Wednesday, December 19, 2018

වලාකුළ

     ආකාසයේ මුදුන් අත්තක, මං ඒ කියූ වලාකුළ පිපී තිබුණා හරියටම- ඒ හීනයේ වාගේම. අත්තටු කියා මොකවත් ම නැති වුණත්, මං කියන්නෙත් මිනිහෙක්, සෑහෙන්න උස. අත දිගු කරන මානයෙ ම නොවුනත් පොඩි ඉඩක් නොතිබුණා නොවේ වලාකුළ නෙළාගන්න. ඒ වුණත්.. වළාකුලක් ගෙන ඒම පොළොවකට.? තව තියා ලෝදිය බුබුළු ලන පෘථිවි හරයට යාරයක දෙකක දුර තැනක, වලාකුළක් ගෙනැවිත් තියන්නද එහෙම...?

     ඉතිං, මං විශ්ලේෂණය කළ යුතුයි වළාකුල ගැන. වළාකුලක් හිසට ඉහලින් පැවතීම, මිනිහෙකුට තමන්ගෙම කියා වළාකුලක අවශ්‍යතාව, විමසා බැලිය යුතුයි මම.

     තමන්ගෙම කියා පොද වැස්සක් වස්සා ගන්න, දාහයම වගුරවන, කැකෑරෙන දහවලක ඉසිඹුවක් විඳගන්න, සීතල බීර වීදුරුවක් එක්ක මොහොතක් වළාකුලක් යට ගතකරන්න...

ෂාහ්..! වළාකුලක් ඕනෑ...!! ඒ තමයි තීරණය.

     එක අතකින්, මේ මොහොතෙ මං ඉන්නෙ සමකාසන්න රටක, ශ්‍රී ලංකාවෙ- ඇතුගල. මද්දහනෙ ඇතුගලට ගිණියම. ඇතාගල පුපුරු ගහන්නෙ පොලා පනින දාහයෙන් වලාකුළු පවා දවාගෙන. මේ මොහොතේ ම දාහයට අහුවෙලා වියැළිලා, නටුවෙන් ගිලිහිච්ච වලාකුළු කෑල්ලක් ඔහේ ගහගෙන ගියා හුළඟට. ඒ වලාකුළ ගැන දුක හිතුනා මට. මේ මොහොතේ සර්වබලධාරී දෙවියන් විදියට, මං තීරණය කලා, තර්ක විතර්ක නැතිවම- වලාකුළක අවශ්‍යතාව යථාවක් බව.

     මගේ ඊළඟ මෙහෙයුම, පෘථිවි හරයට යාරයක දෙකක දුර හිඳිමින් ම පෘථිවි හරය නිවා දැමීම. එක් අතකින් සෞරග්‍රහ මණ්ඩලයට ම තියෙන එකම නීල හරිත ග්‍රහලෝකයට, බුබුළු නැගෙමින් පැසෙන හරයක් මොකටද..? ළය මැද්දෑවෙන් අප්‍රමාණිකව නැගෙන සුසුම් ගුලි කර, බුබුළුලන හරයට දමා ගැසීම අති සරල පියවරක් වුණත්, ඇවිලෙන්නට ම උපන් සුසුමකට පුලුවන් ද, බුබුළු නැගෙමින් පැසෙන ලෝදිය නිවා දමන්න..?

     මං තීරණය කලා තෙත් බර සුළඟක් තනන්න. සුසුම, හුස්මක් කළ යුතුයි ඒකට. සෑහෙන ඉවසීමක් ඉල්ලා හිටින වැඩක් ඒක. ඊළඟට ඇවැසියි තෙත් බර හැඟුම් අල්ලක් ම..
මං තීරණය කළා වළාකුල ගැන හිතන්න. හරියට ම හරි..! මෙන්න උනනවා තෙත- හිත යට..

