Sunday, December 28, 2014
ජීවිතේ දිගු වන්දනාවට ඉතින් මෙතෙකින් නතර වෙන්නම්...
නුඹේ වත හෙටටත් දකින්නම්..
දෑත බැඳගෙන ඈත සිටියත්,
සෙනෙහසින් ආසිරි පතන්නම්..
හැරෙන්නට මොහොතකට මත්තෙන්,
ආයෙමත් නැවතී දකින්නම්..
ජීවිතේ දිගු වන්දනාවට,
ඉතින් මෙතෙකින් නතර වෙන්නම්...
නුඹේ පියවර මතින් හෙමිහිට,
පා තබාගෙන ඇවිද ආ දා..
කොහේ කොතැනක නමුත් වැරදී,
දෙපා පැටලී ඇදන් වැටුනා..
කියාගන්නට අකුරු මදිවුනු,
කවිය නිහඬව ගොලුව ගියදා..
දෑස තදකර දැහැනකට වැද,
රහසේම ගොලුවෙලා උන්නා...
නිසල නිල් දිය පොකුණු දෑසට,
අවසාන පෙම් කවිය ලියමී..
නෑඹුල්ම හිරු කිරණ අහුලා,
නුඹේ ලෝකය එළිය කරමී..
හදේ පුදසුන -නුඹට වෙන් කළ,
සදා සුවඳැති මලින් සදමී..
තවත් භවයක මුණ ගැසෙන්නට,
රහසේම හිඳ පෙරුම් පුරමී...
-මුදිත්-
2014.12.28
Thursday, December 18, 2014
අපිට කොහෙන් වඩීද හෙට ඉරපාන...
ඇටෙන් ඇටේ අහුලන් කන ගිරවාන,
මග වියදමටවත් නැති පඩිපත ගේන,
කොහෙන් දකින්නද තව ලස්සන හීන...
අල්ලට සිඟාවත් නොලැබුනු රස කැවිලී,
ඇල්මෙන් කළ අකුරු ණය වී ගියා වැනී,
බෝඩිම කුටුම්භය එක මත එක වැටුනී,
නාඬා ඉඳින් මගෙ දුප්පත් සඳ සාවී...
ණයවුනු හීන හැමදාමත් කල් දාන,
රෑ මැදියමෙත් කකියයි නෙත් නොනිදාම,
හූර හූර පඩිපත ගත් නිරිඳාන,
අපිට කොහෙන් වඩීද හෙට ඉරපාන...
-මුදිත්-
2014.12.18
සිරගත සබඳ..
වැහිළිහිනියක සොඳුරූ..
ඇත්ත හිරකර ඉකිබිඳී,
මුවක් තොල් පිපිරූ..
වැට කඩුලු පසුකර ඉගිලුනත්,
හුදෙකලා කවි අකුරූ..
ඇත්ත පැණි රස වෙන තුරුම,
මක් කරම් පස මිතුරූ...
යකඩ දොර අබියස හිඳී,
ගතක් සිත වැහැරූ..
මුළු ආත්මය වසුරින් තවරගෙන,
සුදු අඳින උන් පැහැරූ..
රත් පියුමකට තව තල තලා,
දෙයි දෙතිස් වධ නපුරූ..
අද මළත් හෙට නුඹ ඉපදියන්,
රත් පියුම ගෙන මහරූ...
-මුදිත්-
2014.12.18
Friday, December 12, 2014
එබී නොබලන් කුමරියේ..
සිටු මන්දිරේ දොර බෝ දුරයි,
මගෙ කුටියෙ ඉඳ මහ වීදියේ...
බහින හිරු ලඟ පෙම් බඳියි..
අවර අහසම ලස්සනයි..
තරු ලකුණු එක දෙක දිගහැරෙනකොට,
හඳ පලුව වී නුඹ අත වනයි...
තව් තිසා ලොව හරි ලස්සනයි..
හීනයක කෙලවර නුඹ හිඳියි..
මේ පවුරු බිඳගෙන ඉගිලෙන්න බැරි,
ලෝකයක සෙනෙහස අසරණයි...
-මුදිත්-
2014.12.09
ආදරයක පිය සටහන්,
මැකී ගිහින් අද රහසින්,
කාටත් නොකියා..
අපි අපිටත් නොකියා...
