එක එක හැඩෙන් කියවන්න

Monday, April 27, 2015

එකම එක අකුරක්...

අහස දුර කෙළවරක
තරුවකට තනි රකින,
අමාවක අහසකත්
සඳක් ඇති හැංගිච්ච...

නිය තුඩින් කුරුටු ගෑ
කතාවක නැවතිච්ච,
එකම අකුරක් තියේ
මැදියමක තනි රකින...

                                    -මුදිත්-
                                2015.04.27

Saturday, April 11, 2015

අහිමි පයකට වඩා නපුරුය- හදවතක් නැති ළයක දෙදරුම...

ප්‍රධාන පාසලක අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආබාධිත දැරියක්, ඉහල මාලයේ පන්ති කාමරයක සිට පහල මාලයේ පන්ති කාමරයක් වෙත මාරු කරලීමට කිහිප විටක් කල ඉල්ලීම් විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම නිසා දැරිය මාස තුනක් මුලුල්ලේ පාසල් යාමට නොහැකිව සිටී.
                                                                                                          -පුවතක්-

පාන්දර සීණුව
බොල් හඬින් හැඬුවා
නුඹ ඒද නුඹ ඒද
හැරි හැරිත් බැලුවා..
සුදු ගවුම් රැලි
සිනා හඬ මැද
මහා බර පාලුවක් තිබුණා..

දියණියක නෙතු කඳුළු නොදුටුව
දිසාපාමොක් හිතක් කුමටද..
උපන් නූපන් කඳුලු අහුලා
එහෙව් පා යුග වඳිනු යෙහෙකිද..
අහිමි පයකට වඩා නපුරුය
හදවතක් නැති ළයක දෙදරුම..
ළපටි මලකට ඇහැරෙන්ට හෙට
බිමක් තිබුණොත් එයයි අරුමය...

පිල්ලමක් ඇද අකුරකින් ලියු
කතාවෙක මහ බරක් තිබුනූ..
හදවතක් නැති ඇසක අද්දර
ඉතිරි කරලිය හැකිද කඳුලූ..
'අ' යනු 'ආ' යනු අකුරු ඇදවී
ඇඟිළි අතරින් ගිලී වැටුණූ..
තැනක දෙතැනක රැඳී තිබුණා
ඉකිලුමක් කවුරුත්ම නෑසූ...

                                                          -මුදිත්-
                                                      2015.04.11

Sunday, April 5, 2015

භාවනාව...

              ඒ 2012 වසර අග ය. සුපුරුදු ගමන් මග ගෙවා මා ගාලු කොටුවට පැමිණ එයිනුදු සුපුරුදු හෙවන යට දන්නා හඳුනන බංකුවකට බරවීමි. ඒ මා මුහුදට ප්‍රේම කළ අතීතයක ආරම්භය යැයි මට හැඟේ. මා මුහුදේ ගුප්ත ඝෝෂාවට ඇලුම් කලෙමි. බිඳෙන රළ දෙස බලා හිඳිමින් නැගෙන ශබ්දය රළට ගලපනවාට වැඩියෙන්, මුහුදට පිටුපා මේ බංකුවක වාඩි වී එකී ගුප්ත ඝෝෂාවට කන් දීමට මම ඇලුම් කලෙමි.
           
              මේ සෑම දිනකම මගේ පසුපස සාක්කුව තුල තෙරපි තෙරපී පුංචි සටහන් පොතක් ද මෙහි ආවේය. ඇත්තෙන්ම මා කවියකු වන්නට ආසා කළෙමි. මා කොතෙක් දුරක් ඒ මග ආවාද, අද කොතැන නතර වී ඇත්ද මා නොදනිමි. එමෙන්ම නොසොයමි. එහෙත්, මා ඒ මග ගෙනෙන්නට අත්වැල ඇල්ලූ නුඹ, ඒ අනපේක්ෂිත හමුවීම, අදටත් මේ මෙතැන; නුඹ මුලින්මත් අවසානයටත් හමුවූ මේ බංකුව මත හිඳ දයාබරව සිහිපත් කරමි. කියාගන්නට නොහැඟෙන මේ පහන් හැඟීමෙන් යුතුව මෙනෙහි කරමි.

