එක එක හැඩෙන් කියවන්න

Saturday, May 15, 2021

අත් පිටපත

 


           ඊයෙ රෑත් වැස්සා. ඒත් හෝ ගාලා නෙමෙයි. ඒ වෙනුවට දවස පුරාම තිබුණේ චිරි චිරියක්. හෝ ගාලා නොවැස්ස නිසා ඔලුවට ආපු සේරම හෝදගෙන ගියේ නෑ. ඒ වෙනුවට ඔලුවට ආපු දේවල් වලින් සෑහෙන තරමක් කඩදාසිය උඩට අමාරුවෙන් හලාගන්න පුලුවන් වුණා. මං ඇහැරුණා. මට දකින්න ඕන වුණු පළවෙනි ම දේ වුණේ වැස්සකට පස්සෙ පායන ඉරේ එළිය. ඒත් ජනෙල් වීදුරුව වහගෙන එල්ලිලා ඉඳපු ජනෙල් රෙද්ද, ඒ එළියෙන් සෑහෙන තරමක් නැවැත්තුවා. කාමරේ ඇතුළට අමාරුවෙන් රිංග ගතපු එළිය ටිකෙන් මට පෙනුනෙ මේසෙ උඩ ඇරල දාපු ලැප්ටොප් එකයි, ඒකට එහා පැත්තෙන් තිබුණු බාගෙකට ටිකක් වැඩියෙන් ඉවර වෙලා තිබුණු ඕල්ඩ් රිසර්වු බෝතලෙයි, පතුලෙ ඉතුරු මණ්ඩි ටික එක්ක තියෙන වීදුරුවයි. මේ සේරටම මුල වුණු ස්ක්‍රිප්ට් එක ආයෙම මගේ ඔලුවට ආවෙ ඒ වෙලාවෙ. හරි නම් සේරටම කලින් ඉස්සෙල්ලම මට මතක් වෙන්න තිබුණෙ ස්ක්‍රිප්ට් එක.

            දාහක් වැඩ අස්සෙ වුණත් මං ගෙදර ආවෙ, පහුගිය ටිකේ කොළඹ මට නොදුන්න මොනව හරි දෙයක් හොයාගෙන. ඒක නිදහස වෙන්න බෑ. මොකද මට ඕනෙවටත් වඩා නිදහසක් කොළඹ මට දුන්නා. රස්සාවක් විදියට ලියන්න, ඕන කරපු හැම දේම එතන තිබුණා. ඒත් මේ ස්ක්‍රිප්ට් එක මට ලියන්න ඕන වුණේ නෑ. ලියන්න කියපු ප්ලොට් එකම මට සෙට් වුණේ නෑ. ඒත් මට ඒක ලියන්න ම වුණා. මේ පළවෙනි වතාවත් නෙමෙයි, මීට කලිනුත් එහෙම ලියන්නම වුණු දේවල්- වෙලාවල් තිබුණා. හැබැයි මේක ඒවට වඩා වෙනස් වුණා. අන්තිමේ ලැප් එකයි, නෝට් බුක් එකයි එක්ක හදිසියේම හවස Highway Bus එකක නැගලා ගෙදර එන්න වුණේ ඒකයි. ඒ ආපු දවසෙම මේ වැස්ස වහින්න ගතපු එකත් පුදුමයි. තෙහෙට්ටුවත් එක්ක මට ඕන වුනේම සරමකට බැහැලා දවල් වෙනකන් හොඳට නිදාගන්න. ඒත් ඔලුවෙ මහ බරක් විදියට තිබුණු ස්ක්‍රිප්ට් එක ඒකට හරස් වුණා. අන්තිමේ ලැප් එකත්, ඕල්ඩ් රිසර්වු බෝතලෙත් එක්ක මට රෑ ගෙවන්න වුණා. වැහි දවසක හැන්දෑවෙ පොතකුත් එක්ක ඇඟට ඇල්කොහොල් ටිකක් වැටුනහම දැනෙන දේත්, ලියාගන්න බැරුව හිර වෙලා ඉන්න වෙලාවක ලිවිල්ල වෙනුවෙන් බොන එකත් කියන්නෙ අහසයි, පොළවයි වගේ අන්ත දෙකක දේවල් දෙකක්. මම කවදාවත් ලියන එක වෙනුවෙන් බොන්න ආසා කරේ නැහැ, ඒත් එහෙම කරන්න වුණු වෙලාවල් කොතෙකුත් තිබුණා. ඊයෙ රෑ වුණෙත් ඒකයි. කතන්දරේ ඔය විදියට පිළිවෙලට ඔලුවට ගලාගෙන එද්දියි, මට ස්ක්‍රිප්ට් එක ඊයෙ රෑ එළියට විසි කරපු බව මතක් වුණේ. සමහර විට ඕල්ඩ් රිසර්වු එක ඇදේට වැඩකරා වෙන්න පුලුවන්. කොහොම වුණත් ඒ ස්ක්‍රිප්ට් එක හොඳ ගානක් අතට එන වැඩක්. මට එළියට යන්න තද ඕන කමක් ආවා. එකක් ස්ක්‍රිප්ට් එක හොයාගන්න, අනිත් එක අව්ව ටිකක් වැටෙන්න.

