එක එක හැඩෙන් කියවන්න

Sunday, August 31, 2014

උතියාගෙන්, ලොවීනාට...

විභාගෙ හින්ද කියවන්න බැරුව පහු උනු පොත් අතරින් "ලොවීනා" අද කියවන්න ලැබුනා. ගොඩක් අය මේ වෙද්දි ලොවීනා කියවල ඇති..
 පොතේ අන්තිම පිටුවත් කියවල, මම හිතට ආපු දේවල් වලට ඔහේ එන්න ඉඩ දුන්නා..

 උතියාගෙන්, ලොවීනාට.....

 රොඩී රැහැටම වසන්තය දුන්,
 නෑඹුල්ම සඳ සාවී..
 දඬු අඬුවකට හසු වුනාවද,
 කැකුළු ඇඟ කඳ සිරවී..
 සඳ එලිය සුදු මුහුදු වෙරලත,
 සිපගනිද්දී පේවී..
 උඹට මතකද වැලි තලා උඩ,
 ඇන්ඳ සිතුවම් පේලී..

 සැර පිච්ච සුවඳට යටින්- හෙන්දිරික්කා සුවඳ දැනුනද,
 කියාපන් මට ලොවීනා..
 නෙතු පියවිලා, සිත නික්මෙන්න පෙර- සුසුම් සියොලඟ වෙලාගත්තද,
 කියාපන් මට ලොවීනා..
 වෙරල අද්දර ගලක් උඩ- හෙන්දිරික්කා පිපෙන යාමෙට,
 ඉන්න මගෙ රුව හිතේ මැවුනිද,
 කියාපන් මට ලොවීනා..
 කලු ගලක හැප්පෙන්න බැරිකම- සෙනෙහසේ ණය ගෙවූ හැටි,
 තව හිතන්නට බෑ ලොවීනා..

 උඹේ ගැන හිත, හිතන තරමට,
 දැනෙන බර නම් බෝමයි..
 එක එකාගේ ඇනුම් පද,
 උහුලන්ට තව බෑමයි..
 මූදු පතුලේ හංගුවත් හිත,
 සෙනේ තව පෙර වාගෙයි..
 යන්ට මත්තෙන් ලියා යන්නම්,
 තරහ නම් හිත නෑමයි...

 මුදිත්
 2014-08-31

Saturday, August 30, 2014

අගෝ: 12,2014
 ප.ව.1:06
@ සුපුරුදු ලෙසම, සයනය මත...

 අද දොලොස් වෙනිදා. විභාගෙ අදට අයිති ප්‍රශ්න පත්තරේට ලියල ඇවිත් පොඩ්ඩක් ඇල උනේ හිතේ තිබුනු බරෙන් කිලෝ පැස්කල් ගානක්ම අඩු උනු හින්ද වෙන්න ඇති... ඒකෙත් හැටි... දැන් අවුරුදු 4කම විතර ඉඳන් ඔලුවට දැනුනු පීඩනේද මොකද්ද එක සාමාන්‍ය වායුගෝල පීඩනේට වඩා සෑහෙන ගුණේකින් වැඩියි... 16 වෙනිදයින් විභාගෙ ඉවරයි වගේ වෙනව.. එදාට තමයි මං මේ වෙද්දි තියන ඇත්තම වායුගෝල පීඩනේ විඳින් නෙ.. ජීවිතේ සමහර දේවල් මං වටේ ඉඳපු බහුතරයක් උන්ට වඩා ටිකක් පහුවෙලා අත් වින්ඳ උනත්, ජීවිතේ කියන් නෙ මේ වගේ එකක් කියල කියන්න පුලුවන් විදියෙ වින්දනාත්මක ආකල්පෙක මං හිටියා... ජීවිතේට හිස්තැනක් නොදැනෙන්න තරම් දේවල් මං ලඟ හැමදාම වගේ තිබුනා... ඒ හින්දම වෙන්න ඇති, ජීවිතේ ඇතුලෙ අසීමිතව ඇවිදින්නත්, හමුවෙන පොඩි පොඩි තැන් වලින් ජීවිතේ අහුලගන්නත් මම පුරුදු උනා... 21 වතාවක් ලෝකෙ ඉර වටේ කැරකෙද්දි වැඩකට ඇති වගේම, ලොකූ වැඩකට නැති දේවලුත් මගේ ජීවිතේ අත්දැකීම් මල්ල අතුලෙ පිරිල තිබුනා... "ජීවිතය යනු මකනයක් නැති පැන්සලයකින් ඇඳෙන සිතුවමකි.." කවුරු හරි එහෙම කියල තියනවා. සිතුවමක් කියනවට වඩා පොතක් කියල මේ කතාව හිතුවොත් මට වැඩිය සමීපයි .. කොහොම උනත්, මේ මකනයක් නැති පැන්සලක් කියන කීම හිතේ තියගැනීම ගොඩක් වටින බව සමහර අයගෙ ජීවිත දිහා බැලුවම හිතෙනව... හ්ම්ම්... මං හිතන්නෙ ආයිමත් මට පියවි ලෝකෙට ගොඩබහින්න වෙලාව හරි වගේ.. තවම 16 වෙනිද වෙලා නෑ නේද කියල හිතෙද්දි ආත්මීය වශයෙන් විකාර ගතියක් දනෙනවා...
 "ගලා යා දෙන් ජීවිතය,
 එකම තැන,
 එකම ලෙස,
 පල්වී යන්නට පෙරාතුව...
 වියලි බිම් තෙත් කොට,
 මලානික සිත් තෙත් කොට..
 වැටෙන තෙක් වැහි කතරට,
 එකදු කෙම් බිමක් වත් තනන්නට....

 බායි එහෙනම්,
 ජය....

අල්තීනායි...

අල්තීනායි...
 මහ වැස්සේම තෙමීගෙන,
 අයිලයේ කෙලවරම ඉඳ,
 පයින්ම ආවේ මම,
 හෙට ආයෙ ඉස්කෝලෙ පටන් ගන්න බව කියන්න..
 කන්ද උඩ ඉස්තාලෙ,
 අපි ගොම මැටි ගාපු,
 ඉස්කෝලෙට එන්න කියන්න...
 කලු ගැහුනු,
 උඹේ ගෙයි දොරකඩ දක්කම,
 වැහි හීතලේ මැද්දෙම,
 පිච්චුනා වගෙයි මගෙ හිත..
 අල්තීනායි...
 ලොකු වහලවල් උඩ නැවතුනු,
 පොඩි පොඩි වැහි බිඳු,
 උඹෙ පොල් අතු වහලයෙන්, ලොකු ලොකුවට වැටෙනකොට
, ගැලවුනු මැටි පොලවට- උඹේ පොත් පිටු ඇලෙනකොට..
 වහලෙ හිල් වහන්නට- උඹේ පොත් පිටු සින්න වෙනකොට..
 උගුර හිරවෙනවා වගෙයි මට,
 උඹට ඉස්කෝලෙ ගැන කියන්න..
 මේ දුයිශෙන් පට්ටමත් බරක් මට,
 අල්තීනායි....
 උඩ ඉන්න දෙයියොත්,
 උඹලාගෙ දෛවයම කලු තීන්තෙන් ලියනකොට.....

මුදිත්
 2014.08.18