             ඒ 2012 ඔක්තෝබරය වන්නට ඇත. දින වකවානු මතකයට ඔබ්බවන්නට හැමදාමත් අපොහොසත් වූ මට, නුඹ මේ කුඩා දිනපොත තිලිණ දීමට දෙමසකට පමණ පෙරාතුව ය. මා මෙතැන, බංකුව මත ම වාඩි වී හිඳ මගේ කුඩා සටහන් පොතේ සුදෝ සුදු පිටුවක කලු තීන්තෙන් අකුරු කුරුටු ගෑමට වෙර දරමින් සිටියෙමි. සැඳෑව නිසල ය. කලබලකාරී නැත්තේ ද නොවේ. මා වයසේම වාගේ පිරිස් කුඩා කණ්ඩායම් ලෙස ඔවුන්ගේ සැන්දැව තුටින් බුක්ති විඳිති. එහෙත් නිසලතාවය සොයන්නේ නම් එයද මෙහි ඇත්තේය. ඉදින්, ඔවුන්ගේ ලෝකයත් මගේ ලෝකයත් වෙන්කරන මායිමට මෙපිටින් හිඳිමින් මා අකුරු ඇමුණුවෙමි.

             "එක්ස්ක්‍යුස් මී, මෙතන කවුරුත් නෑ නේද...?"  ඈ මගේ බෑගය පෙන්වා ඇසුවාය. "නෑ නෑ, කවුරුත් නෑ, මගේ බෑග් එක" මා මදහසක් පාමින් බෑගය ගත්තෙමි. "තෑන්ක්ස්" කී ඈ අසුන් ගත්තාය. ඈ අත කැමරාවක් වීය. ඈ තිරය දෙස බලමින් ඈ ගත් ඡායාරූප පිරික්සුවා විය යුතුය. මා මඳ වේලාවක් හිඳ අවධානය නැවත මගේ සටහන වෙත තල්ලු කළෙමි. එහෙත් මඳ වේලාවකින් නැවත අවධානය මට අවනත නොවීය. මා පෙරළෙන සයුරට කන් දීමට උත්සාහ දැරුවෙමි. ඈ මඳ වේලාවකින් කැමරා තිරයෙන් ඇස් ඉවතට ගත්තාය. කැමරාව කැමරා බෑගය තුළට දමාගත් ඈ මා දෙස බලා මදහසක් නැගුවා ය. මම ද සිනාසුනෙමි. ඇගේ පරික්ෂාකාරී දෑස් මා අත වූ සටහන හා ගැටුනාය. නිරායාසයෙන් ම මා අතින් සටහන වැසුණේය. "ඔයා ලියනවනේ.." ඈ මදහසින් යුතුව ඇසුවාය. "එහෙමමත් නෑ" මම ද මඳ සිනාවෙන් පිළිතුරු දුන්නෙමි. " මමත් ලියනව, ඒත් නිතර නෙමෙයි.. වැඩිපුර ෆොටොග්‍රැෆි තමා කරන්නෙ. ඔයා නිතර ලියනවද..?" ඈ ඇසුවාය. "මම නිකම් හිතට එන දේවල් ලියනව විතරයි" මම පිළිතුරු බැන්දෙමි. අප සංවාදය ඇරඹුනේ මෙලෙසිනි. ලජ්ජාශීලී තරුණයකු වූ මා සෙමෙන් මුත් ඇගේ මිත්‍රත්වයේ උණුසුම් දෑත් පිළිගතිමි.

