එක එක හැඩෙන් කියවන්න

Friday, June 21, 2019

නටුවකින් තව මලක් ගිලිහුණි...

මන්දපෝෂණය හේතුවෙන් තිස්සමහාරාම, රාජපුර ප්‍රදේශයේ මාස 11ක් වයසැති බිළිඳෙක් මියයයි.
                                                                                            -පුවතක්-


නටුවකින් තව මලක් ගිලිහුණි..
පෙත්තක් පළමුවෙන්,
එකක් පසු තව එකක්,
හෙමි හෙමිනි - පිළිවෙළිනි...

දළු ලන - පඳුරු ලන
අන්ධකාරමය හෝරා මැද ද
හෝරා කටු නොනැවතී කැරකුණි..
හිතවත,
වෙඩි බෙහෙත් දුම් මැදත්
ලේ පිළී ගඳ මැදත්
සිංහ ගෙරැවිලි මැදත්
බිඳ බිඳ දුක උරා බී ගෙන
මළානික නටු අග
ඒ වුණත් කිරිකැටි මල් පිපුණි...

කුමන අඳුරක පිපුණත්,
කුමන නටුවක පිපුණත්..
මලක් නම් කිරිකැටි,
දෙ අත් බැඳ වටකොට
රැකගත යුතු නොවෙද මිනිසුනි...?

අන්ධකාරය අරගෙන
සළ මිනිස් රූ ඇවිදින
මූකලන්බත් කොදෙව්වේ,
දහස් නොව දස දහස්
රැඟුම් - සංවාද මැද
රැය ඔහේ දිගු වුනා පමණකි...

ඒ දහස් සංඛ්‍යාත
කථා - සංවාද මැද
මගහැරුනු බොහෝ දේ විණි..
පෙත්තෙන් පෙත්ත ගිලිහුණු
ඒ මලෙහි වැලපුම
ඉන් එකක් පමණකි මිනිසුනි...

-මුදිත්-
2019.06.21



පසු සටහන:
සිව් දෙනෙකුගෙන් යුත් පවුලක, ලාබාලතමයා වන ඉහත එකොළොස් මස් වයස් බිළිඳා මිය යන්නේ මන්දපෝෂණයෙනි. ඉදින්, සාඩම්බර ඉතිහාසය කෙසේ වර නැගුවත්, මේ මොහොත ගෙවා දමමින් සිටින අප හුදෙක් ම ළපැටියෙකුට කන්ට බත් දෙකටක් දිය නොහැකි රටක් - ජාතියක් පමණක් ම බව ශපථ කරමින් පවතී.

(එමෙන්ම පසුගිය තෙමසක කාලය තුල ඉතා ප්‍රබලව සිංහල බෞද්ධ ජන සමාජය තුල නැගී ආ "සිංහල දරුවන් වැඩියෙන් වදාපල්ලා" යන කරුණද , එසේ හඬ නැංවූ ව්‍යාපාර අද කොහිද යන්නද  විලිලජ්ජා වරහන් තුළ බහා හෝ යලි සිහිපත් කල යුතුව ඇත.)

3 comments:

  1. දැනුනා !

    මේ ගැනම මාත් ලිවිවා ටිකක් වෙනස්
    https://sal-gaha-yata.blogspot.com ගොඩවෙලා බලන්න

    ReplyDelete
  2. ස්තූතියි පවන් ප්‍රතිචාරයට. අනිවාර්යයෙන් ම ගොඩවෙන්නම් ඒ පැත්තට.

    ReplyDelete
  3. රැල්ලට වදාපල්ල කිව්වට එයාලට වගේ කෑම ලඟටම හම්බෙන් නැති වග තේරුම් කරන්න කවුරුත් නෑ... වචන රසයි�� තේරුම නීරස උනාට.

    ReplyDelete