ගුරු පාරේ ලඟින් ලඟින්,
නෑ අද අපෙ පිය සටහන්..
අපේ කතා හංගාගෙන,
දොළ පාරත් සිඳී ගිහින්..
කාටත් නොකියා...
තරු මතුවුණු හැන්දෑවක,
මං තනියම ලියන කවිය,
නුඹට ඇහෙන්නට ගයන්න,
කුරුල්ලන්ට සරසවියට වඩින්න තහනම්..
වඩින්න තහනම්...
-මුදිත්-
2014.12.09
හඬ තලන හඬ ඇහිලා..
කිරි එරුණු කිරි මණ්ඩියේ ළැම,
ගියාවෙද හිඳිලා...
පොඩි එවුන්ගේ කඳුලුත් අරන්,
ඇවිත් අපෙ අම්මලා..
කිරි කපද්දී ඉරටත් කලින්,
උඹ උන්නාලු ඉවසලා..
පැලක බඩ ගින්දර නිවූ,
කිරි මණ්ඩියේ උඹෙ ළැම ගියාවෙද හිඳිලා...
සුදු සෙනග අරගෙන පිට රටින්,
ඇවිත් ලොකු උන්දැලා..
පොඩි හීන දියකර කිරි කඳුලු වල,
ගත්තාලු උදුරලා..
කිරි මණ්ඩියේ නුඹ නාඬා ඉඳින්,
අපේ දුක දැකලා...
-මුදිත්-
2014.12.09
Tuesday, December 2, 2014
ගල්ලෙන බිඳලා....
සිංහයා ඇවිත් රට ගිහින්,
රන් ආලේපිත කේසර සොලවමින්,
ගල්ලෙන පුරා සනුහරේ උන්,
ඇවිදින්- අසන්නට වත ගොත්..
එක්කාසු කර සනුහරේ උන්,
හිස් කර බෝතල් පිටින්- රම්, ජින්,
ලෝය(ර්) කෙනෙකුත් අවුදින්,
සිංහයා ගත්තාලු මහ ගල්ලෙනට අත්සන්..
......... .......... .......... .......... ..........
ගල්ලෙන බිඳලා- ගල් වෙඩි දමලා,
ගනු දෙනු බලලා- ආයෙම ඉගිලිලා,
රට ගිහින් සිංහයා....
-මුදිත්-
2014.12.03
අප්පච්චී...
සඳ දිය කිරි කොට,
ළපටි දෙතොල් ලඟ..
නැලවිල්ලක් වී,
ළපටි දෙනෙත් ළඟ..
මවු ඇකයක් වී උන්නා නුඹෙ සෙනෙහස...
කිරි සුවඳක් තැවරුන,
සොහොන් කොතක් මුල..
හැමදාමත් කඳුලින්,
පැන් වැඩුවා නුඹ..
රෑ මැදියම වී මුළු ලොවට හොරෙන්...
-මුදිත්-
2014.12.02
Friday, November 28, 2014
Thursday, November 27, 2014
නිවාඩුවටත්,
ගෙදර දොර බෝ ඈත..
තමන්ගෙම උන් වෙනුවට,
දුරින් නෑකම් කියන - පැරසිටමෝල් පෙති දෙක විතරමයි,
ඉසේ ඇම්මට- ඉස අතගාන...
හූර හූරා රීරි මාංසය,
යටකර ජුකී මැෂිමට,
තැපැල් දූතයකු අත,
යවා පඩිපත- මාසෙ අන්තිම,
පියවන- ගෙදර දොර අගහිඟ..
දුප්පතුන් නැති ලොවක,
කේතුමතී නුවරක,
සිරවී බෝඩිං වල- ගාමන්ට් කුකුළු කොටුවල,
බලන්..! දියව යති,
(අ)සුන්දර තාරුණ්‍යක සිහින....
-මුදිත්-
2014.11.27
Monday, November 24, 2014
Friday, November 14, 2014
තවම හවසට මතක ඇහිඳින,
මිණි මිණි පොදත් නැති,
දැදිරි වුණු මල් පෙතිත් නැති,
කවමදාවත් නුඹ ආවෙ නැති,
අතීතය මොනවද කියනවා...
සරසවියෙ දොර ගාව,
නතර වුණු සෙනේ ගඟ,
රැළි නගා නොනගාම,
කුමුදු මල් අත දරන්,
හැමදාම මග බලනවා...
