එක එක හැඩෙන් කියවන්න

Friday, June 26, 2015

නුඹටත් එහෙමම ද....?

මිදුලේ කෙලවරක
පිච්ච පඳුරේ සුවඳට
තිගැස්සෙමි ඉඳහිටක
සති අන්ත ඉරිදාවක..
සිහිවී පැරණි පෙම් හසුනක
නුඹ සතපවා ලූ
සුදු පිච්ච මල් දෙක..

"ඇත්තට ඒ තරම් පිච්ච මල් සුවඳ ද...?"

කන්තෝරු තෙහෙට්ටුව
විතරක්ම ශේෂ වුණ
වෙහෙසකර සිනහවක
සොයමි අර සෙනෙහස..
කාටත්ම රහසින්- නුඹේ මුව අග,
එදා මගතොටකදි පිපුණ...

ඇත්තටම,
සඳ එළියටත් බිය වෙමි
එදා අපි කවි ගී ලියුව,
පෙම් හසුන් වල අමුණා එව්ව..
සාවියක් කොයිබින්ද අද එතැන
කඳු ආවාට මිස...

"හිරයි මේ මංගල මුදුව"
නුඹටත් එහෙමමද....?

                                       -මුදිත්-
                                2015.06.24

*love painting by pino daeni 4*

සන්ධ්‍යාව වියැකෙයි....

වියැකෙයි සන්ධ්‍යාව,
කැන්වසය මත
නුඹ තියා ගිය...

"අවුරුදු ම කීයක්ද.."

නැගුණු රැළි, බිඳෙන පෙණ
එකින් එක දියැවෙයි..
අව පැහැය සීරුවෙන්
අළු පැහැති අඩඳුරක කිමිදෙයි..

වෙරළ අද්දර බංකුවක් මත
නුඹ තියා ගිය සිනහවක
කාන්තිය හෙමි හෙමින් බොඳවෙයි..

රාත්‍රියකට ඉඩ නොතබාම,
නුඹ තියා ගිය සන්ධ්‍යාව
නිහඬවම කැන්වසය මත වියැකෙයි....

                                            -මුදිත්-
                                       2015.06.19

එ'බිම මත...

නිරුවත් පොළොව පිට
සැඩ හිරු රැස් ම වැගිරෙයි,
නහර වැල් සිඳි සිඳී
අවසන් දිය බිඳත් වියැලෙයි..
සිහින් වැහි පොද එක දෙකක්
අවාරෙට පොළව පිට ඉහිරෙයි,
දැවෙන වැලි කැට මත වැතිර
එ'බිඳත් සිඳී වියැලෙයි...

දිගම දිග නිද්‍රාවෙක
සැඟව හුන් මල් ඇට
වියළි බිම මත විසිරෙයි..
ගිනි ගැනෙන රස්නෙට
මල් ඇටත් ගිනිගෙන පුපුරයි...

මල් කළල බිළිඳු ඇස්
බිම මත ඉකි බිඳුම් ඉහිරෙයි,
හමන එක සැඩ සුළඟකට
එ'හැම හැඬුමන් යටවෙයි...

රැය- දාවල යලිත් රැය
මාරුවෙන් මාරුවට එලැඹෙයි,
අඳ ගොලු බිහිරි තුඟු රුක්
එ'බිම මත සීරුවෙන් පැළවෙයි..
ඇස් කොනක වත් නොගැටී
එ'බිම මත මල් ඇට පුපුරයි...

                                          -මුදිත්-
                                   2015.06.26

Tuesday, June 23, 2015

වළාකුළු...

උනා හැර සුදු සේද සළු,
නිරුවතිනි කළු වළාකුළු..
කඳු මුදුන් මත අව අළු,
සරාගී රැඟුමකිය නෙත්කළු...

                                            -මුදිත්-
                                   2015.06.11

Saturday, June 20, 2015

අවසානයට පසු....?

ඉදින් අවසන,

බිඳී ගිය වීදුරුවක
කටු කැබලි මත වුව,
තැවරී තිබිය හැක මීවිත..

