එක එක හැඩෙන් කියවන්න

Wednesday, October 4, 2017

නෘත්‍යංගනා..

කඳුළු තුඩුවෙන් ඉගිල
සිහින සැරියෙන් පසුව,
බිම පතිත පියාපත
කටු ඇණුනු බඳ අතැ'ර..

මුදා අත් හළ බැවින්
නම නොදන්නා බිමක,
සැනෙළි පහනෙක ගොදුර
විය යුතුය මුදු අඳුර..

ගතෙහි සළු විනිවිදින
නෙතක අත් පහර මැද,
කඳුළු බිඳුවක් හිඳී
කොපුල් තලයෙක වැතිර..

නැගෙන ගී රාවයෙන්
මිදී, දුර යනු බැරිව,
පයේ හැපි හැපි හඬයි
අතරමං වූ ගිගිර...
                                                -මුදිත්-
                                        2017.09.30

Sunday, August 27, 2017

අලුත් දලුවක්...

සියලු මල් හා පත්- අත්හැර දැමූ පසුවත්
මකරන්ද අහුරක් -කර තියන් ආ සුළඟක්
මුමුණමින් තව තනුවක්
ඇරයුමකි අරඹන්ට යළි නැටුමක්...

නිසොල්මන් වී හිඳිද්දිත්
පාර වැරදුණු බඹරෙක්
හැරී අවුදින් විමසයි
නැතිද රොන් පිරි කුසුමක්...?

නොඇසුනා සේ හෙමිහින්
හිස පහත් කල පසුවත්
වැලි කැට අතර ඉඳ හිනැහෙයි
හදවත් හැඩැති ගල් පතුරක්...

නොදුටුවා සේ සිටියත්..

පොළොවට පාත් වුණු අත්තක්
ගසටත් හොර හොරෙන් පුබුදයි
යළි මල් පිපිය හැකි පැතුමක්....
                                             -මුදිත්-
                                      2017.08.22

Wednesday, August 9, 2017

එ'දවසින් පසු...

ඉර උදාවක් නොවුණද
ඇතැම් අරුණෝද වල,
නො අඩුව - මල් පිපී තිබුණා
ඉපැරැණි සුබපැතුම්පත් මත
එලෙසම..

උයනෙහි උයන් දොර පාමුල
මග බලන මගියෙක් ය
කාලය,
පෙරල පෙරලා
පැරණි පින්තූර ඇල්බම,
ප්‍රේමයැයි කිව හැකි යමක්
සැඟව ඇත්දැයි විමසන..

රැහැනින් මුදාහල පසු
ඉගිලී ගිය ම'හදවත
උයන කෙළවර අසුනක
සදාකාලික නින්දක...
                                                   -මුදිත්-
                                           2017.07.30

Thursday, July 27, 2017

පිළිතුරක්....

දන්වා එවු නමුත්
කෙටිම කෙටි පණිවුඩයක,
අඳුරත්, පාළුවත් පමණක්
නුඹ අසල ගැවසෙන බව..

කලින් දන්වා නොපැමිණි
වසන්ත දෙක තුනක්
පසු කෙරුවද,
සොඳුර නුඹ නොදනී
මෙ'නුවර
කෙටි දිවා කලකුත්
දිගම දිග
රැයකුත් උරුම
හුදෙකලා සිසිරයක් බව...

                                        -මුදිත්-
                                2017.07.17


Painting :   "June's Ascension" - Timothy Rees {figurative art beautiful female standing woman digital painting}

Friday, July 21, 2017

නාටාමිගේ හිමිදිරියක්...

රැය අඳුරත් සමග ඉර පොරකන පැයට
කකියන නහර වැල් පිරිමැද එක දිගට
අහසට කලින් ඇහැරෙන කපුටන් හඬට
ඇහිපිය හරිමි එල්ලෙන නිදිගැට බරට

හිස්බඩ සනසනා පිටකොටුවේ කහට
තිත්තම පැණි රසයි කටගෑවම දිගට
ලෝකය ලොකු වැඩිය අප වැනි පොඩි අයට
පුංචි ම කුහුඹුවන් පෑගෙයි ලොකු පයට

ගරුතර තේජ ලීලාවෙන් වැඩ හිඳින
ලොරි පෙළ අලස ලීලාවෙන් මග බලන
කොළ, එළවලු පිරී තරවුනු මළු අහින
මේවා නොවෙද මගෙ හිමිදිරි සුබ දසුන

සිනහව නමැති, දුක සඟවන පිට පොත්ත
ගලවා බලන විට ඇතුලින් ඇති පැත්ත
කිසිදා වෙනස් නොවෙනා නොමියෙන ඇත්ත
කාරා ඉවත ලනු බැහැ දිවියේ තිත්ත
                                                                  -මුදිත්-
                                                          2017.07.16

Thursday, June 15, 2017

මතක කැඩපත් අතර නුඹ...