නුඹ කොහේ කොතැනකද,
මම කොහේ කොතැනකද,
මගහැරුණු ජීවිතය,
ඉඳහිටක ආයෙමත් අහනවා...
කියාගන්නට කිසිත් නැති තැන,
රහසින්ම ඇස් පියන් තදකර,
මටත් නොදැනීම මම,
සුසුමකින් උත්තර බඳිනවා...
-මුදිත්-
2014.11.14
Wednesday, November 12, 2014
හිත් මඬලට ඇවිත්..
ආයෙත් සැප දුක අහලා,
නුඹ නොකියම ගිහින්...
ගුරු පාර දිගේ අත් අල්ලන්,
ඇවිදන් ගිය හැටී..
හැබැහින් නම් නොවෙයි තමයි,
ඒ හීනෙත් මට වටී...
නුඹ දන්නව නම් කියාදෙන්න,
මේ ආදරයේ හැටී...
ජීවිතයේ පියගැටපෙළ,
අත්වැල වනු බැරී..
තහනම් හිත හිර කරගෙන,
මම යන්නම් හැරී...
නුඹ දන්නව නම් කියාදෙන්න,
මේ ආදරයේ හැටී...
-මුදිත්-
2014.11.12
Wednesday, October 29, 2014
හීනෙකින් වත් හිතුනෙද, මේ තරම් කුරිරු බව දෛවය...
වැහි කඳුලු ගලාගෙන වැටුනට,
හීනෙකින් වත් හිතුනෙද,
මේ තරම් කුරිරු බව දෛවය...
අතරින් පතර මතුවුනු,
ළපටි කෙළි බඩු වැළලී..
දැනෙන මේ කිරි සුවඳ විතරමද,
කොයිද කිරි කැටි මල්ලී...
වැස්ස කොච්චර තද උනත්,
අප්පච්චි වැඩට යන්නැතී..
ගිය මාසෙ හිඟ පඩිත් අරගෙන,
අද කලින් ගෙදර එන්නැතී...
අම්මගේ තුරුල්ලට වෙලා,
පොඩි මල්ලි නිදියන් ඉන්නැතී..
මං විතරක්ම මෙහි තනි කරන්නට,
දෙවියොත් නපුරු උනු හැටී...
"පුතේ අම්මල ඉක්මන්ට ඒවී",
පොඩි අම්ම බිම බලන් කියනවා..
කඳුලු ඉනුවත් එතකොටත්,
මට ආයෙ අහසම බැලෙනවා...
-මුදිත්-
2014.10.30
Monday, October 27, 2014
අයියන්ඩියේ...
තුරුල් කරගෙන සිහින..
කාටත්ම කලියෙන් පිබිද,
විටෙක නිදි නොමැතිවම..
ගියා උඹ,
පාළු මූසල රෑක..
තිත්ත කළුවරට,
ලියාදී ජීවිතය...
උඹ වෙනුවෙන් නොවෙයි,
දුක් විඳින අපෙ එවුන් වෙනුවෙන්ම...
අසාගෙන උන්නාට,
හැමදාම රෑට..
දන්නවා යලි නො ඇසෙන බව,
උඹේ බර පියවර හඬ..
කදෝ පැණියන් විතරක්ම,
තනි රකිද්දී උඹගාව..
නිසලවම වැතිරී ඉන්න ඇති උඹ,
උඹවත් නොදන්නා තැනක...
මහා දිග කාලයක්,
ගත උනත් උඹ නැතිව..
මග බලනවා තවම හවසට- ඉඳහිට..
උඹේ රුව මැකී ගිය කඩුල්ල ලඟ..
අයියන්ඩියේ...,
උඹේ පොඩි මල්ලිගේ,
අකීකරු ඇස් දෙක....
-මුදිත්-
2014.10.27
Wednesday, October 22, 2014
හූමිටි තියාගෙන- පාතට වඩින බිම් කරුවලට..
හිතේ කිසිදාක නැතුවට කහට,
දාඩිය උරා බීගත්- අපෙ උන්ගෙ ජීවිත වලට,
කවුදෝ ඉහලා සදහටම කහට...
අව්වටම කළු ගැහුනු,
පිට පොත්ත පෙම් පාට නැතුවාට..
