එක එක හැඩෙන් කියවන්න

Sunday, May 31, 2020

ජීවිතය ඩොලර් විස්සක්..!



අමෙරිකාවේ මිනෙසොටාහි දී පොලිස් නිලධරයෙකු විසින්, ඩොලර් විස්සක සොර මුදල් නෝට්ටුවක් භාවිතා කළැයි සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී, දණහිසක් සැකකරුගේ ගෙල මත තබාගෙන හිඳීම හේතුවෙන් අදාල සැකකරු ගෙල සිරවී මියයයි.
-පුවතක්-

වර්ණදේහය රුදුරුව
වැඩියෙන් වැගිරුවා මෙලනින්..
ඉතින් උඹ කල්ලෙක්,
තාර කළු කල්ලෙක්..

ඔව්..!
ෆ්ලොයිඩ් උඹ,
සුධාවල ලෝකයක,
තිත්ත කළුවර තිතක්..
නැවුම් කිරි කොතළයට,
අතහැරුණු ගොම බිඳක්..
ගෙල සිරවුනේ එහෙයිනි,
සුදෝ සුදු පයකින්,
ජීවිතය ඉල්ලූ 
අවසාන මොහොතේදිත්...

ජීවිතය ඩොලර් විස්සක්,
ඔව් ෆ්ලොයිඩ්,
ජීවිතය ඩොලර් විස්සක්..!

-මුදිත්-
31.05.2020

පසු සටහන: 
කළු ජාතිකයෙකු වන "ජෝර්ජ් ෆ්ලොයිඩ්" නැමැත්තා ඉකුත් විසිපස් වැනිදා අමෙරිකාවේ මිනෙසොටා හි දී සුදු ජාතික පොලිස් නිලදරුවකු විසින් අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ ඩොලර් විස්සක සොර මුදල් නෝට්ටුවක් භාවිතා කිරීමේ වරදට සැකපිට ය. එහිදී ෆ්ලොයිඩ් විසින් අත්අඩංගුවට පත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් "ඩෙරෙක් චෝවින්" නම් වන අදාල නිලධාරියා විසින් සැකකරු බිම පෙරලා මිනිත්තු නවයකට ආසන්න වේලාවක් සිය දණහිසින් සැකකරුගේ ගෙල තෙරපා ගෙන හිඳියි. තමාට හුස්ම ගත නොහැකි යයි ෆ්ලොයිඩ් ආයාසයෙන් පවසා හිඳිද්දීත් දිගින් දිගටම එසේ හිඳීම හේතුවෙන් ෆ්ලොයිඩ් මිය යන්නේ මරණ මංචකයේදී "mommy.. mommy..." ලෙස සිය මව ඉල්ලා යදිමිනි .


සැලකිය යුතු පිරිසක් අවට රැස්වී හිඳිද්දීත් මෙසේ ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවීම පිටුපස ඇති සමාජ-දේශපාලනික කරුණු තම තම නැණ පමණින් කියවා ගැනීම ඔබට භාර කරන්නේ, සිරි ලංකාව වැනි රටක පවා වෙනත් පැහැයකින්, වෙනත් හැඩයකින් සිදු වූ මීට නෑකම් කියන්නා වූ සිදුවීම් මෑත ඉතිහාසයේ ද දුලබ නොවූ බැවිනි. කෙසේ හෝ, ඇමෙරිකානුවන් විසින් වරක් කළු ජාතිකයෙකු ස්වකීය රටෙහි ප්‍රධාන පුරවැසියා කළ ද මානව සංහතිය තුළ ඔඩුදුවා ඇති වර්ගවාදී විසරය සුවපත් කිරීමෙහිලා වන සැබෑ පිළියම එවැනි "තෙල් ඉලීමකින්" එහා ගිය ප්‍රතිකාරයක් විය යුතු බව, වටහා ගත යුතුව තිබේ.

-මුදිත්-

Thursday, May 28, 2020

ඒ මරණයෙහි හැඳුනුම්පත..

රාමසාන් දිනය වෙනුවෙන් පැවැත්වූ මුදල් ආධාර බෙදීමකදී, සිදුවූ තෙරැපීමකින් කාන්තාවන් තිදෙනෙක් මරුට.
-පුවතක්-

වසංගතයද? සාගින්නද?
ළයෙහි මිටි මෙළැවුණ
අවසාන සුසුමද?
තුළාවක ලා බැලුවම
වැඩියෙන් ම බර කෝකද?

තෙරැපෙන මිනිස් පොදියක
රාමලාන් සඳ මිරිකිණ..
නොදුටුවාවද මිනිසුනි?
අත ළඟම දිළිසෙනා කහවණු
දෑස් ගිණිකණ කෙරුවෙද?