සංසාරයේ තැනක උල්පතක් සේ නැඟුන
හැඟුම් පොකුරක පරණ, සිසිර හිම සේ මිදුන
මොහොතකට ගල්ගැසෙමි මා තුළම මම දකින
සොඳුර නුඹ රුව පෙනේ කැඩපතක- ඉරි තැලුණ
      
                                                              -මුදිත්-
                                                       2017.06.10

Sunday, June 11, 2017

සයුර මුණගැසුණු පසු..

සරැළි නැංවූ සිහින කරදියෙහි ගිලෙන කල
වෙරළ බැම්මෙහි හැපී බිඳී යයි සිනහ රළ
ගව් ගණන් ගෙවා ආ ගංගාව ගිලී මළ
සමුදුරක් තිබුණාද අප දුටුව සිහින වල

                                                          -මුදිත්-
                                                    2017.06.10


Tuesday, April 25, 2017

සොඳුරිය...

බඳෙහි තැන තැන වණවී
පියාපත් එක එක ගිලිහී
හැලී, විසිරී ගිය දාක..
අහසක චමත්කාරය,
සුළඟක් සුසුම්ලන රාවය,
එදවස- පියහඹා ගිය දිනවල
ආකාස උයනෙහි මතක..
සොඳුරිය,
යළි යළිත් නො අසන්න...

කිරි කහට සංවාද වල
කෝපි රහ හැන්දෑ වල
නොදන්වා උදා වූ
'සන්ධ්‍යාව' නම් මොහොතක,
රංචුවම එක යායට
පියහඹාගෙන එනකොට..
මා දිහා හොරැහින් නොබලන්න...
පෙඳ සිඳුණු තටු අතගා
රිදෙනවාදැයි නො අසන්න...

                                              -මුදිත්-
                                        2017.04.25


*සිතුවම: Nostalgia by Dan Bunea

Saturday, April 22, 2017

මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන...

ඇහැරියෙ නැති වුණත් කඩුපුල් මල් යාන
අසිරියෙ නැහැ නොවෙද අඩුවක් රැය ගේන
සිසිරයෙ මීවිතක් මෙන් හිත පිරිමදින
මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන

                                                   -මුදිත්-
                                           2017.08.04

ප්‍රේමය දිය දහරක් ව පැවතින...

මලින් මල් ගැවසී ගිය
අතින් අත් පැටලී ගිය
හරිත උද්‍යානයේ ඉපැදී,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

උඩු ගං බලා පිහිනා ගිය
මත්ස්‍ය, දියකා පිරිවර ද..
ඔහේ පහලට ගලා ගිය
වියැළිව හැලුණු තුරුපත් ද, මල් පෙති ද..
මුහුලසෙහි ගවසාගෙන,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොදන්වා සපැමිණි ග්‍රීස්මෙක
"නවතිනු" යි කී විට ඉඩෝරය
ඔච්චමට සිනා සී
නොනැවතී ගලා ගිය,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොනැවතී සිඳු තෙක් පැමිණ
සිනහ සී අතිනත් බැඳි දාක
කරදියෙහි ගිලී
මිය යන තුරු ම
ඔව්..!
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

                                            -මුදිත්-
                                     2017.04.08

Sunday, February 12, 2017

ඒ තමයි මගෙ සෙනෙහස...

නුඹ සඳ ව
ගලා එයි පාතට,
තෙම තෙමා තනි යහනත..
දෝතට ගනිමි සඳ වතුර
දැන දැන ම
හලාහල විෂ බව...

සඳ එළිය
කොපුළතෙහි තවරන
හැම හාදුවම කෙළවර..
කඳුළකි,
ඇහි පියන'තර සිරවෙන..
ගලා එන්නට නියමිත...

ඒ තමයි මගෙ සෙනෙහස...
                                                -මුදිත්-
                                        2017.02.12

Saturday, January 28, 2017

සරෝජා..

මහ වැසි වැටෙයි නුවරට..
සරෝජා,
නුඹ අවුත් වැස්සක්ව
හෙමිහිට
ඇද වැටෙයි
හිත් පෙති මත...

කඩුපුල් ය, රෑ කුමාරි ය
රැයක පිපි වන මල් ය,
නුවරින් ගව් ගණන් ඈතට
දිව ගිය පළමු වැනි පාඩම...

"වනක්කම් ආසිරියර්"
නන්නාඳුනන අකුරුය..
ඒ වුණත්
උණුහුම් ම වචන ය...

එකෝමත් මහ රෑක
ආනා, ආවන්නා
ඊනා, ඊයන්නා
එකට ලිව් ලොකු අකුරු
හෝඩියම විසුරුවා ගෙන
මහා පිපුරුමෙන් පසු,
යළිත් දළු දැම්මා
විශ්වය..

ඒ වුණත්
ඇස් පොඩි අතර හිස්තැන
සරෝජා,
නුඹේ පොඩි ඇස් දෙක...

කැටයම් කැපුව හැක කඳුලක
ඇවැසි නම් රැකගන්නට
සමරුවක් ලෙස සදහට..
ඒ වුණත් කඳුළු වත් නොහලාම
නුඹ සැඟව ගොස් තිබුණා
තිත්ත ම තිත්ත කළු කුහරෙක...
                                              -මුදිත්-
                                      2017.01.29