එක එක හැඩෙන් කියවන්න

Sunday, February 5, 2023

අහසින් අතහැරුණු
වීදුරු සඳක කැබලිති,
කිඹුල් ඇළ මුහුණත පුරා
විසිරෙයි...

මැදියම් හෝරාව අස
අඩදැණිව,
තිත්තම තිත්ත රැය,
මොහොතකට නවතියි...

'දැන් මට හරිම වෙහෙසයි..'
සක්වළෙන් සක්වළ ගෙවා ආ
ඈත දුර තරුවක
ආලෝක කිනිත්තක්
මගේ දෑසට කොඳුරයි...

සොඳුරිය..
නොකල්හි ගඟ දියට වට,
සඳ එළිය වුව
හලාහළ විෂ මැයි...

-මුදිත්-
2023.02.05



Thursday, February 2, 2023

ළං ළංව - අතින් අත නොගෙන ම...

ඇතැම් හැන්දෑවරු වල
තඹ පැහැය විසිරුණු
මැදී ගිය මාවතක,
අපේ ඒ පියවර
තිබෙන්ටත් පුළුවනි
නොතිබෙන්නටත් පුළුවනි...

කෙළවරක් නොහැඟෙන - සංසාර ගමනක
ගව් ගණන් දුර එක්ව එන්නැති,
ඇතැම් විට නො-එන්නැති..
ඒ වුනත්, එහෙව් දුර ගමනක්
අතින් අත නාල්ලා
ළං ළං ව එන්ට වුව පුළුවනි...

සෑම බැඳුමකටම
ප්‍රේමයැයි නම් තබන
මේ කළල් ගොහොරුවේ,
කල්ප ගණනකට පසු
පියුමක් පිපෙන්නට පුළුවනි..
ඒ පිපුනු ඇසිල්ලේ
පරව යන්ටත් පුළුවනි...

අවසානයේ අප,
කෙටිම කෙටි කතාවක
ඡේද දෙක තුනකින් - ලද චරිත නිමා කල
එකම පටු මගක යන - නාඳුනන්නන් පමණකි...

-මුදිත්-
2023.02.01