නරුම වී ගිය පා යට
පෑගුනේ ඇය පමණද..?

සිදුරු වුණ සෙරෙප්පුය තැන තැන
කිලුටු කඩමළු රෙදි ය විසිරුණ,
ඉහළ දිගුකල අතකි මියැදුන
මේ තමයි, ඒ මරණයෙහි හැඳුනුම්පත...

-මුදිත්-
05.27.2020

සිතුවම: Angel of death- Andreduran

Monday, May 25, 2020

බුදුගෙයි මරණය

“ටාං..” මා පියවි ලොවට ආවේ ඒ හඬිනි. මෙතැන් සිට ඇරඹෙන ඝන්ඨා නාදය, වරින් වර තවත් හෝරා දෙක තුනක් මුළුල්ලේ වා තලය විනිවිදින්නට නියමිත ය. මම බෝ මළුවේ කොතෙක් වේලා සිටියා දැයි නිනව් නැත. ඇතැම් විට පැයක්, නැතිනම් ඊටත් වැඩියෙන්..

පොහොය නිසාවෙන් අද පන්සලේ සෙනග ය. මහා පිරිසක් ම නොවූවත්, වෙනදාට වැඩියෙන් සෙනග ය. මම හනි හනික, ගෙනා මල් කිහිපය වට්ටියක අඩුක් කර බෝ මළුවට වූයේ මීට සෑහෙන වේලාවකට පෙරාතුව ය. ඇත්තෙන් ම ඒ, මේ මහ සෙනග මගහරින්නට ම නොවේද..? බෝ මළුවේ සිහින් වැල්ල සීතල ය. දෙපයට සනීප ය. දෙ පතුළ ට දැනෙන සැනසුම දෙපයට ම ලබා දෙනු වස් මම දෙපය ම වැල්ල තුළ ඔබා ගනිමි. මඳ සුළඟ පවා සිහිලැල් ය. බෝ පතින් පත වැයෙන්නා වූ සියුම් රාවය, හමන සුළඟ හා ඒකාත්මික ය. කහ ගැහී ගිය පතක් නටුව අතහැර වැල්ල මත පතිත වෙයි. ඉඳහිටක සැඩ ව නැග එන සුළඟක් එවන් බෝ පත් එක දෙකක් වෙහෙර මළුවට ද ගෙන ගොස් අතහරියි. වෙහෙර මළුවේ කොනක ඇති අරලියා ගස ද කිරිය නිම කල මලක් අතහරියි. ඇතැම් විට මල විසින් ගස නටුව අතහරිනවා විය හැකි නොවේද? ගලා එන්නට වූ කල සිතිවිලි වලට නැවතුමක් නැත. බෝ පත පලා පැහැති ය. පත්‍රයක් හෙයින් සුවඳවත් නැත. එනමුත් සැහැල්ලු ය. එහෙයින් බොහෝ දුර පාව යා හැකි ය. නිදහස අසීමිත ය. අරලියා මල සුදු ය. සුවඳ ය. මන බඳන පෙනුමැති ය. එනමුත් බෝ පතට වැඩි බර ය. දුරට පා වෙනු නොහැකි ය. බෝ පත හා ගත් කල නිදහස සීමිත ය. මම ඔහේ ගලා එන්නා වූ සිතිවිලි දාමයෙහි ඇවිදිමි. මඳ ඈතක සිට එන හඳුන්කූරු දුමක් කරනා හිරිහැර ය හැර ඉතිරි සියල්ල යහපත් ය. හඳුන්කූරු දුම සුවඳ නැත. සාම්බ්‍රානි දුම සුවඳවත් ය. මතකයේ අඳුරු අහුමුළු පිරිමැද මොහොතකට හෝ සුවඳ කරනා සාම්බ්‍රානි දුමට මම ප්‍රිය කරමි.

“ඩග් ඩග් ඩග්..” මෙවර මනෝ සක්මන බිඳෙන්නේ අසල ගසෙහි බැඳ ඇති ලවුඩ්ස්පීකරයෙනි. පූජාව ඇරඹෙන්නට මත්තෙන් කවුරුන් හෝ මයික්‍රෆෝනයට තට්ටු කර දෝස විමසනවා විය යුතුය. තව මොහොතකින් පූජාව ඇරඹෙනු ඇත. එනම් නිස්කලංකභාවය සුනු විසුනු වන්නට නියමිත ය. ඊට පෙර බුදු ගෙට ගොස් පැමිණිය යුතුය. මම සීරුවෙන් පිරිස මගහැර බුදුගෙය තුළට පිවිසෙමි. උපාසක අම්මලා කිහිප දෙනෙකු හැරුණු විට කිසිවෙක් නැත. කදිම ය. මම සුවිසල් බුදු රුවෙහි දෑස් බැල්ම තුල ගිලෙමි. කවරෙකුගේ හෝ දෑතක් විසින් මෙය නිම වූවා විය යුතු නොවේද? පඬුවන් සිවුරේ සෑම රැල්ලක් ගානේ, දෑසේ මෘදු බැල්ම මවනා ඉසියුම් රේඛාවක් ගානේ නිමැවූ දෑතක් කොහේ හෝ තැනෙක තිබිය යුතු නොවේද? මම විස්මපත් වෙමි. සියල්ල පසක් කරගත් බැල්මක්.. පරම වූ සුවයෙන් නිවී සැනැහුන බැල්මක්..

