටා හැඩතල,
හුදෙකලාවක දෝංකාරය 
තැනි බිමට දෙයි නැමුණු ගිරි හිස...

ඇසක් සනහන කඳුළු බිඳකට
පොඩි ඉඩක් දී අන්ධකාරය,
හිසක් පිරිමැද දරණ ගසමින්
ගාල් වෙයි හුදෙකලා නුවරට...

පින්න- හිරිකඩ එක මිටට ගෙන
නිවා, ගිනිගත් නුවර ගහ-වැල,
යන්න යන ඉර මුවා කරගෙන
හන්තාන ඇති බිම බලාගෙන...

-මුදිත්-
2021.06.03




Saturday, May 15, 2021

අත් පිටපත

 


           ඊයෙ රෑත් වැස්සා. ඒත් හෝ ගාලා නෙමෙයි. ඒ වෙනුවට දවස පුරාම තිබුණේ චිරි චිරියක්. හෝ ගාලා නොවැස්ස නිසා ඔලුවට ආපු සේරම හෝදගෙන ගියේ නෑ. ඒ වෙනුවට ඔලුවට ආපු දේවල් වලින් සෑහෙන තරමක් කඩදාසිය උඩට අමාරුවෙන් හලාගන්න පුලුවන් වුණා. මං ඇහැරුණා. මට දකින්න ඕන වුණු පළවෙනි ම දේ වුණේ වැස්සකට පස්සෙ පායන ඉරේ එළිය. ඒත් ජනෙල් වීදුරුව වහගෙන එල්ලිලා ඉඳපු ජනෙල් රෙද්ද, ඒ එළියෙන් සෑහෙන තරමක් නැවැත්තුවා. කාමරේ ඇතුළට අමාරුවෙන් රිංග ගතපු එළිය ටිකෙන් මට පෙනුනෙ මේසෙ උඩ ඇරල දාපු ලැප්ටොප් එකයි, ඒකට එහා පැත්තෙන් තිබුණු බාගෙකට ටිකක් වැඩියෙන් ඉවර වෙලා තිබුණු ඕල්ඩ් රිසර්වු බෝතලෙයි, පතුලෙ ඉතුරු මණ්ඩි ටික එක්ක තියෙන වීදුරුවයි. මේ සේරටම මුල වුණු ස්ක්‍රිප්ට් එක ආයෙම මගේ ඔලුවට ආවෙ ඒ වෙලාවෙ. හරි නම් සේරටම කලින් ඉස්සෙල්ලම මට මතක් වෙන්න තිබුණෙ ස්ක්‍රිප්ට් එක.

            දාහක් වැඩ අස්සෙ වුණත් මං ගෙදර ආවෙ, පහුගිය ටිකේ කොළඹ මට නොදුන්න මොනව හරි දෙයක් හොයාගෙන. ඒක නිදහස වෙන්න බෑ. මොකද මට ඕනෙවටත් වඩා නිදහසක් කොළඹ මට දුන්නා. රස්සාවක් විදියට ලියන්න, ඕන කරපු හැම දේම එතන තිබුණා. ඒත් මේ ස්ක්‍රිප්ට් එක මට ලියන්න ඕන වුණේ නෑ. ලියන්න කියපු ප්ලොට් එකම මට සෙට් වුණේ නෑ. ඒත් මට ඒක ලියන්න ම වුණා. මේ පළවෙනි වතාවත් නෙමෙයි, මීට කලිනුත් එහෙම ලියන්නම වුණු දේවල්- වෙලාවල් තිබුණා. හැබැයි මේක ඒවට වඩා වෙනස් වුණා. අන්තිමේ ලැප් එකයි, නෝට් බුක් එකයි එක්ක හදිසියේම හවස Highway Bus එකක නැගලා ගෙදර එන්න වුණේ ඒකයි. ඒ ආපු දවසෙම මේ වැස්ස වහින්න ගතපු එකත් පුදුමයි. තෙහෙට්ටුවත් එක්ක මට ඕන වුනේම සරමකට බැහැලා දවල් වෙනකන් හොඳට නිදාගන්න. ඒත් ඔලුවෙ මහ බරක් විදියට තිබුණු ස්ක්‍රිප්ට් එක ඒකට හරස් වුණා. අන්තිමේ ලැප් එකත්, ඕල්ඩ් රිසර්වු බෝතලෙත් එක්ක මට රෑ ගෙවන්න වුණා. වැහි දවසක හැන්දෑවෙ පොතකුත් එක්ක ඇඟට ඇල්කොහොල් ටිකක් වැටුනහම දැනෙන දේත්, ලියාගන්න බැරුව හිර වෙලා ඉන්න වෙලාවක ලිවිල්ල වෙනුවෙන් බොන එකත් කියන්නෙ අහසයි, පොළවයි වගේ අන්ත දෙකක දේවල් දෙකක්. මම කවදාවත් ලියන එක වෙනුවෙන් බොන්න ආසා කරේ නැහැ, ඒත් එහෙම කරන්න වුණු වෙලාවල් කොතෙකුත් තිබුණා. ඊයෙ රෑ වුණෙත් ඒකයි. කතන්දරේ ඔය විදියට පිළිවෙලට ඔලුවට ගලාගෙන එද්දියි, මට ස්ක්‍රිප්ට් එක ඊයෙ රෑ එළියට විසි කරපු බව මතක් වුණේ. සමහර විට ඕල්ඩ් රිසර්වු එක ඇදේට වැඩකරා වෙන්න පුලුවන්. කොහොම වුණත් ඒ ස්ක්‍රිප්ට් එක හොඳ ගානක් අතට එන වැඩක්. මට එළියට යන්න තද ඕන කමක් ආවා. එකක් ස්ක්‍රිප්ට් එක හොයාගන්න, අනිත් එක අව්ව ටිකක් වැටෙන්න.

