එක එක හැඩෙන් කියවන්න

Thursday, July 27, 2017

පිළිතුරක්....

දන්වා එවු නමුත්
කෙටිම කෙටි පණිවුඩයක,
අඳුරත්, පාළුවත් පමණක්
නුඹ අසල ගැවසෙන බව..

කලින් දන්වා නොපැමිණි
වසන්ත දෙක තුනක්
පසු කෙරුවද,
සොඳුර නුඹ නොදනී
මෙ'නුවර
කෙටි දිවා කලකුත්
දිගම දිග
රැයකුත් උරුම
හුදෙකලා සිසිරයක් බව...

                                        -මුදිත්-
                                2017.07.17


Painting :   "June's Ascension" - Timothy Rees {figurative art beautiful female standing woman digital painting}

Friday, July 21, 2017

නාටාමිගේ හිමිදිරියක්...

රැය අඳුරත් සමග ඉර පොරකන පැයට
කකියන නහර වැල් පිරිමැද එක දිගට
අහසට කලින් ඇහැරෙන කපුටන් හඬට
ඇහිපිය හරිමි එල්ලෙන නිදිගැට බරට

හිස්බඩ සනසනා පිටකොටුවේ කහට
තිත්තම පැණි රසයි කටගෑවම දිගට
ලෝකය ලොකු වැඩිය අප වැනි පොඩි අයට
පුංචි ම කුහුඹුවන් පෑගෙයි ලොකු පයට

ගරුතර තේජ ලීලාවෙන් වැඩ හිඳින
ලොරි පෙළ අලස ලීලාවෙන් මග බලන
කොළ, එළවලු පිරී තරවුනු මළු අහින
මේවා නොවෙද මගෙ හිමිදිරි සුබ දසුන

සිනහව නමැති, දුක සඟවන පිට පොත්ත
ගලවා බලන විට ඇතුලින් ඇති පැත්ත
කිසිදා වෙනස් නොවෙනා නොමියෙන ඇත්ත
කාරා ඉවත ලනු බැහැ දිවියේ තිත්ත
                                                                  -මුදිත්-
                                                          2017.07.16