මා බුදුන් වහන්සේ අයිති කරගෙන මෙන් ටික වේලාවක් ගත කරන්නට ඇත. උපාසක අම්මා කෙනෙකු මා නික්මෙන තුරු බලා හිඳින්නේ බුදු පුදට විය යුතුය. ඈ අතේ මල් ය. මා අතේ මල් නොවිනි. “වරදක් ද?” සිතිවිල්ලෙන් ම මම යන්නට හැරෙමි. එක්වරම මා නතර කෙරුවේ උපාසකම්මා ගේ දෑස ය. “පිළිම වහන්සේට පස්ස හරවනවද?” ඈ දෑස විමසයි. “කොහෙද ඉතිං ඒවයෙ ගාණක් නේද?” ඈ දෑස තවදුරටත් දොඩමළු ය. “ෂඃ.. මම පස්ස හැරෙව්වද?” මම මගෙන් ම විමසමි. ඇගේ දෑසින් කිසිත් විමසන්නට මට හයියක් නැත. “ම්..හ්.. ඔව් මං හිතන්නෙ. නෑ ඒත් හැරෙව්වෙම නෑ, හැබැයි හරවගෙන ආවා” ඒ මගේ සිත ය. මම නැවත පිළිම වහන්සේට මුහුණ හැරවූයෙමි. කෙමෙන් පස්සෙන් පස්සට අඩි තබන්නට වූයෙමි. උන් වහන්සේගේ දෑස මා වෙත ය. මා වෙත ද? මා වෙත ම ද..?

“කෑස්..!!!!” යමක් පයට පෑගෙනවාත් සමග ම නැගි මරහඬින් මා තිගැස්සුනි. “හත්දෙයියනේ..! මොකෙක් හරි පෑගුණා වත් ද?” මගේ සිත ද කෑ ගායි. යටි පතුළට තෙතක් දැනේ. මම බිම බැලීමට බිය වීමි. උපාසකම්මලා සිව් දෙනෙකුන්ගේ දෙඇස් මා වෙත ය. අර කී උපාසකම්මාගේ දෑස ද ඒ අතර ය. “පච්චියේ..! බුදු ගේ ඇතුළෙමයි”. “මොන මනස්ගාත ඔළුවල තියාගෙන ඇවිදිනවද” ඈ දෑස දිගින් දිගට ම වචන දමා ගසයි. බිම බලන්නට සිතත් ම මගේ දණිස් කටු හිරි වැටී යයි. ගේට්ටු කණුව මුළ පෙරැලි පෙරැලී උන් බලු පැටවුන් ද, වෙහෙර මළුවේ කොනක බැළලියක කටින් එල්ලාගෙන යමින් හුන් බළල් පැටියාද පෙළින් පෙළ මට සිහිවෙයි. “අනේ, ලොකු සතෙක් නං වෙන්න එපා” මගේ සිත හඬයි. “නෑ.. එක්කො නෑ.. මට පෑගුණේ දොරකොඩ තිබ්බ සඳකඩ පහණ” මම සිතන්නට උත්සාහ කළෙමි. “එතකොට මරහඬ දුන්නෙ සඳකඩ පහණෙ උන්නු ඇතෙක් වෙන්න ඇති” මගෙ ම සිත මා පෙළමින් කියයි. “ඇතෙක්..? ඇත් පැටියෙක්..!” මට මහාමායා දේවියගේ ගැබට වන් සුදු ඇත් පැටවා සිහිවෙයි. කොන්ද දිගේ හිරියක් ගලද්දී මම අසීරුවෙන් බිම බැලීමි.

“වළාමේ, මී පැටියෙක්” මා පයට තදවී ඇත්තේ දෑස් වත් නොහැරි මී පැටියෙකි. “වෙලාවට ලොකු සතෙක් නෙමෙයි” එසේ සිතුවද මගේ සිත තෝන්තු වෙයි. නළල දෙපසින් ඩා බිඳු වෑස්සෙයි. “මේ පවුකාර සත්තු. බුදු ගෙයි කප කපා පුරෝගත්තු පව් තමයි මේ, අම්මපා මටත් පව් පුරවන්න මගේ පයටම පෑගෙන්න ආවනේ. පව්කාර ජාතකේ...” ඒ මදිවාට නාකි හතර දෙනෙකුත් මා දෙස බලාගත්වනම ය.