            අන්තිමේ මං එළියට බැස්සා. ජනේලෙන් එළියෙ ස්ක්‍රිප්ට් එක පේන්න තිබුණෙ නෑ. ඒ වෙනුවට වෙනම ස්ක්‍රිප්ට් එකකට වටපිටාව ලෑස්ති වෙලා තිබුණා. එහෙන් මෙහෙන් බැහැපු වතුර පාරවල් මිදුලෙ පොඩි පොඩි වලවල් වලට සෙට් වෙලා හිටියා. තියෙන තත්වෙ හැටියට ස්ක්‍රිප්ට් එක අහුවුණත් ඒක දියවෙන තරමට පෙඟිලා ඇති. ඒ වුණත් ඒක යන්තමට පෙනුනත් මතක ටිකත් එක්ක කවලම් කරලා ටයිප් කරලා දාන්න තිබුණා. මගේ තත්වෙ ඉන්න අනිත් එවුන් කරේ කෙලින්ම ලැප් එකේ ටයිප් කරන එක. හිතට එන දේවල් එවෙලෙම ටයිප් කරන වැඩේ කොච්චර කරන්න හැදුවත් මට අල්ලලා ගියේම නෑ. අන්තිමේ මං පුරුදු විදියටම අතින් ලියලා පස්සෙ ටයිප් කරන පුරුද්දෙම නතර වුණා. කොහොමින් හරි අන්තිමට වුණේ අතට කීයක් හරි හොයාගන්න තිබුණු එක නැතිවෙච්ච එක. කල්පනාවෙන්ම හෙමින් සැරේ මං පල්ලම් බහින වතුර පාරක් එක්ක පහළට ඇවිදගෙන ගියා. ගෙදරට පහළින් තිබුණෙ රබර් මණ්ඩියක්. ඉස්සර ඔට්ටපාලු බෝල හදන්න, ඔට්ටපාලු ගලවන්න ඕකට රිංගන පුරුද්දක් තිබුණා. මං රබර් මණ්ඩිය අයිනෙන් වැටුණු අඩි පාර දිගේ ඇළ පැත්තට පල්ලම බහින්න ගත්තා. එහෙන් මෙහෙන් ආපු වතුර පාරවල් සේරමත් එක එක පාරවල් කපා ගෙන ඇළ අහුවෙනකල් ම පල්ලම බැස්සා.

ඇළේ කණ්ඩිය වුණේ සිමෙන්ති බැම්මක්. තව ටිකක් එහාට වෙන්න ඇළට වතුර එන තව පාරක් තිබුණා. ඒ පාරෙ බෑවුම ටිකක් වැඩි නිසා වැස්සකට පස්සෙ ඒ වතුර පාරට පොඩි දිය ඇල්ලක හැඩයක් ලැබුණා. ඒ බෑවුම කෙළවර තිබුණු ගල් තලාව දිගේ ගලාගෙන ආවයින් පස්සෙ, වතුර පාර ඇළට එකතු වුණා. ගල් තලාව උඩින් වැවිලා තිබුණු වැල් ගාලක හෙවණ හින්දා හැමදාකම වගේ ගල් තලාව වහගෙන පෙඳ පාසි තට්ටුවක් තිබුණා. ඉස්සර මේ ඇළ කණ්ඩිය දිගේ ආපු ගියපු දවස් තිබුණා. අපේ ගෙදර ඉඳන් පන්සලට යන්න තිබුණු ලඟ ම පාර වුණේ මේක. ඇළ ට විරුද්ධ පැත්තෙන් තිබුණෙ වෙල් යාය. ඇළේ ඉඳපු මාළු, ගම්මු වගේ කියලා මට හිතෙන්න ගත්තා. උන්ගෙ හරි අමුතු, උන්ටම අනන්‍ය පැවැත්මක් තිබුණා. උන්ට ලස්සන දිස්නෙ ගහන පාට තිබුණේ නෑ. උන් මඩ පාට, අතේ ඇඟිල්ලක් විතර සයිස්, අහිංසක මෝඩ මාළු ජාතියක්. ඒ නිසා අපි ඒ කාලෙ හැඩ බැලුවෙත්, කෑම දැම්මෙත්, පන්සලේ ඉඳපු පාට මාළුන්ට. කොහොම වුණත් ඇළ දිගේ යන එන හැම වතාවකම ඇළේ ඉඳපු මාළුන්ගෙන් පොඩි ආතල් එකක් ගන්න සිරිතක් අපේ තිබුණා. වතුරට දාන ඕන දෙයක් කෑමක් කියලා හිතන, උන්ගෙ මෝඩ පුරුද්ද නිසා අපි ගස් වල කොළ, කෑලි කෑලි වලට කඩලා වතුරට දාලා උන්ව ඇවිස්සුවා. ඒ හැමදාකම උනුත් එක වගේම රැවටිලා ඒ කොළ කෑලි වලට හොම්බෙන් ඇනලා ඇති වුණාම ආයෙත් වතුර යටට ගියා. ඇළට කෙළ පාරක් ගැහුවත් උන් ඒකම කළා. එක අතකින් උන් හරි, ඒක උන්ගෙ මෝඩ කම නෙමෙයි. උන්ව දැනගෙන ඉඳපු, ඒ වගේම උනුත් දැනගෙන ඉඳපු එකම මනුස්ස පරාණෙ වුණේ පන්සලේ නැවතිලා ඉඳපු වයසක මනුස්සයා. ඒ මනුස්සයා හැමදාම උදේ හවස බත් අහුරක් දෙකක් ගෙනත් ඒ මාළුන්ට දැම්මා. පස්සෙ කාලෙක පන්සලට ආපු පොඩි හාමුදුරුවොත් ඉඳපු ටික කාලෙ ඒ වැඩේම කළා. ඉතින් ඒ මාළු මිනිස්සු ගැන දැනගෙන හිටියෙ එහෙමයි. ඒ හින්දම උන්ගෙන් ආතල් ගන්න ආපු අපිටත් උන් එහෙමම සැලකුවා.