රිදුම් අතරින්,
නොදැනෙන සේ සිනාසී හිටියාට..
හිත අස්සෙ හිරවෙලා තියෙනවා ලෙංගතුකම- හැමදාම..
සමහර විටෙක- සුදු අඳින අය ලඟ නැති තරමටම...
"ගිහින් එන්නම්" කියා ඇවිත් ගිය කිසිවෙක් නැතුවාට..
බරක් නැහැ පාලුවෙත්,
පුරුදුයි හුස්ම වාගේම..
තැලී ඉල්පුනු බල නහර තුල දුවන..
ලෙයෙහි දියවුනු මිනිසත්කමේ සුවඳ- තනි රකීවී කාටත්ම,
හැමදාම..
වෙනසක් නොකරම...
-මුදිත්-
2014.10.22
Monday, October 20, 2014
එපා හිතකට ගන්ට..
හිරු සැඟව ගියා දෙන්,
එපා නුඹ බිය වන්ට..
හෙටක් ඇති නුඹට මට,
අපෙම වී නැගිටින්න..
අරුණෝදයක් ඒවි,
දෑස් දල්වන් ඉන්න...
කටුක නිරුදක කතර,
ලියා දී අපෙ උන්ට..
උකස් කරලාලු,
වස්සානයත් එතෙරකට..
යදම් දෙපයට දමා,
බැඳ දමා අපෙ හීන..
ඉවසාන ඉන්න නුඹ,
අපි තනමු වස්සානයක් අපට...
තටු කඩා බොහෝ උන්,
සිරකෙරූ කූඩු වල..
පැතුම් තව ලියා ඇත,
මළානික දෑස් වල..
රිදුම් පිරි මදින්නට,
ලියාදී අතීතෙට..
හිරු දකින තුරුම යමු,
අපෙම හෙට දවස වෙත...
-මුදිත්-
2014.10.19
Wednesday, October 15, 2014
පොත් හලකදී ඉපිද මළ කවි හිත..
යදියි හදවත ඉසිඹුවක්,
සිඳී ඉරි ගිය වැව් පතුල සේ,
පොකැට්ටුව මට කරයි සරදම්...
අලුත් පොත් සුවඳින් පුරා හද,
පෙරළ පෙරළා සොයමි මුතු ඇට,
හීන මැද්දෙන් එබී පොකැට්ටුව මුමුනයි,
බාල ගිරි දොස හෙට නොවෙයි අද...
2014.10.15
-මුදිත්-
Tuesday, September 30, 2014
හුස්ම තද වෙනකොටත්, අපෙ පුංචි කැදැල්ලේ - උණුහුම විතරමයි දැනුනේම හීතල මැද්දේ..
ඇහැරවන් නෙත් පියන් හීතලේ,
බිලිඳු පුතු තුරුලු කර- නිදන නුඹෙ නළල මත,
තියා මුදු හාදුවක්, ආවේම පාලුවේ,
ජීවිතේ ගැට ගසන්නට මිස,
අභිනික්මනක් නම් නොවේ...
පන තියූ එන්ජිමට හුරු පුරුදු බස් රියේ,
පුරුදු සුක්කානමත්, අද වෙනද වගෙ නොවේ,
නුපුරුදුම තිගැස්මක් ඇඳුනාට හිත් කොනේ,
අදත් වැඩ ඇරඹුවා බස් රියේ ජීවිතේ...
වංගුවෙන් වංගුව හෙමින් පහු වෙද්දී,
කඳු මුදුන් වසාගෙන මීදුමත් රැස් වෙච්චී,
අපෙ පුංචි කූඩුවේ හෙට දවස වසාගෙන,
මාරයා උන්නාද කඳු අතරෙ හැංගී...
ගන්නකොට වංගුවක් ජීවිතේ,
ලිස්සුවා දෛවයත් මාවතේ,
හිතන්නට වත් ඉඩක් නොතියා,
හීතලම කඳු අතරෙ හැංගුනා ජීවිතේ...
හුස්ම තද වෙනකොටත්,
අපෙ පුංචි කැදැල්ලේ-
උණුහුම විතරමයි,
දැනුනේම හීතල මැද්දේ...
-මුදිත්-
2014.09.30
Friday, September 26, 2014
එකම එක දිග කතාවක්....