“උඹ ආපු විදියට ඉස්සරහ හැරිලා ආවා නම් ඔය සතා පෑගෙන්නෙ නැහැනේ” මගේ සිත සුපුරුදු පරිදි මට විරුද්ධව කරුණු ගොණු කරයි. සිත යනු ම නිරයකි. විශේෂයෙන් මෙවැනි වේලාවට..

“එහෙම ආවනං බුද්ධ රූපෙට පිටුපාන්න වෙනවා, එහෙම උනානං ඒක මොන තරං පාපයක් ද?”මම සිතට කීවෙමි.

“අනේ නිකං පලයං, උඹේ මහ ලොකු ශ්‍රද්ධාව” සිත ද අතහරින්නේ ම නැත.

“ඇයි?” මම ද අත් නොහරිමි.

“එහෙනං උඹ මුලින් පිටුපාගෙන හැරුණේ?” සිත ප්‍රශ්න දමා ගසයි.

“ඒක අත්වැරදීමක්” මට පිළිමවහන්සේ සිහිවෙයි. “ඔව්, ඒක අත්වැරදීමක්”

“බොරුකාරයා, උඹ දැං මේ බුදු පිළිමෙ ඉස්සරහපිට ම උඹෙම හිතට බොරු කරන්න හදනවා, එහෙම කළා කියලා උඹට ගැලවීමක් නෑ” සිත නාඩගමක තාලයෙන් ගයයි.

“නැහැ, මට නොපෑගුණා නං මේ මීයා අර බැළලිට අහුවෙන්න තිබුණා, එහෙමත් නොවුණා නං මූ මේ බුදුගෙයි සේරම කප කපා විනාස කරල දාන්න තිබුණා. හොඳයි නැද්ද?” මම ද විසංවාදී සිතට පැරදෙන්නට සූදානම් නැත.

“ඔව් ඔව්, උඹ හරි. උඹ නිර්දෝෂයි. ඒකනේ උඹට වෙන්න ඕන, නෙ?” සිත ලෙහෙසියෙන් මා මුදාලන පාටක් ඇත්තේම නැත. “අනික උඹ ඔයතරම් නිර්දෝෂ එකා, ඇයි එහෙනම් මට උත්තර දෙන්න වදවෙන්නෙ? ඔය මී කුණ විසිකරල ආපු වැඩේ කරන් යන එකනේ ඇත්තෙ?” සිත එන්න එන්නම ඇණයක් වෙයි.

            මම සිත පසෙක ලමි. මට සිහිවන්නේ පිළිම වහන්සේ ය. මේ පාපය, මේ මරණය සිදුවූයේ උන් වහන්සේ ඉදිරියේ වීම කෙතරම් නම් අවාසනාවක් ද? ඇරත් මේ පාළොස්වකදා ම? මේ වරදකාරී සිතුවිලි මට සිතන්නට ඇවැසි වූ ඒවා නොවේ. මගේ වරදකාරී සිත අවුලන්නේ මා විසින් මද? නැතිනම් මේ මෙතැන මළ මීයා ද? එසේත් නොමැති නම් මා වෙත මේ එල්ල වී ඇති දෑස් යුග්මයන් ද? මට පිළිම වහන්සේ දෙස බැලීමට ඇවැසිය. උන් වහන්සේගේ දෙ ඇස ද මා විනිවිදිමින් මා වෙතට යොමුව ඇතැයි මට මැවි මැවී පෙනෙයි. මා පරල වී යන්නේ එය සිහිපත් වන මොහොතක් පාසා ය. මේ සියල්ල සිදු වූයේ අර උපාසකම්මාගේ දෑස කී විකාරය අසා බව උන්වහන්සේට කිව යුතුයැයි මට සිතේ. උන්වහන්සේගේ දෙඇස මගහැර මට මෙතැනින් නික්ම යා නොහැකිය. මම උන්වහන්සේගේ දෑස සිහිනගා ගන්නට උත්සාහ කරමි. එහි බැල්ම වූයේ මා වෙත ද? මා වෙත ම ද..?

            ඔව්, මම උන් වහන්සේගේ දෑස දෙස බලා සියල්ල කිව යුතුය. මම සිතට ධෛර්ය ය වඩා ගෙන පිළිම වහන්සේ දෙස බලමි. ඒ දෙඇස දෙස බලමි.