               අවස්ථා කිහිපයක්ම අපි මුණ ගැසුනෙමු. බංකුව දයාබරව අපත් මිත්‍රත්වයත් නොපැකිලව දරා උන්නේය. ඈ මගේ කවි කියැවූවාය. අඩු ලුහුඬුකම් දයාබරව පෙන්වා දුන්නාය. අපි විවිධ දෑ සංවාදයට නැගුවෙමු. ඈ මට වඩා වයසින් මෙන්ම කලාවෙන්ද, දැනුමෙන්ද පරිණත එකියක වූවාය. එකී පරිණතභාවයම මා හට කාව්‍ය වියමන් තුල අනන්‍යතාවක් ගොඩනගාගන්නට, පියෙන් පිය ඉදිරියට යන්නට අත්වැල ද සැපයූයේය. ඈ, මා ඇගේ හිතවතුන්ට ද හඳුන්වාදුන්නාය. ඔවුහු සමහරෙක් මේ ක්ෂේත්‍රයේ පතාක යෝධයන්ය. අපි විටෙක රැස්වීමු. විවිධ දෑ සාකච්ඡා කලෙමු. ඔවුන් ඉදිරියේ මා මුණිවත රකිද්දී ඈ මගේ නිහැඬියාව එළවා දැමූ වාර අනන්තය. ඈ, මා පුවත් පත් කවි පිටු වලටද හුරු කෙරුවාය. විටෙක දයාබර මිතුරියක වූවාය. මා ලියූ දෑ විචාරය කලාය, ඇතැම් විට නොපැකිලව මා විවේචනය කලා ය. වරක් ඈ මා කවියක් ලියා යැවූ පුවත් පතක් ගෙන මා හමුවට ආවාය. එහි පළවූයේ හා හා පුරා කියා මා ලියූ පෙම් කවියක් ය. ඈ පුවත්පතින් මගේ හිසට ගැසුවාය, "මෝඩයා, මොකක්ද මේ ලියල දාපු කෝලම. නාහෙන් ඇඬිල්ලක් නෙ." ඈ කීවාය. ඒ ඇගේ හැටිය. මා සිනාසුනෙමි. ඉඳහිට ඈ මා සමග බීර වීදුරුවක් ලෙංගතුව බෙදාගත්තාය. එවන් අවස්ථාවක ඈ මෙසේ කීවා මට මතකය, " මල්ලියෝ, ඔය ආදරේ තියනව නේද. ඕක ඇත්තටම භාවනාවක්. ඇත්තටම.. මට භාවනා කරන්න නෙ අමාරුම.. " ඈ සිනාසුනාය. මමද සිනාසුනෙමි.

              එහෙත් මා පමණක් දැන සිටි අන්දමට; මා සිතූ පරිදි මා පමණක් දැන සිටි අන්දමට, මා ඇයට ආදරය කළෙමි. සහෝදරියකට ලෙසත්, මිතුරියකට ලෙසත්, විටෙක පෙම්වතියකට පරිද්දෙනුත් මා ඇයට ආදරය කළෙමි. එහෙත් එය ඈ හමුවේ අප්‍රකාශිත ම වූයේය. ඇයට භාවනා කළ නොහැකි බව අන් කාටත් වඩා මා දැන සිටියෙමි. එහෙත් ඇය ද බොහෝ අවස්ථා වල මා පිලිබඳ සොයා බැලුවාය. හිතේ කොයි මුල්ලක ඇණුනු කටුවක් වුව ඇද දමන්නට ඈට පුදුමාකාර හැකියාවක් විය. ඈ එලෙස ඇගේ ළබැඳියන් බොහොමයක් සුවපත් කලාය.

