එක එක හැඩෙන් කියවන්න

Monday, September 21, 2015

ගඟක්...

ගලා එන ගඟකට
ගලින් ගල පැන
තැළුණු අත පය සනසගන්නට
ඉසිඹුවක් ගැන හිතක්
පහළ වෙන්නට නොහැකිද...?

සයුරක් සොයා එන
එහෙව් ගඟකට
තනාදී බෑවුමක්
"ඉතින් පැනපන් පහළට"
කියා සිරි නරඹන
ලෝකයත් කෙතරම් රුදුරුද...?

                                             -මුදිත්-
                                      2015.09.21

ඒ දවස් දහසය....

රෝහල් සයනයක පාමුල
බොල් කොන්ක්‍රීට් පොළොවක
මල් පිපෙන්නට හැකි බව
කියා දුන් ඒ දවස් දහසය...

දුනු හී අත දරන්
සැරිසරද්දී පිරිවර
වෙද නළාවක් අත දරන්
සැප දුක සෙවූ කැමිලියා මලකට
සිත නිවාලන්නට හැකි බව
කියා දුන් ඒ දවස් දහසය...

අහර පිඬු, දිය බිඳු පවා උරණව
කුස අතැර හැරී එද්දී වියරුව
සේලයින් බිඳුවක දියවූ
කැමිලියා සුවඳකට
පණ ගැටගසන්නට හැකි බව
කියා දුන් ඒ දවස් දහසය...

පිය නගද්දී ක්ෂිතිජය සිට මෑතට
අහස පොළොවට දුර බව
අවසාන මොහොතේ පවා නොකොට අමතක
කියා දුන් ඒ දවස් දහසය...

                                             -මුදිත්-
                                      2015.09.19

බුම්මාගත් වැහි වළාකුළු...

අඳුරු කර වත
නිකට ද මඳක් උස්සාන
වැහි වළාකුළු ඇත
කඳු මුදුන් නොදැක්කා සේ යන
තරහෙන් බුම්මාන...

කොයි හැටි වෙතත්
යනෙන එක වරෙක වත්
හොරැස් අග්ගිස්සෙන්
එකම බැල්මක් වත් හෙලා යන
පුරුද්දක් ඇත වැහි වළාකුළකට
තව අතැර ගන්නට බැරි වුණ...

                                   -මුදිත්-
                            2015.09.19

කිරි අම්මා උන් මහගෙදර....

අවාරෙට ගමට ගිය දවසක
නළවමින් කිරට හඬනා සිත
නතර වෙමි මම තවම
කිරි අම්මා උන් මහ ගෙදර
ගුරු පාර අද්දර...

"කිරි අම්මගෙ හිතත්
මේ ඉඩම වාගෙයි"
මායිමක් නොතිබුණු බව
ඕපපාතික තාප්පයකට
කොහොමින් කියා දෙන්නද..
මෙපිටින් නතර වෙමි මම,
ගේට්‍ටුව අතරින්
මතකයට හැක ගොසින් එන්නට...

ඉස්සරම දවසක
සෙල්ලම් ගෙයක් ඉදිවුණ තැන
පෙම් කුරුළු කූඩුවකි අද
දවස තිස්සේ දුක කියන
නොතේරෙන බහකින් හඬන...

එදවස මිදුලේ තැනින් තැන
දුව පැන නැටූ ලෙහෙනුන්
ගී ගැයූ විහඟුන්
නැත උන් අද දකින්නට
කොහේ හෝ යන්නට ඇත...

සුදෝ සුදු හුණු බිත්ති කම්මුල්
"මේක් අප්" පුයර තවරාගෙන
රෝස පැහැ ගෙන ඇත අද..
සංසාරෙ පුරාවට
වට්ටියක් පුරා බුදු පුදට මල් දුන්
පිච්ච පඳුරත් නිවන් යන්නට ඇත...

බුදුන් වැඩ හුන්
"ඉස්සරහ කාමරය"
පාළුය, දොර අගුළු ළා ඇත..
සමහර විටෙක දැන්
ඉස්ටෝරු කාමරයක
මෙහෙය ඉටුකරනවා ඇත...

ඉඩමේ කෙළවරක, මුල්ලක
වැල් පඳුරු ගාලෙන් වටව
තවමත් සොහොන ඇති
කිරි අම්මා නිදන..
තවමත් එදෙසින් හමයි
සෙනේබර පවනක් ඉඳහිට...

රත් කළ පොල්තෙල් අතක්
හිස් මුදුනේ තියා පිරිමදින්නට
බණ පදයක් දෙකක්
මුමුණමින් හිස අතගාන්නට
ඉඩක් නොතියා අප
සංසාරයේ අතරමං වන්නට
නිර්වාණයට මෙපිටින්
කිරි අම්මා නතර වෙන්නැති, සමහර විට....

                                                  -මුදිත්-
                                           2015.09.03