පුදුමයෙකි, නළියන මිනිස් පොදියෙන් ඔබ්බෙහි වූ තැනෙක, පන්සල් බිමෙන්ද, ඈත ලඳු දෙනි වැටියෙන්ද ඔබ්බෙහි වූ තැනෙක, අඩවන්ව ගිය ඒ දෑස ශාන්තව නතර වී තිබිණ.

-නිමි-

-මුදිත්-

24.05.2020


සිතුවම : අන්තර්ජාලයෙනි

Tuesday, May 19, 2020

අගුල

ඈ මෙහි රැගෙන ආවේ මෝසම් සුළඟකිනි. සුළඟකට පවා හැඳුනුම්පතක් ඇවැසි ඉසව්වක එය මෝසම් සුළඟක් ලෙස හැඳින්වීම වඩා උචිතය. අනෙක් අතට දුරුත්තක වැසි රැගෙන එන සුළඟක්, ඊසාන දිග මෝසමේ සුළඟක් නොවේ යැයි කාට නම් කිව හැකිද? වටිනාම කාරණය, ඇය ද එය එසේ විශ්වාස කළා ය.

“මා මෙහි රැගෙන ආවේ මෝසම් සුළඟකිනි.”

 

ඒ මතකයේ අත පෙවිය හැකි සීමාව ආසන්නයේ වූ දුරුත්තකි. කාලගුණ අනාවැකි පමණ ඉක්මවා විශ්වාස කළ හුදී ජනයෝ, ලඟ එන දුරුත්තේ ශීතල අවතක්සේරු කළෝහු ය. දෙසැම්බරයේ නත්තල් සීනු හඬ යන්තමින් වියැකෙද්දී ධීවරයෝ බහුදින යාත්‍රා  පිට නැගී නික්මුණෝ ය. ගොවීහු අලුත් බිජු වැපුරුවෝ හ. කවීහු ශීතලෙන් ශීත වුණු නොවැම්බරයක් ගැන, දුරුත්තට එකදු අකුරක් ඉතිරි නොකරම කවි ලියූ හ. අවසානයේ කාලගුණ අනාවැකි වලට පශ්චාත්භාගය පෙන්වමින් ඒ දුරුත්ත ඇඳෙන්නට විය. ඊසාන දිග මෝසම් සුළඟට ම ඇලී ගිය ශීතල හැම අස්සක් මුල්ලක් නෑරම විහිදෙන්නට විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එය අවාඳුරු-ශීත ලාටුවක් විය. තැවරුණු තැවරුණු තැන මුස්පේන්තුවම ඉතිරි කළ ලාටුවක් විය.

ඒ වන විටත් ක්‍රම ක්‍රමයෙන් කැටි ගැසෙමින් පැවති ශීතල අතරේ වුවද එතැන “පැජෙන්ඩාවක් 1” සංවිධානය කර තිබිණි. සුරූපී නිරූපිකාවන් රැසක් තම තම මෝස්තර ඇඟ ලා ගැනීමේ යුහුසුළුව සිටි අතර ඈ සිය මෝස්තර නිර්මාණ ශිල්පිනිය සැකසූ ඇඳුම ඇඟ ලා ගත්තී, මනරම් කැට් වෝක් සෙයියාවට ඉඟ රවුම් කරමින් උන්නා ය. ඇගේ ඉතිරි අර්ධය හෙවත් නිවුන් සෝයුරිය ද ඊට යාබද තැනක සිය නිරූපණය සඳහා සැරසෙමින් උන්නා ය. මහේක්ෂීය ලෝකය තුළ මෙසේ කටයුතු සිදුවෙමින් පැවති අතර, ස්වාභාවධර්මයා ලඟ ලඟ එන දෛවෝපගත “සයික්ලෝනය 2” සඳහා අවශ්‍ය පරිදි වායුගෝලය සීරු මාරු කරමින් උන්නේ ය.

කවියා උන්නේ සිය කුටිය තුළ මය; ඔහු තනාගත් ඔහුගේ ම ලෝකය තුළ ය. පසෙකින් දැල්වෙන මළානික එළියේ, ඔහු හිස් කඩදහිය මත වචන අමුණමින් උන්නේ ය. සියල්ල වේගයෙන් වාණිජකරණය වන ලොව නිර්දය ලෙස විවේචනය කිරීම පමණක් සෑහුණේ නැත. සියල්ල වෙළඳ වටිනාකම් ලබන්නා වූ යුගයක, එකී විවේචන ද කදිම වෙළඳ භාණ්ඩ බවට පත් වන බව ක්‍රමයෙන් ඔහු වටහාගත්තේ ය. එහෙයින් විවේචන සියල්ල “තිත්ත” පුවත්පතෙහි ලිපි මාලාවක් ලෙස ලියා පළකිරීමේ කර්තව්‍යට ඔහු අත තබා තිබුණේ ය. හෘදය සාක්ෂිය බර ය. ඇත්ත ය. එහෙත් බරක් දැනෙන්නට පවා හෘද සාක්ෂියක් තිබීම ම වඩා වැදගත් වූ යුගයක, එහි බර පිළිබඳ අදාල කරගත යුතු ම නැත.

