එක එක හැඩෙන් කියවන්න

Saturday, January 28, 2017

සරෝජා..

මහ වැසි වැටෙයි නුවරට..
සරෝජා,
නුඹ අවුත් වැස්සක්ව
හෙමිහිට
ඇද වැටෙයි
හිත් පෙති මත...

කඩුපුල් ය, රෑ කුමාරි ය
රැයක පිපි වන මල් ය,
නුවරින් ගව් ගණන් ඈතට
දිව ගිය පළමු වැනි පාඩම...

"වනක්කම් ආසිරියර්"
නන්නාඳුනන අකුරුය..
ඒ වුණත්
උණුහුම් ම වචන ය...

එකෝමත් මහ රෑක
ආනා, ආවන්නා
ඊනා, ඊයන්නා
එකට ලිව් ලොකු අකුරු
හෝඩියම විසුරුවා ගෙන
මහා පිපුරුමෙන් පසු,
යළිත් දළු දැම්මා
විශ්වය..

ඒ වුණත්
ඇස් පොඩි අතර හිස්තැන
සරෝජා,
නුඹේ පොඩි ඇස් දෙක...

කැටයම් කැපුව හැක කඳුලක
ඇවැසි නම් රැකගන්නට
සමරුවක් ලෙස සදහට..
ඒ වුණත් කඳුළු වත් නොහලාම
නුඹ සැඟව ගොස් තිබුණා
තිත්ත ම තිත්ත කළු කුහරෙක...
                                              -මුදිත්-
                                      2017.01.29