එක එක හැඩෙන් කියවන්න

Tuesday, January 26, 2016

නුඹේ මෙහෙසිය වූ පසු...

කුරුළු තුඩු පටලැවෙන සද්දෙට
පාන්දර ඉරපාන ඇහැරෙයි
කවුළුවට ඉර එළිය වැටුණම
හුඟක් ඉස්සර දවස් සිහිවෙයි

පාට පාටින් තටු සැලෙන කොට
බලන් ඉන්නට හරිම ලෝබයි
සුදෝ සුදු සාරියක් ඇඳගෙන
වැඩට යන්නට මටත් ආසයි

නිකිණි සැණකෙළි මඟුල් කාලෙට
නුවර සල්පිල් තොරණ ඉදිවෙයි
හවස මල් පෙරහැර වඳින්නට
මටත් නොදැනිම දෙපා ඉස්සෙයි

පෙළක් හවසට ඉර බහින කොට
මඟුල් උයනම හරිම එළියයි
රාජ පුරුෂයො නැතුව ඩිංගක්
ඇවිද යන්නට හිතට ආසයි

පිපෙන සුවඳම මලින්, එක්ටැම්
කුටිය සැරසෙන බවත් ඇත්තයි
ඒ වුනත් හැමදාම හවසට
හදවතේ පිපි මලක් මැළවෙයි

                                      -මුදිත්-
                             2016.01.16

Wednesday, January 13, 2016

චිත්‍රාවියකගෙන් හසුනක්...

සැළලිහිණියෙක්, ගිරවෙක්
අඩුම තරමේ කපුටෙක්
සොයාගන්නට නොමැත පෙම්වත
හිත මිතුරු දූතයෙකු ලෙස..
ඉතින් මේ වගතුග
අමුණා එවමි සුළඟක...

කපු තෙම වඩින තුරු
වාසලේ හරි කලබල
මහළු බමුණන් නිබඳ
කියත් කේලම් විස්තර..
අඟුටු වාමන සෙනග
බීඩි දුම් උර උර
සරත් නිරතුරු
එක්ටැම් කුළුණ පාමුල..
විටෙක මුර බල්ලන් ද
හතිලන හඬ ඇසෙයි වටපිට...

ඈත වෑ කන්ද මුල
එදා අප සක්මන් කල තැන..
"සිකියුරිටි" නා රජු ද නිරතුරු
පෙන ගොබ සතම පුප්පයි,
මේ කුටිය අවටින් හමන
සුළඟට පවා සසැලිව..

ඉතින් පෙම් කුමරුවනි
පිපුණු මල් දුටුව පසු,
ඔහොමයි මෙහෙ අලුත් විස්තර...

                                         -මුදිත්-
                                  2016.01.13

මැවුම්කරුවාණනි...

අනුභව කළෙමි
තහනම් ඵල..
මැවුම්කරුවාණනි,
පිළිගනිමි මම
එ'වරද...

උද්‍යානයේ තැන තැන
ලදළු, පිනි බිඳිති මත
ඔබ විසින් දුටු සියල් කවි
ලීවේ ඊට පසුවය...
වළාකුළු කැටිති මත,
රැළිති නඟනා
සීත දිය මත..
තවත් ඔබ නුදුටුව
බොහෝ දෑ ලියැවී ඇත
ක්ෂුද්‍රව...

දනිමි,
දැන් මා
පියාපතකි ය ගිලිහුණ..
මැවුම්කරුවාණනි,
නෙරපනු මැනවි මා
පාරාදීසයෙන් එපිටට...

                                     -මුදිත්-
                              2016.01.02

නිදිකුම්බා මලට...

සිහිනිම සුළඟකට පවා
ගැස්සෙන
ළා රෝස පෑ මදහස..
සුමුදු පෙත්තක මෙලෙක..
බඹරෙකුට කුමටද
මධු කෝෂ, මකරන්ද මිස...

ඉතින් හැම රැයකම,
සොළොස්වක සඳ වුනත්
වමාරනකොට කළුවර..
පුංචි තරුවක් මම,
මක් කරන්නද...

රැය ගෙවෙන තුරු ඉන්න..
ලොකු කඳුළු බිංදුවක්
මිට මොළවගෙන එන්න..
හෙටත් වැට අයිනට...
අපිට පුළුවනි
පේළියට අමුණන්න,
මුතු පොටක හැඩයට...

බැරි වුනත් පළඳන්න
තැල්ලක් වාගෙ නළලත..
පළඳන්න පුළුවනි,
ඉර බහින
හැන්දෑ අහසට..
තිත්ත කරුවල රැයක
තනියට
පෙනෙන්නට සිහිනයක
හැඩයට...

                                             -මුදිත්-
                                    2015.12.16