ඈ බලාපොරොත්තුවෙන් හුන් නිරූපණ වාරය කිසිදා පැමිණියේ නැත. පැජන්ඩාවේ ඇරඹුම සනිටුහන් කළ මූලික උත්සවාංගය අවසාන වන්නටත් පෙර ම මහා ශබ්දයකින් ඊළඟ පරිච්ඡේදය ආරම්භ වීය. “දඩාස්..!” ඉදිරිපස වූ ලතු-පුයර පෙරාගත් සැරසිලි පුවරුවක්, නිරූපිකාවක අතින් විසිවෙන ටිෂූ කඩදහියක සැහැල්ලුවෙන් පාවී ගොස් බිත්තියක වැදී වැටුණි. ඉතිරි වී තිබූ ආලෝක කැබලි, මහා කළුවර විසින් එළව එළවා දමද්දී වාතය කැළැත්තීම ඇරඹුනු අතර අතට අසුවූ සියල්ල දෛවයේ ලියැවී තිබූ තැන් වලට විසිකර දමමින් සයික්ලෝනය විසින් කොදෙව්ව ආක්‍රමණය කිරීම අරඹා තිබුණි.

එය තුන් වරු පිරිතක් මෙන් පුරා වරු තුනක් තිස්සේ ගලා ගියේ ය. තුන් වරුව අවසානයේ මදින් මද ආලෝක කදම්භ වෑස්සෙන්නට පටන් ගෙන තිබුණි. විශ්වයේ වූ සෑම සියලු දෙයක් ම ඒවාට හිමි හරිම තැන්වල ස්ථානගත කර තිබුණාක් මෙන් විය. බැලු බැලු අත ඒ-මේ විසිරී ගිය සියල්ලෙහිද වූයේ මනා සංවිධිත බවකි. ඇසට ප්‍රිය සැකැස්මකි.

ඇය කෙමෙන් දෑස් හරිමින් උන්නාය. දැනෙන්නට වූ පළමු හැඟුම වූයේ තද ඔක්කාරයක් සහ ඉසේ ඇම්මකි.

“දැන් කොහොමද..?” නුහුරු හඬකින් විමසීය. ඈ සිහි එළවා ගනිමින් සිටියා ය. අසීරුවෙන් හැරගත් දෑසින් අවට පිරික්සුවා ය. මළානික එළියෙන් යමක් ලියමින් මේසයට වාඩි වී හුන්නේ මිනිසෙකි (ඔබ මා දන්නා පරිදි කවියා ය). ඈ කිසිත් නොකියා මේ කවරාකාර තැනක් වන්නට හැකිදැයි වටහා ගන්නට උත්සාහ දරමින් සිටියා ය. ඇගේ සිරුරේ තව දුරටත් දැවටී තිබුණේ නිරූපණය සඳහා ඇඟ ලා ගත්, සිරුරින් තුනෙන් එකක් පමණ වසා සිටි වස්ත්‍රය යි. ඒ කිසිවක වගක් නැතිව  මේසයට වාඩිගෙන හිඳිනා මිනිසා, කොහොමදැයි කියා ඇසුවේ මොහුම දැයි සිතෙනා තරමට කරමින් හුන් කටයුත්තට ම ඇලී හිඳියි. යටත් පිරිසෙයින් එකැසක් හෝ කරකැවී තමා දෙස බලනු ඇතැයි ඈ සිතුවත්, එය එසේ සිදු වූයේ නැත.

“ඔය වහලා තියෙන කෑම එක කන්න. එතනම තියෙන බෙහෙත් පෙති දෙක, ඒ පැනඩෝල් දෙකක්. ඒක බොන්න. ඔය ටැප් එකේ එන වතුර බොනවා, ඒත් කෝප්ප නං ඇත්තෙ එකයි.” කරමින් හුන් වැඩයෙන් මොහොතකට හෝ නොමිදී කවියා කීවේය.

“මං කොහොමද මෙහෙට ආවෙ?” ඈ සිය දැවෙන්නා වූ මවිතය එළියට දැම්මා ය.

“අනිත් දේවල් වගේ, හුළඟට තමයි” කවියා කීවේ ය.

“මගේ නංගි, මං අහන්නෙ මගේ නිවුන්නි - ආවෙ නැද්ද එතකොට? හුළඟ එද්දි අපි දෙන්නා අත් අල්ල ගත්තා මතකයි” ඈ කීවා ය.