තනියෙන්ම ආ මග දුරයි,
නොදුටුවා සේ හිටි නමුත්,
මං නුඹව නොදුටුවා නම් නොවෙයි..
නුඹ අහනවා නම් වරක්වත්,
එකම එක දිග කතාවක්,
කියා යන්නට අවසරයි...
හඳ, තරු ගෙනත්- නුඹ ලඟ තියන්නට,
ඉතින් මං ආවා නොවෙයි..
මේ හිත නුඹව හොයනා තරම්,
මටත් වැටහෙන්නෑ වගෙයි...
මේ හිතට එබුනොත් වරක් වත්,
නුඹත් ඇත්තට පුදුම වෙයි...
මුලු හිතම කවි කරන්නට නම්,
වචන මං ලඟ නෑ වගෙයි..
කෙටියෙන්ම තව කියනවා නම්,
මේ හිත නුඹට හරි ලෙංගතුයි...
මේ හිත පුරා ඇවිදිනව නම්,
මේ මුලු හිතම නුඹටම තමයි...
-මුදිත්-
2014.09.26
Friday, September 19, 2014
නුඹ දන්නවානම්...
හිත පුරා ඇවිදන් යන සුසුම්,
කතා කෙරුවා නම්..
නුඹ දකීවී මතකයෙ යවුල්,
හිත සිදුරු කල තරමක්...
සඳ තාරුකා දෝතින් අරන්,
මහ රැයක් ගෙට වැඩියත්..
කළු වළාකුලකින් ඒ රැයේ,
සිරි වසා යනවා නම්...
හිත දවාගෙන එන- මේ සුසුම් බර,
නුඹ දන්නවා නම්...
අරුණෝදයක් අරගෙන අතින්,
හිරු උදාවෙයි හෙටටත්..
කාටත්ම රහසින් ඇවිත්,
නුඹ ඉන්නවානම්...
නින්ද නැති රැය දිගු තරම්,
නුඹ දන්නවා නම්...
-මුදිත්-
2014.09.19
Thursday, September 18, 2014
අම්මෙ නුඹ විතරමයි හිටියේ, ජීවිතේ වාලුකාවේ...
අම්මෙ නුඹ විතරමයි හිටියේ, ජීවිතේ වාලුකාවේ...
________________________________
වැහි පොදක් ඇති කෙම් බිමක් නැති,
ඉරි තැලුණු පොළොවේ..
වැටි වැටී පා නගද්දී මා,
අම්මෙ නුඹ විතරමයි හිටියේ,
ජීවිතේ වාලුකාවේ...
වසන්තය ආවා ගියා,
වස්සානයත් ආවා ගියා,
දිගම දිග ගිම්හානයක,
මා තනි වෙලා උන්නා..
අම්මෙ නුඹ මහ රුකක් වී,
මට හෙවන දුන්නා...
නුඹෙ උණුහුමෙන් ඈතට වෙලා,
දින සති ගනන් ගෙවුනා..
නුඹෙ සෙනේ සිහිලස සිහිවෙලා,
හිත ගල් වෙලා උන්නා..
සිහිනයෙන් වත් මා තනි නොකර,
නුඹ මා ලඟම උන්නා...
-මුදිත්-
2014.09.18
Monday, September 8, 2014
වීදි දරුවකුගේ දෑසට එබුනෙමි...
දවාලත් දිග රැයක් වාගෙයි..
ඉරුණු අත් තටු කකියයි,
ඉගිලෙන්න අහසක් නෑමයි...
බැරිකමට අත පෑවත්,
මහත්තුරුනගෙ ඇස් හරිම නපුරුයි..
කුණු කූඩ වල හෙව්වත්,
ජීවිතේ නම් තව හමුවුනේ නෑමයි...
අම්මෙ නුඹ මග නැවතුනා,
තරහවක් නම් නෑමයි..
නිල්වලා ගඟ සීතලද,
මටත් එන්නට ආසයි...
මල්ලි නිතරම අඬනවා,
මගෙ පපුව පිච්චෙන්න වාගෙයි..
ලොකු නංගි අඬනකොට,
අම්මෙ නුඹ අඬනවා වාගෙයි...
අම්මෙ නුඹ ගිය දා ඉඳන්,
මුලු ලෝකේම හරි නපුරුයි..
නිල්වලා ගඟ සීතලද,
කට්ටියම එක්කලා- නුඹෙ තුරුල්ලට එන්න ආසයි...
