එක එක හැඩෙන් කියවන්න

Friday, November 28, 2014

කන්තෝරුවේ අළුයම් තේවාව...
______________________

 රතු ඉරට කලියෙන්,
ඇඳි නැති පොඩි පුටු බරවෙනකොට..
ඇඳි තියන,
කැරකෙන- තේජස් පුටුව,
නෙත් අයාගෙන ඔරලෝසුවට,
බලා හිඳී,
වඩින තුරු මහ රජ- සබයට...

 -මුදිත්-
 2014.11.28

Thursday, November 27, 2014

නිවාඩුව තව ඈත,
 නිවාඩුවටත්,
 ගෙදර දොර බෝ ඈත..
 තමන්ගෙම උන් වෙනුවට,
 දුරින් නෑකම් කියන - පැරසිටමෝල් පෙති දෙක විතරමයි,
 ඉසේ ඇම්මට- ඉස අතගාන...
 හූර හූරා රීරි මාංසය,
 යටකර ජුකී මැෂිමට,
 තැපැල් දූතයකු අත,
 යවා පඩිපත- මාසෙ අන්තිම,
 පියවන- ගෙදර දොර අගහිඟ..
 දුප්පතුන් නැති ලොවක,
 කේතුමතී නුවරක,
 සිරවී බෝඩිං වල- ගාමන්ට් කුකුළු කොටුවල,
 බලන්..! දියව යති,
 (අ)සුන්දර තාරුණ්‍යක සිහින....

 -මුදිත්-
 2014.11.27

Monday, November 24, 2014

කොයිබකද හැංගිලා ඉකිබිඳි,
 රෑ තාරුකාවක ඉකියක්..
 කලියෙන්ම නිමාවූ වසන්තය ලඟ,
 ගොලුව ගිය කොවුල් ගීයක්..
 කියන්නට අවසර නම්,
 තිත්තම තිත්ත ඇත්තක්..
 නුඹ රස බැලූයේ සෙනෙහස නොවෙයි,
 මගෙ ජීවිතෙන් ලොකු පෙත්තක්...

-මුදිත්-
 2014.11.24

Friday, November 14, 2014

අත්තක් උඩ බුම්මාගෙන,
කටු රෙද්දක් පොරවාගෙන,
බඩේ පැටව් පුරවාගෙන,
කුණු වෙන තුරු උඹ ගහ උඩ...

බත් ම හොයන බඩගින්නට,
නැතොත් පොතට පාන් ගේන,
ඉදී වැටී කුණු වී යන,
කොස් මොකටද අපට, නේද...

 -මුදිත්-
 2014.11.14
 සමනළ පාලම ලඟ,
 තවම හවසට මතක ඇහිඳින,
 මිණි මිණි පොදත් නැති,
 දැදිරි වුණු මල් පෙතිත් නැති,
 කවමදාවත් නුඹ ආවෙ නැති,
 අතීතය මොනවද කියනවා...
 සරසවියෙ දොර ගාව,
 නතර වුණු සෙනේ ගඟ,
 රැළි නගා නොනගාම,
 කුමුදු මල් අත දරන්,
 හැමදාම මග බලනවා...
 නුඹ කොහේ කොතැනකද,
 මම කොහේ කොතැනකද,
 මගහැරුණු ජීවිතය,
 ඉඳහිටක ආයෙමත් අහනවා...
 කියාගන්නට කිසිත් නැති තැන,
 රහසින්ම ඇස් පියන් තදකර,
 මටත් නොදැනීම මම,
 සුසුමකින් උත්තර බඳිනවා...

-මුදිත්-
 2014.11.14

Wednesday, November 12, 2014

නෙතු පියවෙන සුනංගුවට,
හිත් මඬලට ඇවිත්..
ආයෙත් සැප දුක අහලා,
නුඹ නොකියම ගිහින්...

ගුරු පාර දිගේ අත් අල්ලන්,
ඇවිදන් ගිය හැටී..
හැබැහින් නම් නොවෙයි තමයි,
ඒ හීනෙත් මට වටී...
නුඹ දන්නව නම් කියාදෙන්න,
මේ ආදරයේ හැටී...

ජීවිතයේ පියගැටපෙළ,
අත්වැල වනු බැරී..
තහනම් හිත හිර කරගෙන,
මම යන්නම් හැරී...
නුඹ දන්නව නම් කියාදෙන්න,
මේ ආදරයේ හැටී...

-මුදිත්-
2014.11.12