මගේ කල්පනාව ගැස්සිලා ගියේ ඇළ කණ්ඩිය දිගේ ඇවිදන් එන මනුස්සයෙක් දැකලා. ඈතින් දැක්කත් ඒ මනුස්සයගෙ ගමනෙ ඉඳන් ම මොකක්දෝ හුරු ගතියක් තිබුණා. අතේ තිබුණෙ රිටක්. පොඩ්ඩක් ඉස්සරහට නැමිලා ඇවිදින ගමනෙ පොඩි පය අද්දවන ගතියක් තිබුණා. කැහිපොට ගහපු සරමකුත්, පරණ පාට ෂර්ට් එකකුත් ඇඳපු වයසක මනුස්සයෙක්. මට දැනෙන හුරු ගතිය යටපත් කරගන්න මං සෑහෙන වෙර දැරුවා. ටිකක් ලං වෙද්දි මට මනුස්ස රූපෙ පැහැදිලි වෙන්න පටන් ගත්තා. පුදුමයක් දැනෙන්න ඕන වුනත් එහෙම පුදුමයක් දැනුනෙ නැති එක ගැන මං ඊට පස්සෙ පුදුම වුණා. ඒ අපේ සීයා. සීයා මැරුණෙ ගිය අගෝස්තු වල. මං දැක්කා කියලා සීයගෙත් කිසි වෙනසක් පෙනුනෙ නෑ. ඔහේ ආපු තාලෙටම ඇවිදන් ආවා. මට කිට්ටුවෙන් නැවතුනා.

“ඒ ලොකු පුතේ, ඔහේ ඔය පන්සලට යනවයි..?

සීයා ඇහුවා. මට උත්තරයක් තිබුණෙ නෑ.

“නැහ්” මට කියවුණා.

“මං උන්නෙ දානෙ සැට් එක ගන්න ආවයි කියල..”

“සැට් එක... අද දානෙද?” මට ඉබේටම කියවුණා.

            එතකොටත් සීයා මාව පහුකරන් අඩි කීපයක් ගිහින්. සීයා එහෙමම පන්සලට යන තැනින් හැරුණා. මැරුණු මනුස්සයෙක් ආයෙ දැක්කම දැනෙනව කියලා අහලා කියවලා තිබුණු විදියෙ කිසිම හැඟීමක් මට දැනුනෙ නෑ. පරණ පුරුද්දට මං ඇළට කෙළ පාරක් ගැහුවා. මාළු තාමත් පරණ විදියමයි. උන් ඒක එක්ක පාවෙලා යන ගමන් ඒකට ඇනගෙන ඇනගෙන ගියා. ඒක එක්ක ඇළ පාර දිගේ ගියපු මගේ ඇස් දෙක නතර වුණේ ඇළ අයිනෙ ඉඳන් මැදට වැවිලා තිබුණු ගාලක රැඳිල තිබුණු කහ පාට කොළේක.

“ස්ක්‍රිප්ට් එක”

            මට ඒ කඩදාසිය ඕන තැනක අඳුරන්න පුළුවන්. කොටුවෙන් තොග ගාණට ගතපු අමුතු කහ පාට කඩදාසි මිටියක කොළයක් ඒක. මං අඩියට දෙකට එතෙන්ට ගියා. කඩදාසිය හොඳටම පෙඟුණත් තවම ඒ අකුරු යන්තමට කියවගන්න පුළුවන්කම තිබුණා. මං අහුලගතපු කෝටුවක අගිස්සෙන් කඩදාසිය පරිස්සමට උස්සන්න බැලුවා. හොඳටම තෙතබත් වුණු කඩදාසියේ සෑහෙන බරක් තිබුණා. කෝටුවෙ හීනි අගිස්සට ඒක බර බව පේන්න තිබුණා. පහළට ගලන වතුර එක්ක ගලාගෙන යන්න දඟලන කඩදාසිය නැවතිලා තිබුණෙ වතුරෙන් මතුවුණු මුල් කෑල්ලක පැටලිලා. මං කෝටුවෙ අගිස්සෙන් ඒ මුල් කෑල්ලට පොඩි තට්ටුවක් දැම්මා. ඒ වැඩේට, කඩදාසිය ගන්න වුණු මහන්සියෙන් එක බිංදුවක් වත් නොගියට, ඒ එක තට්ටුවෙන් කඩදාසිය, ගලන වතුර එක්ක ඇළ පාර දිගේ පහළට යන්න ගත්තා. කාලයක් තිස්සෙ කොළඹ මට නොදුන්නු මොකක්දෝ හෑල්ලුවක් ඒ එක මොහොතට මට දැනෙන්න ගත්තා. ඒ ඇසිල්ලෙන් ම මාළු රංචුවක් උඩ පැන පැන ඒකට අනින උන්ගෙ පුරුදු ප්‍රතිචාරෙ පටන් අරන් තිබුණා.

“ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ...”

මං හිතන්නෙ කවුරු හරි එහෙම කියනව මට ඇහුණා.

 

-මුදිත්-
15.05.2021

Monday, May 3, 2021

රිය කවුළුවට එපිටින්...

මන්දාරමක අවා'ඳුරු
පැල්ලම් ඇඳෙයි
කවුළුව මත,
වැහි බිඳුවක් ගැටී
වේගයෙන් යයි
මා පසුකර...

මොටෝ රිය පහනක
එළිය දියැවෙයි
වැහි බිඳුවක,
දැල්වී - නිවී, යළි දැල්වෙන
කදෝකිමි එළියකි
මා ඇස තුළ...

නතර වනු බැරි බව
කනට කොඳුරා කියා
ඉගිල්ලී යයි කාලය,
නුඹ පෙනී- නොපෙනී
යළිත්, යළි යළිත් යයි
රිය කවුළුවෙන් මා පසුකර...

-මුදිත්-
2021.05.03


Image by Mudith Vidanagamage

Wednesday, April 28, 2021

අහසට නැගුනු තරුවක්

             “තරුවක් කියන්නෙ ප්‍රාර්ථනාවක්.” දහසකුත් එකක් අවසානයන් සිතට නැගුන ද මම ලියමින් හුන් ඡේදය එසේ අවසන් කළෙමි. මේ රැය ගෙවී යන්නට මත්තෙන් තවත් ඡේද කිහිපයක් ලියා අවසන් කල යුතු ය. එහෙත් තවත් ඡේදයකට ඉඩ නොදෙමින්, ලියා අවසන් කළ ඡේදය තව දුරටත් මා සිත වෙලාගෙන සිටියි. මම පුටු ඇන්ද මතට බර දී මදකට දෑස් පියා ගනිමි. රාත්‍රී නිහඬතාවය ඊට ම අනන්‍ය වූ හඬවල් රැසකින් තැනී ඇත්තේ ය. පසෙකින් වූ බූටෑව පිරිමදිමින් ගලා ආ රාත්‍රී සුළඟේ දුහුවිල්ලක උෂ්ණය මුසු වුවද වචනයකට පෙරැලිය නොහැකි කිසියම් තෙත් බවක් රැඳී ඇත්තාක් මෙන් විය.

හෝරා ගණනක් පුරා සිත විසින් පෙරැත්ත කළ කෝපි කෝප්පය වත් කරගනු රිසින් මම පුටුව මත වූ බර, දෙපයට මාරු කළෙමි. ළඳු කැලෑ කුට්ටිය තුළින් ගලා එන නිහඬතාවයේ තානය බිඳිමින් නැගෙන කිසියම් සර සරයක් මගේ දෙසවනෙහි පැටැලෙන්නට විය. කුඩා වන සතකුගේ හඬක් යැයි පහසුවෙන් සිතිය හැකි මුත්, මෙම නිල නිවසෙහි ම ගෙවුණු දෙ වසරකට නො අඩු අතීතය විසින් තීව්‍ර කළ ඉව එකී සිතිවිල්ල අනුමත කරන්නට ඉඩ නුදුන්නේ ය. කිසියම් අතීත ස්මරණයක වූ වියළි කොළ රොඩු මත ඉසියුම් ව පා තබමින් ඇවිද යන සිතිවිල්ලකින් නැගෙන්නාක් මෙන් මොහොතකට රැව් දුන් එහඬ ඉනික්බිති මා පෑල දොරකොඩට ඔබ්බෙන් නතර වින.

“මහත්තයා..! මහත්තයා...!!”

පසෙකින් බුබුළු ලන කේතලයේ ඝෝෂාවය. මොහොතකට නිහඬතාවය පවා ගොලුවින. ඒ කටහඬෙහි අයිතිය අතීතයට ය. අතීතයේ එක්තරා එක් මොහොතක පැන නැග එකී අතීතය තුළ ම ගිලී ගිය, යළි කිසි දිනෙක මට නො-ඇසෙන්නට පිළිවදන් දී, හුරු පුරුදු හුළු අතු එළියකින් ඈතින් ඈතට ම ඇදී ගිය, ක්ෂිතිජ රේඛාවෙහි වූ දහසකුත් තරු අතරට මුසුන් වන තුරු කුඩා වී ගිය කටහඬකි එය.

“තරුවක් කියන්නෙ ප්‍රාර්ථනාවක්” යලිත් මම ඒ කුඩා වැකිය මත නතර වීමි. එය එසේ නොවන්නට හැකි ද? ඇත්තෙන් ම ඈ වචනයට නොම හැරවූ ප්‍රාර්ථනාවක් සිර කරගත් හදින්, ඈත අහසට වන් තාරකාවක් වූවා ය.