            අන්තිමේ මං එළියට බැස්සා. ජනේලෙන් එළියෙ ස්ක්‍රිප්ට් එක පේන්න තිබුණෙ නෑ. ඒ වෙනුවට වෙනම ස්ක්‍රිප්ට් එකකට වටපිටාව ලෑස්ති වෙලා තිබුණා. එහෙන් මෙහෙන් බැහැපු වතුර පාරවල් මිදුලෙ පොඩි පොඩි වලවල් වලට සෙට් වෙලා හිටියා. තියෙන තත්වෙ හැටියට ස්ක්‍රිප්ට් එක අහුවුණත් ඒක දියවෙන තරමට පෙඟිලා ඇති. ඒ වුණත් ඒක යන්තමට පෙනුනත් මතක ටිකත් එක්ක කවලම් කරලා ටයිප් කරලා දාන්න තිබුණා. මගේ තත්වෙ ඉන්න අනිත් එවුන් කරේ කෙලින්ම ලැප් එකේ ටයිප් කරන එක. හිතට එන දේවල් එවෙලෙම ටයිප් කරන වැඩේ කොච්චර කරන්න හැදුවත් මට අල්ලලා ගියේම නෑ. අන්තිමේ මං පුරුදු විදියටම අතින් ලියලා පස්සෙ ටයිප් කරන පුරුද්දෙම නතර වුණා. කොහොමින් හරි අන්තිමට වුණේ අතට කීයක් හරි හොයාගන්න තිබුණු එක නැතිවෙච්ච එක. කල්පනාවෙන්ම හෙමින් සැරේ මං පල්ලම් බහින වතුර පාරක් එක්ක පහළට ඇවිදගෙන ගියා. ගෙදරට පහළින් තිබුණෙ රබර් මණ්ඩියක්. ඉස්සර ඔට්ටපාලු බෝල හදන්න, ඔට්ටපාලු ගලවන්න ඕකට රිංගන පුරුද්දක් තිබුණා. මං රබර් මණ්ඩිය අයිනෙන් වැටුණු අඩි පාර දිගේ ඇළ පැත්තට පල්ලම බහින්න ගත්තා. එහෙන් මෙහෙන් ආපු වතුර පාරවල් සේරමත් එක එක පාරවල් කපා ගෙන ඇළ අහුවෙනකල් ම පල්ලම බැස්සා.

