එක එක හැඩෙන් කියවන්න

Sunday, October 3, 2021

තෙමෙන්නම ඕන...

     "දැන් නම් අඩුවෙලා යයි.." මං එහෙම කිව්වත් මෙහෙම වැහි තව සෑහෙන වෙලාවකට ඉවර නොවෙන බව මං දැනන් හිටියා. ඒත් මං මගේ අසල්වැසි මගියාට බොරුවක් කිව්වා. ඒ සමහරවිට මේ පුංචි පියැසි තීරුව ඇතුලෙ තියෙන සුව පහසුව තව කෙනෙක් එක්ක බෙදාහදාගන්න තියෙන නොකැමැත්ත වෙන්නත් පුළුවන්, එක්කෝ මිනිහා, තමන්ගෙ අතේ තිබුණු කුඩේ ගැන වැඩි තක්සේරුවක ඉන්න බව මට ඇඟෙව්ව නිසා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඒක වචනෙකට ගන්න බැරි මොකක් හරි හැඟීමක් එක්ක මතු වුණු හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වැස්ස තුනී වෙන්න හදන බව පෙන්නන්න අහස මවාපාපු ලකුණු වලට, කුඩයක් අතේ තිබුණු උජාරුවත් කවලම් වුණු නිසා මිනිහා ඒ තුනී වැස්සෙ එළියට බැස්සා.

     කාලයක් තිස්සෙ මේ වැස්ස හුරු නිසාත්, කුඩයක් පාවිච්චි කරන පුරුද්ද අතෑරල දාපු නිසාත් තව ටිකක් වෙලා මේ පියසි තීරුව යටට වෙලා වැස්ස දිහා බලන් ඉන්න මං තීරණය කළා. දැන් මං ඉස්සරහ තියෙන කෙලින් විහිදෙන පාර දිගේ, පේන දුරකට ඉන්න එකම ප්‍රාණියා අර තරුණයා විතරයි. දහ අටක් ඇති වයස, ඒක එහෙම නම් මගේ වයසෙන් හරියටම බාගයක් ඇති. වැස්සකට තෙමෙන්න බැරි වයසක් නෙමෙයි ඒක... මට මගේ කල්පනාවෙ මිනිත්තු දෙකක් නැත්නම් තුනක් ඉන්න ලැබෙන්න ඇති, වැස්ස එක පාරටම කීප ගුණේකින් සැර වැඩිකළා. ඒක කුඩේකට කොහෙත්ම දරන්න පුලුවන් වැස්සක් නෙමෙයි. වැස්සත් එක්ක අන්දුන් කුන්දුන් වුණු තරුණයගෙ ඡායාව දිහා සුදු පාටට වැටෙන තද වැස්ස අතරින් මං බලාගෙන හිටියා.

     වැස්ස එක්කම ආවෙ තද හුළඟක්, මෙහෙම වැහි එක්ක හැමදාම වගේ එන විදියෙ තද හුළඟක්. ඒ හුළඟ එක්ක ටිකක් වෙලා ඔට්ටු වුණු තරුණයගෙ කුඩේ ඊළඟ මොහොතෙ ඇඹරිලා යන හැටි මට වැස්ස අතරින් අපැහැදිලිව පෙනුනා. අවසානෙ අසීරුවෙන් කුඩේ අකුලගත්තු තරුණයා ආපහු මං ඉන්න දිහාවට පය තිබ්බා. මං හිතපු විදිහට ම ඉක්මන් අඩි.. ඒ කොහොම වුණත් තරුණයා මෙතෙන්ට නො එන බව මම එතකොටත් දැනන් හිටියා. හරියටම හරි... තරුණයගෙ වේගෙ අඩු වුණා. පියවර දහයක් වත් නෑවිත් මිනිහ නැවතුනා. මං හිතපු හැටියටම ආපිට හැරුණා. මේ තරම් තෙමුණට පස්සෙත්, ආයෙ මොකටද හෙවණක්..? තරුණයා ශාන්තදාන්තව යන්න ගිය දිහාවට ඇවිදන් යන්න පටන් ගත්තා.

     "සමහර වැහි තියෙනවා, ඒවට තෙමෙන්නම ඕන.." වැස්ස නවතින්න තව සෑහෙන තරම් වෙලාවක් යන බව දන්න හින්දම, මං හීතලට සිගරට් එකක් පත්තු කරගත්තා.


-මුදිත්-
2021.10.03

Image source: www.pinterest.com