මේ ඇයම බව මට විශ්වාස ය. නැගෙන්නා වූ හතිය අතරින් ඇසුනු ඒ කටහඬ, එදා රහසින් මිමිණූ ඇගේ කටහඬ ම ය. නැගෙන්නා වූ හතිය තවදුරටත්, එදා ඒ සැඳෑවේ මා උරිස මත දිගේලි කළ කෙළිලොල් හතිය නොවීය. එහෙත් මේ නම් ඈ මය.

“අනේ මහත්තයා... මං දන්නව මහත්තය ඔතන ඉන්න වග. පිං සිද්ධ වෙයි, ඩිංගිත්තකට දොර අරින්න..”

ඈ කරන්නේ ආයාචනාවකි. ජීවිතය නම් වූ අටෝරාසියක් කෙනෙහිලිකම් අබිමුව ද මොහොතකට හෝ දණ නොනැමූ ඒ යෞව්වනිය අසල මොහොතකට මා මතක ධාරා නතර වින.

“මහත්තයගෙ ගෙට අල්ලලා ළිඳක් තියෙන හන්දා මහත්තයට මේ වල, නිකම්ම වතුර වලක් වෙන්නැති. ඒත් මේ ගමේ ඉන්න එවුන්ට මේක තමයි එකම ළිඳ. එහෙව් එකේ මහත්තය සයිකලේ මේ ළිඳෙන් හෝදන එක හරි කැත වැඩක් මහත්තයා.”

ඒ ඈ පිළිබඳව වූ මුල් ම මතකය ය. ගංගොඩේ කෙල්ලක වුවද එදා පවා ඈ කීවේ ඇත්තකි. මා සයිකලය හරවා ගෙන ආපිට නිල නිවෙස වෙත ආවෙමි. කතාව ඇත්ත මුත් ඒක කීවේ ගංගොඩේ එකියකි. කැලෑ කොටේ කෙල්ලකි. අනික් අතට ගංගොඩේ එකියක විසින් කීවද කතාව ඇත්තකි. නුරුස්නා සිත උපන්නේ එහෙයිනි. ඉතිරි සියල්ලෝ වදනුදු නොදොඩා උන්න ද, ඈ ගත් කටටම එය කියා දැම්මාය. නැගුනු නුරුස්නා සිතින් යුතු ව මම කමිසය ගලවා පුටුපත්ත මතට විසි කළෙමි. සිගරැට්ටුවක් ගෙන දෙතොලතර රන්දා, දල්වන්ට තැත් දැරුවෙමි. ගංතුලාන පිස එන වියැළිව ගිය සුළඟ ගිනි දළුව හා පොර බදද්දී අතකින් සුළං මුවා කළ මම රන්පත් තුඩග දැල්වීමි. ළය සැහැල්ලු වන ඇසිල්ලේ මුහුණ ඔසවා බලන විට මා ඉදිරියෙහි වූයේ තලතුනා ගැමියෙකි. ගැමියාට ඈතින් කඩුල්ල අද්දරට වී ඉන්නා තවත් සළ රුවකි.

“අනේ මහත්තයා අපේ පොඩි එකී නොතේරුං කමට කියාපු කටකැඩිච්ච කතාවට අමනාප වෙන්ට එපා. සමාවෙන්න ඕන අපට. ඒකි නොදන්නව උනාට මේ ගමේ උන්දැලට මහත්තයව වටිනවා. ඒකි තේරුමක් නැති එකී මහත්තයා.”

මම සිතාමතාම මුහුණ බැරෑරුම් කර ආයාසයෙන් සිනාසෙන බවක් පෙන්වීමි.

“ඒකට කමක් නෑ. අනිත් අතට ඒකි කිව්වෙත් බොරුවක් නෙමේ.” මම කීවෙමි. ගැමියා සැනසුන පාටක් නැත.

“ඒයි, මෙහෙ වරෙන්. ඇවිත් මහත්තයට වැඳලා සමා ගනින්.” හේ කඩුල්ල දෙස බලා කෑ ගෑවේය. ඈ පය අද්දමින් ආවාය.

“වැඳපන් මහත්තයට”

මම කවදත් වැඳුම් ලබනු රිසියකු නොවුයෙමි. අනෙක් අතට ඈ වයසින් මට වටා උපරිම පස් වසක් හෝ මඳක් වැඩියෙන් බාල වන්නට ඇත. මෙතෙක් වේලා ගැමියා ඈ හට කල අණට මා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූයේ ඇයි දැයි අදටත් මට පැහැදිලි නැත. වෙන කවර හෝ අවස්ථාවක් වූයේ නම් වහා මා එම අණ කෙරුම පවා වලක්වන්නේය. ඇතැම් විට එවෙලේ මා එසේ නොකළේ ඈ මා වෙත පැමිණීම වළකන්නට මා තුළ වූ අකැමැත්ත නිසා වන්නට පිළිවන. අනෙක් අතට ඈ, පෙර මා හට කී බස නිසා මා තුළ ඇතිවූ පරාජිත සිත සනසාලනු පිණිස ද විය හැකිය. මා වෙත පැමිණි ඈ බිම බලාගත්වනම තාවර වෙමින් උන්නී ය.

“මට වඳින්න කියන්නෙ මොන එහෙකටද? ඒ කීව දේ උනත් වරදක් නෙමෙයි. දැන් ඒක ඉවරයි, දැං රෑ බෝවෙන්න කලිං ගියානං නේ හොඳ..?