-මුදිත්-
2014.09.09
Sunday, September 7, 2014
මේ හිතුවක්කාර අකුරු, පහුගිය ගෙවුණු රැය වෙනුවෙන්...
කලුවර බෝ වෙච්ච දවසක..
සඳ මතත් කඳුලු බිඳු තිබුණා,
රෑ මැදියමේ තැවරිච්ච...
සඳ සාවියක් ඉකි බිඳී,
සඳේ අඳුරුම මුල්ලක..
අවාරෙට, මේ අහස යට,
හෙට අමාවක හින්දම...
-මුදිත්-
Friday, September 5, 2014
අප්පච්චී...
ගෙයි දොරකඩ පඩිය උඩ,
වෙනදා හඳ එලිය වැටෙන තැන..
අප්පච්චිගෙ ඔඩොක්කුව උඩ,
වෙනදා මං හුරතල් වුන තැන...
බරවෙලා ගෙයි උලුවස්සට,
අර පාලු වලාකුළු යායෙම..
මං හොයනවා අර හඳ පලුව,
අප්පච්චි මට කීව- හඳ හාවි හැංගිච්ච...
වෙනදාටත් වඩා දැනෙන පාලුව,
ඇස් අග ගුලිවෙච්ච කඳුලු බිංදුව..
කාටවත් නොපෙනෙන්න මම, හංගනවා ගවුමෙ බෝරිච්චියක...
"ඉක්මනට සනීප වෙලා- අප්පච්චි ගෙදර එන්න",
ඔඩොක්කුවෙ ඉඳගෙන- ආයෙම කතන්දරයක් අහන්න..
පුංචි දෝනි දොරකඩ ඉඳන්,
බලන් ඉන්නවා කඩුල්ල දිහාම...
-මුදිත්-
Sunday, August 31, 2014
උතියාගෙන්, ලොවීනාට...
පොතේ අන්තිම පිටුවත් කියවල, මම හිතට ආපු දේවල් වලට ඔහේ එන්න ඉඩ දුන්නා..
උතියාගෙන්, ලොවීනාට.....
රොඩී රැහැටම වසන්තය දුන්,
නෑඹුල්ම සඳ සාවී..
දඬු අඬුවකට හසු වුනාවද,
කැකුළු ඇඟ කඳ සිරවී..
සඳ එලිය සුදු මුහුදු වෙරලත,
සිපගනිද්දී පේවී..
උඹට මතකද වැලි තලා උඩ,
ඇන්ඳ සිතුවම් පේලී..
සැර පිච්ච සුවඳට යටින්- හෙන්දිරික්කා සුවඳ දැනුනද,
කියාපන් මට ලොවීනා..
නෙතු පියවිලා, සිත නික්මෙන්න පෙර- සුසුම් සියොලඟ වෙලාගත්තද,
කියාපන් මට ලොවීනා..
වෙරල අද්දර ගලක් උඩ- හෙන්දිරික්කා පිපෙන යාමෙට,
ඉන්න මගෙ රුව හිතේ මැවුනිද,
කියාපන් මට ලොවීනා..
කලු ගලක හැප්පෙන්න බැරිකම- සෙනෙහසේ ණය ගෙවූ හැටි,
තව හිතන්නට බෑ ලොවීනා..
උඹේ ගැන හිත, හිතන තරමට,
දැනෙන බර නම් බෝමයි..
එක එකාගේ ඇනුම් පද,
උහුලන්ට තව බෑමයි..
මූදු පතුලේ හංගුවත් හිත,
සෙනේ තව පෙර වාගෙයි..
යන්ට මත්තෙන් ලියා යන්නම්,
තරහ නම් හිත නෑමයි...
මුදිත්
2014-08-31
Saturday, August 30, 2014
ප.ව.1:06
@ සුපුරුදු ලෙසම, සයනය මත...