     එතකොටමයි කඩා පැන්නෙ නරුම වෘක රෑන ආකාස උයනට. උන් තවත් බෝ දුරයි, වලාකුළ පිපි මුදුන් අත්තට. ඒ වුණත් මං දමා ගැහුවා දරදඬු සිතුවිලි අහුරකින් උන්ට. කොහෙද.. උන් හෙලවුනේවත් නැහැ ඒකට.

ඒත්...!
මං හීනෙකින්වත් නොහිතපු විදියට එකම එක කෙසඟ වෘකයෙක් ඉවකළා සිතිවිලි අහුර. ඌට නම් ඒක හිතට අල්ලාපු ගානයි. ඌ, මං දිහා බැලුවා එක එල්ලේම. තත්පර දෙක- තුනක බැලුම් හුවමාරුවක්, සිතිවිලි හුවමාරුවක්.. ටෙලිපති.? කෙසේ හෝ වේවා, වෘකයාගෙන් ලැබුණා සිතිවිල්ලක් මට- අනතුර පහව යන බවට. ඒක අති ක්ෂුද්‍ර සහතිකයක්, සොබා දහම විසින් අත්සන් කළ- ලියා ඇති මා නමට.

     මේ සියල්ල අතරතුර තෙත බේරෙන වැහි අල්ලක් කඩා වැටෙනවා මගේ සිතිවිලි මතට, නොනවත්වාම. තෙත හුස්ම රැල්ලක්- දෙකක්- තුනක්.. නැහැ, අනන්ත වූ ප්‍රමාණයක් ම..

     එක ඇහි පිල්ලමක් සැලෙන සුනංගුවට මගේ ළය පුපුරුවාගෙන මහා තෙත හුස්ම කැටියක් නික්ෂේපණය වුණා පෘථිවි හරයට.
පෙළහරක්...?
ඔව්..! ඔබ කැමති නම්, ඒ කුඩා පෙළහරක්..
පෘථිවිය ඉල්ලා සිටියා යම් කාලයක්, නිවී යාමට. උදා වූ, වෙමින් තිබූ සෘතු නැවතුනා- ඒ ඒ කාල රාමු තුළ ම. ඇතැම් ගංගා, දිය ඇළි, ඒ ඒ තැන් වල ම. මොහොතකට හෝ ගල් ගැසී විශ්වයම..

     මම හැරුණා වලාකුළ වෙත. ඈ ඇතිකලා ශීතල ස්පර්ශයක් මා අත. පුදුමයි තිගැස්මක් වත් නැති කම. මං නැවත බැලුවා පෘථිවි හරය දෙස. සූ සූ ගාමින් නිවෙමින් සිටියා එය. නිවි නිවීඊඊඊ යමින් ම... එක්වරම කෙටුවා තද විදුලි සිතිවිල්ලක් අහස මත, වැහි කෝඩයක ලකුණක් වත් නැතිවම.

මං හිතන්නෙ, තද නින්දකට වැටුණා මම...

     ඇහැ ඇරී බැලුවා මම, නැහැ- බැලුණා මට. වලාකුළ දෙස. නිල් ම නිල් පාට ආකාසය..? එක වලාකුළකුදු නැති ආකාස උද්‍යානය..? දීප්තිමත් තැඹිලි ආලෝකයක් මා වට. ඇස් ගිණි කවන කාන්තිය..! ආලෝකය..!! ගත පුළුස්සන රශ්මිය..!!! වලාකුළ..? මැකී ගිය ලකුණකුදු නොමැතිවම මැකී ගිය..

     පෘථිවි හරය නිවෙමින්..? නැහැ. පැසවන පෘථිවි හරය තුළ මම..! මට දැනුනා දාහය, ගිණියම. සම දවා නැගෙනා පිළිස්සුම. කොහෙන්දෝ නින්නාද දෙන හඬක්..! ඉඟියක්..!!

"සෙල්සියස් අංශක 6000 යි. මේ ක්‍රි.ව. 2025. සාදරයෙන් පිලිගනිමු ඔබ, පෘථිවි හරයට...!!!"

-මුදිත්-
2018.12.19

No comments:

Post a Comment