මම කීමි. ඈ යම්තම් දෙ ඇස දක්වා මා දෙස බැලුවේ එවිටය. ඉනික්බිති සිහින් පට්ටයකින් බැඳ තිබූ නෙළුම් අල මිටියක් ටීපෝව මත තැබූ ගැමියා, සිය දෝණියැන්දෑ හා යන්නට හැරුණේය.

“රාජකාරි වැඩකට ආවත්, වෙන මොන කාරණේකට ආවත් මට මොකවත් ගේන්න උවමනා නැහැ. අමනාපයකට නෙමෙයි, ඒත් එහෙම උවමනා නැහැ. ආයෙ එහෙම ගේන්න එපා.” හැරී යන ගැමියාට ඇසෙන්නට මම කීමි.

ග්‍රීස්මය ගෙවී ගියේ දුහුවිලි මතක අතරිනි. ඒ අතීතය, හුදෙකලාවේ නැගුනු අරලියා ගසක් යට රැඳි සුවඳක් සේ අදත් අතරින් පතර නැගී වියැකෙයි. දොර අගුල මත තබාගත් අත තවමත් අතීරණයෙනි. දොරට එපිටින් ගිලගන්නට වෙර දරනා ඉකියකි.

ගිම්හානයේ ඉම, මහපොළොව තෙමා හළ වරුසාවකි. ඕලු, මානෙල් පිපෙන්නට පිඹුරුපත් සැකැසුනු සවසකි. වරින් වර ඈ අවුත් ගිය ගමනක, දෛවෝපගත වරුසාවකට කොටුවුනු දවසකි. නිල නිවස්නයේ පියස්ස යට, ඈ තෙමී ගියේ මා නමැති වරුසාවෙනි. මා තෙමී ගියේ ඈ නමැති වරුසාවෙනි. වියැළිව ගිය කාශ්ඨක පොළෝ තලයට වුව උරා බීගත නොහුණු වරුසාවකි. කල්ප ගණනක් පුරා රැස්කෙරූ දියකඳ හෙලන්නට බලා හුන් අහසකි. එහෙයින් ම නිවමින්, නිවුනු පොළොවකි. ළය පුරා ඉහිරුණු ඕලු කහටකි. නැහැ පුඩු අගිස්සෙහි නැවුම් දුහුවිලි පුසුඹකි.

ඒ පරිච්ඡේදය නිමා වූයේ එක්තරා ගණාඳුරු රැයකිනි. ඈ පැමිණ සිටියේ එපවත සැලකර යන්නට ය. ඒ හැර අන් කිසිදු ඉල්ලීමක් ඈ තුළ නොවිනි.

“මං දන්නවා මහත්තය හිතන්නෙ මොනවද කියලා, ඒ වගේම මහත්තය කියන්න හදන්නෙ මොනවද කියලා. මහත්තය විතරක් ලං වුනා නෙවි, මාත් මහත්තයට ලං වුනා. ඒත් මේ දවස කවමදාහරි එයි කියලා මං දැනන් උන්නා. මහත්තය කැමති වුණත් මහත්තයගෙ නෑ සනුහරේ මහත්තයට හරස් වෙනවා, ඒක සහතිකයි. අනිත් අතට මට උවමනාත් නැහැ මහත්තයගෙ ඇඟේ එල්ලෙන්න. මහත්තයට දැන ගන්න යුතුකමක් තියෙන හින්දයි මං මේ ගමන ආවෙ, මහත්තයට කියල යන්න. ආයෙ මං මේ මායිමේ දකින්න නැතිවෙයි. මහත්තයට දෙවි පිහිටයි.”

මම ගල් ගැසී හුන්නෙමි. හුරු පුරුදු හුළු අතු එළියේ ඈ ඈතින් ඈතට ම යන්නට වූවා ය. ඈත අහසේ දිලුනු තාරුකාවක් තරමට ඒ එළිය කුඩා වී යනතුරු, ඈ ඈතින් ඈතටම යන්නට වූවා ය. ඉනික්බිති ගෙවී ගිය අට මසක කාලය තුළ දෙතුන් අවුරුද්දක දෑ එක හුස්මට සිදුවිනි. සතියක් ගෙවී ගිය තැන ඈ කා හට හෝ සරණ දී තිබිණි. ඉන් ගෙවී ගිය දෙමසක පමණ කාලය තුල මා කියා කිසිවෙක් නොවුනි. එයිනුදු දෙමාසයකට පසු මම ද විවාපත් වූයෙමි. එහෙත් එහි කිසි මගුල් සිරියක් නොවුණි. ග්‍රීස්මය දැඩිව නැගී නැගුනේය. එතෙක් රැකගෙන හුන් අවසාන තුරු පත් දෙක තුන පවා සුළං කියනා අත ඉබාගාතේ  යනු එනු පෙනුනි. ඉඳහිට ආ ගිය සුළඟක වුවද දාහය ම රැඳී පැවතුනි. ඉනික්බිති මේ මොහොත එළැඹිනි.