වියළිව ගිය මලෙක වුව
සුවඳක් ඉතිරි විය හැක,
සීරුවෙන් බැලූ තැන හමුවෙන..

ඉපැරණිම හාදුවක වුව
කැළලක් තිබිය හැක,
නළලතක නොව හදවතක..

දැවූ කඩදහියක වුව
අකුරක් ඉතිරි විය හැක,
දිගුව යා හැකි, අතීතය වෙත..

ඉදින්, මේ අවසානය
නැවතුම් තිතක් වෙද,
කොමාවක් මිස..

හෙටත් තව පිටුවක්
නොලියැවේ මැයි,
කිව හැකිද නුඹට, මට...

                                   -මුදිත්-

Thursday, June 4, 2015

මල් ගස...

ඒ ඉඩෝරය අහවරද
වැසි වැටේවිද තව නැතිද
පහු කරන් යන වැහි වළාවක් ගානේ
දෙගිඩියාවක මල් ගස..

පරාගණ දොර ලඟ හිඳින
සිනිඳු සමනළ තටු ගණින
රේණු විහිදුනු මල් දරා අත
දෙගිඩියාවක මල් ගස..

"පරාගණයෙන් පස්සේ
ළපටි ඵල දරා අතු අස්සේ
අමුණලා පොඩි කුරුළු තුඩකට
යැවිය යුතු වැහි වහින බිමකට.."
............

කේඬෑරි අතු මිය යද්දී
මියෑදුණ පත් ගිලිහෙද්දී
දරා අවසන් මල් පොකුර ළැම
නිහඬ සටනක මල් ගස...
                                    -මුදිත්-
                                2015.05.26

දෙවිවරුන් හිඳීවිද මලින් පිරි පුදසුනක...

වැටි පිටින් පළතුරුත් ගොඩ ගසා පුදසුනක
කහවණුත් පඬුරු ලා දෑත් බැඳ නළලතක
යාදිනිත් ගය ගයා ගුමු හඬින සවනතක
උවැසියන් පොදි ගැසී ලඟ නිවන් යනු පිණිස...

හෙටක් නොව බත් කටක් යදින පොඩි ඇස් දෙකක
මිදුණු ලුණු කඳුලකට උණු නොවෙන පපු ගැබක
රුපියලක් විසි කරන අත් දෙකක් නැති බිමක
දෙවිවරුන් හිඳීවිද මලින් පිරි පුදසුනක...

පුදසුනක පුදන්නට ගෙනෙන රස මසවුලට
ගිනිගැහෙන හිස් කුසක් නිවන්නට හැකි දාක
නිකැළැල්ම පුදසුනක් තනාගෙන හදවතක
මිනිස්කම වපුරපන් මියෑදෙන පින් බිමක...

                                                    -මුදිත්-
                                             2015.06.13


රස්තියාදුකාරයාගේ වෙසක්...

වෙස් මූණු දාගෙන
යන්ට බැරි නිසා පන්සල්..

වෙස් මූණ දාගෙන..
කහටක් නැතිව..

පන්සල් ආව
කාටත් දුන්නා දන්සල්....

                                    -මුදිත්-
                                2015.05.04

වැඩ මුර....

වැඩ මුරය අහවරව
ඉර රැස් සේනාව
ක්ෂිතිජය තෙක් ඇවිද
ක්ෂිතිජය කෙලවරින් පැන යති,
බෝඩිමට, ගෙදරට...

දිගම දිග දහවලක කෙලවර
සඳ රැස් කැකුළියන්
ක්ෂිතිජය කෙලවරින් මතුවෙයි
නිවසින් වැඩපළට,
රෑ වැඩ මුරයට...

ක්ෂිතිජය කෙළවරදි හමුවී
විඩාබර ඉරු රැසක්
තබයි,
සඳ රැස් කැකුළියක නලළත,
දවසේ එකම හාදුව...

                                    -මුදිත්-
                                2015.04.29