              අපූර්ව වූ නිමේශයන් මතක ලෙස ශේෂ කරමින් කාලය ගලා ගියේය. සීත නොවැම්බරය උණුසුම තැවරී තිබුණි. දෙසැම්බරයද ශීත ය. එහෙත් හදවත උණුහුම් වීය. දෙසැම්බරයේ අග අපි හමුවීමු. ඇගේ ළඟ හිතවතුන් එක්කාසු වූ කුඩා සැමරුමක් වෙනුවෙන් අප නිතර හමු වූ ඒ පුංචි කුටිය එදා සැරසී උන්නේය. මෙ දින උදාවූයේ අපට රහසින් නොවේ. ඇය ස මසකට එක්සත් රාජධානිය බලා පිටත්ව යන බැව් මම ද මේ කුඩා කුටියද දැන හුන්නෙමු. එකී ගමනට ශුභ පතන්නට එදා ඒ කුටියද කඩතොළු බිත්ති වල තැවුල්, පින්තාරු වලින් වසා අප හා එක්කාසු වූවා සේ මට හැඟිනි. සාදය අවසන ඇය මා පිටත් වන්නට මත්තෙන් මා ඇම්තුවාය. "මල්ලෝ, ඔයයි මමයි මේක සෙලිබ්‍රේට් කරන්න ඕනෙ මෙතන නෙමෙයි." ඇය මදහසින් යුතුව කීවාය. "පුරුදු තැනම.. හෙට අනිද්දම, මොන වැඩේ තිබ්බත් යමු. හොඳද.." ඈ එසේ කීවා ය. ඉදින්, එදිනද උදා වීය. කොටු පවුර පාමුල අපි හමුවීමු. මුලින් ම ඇය මා හමුවූ දා අප දරා හුන් බංකුව වයසක මහතෙකු දරා සිටියද තවත් බංකු දෙකක් ම අප වෙනුවෙන් බලා සිටියහ. එහෙත් ඈ වාඩි වූයේ නැත. දෑත බැඳගෙන මුහුද දෙස මදහසින් යුතුව බලා සිටියා ය. මා ඈ දෙස බලා සිටියෙමි. "මූද හරි ලස්සනයි නෙ.. කොහොම උන්ත් අද කැමර් එක නම් අතට ගන්නෙ නෑමයි." ඈ කීවාය. අඩ හෝරාවක් පමණ නිහඬ දැහැනක ගතකර, මුල් ම දිනයේ අප දරා හුන් බංකුව හිස් වූ පසු අප එ මතට බරවීමු. දොඩමළු වූ වචනයක් වචනයක් පාසා මතකයේ නැතිමුදු අදටත් ඒ මොහොත සීරුවට ස්පර්ශ කල හැකි ලෙස මා මතකයේ කෙටී ඇත්තෙය. දොඩමළු නිහැඬියාව අතරින් පතර බිඳි ඇගේ හඬින් දැන් දනුදු මට ඇගේ මේ වචන ඇසේ. "මං ගියාමත් ඔයා මෙතෙන්ට එන්න ඕන. හොඳද... මේ කොටුව හවසට ඔයාට පේන හැටි කැප්ච කරල එවන්න ඕන මට." ඈ කීවාය. මා නිහඬවම ඇගේ බෑගය ගෙන කැමරාව ගතිමි. ඇය නිහඬව බලා උන්නාය. මා පසුපස වූ හිස් බැම්මේ ඡායාරූපයක් ගත්තෙමි. කැමරාව නැවත බැගයට දමා ඇගේ උකුළ මත තැබුවෙමි. "අද දවස මතක් වෙන්න.." මම කීවෙමි. එදින බොහෝ වේලා දොඩමළු වූයේ නිහැඬියාව ය. නිහැඬියාව දයාබරය. "ලියන ඒව පත්තර වලට දාල මටත් මේල් කරන්න.. කාලෙකට සැරයක් හරි ඔය කුරුටු ගාන විදියටම අතින් ලියල දිග ලියුමක් එවන්න..." ඇය කීවාය. "ගන්න ෆොටෝස් මේල් කරන්න මටත්." මමද කීවෙමි. යන්ට මත්තෙන් ඈ මේ කුඩා දිනපොත මා අත තැබුවාය. "ලියන්න මේකෙ හැමදාම. පුංචි පුංචියට හරි ලියන්න. මං ආයෙ ලංකාවට ආවම මටත් කියවන්න ඕන." මා එය සිරකර ගතිමි. මතකය ලෙංගතුය. දයාබරය.. මා හුස්මක් ළයට පුරවා ගමි. නුඹ කී අවසාන වචන මෙනෙහි කරමි. "හවස් උනා නේද, අපි යමු දැන්.. මන් යද්දි ඔයාට එයාපෝට් එකට එන්න වෙන්නෙ නෑ. ඒත් ඔයා ආව වගේ දැනෙයි." "පරිස්සමෙන් යන්න, මේල් කරන්න ඉඩ ආවම" මා කීවේ එපමණකි.

                දෙසැම්බරය අග සීත ය. ජනවාරියෙන් පටන් ගත් වසර පුරා ලියූ අකුරු පුරාවට ද සීත තැවරී තිබුණි. ලිපි හුවමාරු වීය. මා එදා කොටු බිත්තියේ ගත් ඡායාරූපය මුද්‍රණය කර ඈ මා වෙතද එව්වාය. ලිපි ගනුදෙනු අතර වරක් දෙකක් ඈගෙන් පිළිතුරු පමාවිය. පමා වූ පිළිතුරක ඈ අසනීපව හුන් බව සඳහන්ව තිබුණි. කාලය, ඉඳහිට වූ ලිපි ගනුදෙනු ද අතර ගෙවී ගියේය. අසනීපය පිළිබඳ දිගු සඳහනක් නොලද මුත් ඈ එවූ පිළිතුරු ලිපි වල මලානික බවක් තැවරී තිබිණ.