අගුල මත රැඳුනු අත තවමත් එලෙසම ය. මා මේ රැයෙහි දොර හරින්නේ කෙසේද? ඇගේ ගිලගත් ඉකිය අතරින් බිළිඳෙකු ගේ හැඬුමක් ද නැගෙන්නට සැරසෙන හඬ ඇසේ. මා නිවස තුළ මා බිරින්දෑ නිදන්නී ය. මා කෙසේ නම් දොර හරින්නද.. දොර නොහැර ඈ ත් ඈ අත සිටින බිළිඳාත් දකින්නේ කෙලෙස ද? අනෙක් අතට දොර හැර ඈ පිළිබඳව මා බිරිඳට කියා සිටින්නේ කෙලෙසද.? අවසානයේ මම දොරගුල අතින් අත්හළෙමි. තවත් මොහොතකින් යළි වියළි තුරුපත් මත සර සරය ඇසෙන්නට විය. එහෙත් ඒ පෙරටත් වඩා ප්‍රවේශමෙනි, සෙමිනි. ඈ යන්නට ඇත. එහෙත් ඒ රැයටත් නොදැනෙන්නට ය. ලකුණකුදු නො-රැඳෙන්නට ය. කෑ ගසා රැයම හඬවන්නට තිබියදී, ඈ පැමිණියාටත් වඩා ප්‍රවේශමෙන්, රහසින් නික්මී ගියා ය. ඇතැම් විට ඈ බිතක්කන රෙදි වැල්පොටෙහි වූ ගැහැණු රෙදි පිළි දකින්නට ඇත. ඒවා මගේ බිරිඳගේ බව අනුමාන කරන්නට ද ඇත. ඒ සියලු දෑ එසේ වූවත්, මේ තරම් ඝන රැයක වන තීරය මැදින් තනිව පියමැන එන්නට තරම් අවදානමක් ඈ ගත්තේ මන්ද..? මට හඬන්නට සැරසුණු බිළිඳා සිහිවිණ. ඒ එදා ඈ කුස දරාගෙන නික්ම ගිය බිළිඳා වන්නට නොහැකිද? ඉදින් මා ඒ දෙඇස දැකගත යුතුම ය. වහා පුටුවෙන් නැගුණු මම පෑළ දොර හැරියෙමි.

මුළු රැයම නිසල ය. කවරදාකටත් වැඩියෙන් සිහිල ය. වන සතකුගෙන් නැගෙනා හඬක් හැරුණු කොට, නිහඬය. මා වන තීරය මැද්දෑවෙන් වැටී ඇති පය ලකුණින් සලකුණු වූ කුඩා මාවත දෙස බැලීමි. ඈ පෙනෙන්නට සිටියේ නැත. මවිසින් තෝරා ගත් ජීවිතය මත කිසිදු කැළලක්, ලකුණක් ඉතිරි නොවන සේ මේ දුර ගෙවා සපැමිණ,පයින් ම ඈ නික්ම ගොස් තිබුණා ය. රාත්‍රිය බිඳිමින් මොණරකුගේ විලාපය ඈතින් ඇසේ. නග්න අහසේ දිදුලන තරු එළිය හැරුණු කොට ක්ෂිතිජ මායිමට මෙපිටින් වූ ඒ කුඩා ආලෝක තිත, එදා ඒ රැයෙහි ලෙසට ම ක්‍රමයෙන් කුඩා වෙමින් ඈත තාරකා ගොන්නෙහි සැඟවී ගියේය. ඒ අවසාන වතාවට ය.


 

-මුදිත්-
27.04.2021

Monday, April 19, 2021

ලොලිටා

ඒක වචනෙකට ගන්න හරි අමාරු විදිහෙ මූණක්. අඩි පහක් වත් උස හීන්දෑරි ඇඟක්. පාන්දර ඉර එළිය වැටුණු තිරිඟු කරලක රත්තරන් පාට කොණ්ඩයක්. මුලින්ම දැකපු වෙලාවෙදිම ඇඟ ඇතුලෙ පුංචි ගිණි පුළිඟුවක් අවුලාපු කෙල්ලක්...

දකින මුල්ම මොහොතෙ ඈ හිටියෙ හොඳටම තෙතබත් වෙලා, ඇඟටම ඇලුනු තුනී රෙද්දකින් මහපු කොට ගවොමක් ඇඳන්. ඒ රෙද්ද ළා රතු, කොළ පාට පොඩි මල් තිබුණු ළා කහ පාට ටච් එකක් තියෙන සුදු රෙද්දක්. ඈ හිටියෙ තණකොළ මිදුලෙ දිගාවෙලා, සඟරාවක් බලන් ගමන්. ඈට එහා පැත්තෙන් නැගුනු වතුර මලක් නොකඩවාම වතුර ඉහිමින් ඈව තෙතබත් කළේ, ඒ දර්ශනය දකින කිසි කෙනෙකුට පුංචිවත් සමාවක් නොදෙන විදියෙ තාලෙකින්.

“Beautiful”

ඒ තමයි ඒක දකින ඕනම කෙනෙකුට කියාගන්න පුලුවන් වෙන එකම දේ. ඒ දසුන ගැන වැඩි වැල්වටාරම් නෑ. නෑ නෙමෙයි, වචන හොයාගන්න බෑ. ඒ තමයි ඒකි. වයස අවුරුදු දහ තුනක් විතර ඇති වුනත්, ඈට තිබුණෙ ගිනි දළුවක වගේ හරිම ඇවිලෙනසුලු දාංගලයක්. ඒ දාංගලේ ඈගෙ හැම ඉරියව්වකම, හැම කෙස් ගහකම, හැම උපන් ලපයකම ඉඳන් තිබුණා. මේ කෙල්ල මට මූණට මුණගැහුන එකියක් නෙමෙයි. ඒ වගේම මූණට මුණගැහීම ඇතුලෙ තියෙන අවදානමට මම බයයි. මේ රූප රාමු අස්සේ ගෙවුණු පැය දෙක හමාරක විතර වෙලාවෙන් පස්සෙ, ඇත්තටම ඒ අවදානමට මම බයයි. ඈ තමයි ලොලිටා.