“ආ.. ඒ නංගිද? මං හිතුවෙ ඔයාගෙ හෙවනැල්ල කියලා. එයත් හුළඟට ආවා, ඒත් එයා එහෙමම ඔය ජනේලෙන් එළියට ගහගෙන ගියා. ඔයා විතරයි මෙතන ඉතුරු වුණේ.” ඔහු උදාසීනව පිළිතුරු දුන්නේ ය.

“අනේ..!” ඈ හඬන්නට විය.

“කරදරයක් වෙන්න විදියක් නෑ, මං හිතන්නෙ එයා එහා පැත්තෙ බෝඩිමට වැටුණා. ඔය සද්දෙ ඇහෙන්නෙ, එහෙන්.” ඔහු කීවේ ය. ඈ මඳකට කන් දුන්නා ය.

“අඩෝ, මෙන්න මේකි ඇහැ ඇරලා යකෝ. වරෙල්ලා මෙහාට...”

“ඒක නෙමෙයි, මං කිව්වා කියලා බීඩි මිටියක් වත් අරං වරෙං, කක්කුස්සි යන්න වත් දුමක් නෑ කාමරේ හරියෙ.” තනි ගෝසාවකි. ඈ වෙවුලා ගියා ය.

“අනේ! එතන මහ නරකාදි තැනක් වගේ නෙ” ඈ පරල ව හඬා වැටෙන්නට වූවා ය.

“පේන තරම් එක යකෙක් වත් කළු නෑ. අනිත් අතට පේන තරම් කොක්කු සුදුත් නෑ. සත්තිගුම්බ ජාතකේ ගිරව් දෙන්නා මතක නේ? ඒ වගේ තමා. එයා වැටුණෙ එතෙන්ට, ඔයා වැටුණෙ මෙතෙන්ට.”

*** *** ***

කාලය ගෙවී ගියේය. මේ කුඩා කුටිය තුළ දී එය ද තාලයකට ය. රිද්මයානුකූලව ය. හරියට කවියක් වාගේය. කවියා උදේ ම පිට වෙයි, රෑ වී ගෙට එයි. විටෙක මිටි බැඳි පත්තර උස්සාගෙන එයි. කාවුන් විද දැල් ගැසුණු පොත් සීරුවට කියවයි. හැලෙන පිටු අහුලයි, අලවයි. ළාවට බොයි. ලියයි. ඇගේ දෛවෝපගත ආගමනයෙන් දෙදිනකට පසුව ඈ මෙහි වූ එකම කොහු ගුදිරිය මතට පැදුරක් එළා, ඒ උඩින් රෙද්දක් ද එලුවා ය. දැන් කොහු කෙඳි ඇඟේ ඇනෙන්නේ නැත. බඩු සියල්ලේ දූවිලි පිස්සාය. මකුළු දැල් කැඩුවාය. කවියාටත් එක්ක ම ඉව්වා ය. ඔහුද කෑවේ ය. ටිකකි. මදි ටිකට බීවේ ය. ඔහු හවස එන විට කලමනා ගෙනාවේය. “එළවළු, පලා, පොත්,මුරුක්කු, පත්තර සහ සිගරැට්” ඈ වෙනත් යමක් කී දාට ඒවාද ගෙනාවේය. “එළවළු, පලා, පොත්,මුරුක්කු, පත්තර, සිගරැට් සහ වෙනත් දේ..”

නිදන්නට ආ විට ඈ සිතයි. “දාහකින් හොයන්න බැරි මිනිහෙක්”. තම නංගී වෙනුවෙන් විසිවෙන කුණුහරුප මොහුගෙන් නම් කිසිවිට විසි නොවෙයි. වැඩ පැවරීමක් නොවෙයි. කේන්ති ගැනීමක් නොවෙයි. කවරාකාර ඇඳුමක් පැලඳුමක් ඇන්ද ද ඇදයක් දෝසයක් නොකියයි. නියමයි.. විටෙක නංගී ගැන දුකකුත් සිතෙයි. “ලබාපු හැටියට නේ” සිත හෑල්ලු වෙයි. නින්ද යයි.