                 කාලය ගෙවී ගියේය. වෙනදාටත් වඩා මන්දගාමීව ගෙවී ගියේය. දෛවයේ අවසන් පරිච්ඡේද කිහිපය, ඇය දරුණු පිළිකා රෝගී තත්වයකට පත්ව ගත වන්නට ලියැවී තිබෙද්දී සීතල එක්සත් රාජධානියේ හිතවතෙකුදු නැතිවම සිය දෛවය හා සටන් වදින්නට ඈ තෝරාගෙන තිබුණාය. මා හට ඈ සැනසීම හැර වෙන කළහැක්කක් නොමැති තැනක මා ද සිරවී සිටියෙමි. එහෙත් සනසන්නට තරම් ඈ සිතින් දුර්වල නුවූවාය. "මං ආයෙ ලංකාවට ඇවිත් යන්න හරි එනව ළමයෝ" ඇය වරෙක ලියා එව්වාය. එහෙත් යතාර්ථය ඉන් අපගමනය වූවක් බව ඇයද දැන සිටින්නට ඇත. මාස කිහිපයක් එක්සත් රාජධානියේ ආරෝග්‍ය ශාලාවක හුදෙකලාවම ජීවිතය හා සටන් වැදි ඇය  අවසානයේ නිහඬවම ලංකාවට ආවාය. නිහඬවම පෑ විසි හතරක් අප අතර හිඳ සුපුරුදු මඳ සිනාවෙන්ම යන්නටම ගියා ය. ජීවත්ව හුන් ඈ අත කිසිදා තබන්නට නොහැකි වූ මලක් පමණක්, මා ඇගේ නිසල අතැඟිලි අතර සිරකළෙමි.

               සතියකට පමණ පසු මා නමට කුඩා පාර්සලයක් ලැබුණි. කුඩා ලිපියක්ද ඒ සමග විය. එක්සත් රාජධානියේ වූ ඇගේ හිතවතියක මා නමට එවූවකි. පාර්සලය තුල, ඈ මට දුන් දිනපොත වැන්නක්ම නිසලව වැතිර හුන්නේය. මා ඇයව කියවීමි. ඈ මා වෙනුවෙන් අකුරු කළ ඇගේ හිත සෙමෙන් පිරිමැද්දෙමි. බීර වීදුරු හිස්වෙද්දී මා කෙමෙන් ඈ වෙත සමීප වූයෙමි.

                ආදරේ කියන්නෙ භාවනාවක්ලු... මට පුංචි කාලෙ ඉඳන් කවමදාවත් භාවනා කරන්න පුළුවන් උනේ නෑ. ඒත් මට වෙලාවකට හිතෙනව භාවනාවකට වැදුනම අපි භාවනා කරනවද කියන එක අපිටම නොතේරෙනවද කියල.

                මම කල්පනාවේ ගිලෙමි. ඈ මා පසෙකින් හිඳගනී. "මොකද කල්පනාව.." ඈ සිනාමුසුව අසයි. "මුකුත් නෑ" මා උත්තර බඳිමි. "දැනෙන දේ ලියන්නකෝ, ලියල මටත් දෙන්නකො බලන්න" ඈ කියයි. මා කුරුටු ගාන්නට වෙර දරමි. එහෙත් කියවන්නට ඈ නැත. මට පිටුපසින් කොටු බැම්ම නිසලව බලා හිඳී. මා කොටු බැම්මේ ඡායාරූපය දෙස බලමි. කොටු බැම්ම එසේමය. මා බංකුවෙන් නැගිටිමි. කෑ ගසන සුළඟේ හඬ නෑසෙන තුරු මා ඇවිද යමි. සුළඟ බෝ දේ නොදනී, කෑගසයි. මුහුද බෝ දේ දනී, නිහඬය. භාවනාවක් බව නොදැනම භාවනා කරයි. මා සිතින් ඈ වෙතට යමි. ඈ රහසින් මට කොඳුරයි. "ආදරේ භාවනාවක්" මා ගැඹුරු හුස්මක් ඇද ගනිමි.. "ඔව්, ආදරේ භාවනාවක්..."

                                                                                                             -මුදිත්-
                                                                                                    2015.03.23

Saturday, April 4, 2015

සමහරවිට.....

මුදු වෙරළ තුරුළට
පිහිනූ ළපටි දිය රැළි,
හැපී ගල් පර වල
ඉහිරී හැලුනු කඳුලැළි,
පිරි පිරී සයුරට
සයුර ලුණු රස වෙන්නැති..
ළපටි රැළි වල මරහඬ
මේ විලාපය වෙන්නැති....

                                                          -මුදිත්-
                                                      2015.04.04