අද දොලොස් වෙනිදා. විභාගෙ අදට අයිති ප්‍රශ්න පත්තරේට ලියල ඇවිත් පොඩ්ඩක් ඇල උනේ හිතේ තිබුනු බරෙන් කිලෝ පැස්කල් ගානක්ම අඩු උනු හින්ද වෙන්න ඇති... ඒකෙත් හැටි... දැන් අවුරුදු 4කම විතර ඉඳන් ඔලුවට දැනුනු පීඩනේද මොකද්ද එක සාමාන්‍ය වායුගෝල පීඩනේට වඩා සෑහෙන ගුණේකින් වැඩියි... 16 වෙනිදයින් විභාගෙ ඉවරයි වගේ වෙනව.. එදාට තමයි මං මේ වෙද්දි තියන ඇත්තම වායුගෝල පීඩනේ විඳින් නෙ.. ජීවිතේ සමහර දේවල් මං වටේ ඉඳපු බහුතරයක් උන්ට වඩා ටිකක් පහුවෙලා අත් වින්ඳ උනත්, ජීවිතේ කියන් නෙ මේ වගේ එකක් කියල කියන්න පුලුවන් විදියෙ වින්දනාත්මක ආකල්පෙක මං හිටියා... ජීවිතේට හිස්තැනක් නොදැනෙන්න තරම් දේවල් මං ලඟ හැමදාම වගේ තිබුනා... ඒ හින්දම වෙන්න ඇති, ජීවිතේ ඇතුලෙ අසීමිතව ඇවිදින්නත්, හමුවෙන පොඩි පොඩි තැන් වලින් ජීවිතේ අහුලගන්නත් මම පුරුදු උනා... 21 වතාවක් ලෝකෙ ඉර වටේ කැරකෙද්දි වැඩකට ඇති වගේම, ලොකූ වැඩකට නැති දේවලුත් මගේ ජීවිතේ අත්දැකීම් මල්ල අතුලෙ පිරිල තිබුනා... "ජීවිතය යනු මකනයක් නැති පැන්සලයකින් ඇඳෙන සිතුවමකි.." කවුරු හරි එහෙම කියල තියනවා. සිතුවමක් කියනවට වඩා පොතක් කියල මේ කතාව හිතුවොත් මට වැඩිය සමීපයි .. කොහොම උනත්, මේ මකනයක් නැති පැන්සලක් කියන කීම හිතේ තියගැනීම ගොඩක් වටින බව සමහර අයගෙ ජීවිත දිහා බැලුවම හිතෙනව... හ්ම්ම්... මං හිතන්නෙ ආයිමත් මට පියවි ලෝකෙට ගොඩබහින්න වෙලාව හරි වගේ.. තවම 16 වෙනිද වෙලා නෑ නේද කියල හිතෙද්දි ආත්මීය වශයෙන් විකාර ගතියක් දනෙනවා...
"ගලා යා දෙන් ජීවිතය,
එකම තැන,
එකම ලෙස,
පල්වී යන්නට පෙරාතුව...
වියලි බිම් තෙත් කොට,
මලානික සිත් තෙත් කොට..
වැටෙන තෙක් වැහි කතරට,
එකදු කෙම් බිමක් වත් තනන්නට....
බායි එහෙනම්,
ජය....
අල්තීනායි...
මහ වැස්සේම තෙමීගෙන,
අයිලයේ කෙලවරම ඉඳ,
පයින්ම ආවේ මම,
හෙට ආයෙ ඉස්කෝලෙ පටන් ගන්න බව කියන්න..
කන්ද උඩ ඉස්තාලෙ,
අපි ගොම මැටි ගාපු,
ඉස්කෝලෙට එන්න කියන්න...
කලු ගැහුනු,
උඹේ ගෙයි දොරකඩ දක්කම,
වැහි හීතලේ මැද්දෙම,
පිච්චුනා වගෙයි මගෙ හිත..
අල්තීනායි...
ලොකු වහලවල් උඩ නැවතුනු,
පොඩි පොඩි වැහි බිඳු,
උඹෙ පොල් අතු වහලයෙන්, ලොකු ලොකුවට වැටෙනකොට
, ගැලවුනු මැටි පොලවට- උඹේ පොත් පිටු ඇලෙනකොට..
වහලෙ හිල් වහන්නට- උඹේ පොත් පිටු සින්න වෙනකොට..
උගුර හිරවෙනවා වගෙයි මට,
උඹට ඉස්කෝලෙ ගැන කියන්න..
මේ දුයිශෙන් පට්ටමත් බරක් මට,
අල්තීනායි....
උඩ ඉන්න දෙයියොත්,
උඹලාගෙ දෛවයම කලු තීන්තෙන් ලියනකොට.....
මුදිත්
2014.08.18