Film එක පටන් ගන්නෙ තණබිමක් පසුබිම වෙච්ච රාමුවකින්. ඒ පසුබිමේ ඈත පාරක් දිගේ එන කාර් එකක දර්ශනයෙන්. කාර් එක එන්නෙ පාලනයකට නතු වුනත්, එහෙම නැති ලීලාවකින්. හරියට ඒකෙ Driver ගෙ ජීවිතේ වගේ. මේ කාර් එකේ Driver තමයි කතාවෙ එන ප්‍රධාන ම පිරිමි චරිතෙ වෙන Humbert. මිනිහගෙ අතේ තියෙනවා කොණ්ඩ කටුවක්. ඔව්, කුණුත් ලේත් තැවරුණු ඇඟිලි දෙකකින් මෘදුව ඒත් අත් හැරෙන්නෙ නැති විදියකින් හිරවුණු කොණ්ඩ කටුවක්. ඒ අත් රැඳිලා තිබුණෙ ඔහේ යන වාහනෙට පාර කියන්න තියෙන සුක්කානම උඩ. වාහනෙ ගමන නිසා එහා පැත්තෙ සීට් එක උඩ තියෙන revolver එක එහෙ මෙහෙ යනවා. තව දුරටත් වාහනෙ නිශ්චිත අරමුණකට දක්කන්නෙ නැති වුනත් ඒ Driver එහෙම නැත්නම් Humbert අර revolver එක සීට් එක උඩ ආයෙ ආයෙත් ස්ථානගත කරන්න උත්සාහ කරනවා. ඒ frame එක ම මට ඉතිරි කලේ මහා කඩාවැටීමක්. ඉබාගාතේ යන වාහනයක, හරි තැනින් තියන්න උත්සාහ කරන ගිනි අවියක්. ඒ revolver එක පත්තු වුණු තැන, ඒ විදිය, හේතුව දකින්න නම් film එක ඉවරවෙන තුරු ඉවසන්න වෙනවා. ඇත්තටම ඉවසන්නම වෙනවා. ගිනි දළුවක් වගේ ඇවිලෙන ළපටි කෙල්ලෙකුත්, ඒ කෙල්ලගෙ සුළු පියා වගේම පෙම්වතාත් වෙන මනුස්සයත් අතරෙ ගලාගෙන යන, ආදරයත් - ලිංගිකත්වයත් අතරෙ යම් තැනක ස්ථානගත වෙන සම්බන්දයෙත් කතාව ඉවසන් ඉන්නම වෙනවා.

වරින් වර මං ඒ පිරිමි කෙනා බවට පත්වෙන එක වලක්වාගන්න සෑහෙන උත්සාහ කළත් අවස්ථා කීපෙකම මං අසාර්ථක වුණා. චිත්‍රපටිය පුරාම තිබුණු උකු කළුතෙල් වගේ හැඟීමක් මගේ ඇතුලෙ තැවරුණු එකෙන් ගොඩ එන්න මට සෑහෙන වෙලාවක් ගියා. ඒ හින්දම මං හිතනවා ටික වෙලාවක් film එක එක්ක ගතකරන්න බලන් ම කෙනෙකුට බලන්න වටින film එකක් ඒක. ඒ වගේම මේක ලියන්න පෑන අතට ගනිද්දි තිබුණු හැඟීම් ටික ගලපගන්න බැරුව හරිම අසරණ තත්වයකින් මේක ඉවර කරන්න වෙන එක පවා තවත් අතකින් හරිම වේදනාවක්. ලිංගිකත්වය, හැඟීම්, ආසාවන් අතරෙ ආදරය ඒ කතාවෙ මුදුන් මුල වගේ තිබුණා කියලත් film එකේ අන්තිම ¼ ඇතුලෙ මට හිතුනා. ඒ වගේම සමහර කතන්දර වල හරිම තැනින් ස්ථානගත කරන්න ඉතුරු වෙන්නෙ revolver යක් වගේ දෙයක් විතරක් වෙන්නත් පුළුවන් කියලත් අවසානෙදි මට හිතුනා.

Film එක ආරම්භයත් අවසානයත් එක මත පිහිටන විදිහෙ එකක්. ඒ නිසා කථාවෙ ආරම්භයෙදි වගේම අවසානයෙදිත් පොදු වෙන, ලොලිටා ගැන Humbert කියන දේ මං හිතනවා මං මොන වැල්වටාරම ලිව්වත්, ඒ හැමදේකටම වඩා ලොලිටා ගැන perfect description එකක් කියලා.

“She was Lo,
            Plain Lo in the morning
            Standing four feet ten in one sock..
            She was Lola in slacks.
            She was Dolly at school.
            She was Dolores on the dotted line.
            In my arms,
            She was always Lolita…
            Light of my life,
            Fire on my loins,
            My Sin..
            My Soul...”

 

-මුදිත්-
18.04.2021