*** *** ***

“කාලය පුරුදු රිද්මයෙන් ගලා යයි. දැන් දැන් කවියා බීගෙන ගෙදර එයි. මට තලයි.” කතාව මෙසේ කියන්නට තිබුණා නම් මැනවැයි ඈ සිතයි. එසේ වී නම් කීමට ඇති සේරොම ඒ ගොන්නට ඔබා කිව හැකිය. එහෙත් එක ම එක වරදක් ඇර වෙන කියන්නට කිසි දොසක් ඔහුගේ නැත. “මේ මුළු කාලෙට ම මගෙ ඇඟට අතක් තියලා නෑ, මිනිහෙකුට මෙහෙම ඉන්න පුළුවන්යැ, ටක්කෙට ම වෙන ගෑණු ඇති. මෙච්චර මේ ගිණි කිකිළියෙක් වගේ මං ඉද්දි.” ඈ තනිවම සිතන්නට වන්නී, නංගීට බැණ වදිනු ද ඇසෙයි. ඈ අසා සිටියා ය. ඈ තුළ නංගී ගැන උපන්නේ අමුතු තරහවකි.

“ඒයි, මේ මස් ටික හදලා තියපං. ළාවට බැදලා.” ඒ පැත්තෙන් ඇසෙයි. ඇයට ආවේ පුපුරා හැලෙන තරහකි. ඈ අත තිබූ වීදුරුවෙන් බිත්තියට දමා ගැසුවා ය. මුහුණ කොට්ටයේ ඔබාගෙන ඇඳට වැටුණා ය. රෑ වෙද්දී කවියා දොර හරිනු ඇසුනි. දොර වැසෙනු ඇසුනි. ඉන්පසු පුටුවෙහි “ක්‍රීක්” හඬ, වීදුරු කැබලි අතුගෑවෙන හඬ, පුටුවෙහි වාඩි ගන්නා හඬ සහ අවසානයට ම කුඩා ලෝකය නිශ්ශබ්දතාවයේ ගිලී යන හඬ.

නො-නින්ද, වේදනා විසර ගෙඩියක් මෙන් පැසව පැසවා තිබුණේ ය. රෑ පුරා නිදි වැරූ ඇස් පාන්දර කැවි කැවී වේදනා දුන්නේ ය. මතක එක එකක් පසුපස විත් ඇසට පැන පැන ඇන්නේය. වියළී ගිය හැඟුම් දර ඉපල් වෙලාගෙන කේන්තිය ඇවිලෙන්නට විය. ලැව් ගින්නකි. සිතිවිලි ද හැඟුම් ද ඕනෑවටත් වඩා වියළි ය. ඇවිලෙන්නට ම අත වනනේ ය. කවියා දොර වසාගෙන නික්මෙන හඬ ඇසුනි. ඈ නැගිට්ටාය. අතට අසුවූ සියල්ල වීසි කර ගැසුවා ය. “කාලකණ්ණි කුණාටුව..!” ඈ ඉව්වේ නැත්තේ තරහට ය. ඇතැම් විට කවියා ඒ බව වත් නොදන්නවා විය යුතුය. වළඳක් හෝ හැඬවුණේ නැත. හේ සුපුරුදු ශාන්තියෙන් නික්මුනු හැටි. “දුෂ්ඨයා, වසලයා, නපුංසකයා..” ඈ සිතින් කෑ ගෑවා ය. “මං යනවා.” ඈ තීරණයකට ආවා ය. “ඌට රිද්දන්න පුළුවන් එක ම විදිය ඒක තමයි. ඇයි යකෝ රටේ පිරිමි නැතුවද? ඉන්නකන් නැති අගේ, ගියාම දැනෙයි.” ඈ වසා ඇති දොර දෙස බැලුවා ය. “ගෑණියෙකුගෙ ආවේගෙ දොරක් වහලා දාලා නවත්තන්න පුළුවං කියලද හිතන්නෙ ඌ..?” ඈ සිංහබාහුගේ ධෛර්ය ගත්තා ය.“ගල් ලෙන බිඳලා- ලෙන් දොර ඇරලා..ආ..ආ..” ඈ උමතුවෙන් මෙන් ගයන්නට වූවා ය. අතට හසුවූ ඇඳුම දෙක මල්ලක ඔබා ගත්තාය. “එද්දි දොර කඩලා දාලා බව දැක්කාම දෙකොනින් ඇවිලෙයි”. ඈ තඩි පොල්ල ද උස්සාගෙන දොර අසලට විත් දොර අල්ලුවෙන් අල්ලා මඳක් සෙලවූවා ය. “ක්‍රීක්..” දොර නිකන්ම විවර වූයේ කවියා තුළ වූ උපශාන්ත භාවයෙන් මය. ඊළඟ තත්පර කිහිපය වා තලය ගිගුම් දුන්නේ ඇගේ විලාප නාදයෙනි.

“ඇයි පරයෝ අඩුම තරමෙ තොට මේ දොර අගුල් දාල යන්න වත් බැරි..?”

*** *** ***


පාද සටහන්;

1.     පැජෙන්ඩාව = Beauty Pageant

2.     සයික්ලෝනය = Cyclone

සිතුවම් අයිතිය: Leyla Munteanu

 

19.05.2020

-මුදිත්-