ඇළේ කණ්ඩිය වුණේ සිමෙන්ති බැම්මක්. තව ටිකක් එහාට වෙන්න ඇළට වතුර එන තව පාරක් තිබුණා. ඒ පාරෙ බෑවුම ටිකක් වැඩි නිසා වැස්සකට පස්සෙ ඒ වතුර පාරට පොඩි දිය ඇල්ලක හැඩයක් ලැබුණා. ඒ බෑවුම කෙළවර තිබුණු ගල් තලාව දිගේ ගලාගෙන ආවයින් පස්සෙ, වතුර පාර ඇළට එකතු වුණා. ගල් තලාව උඩින් වැවිලා තිබුණු වැල් ගාලක හෙවණ හින්දා හැමදාකම වගේ ගල් තලාව වහගෙන පෙඳ පාසි තට්ටුවක් තිබුණා. ඉස්සර මේ ඇළ කණ්ඩිය දිගේ ආපු ගියපු දවස් තිබුණා. අපේ ගෙදර ඉඳන් පන්සලට යන්න තිබුණු ලඟ ම පාර වුණේ මේක. ඇළ ට විරුද්ධ පැත්තෙන් තිබුණෙ වෙල් යාය. ඇළේ ඉඳපු මාළු, ගම්මු වගේ කියලා මට හිතෙන්න ගත්තා. උන්ගෙ හරි අමුතු, උන්ටම අනන්‍ය පැවැත්මක් තිබුණා. උන්ට ලස්සන දිස්නෙ ගහන පාට තිබුණේ නෑ. උන් මඩ පාට, අතේ ඇඟිල්ලක් විතර සයිස්, අහිංසක මෝඩ මාළු ජාතියක්. ඒ නිසා අපි ඒ කාලෙ හැඩ බැලුවෙත්, කෑම දැම්මෙත්, පන්සලේ ඉඳපු පාට මාළුන්ට. කොහොම වුණත් ඇළ දිගේ යන එන හැම වතාවකම ඇළේ ඉඳපු මාළුන්ගෙන් පොඩි ආතල් එකක් ගන්න සිරිතක් අපේ තිබුණා. වතුරට දාන ඕන දෙයක් කෑමක් කියලා හිතන, උන්ගෙ මෝඩ පුරුද්ද නිසා අපි ගස් වල කොළ, කෑලි කෑලි වලට කඩලා වතුරට දාලා උන්ව ඇවිස්සුවා. ඒ හැමදාකම උනුත් එක වගේම රැවටිලා ඒ කොළ කෑලි වලට හොම්බෙන් ඇනලා ඇති වුණාම ආයෙත් වතුර යටට ගියා. ඇළට කෙළ පාරක් ගැහුවත් උන් ඒකම කළා. එක අතකින් උන් හරි, ඒක උන්ගෙ මෝඩ කම නෙමෙයි. උන්ව දැනගෙන ඉඳපු, ඒ වගේම උනුත් දැනගෙන ඉඳපු එකම මනුස්ස පරාණෙ වුණේ පන්සලේ නැවතිලා ඉඳපු වයසක මනුස්සයා. ඒ මනුස්සයා හැමදාම උදේ හවස බත් අහුරක් දෙකක් ගෙනත් ඒ මාළුන්ට දැම්මා. පස්සෙ කාලෙක පන්සලට ආපු පොඩි හාමුදුරුවොත් ඉඳපු ටික කාලෙ ඒ වැඩේම කළා. ඉතින් ඒ මාළු මිනිස්සු ගැන දැනගෙන හිටියෙ එහෙමයි. ඒ හින්දම උන්ගෙන් ආතල් ගන්න ආපු අපිටත් උන් එහෙමම සැලකුවා.

මගේ කල්පනාව ගැස්සිලා ගියේ ඇළ කණ්ඩිය දිගේ ඇවිදන් එන මනුස්සයෙක් දැකලා. ඈතින් දැක්කත් ඒ මනුස්සයගෙ ගමනෙ ඉඳන් ම මොකක්දෝ හුරු ගතියක් තිබුණා. අතේ තිබුණෙ රිටක්. පොඩ්ඩක් ඉස්සරහට නැමිලා ඇවිදින ගමනෙ පොඩි පය අද්දවන ගතියක් තිබුණා. කැහිපොට ගහපු සරමකුත්, පරණ පාට ෂර්ට් එකකුත් ඇඳපු වයසක මනුස්සයෙක්. මට දැනෙන හුරු ගතිය යටපත් කරගන්න මං සෑහෙන වෙර දැරුවා. ටිකක් ලං වෙද්දි මට මනුස්ස රූපෙ පැහැදිලි වෙන්න පටන් ගත්තා. පුදුමයක් දැනෙන්න ඕන වුනත් එහෙම පුදුමයක් දැනුනෙ නැති එක ගැන මං ඊට පස්සෙ පුදුම වුණා. ඒ අපේ සීයා. සීයා මැරුණෙ ගිය අගෝස්තු වල. මං දැක්කා කියලා සීයගෙත් කිසි වෙනසක් පෙනුනෙ නෑ. ඔහේ ආපු තාලෙටම ඇවිදන් ආවා. මට කිට්ටුවෙන් නැවතුනා.

“ඒ ලොකු පුතේ, ඔහේ ඔය පන්සලට යනවයි..?

සීයා ඇහුවා. මට උත්තරයක් තිබුණෙ නෑ.

“නැහ්” මට කියවුණා.

“මං උන්නෙ දානෙ සැට් එක ගන්න ආවයි කියල..”

“සැට් එක... අද දානෙද?” මට ඉබේටම කියවුණා.

            එතකොටත් සීයා මාව පහුකරන් අඩි කීපයක් ගිහින්. සීයා එහෙමම පන්සලට යන තැනින් හැරුණා. මැරුණු මනුස්සයෙක් ආයෙ දැක්කම දැනෙනව කියලා අහලා කියවලා තිබුණු විදියෙ කිසිම හැඟීමක් මට දැනුනෙ නෑ. පරණ පුරුද්දට මං ඇළට කෙළ පාරක් ගැහුවා. මාළු තාමත් පරණ විදියමයි. උන් ඒක එක්ක පාවෙලා යන ගමන් ඒකට ඇනගෙන ඇනගෙන ගියා. ඒක එක්ක ඇළ පාර දිගේ ගියපු මගේ ඇස් දෙක නතර වුණේ ඇළ අයිනෙ ඉඳන් මැදට වැවිලා තිබුණු ගාලක රැඳිල තිබුණු කහ පාට කොළේක.

“ස්ක්‍රිප්ට් එක”

            මට ඒ කඩදාසිය ඕන තැනක අඳුරන්න පුළුවන්. කොටුවෙන් තොග ගාණට ගතපු අමුතු කහ පාට කඩදාසි මිටියක කොළයක් ඒක. මං අඩියට දෙකට එතෙන්ට ගියා. කඩදාසිය හොඳටම පෙඟුණත් තවම ඒ අකුරු යන්තමට කියවගන්න පුළුවන්කම තිබුණා. මං අහුලගතපු කෝටුවක අගිස්සෙන් කඩදාසිය පරිස්සමට උස්සන්න බැලුවා. හොඳටම තෙතබත් වුණු කඩදාසියේ සෑහෙන බරක් තිබුණා. කෝටුවෙ හීනි අගිස්සට ඒක බර බව පේන්න තිබුණා. පහළට ගලන වතුර එක්ක ගලාගෙන යන්න දඟලන කඩදාසිය නැවතිලා තිබුණෙ වතුරෙන් මතුවුණු මුල් කෑල්ලක පැටලිලා. මං කෝටුවෙ අගිස්සෙන් ඒ මුල් කෑල්ලට පොඩි තට්ටුවක් දැම්මා. ඒ වැඩේට, කඩදාසිය ගන්න වුණු මහන්සියෙන් එක බිංදුවක් වත් නොගියට, ඒ එක තට්ටුවෙන් කඩදාසිය, ගලන වතුර එක්ක ඇළ පාර දිගේ පහළට යන්න ගත්තා. කාලයක් තිස්සෙ කොළඹ මට නොදුන්නු මොකක්දෝ හෑල්ලුවක් ඒ එක මොහොතට මට දැනෙන්න ගත්තා. ඒ ඇසිල්ලෙන් ම මාළු රංචුවක් උඩ පැන පැන ඒකට අනින උන්ගෙ පුරුදු ප්‍රතිචාරෙ පටන් අරන් තිබුණා.

“ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ...”

මං හිතන්නෙ කවුරු හරි එහෙම කියනව මට ඇහුණා.

 

-මුදිත්-
15.05.2021

Monday, May 3, 2021

රිය කවුළුවට එපිටින්...

මන්දාරමක අවා'ඳුරු
පැල්ලම් ඇඳෙයි
කවුළුව මත,
වැහි බිඳුවක් ගැටී
වේගයෙන් යයි
මා පසුකර...

මොටෝ රිය පහනක
එළිය දියැවෙයි
වැහි බිඳුවක,
දැල්වී - නිවී, යළි දැල්වෙන
කදෝකිමි එළියකි
මා ඇස තුළ...

නතර වනු බැරි බව
කනට කොඳුරා කියා
ඉගිල්ලී යයි කාලය,
නුඹ පෙනී- නොපෙනී
යළිත්, යළි යළිත් යයි
රිය කවුළුවෙන් මා පසුකර...

-මුදිත්-
2021.05.03


Image by Mudith Vidanagamage