එක එක හැඩෙන් කියවන්න

Wednesday, December 19, 2018

වලාකුළ

     ආකාසයේ මුදුන් අත්තක, මං ඒ කියූ වලාකුළ පිපී තිබුණා හරියටම- ඒ හීනයේ වාගේම. අත්තටු කියා මොකවත් ම නැති වුණත්, මං කියන්නෙත් මිනිහෙක්, සෑහෙන්න උස. අත දිගු කරන මානයෙ ම නොවුනත් පොඩි ඉඩක් නොතිබුණා නොවේ වලාකුළ නෙළාගන්න. ඒ වුණත්.. වළාකුලක් ගෙන ඒම පොළොවකට.? තව තියා ලෝදිය බුබුළු ලන පෘථිවි හරයට යාරයක දෙකක දුර තැනක, වලාකුළක් ගෙනැවිත් තියන්නද එහෙම...?
     ඉතිං, මං විශ්ලේෂණය කළ යුතුයි වළාකුල ගැන. වළාකුලක් හිසට ඉහලින් පැවතීම, මිනිහෙකුට තමන්ගෙම කියා වළාකුලක අවශ්‍යතාව, විමසා බැලිය යුතුයි මම.
     තමන්ගෙම කියා පොද වැස්සක් වස්සා ගන්න, දාහයම වගුරවන, කැකෑරෙන දහවලක ඉසිඹුවක් විඳගන්න, සීතල බීර වීදුරුවක් එක්ක මොහොතක් වළාකුලක් යට ගතකරන්න...
ෂාහ්..! වළාකුලක් ඕනෑ...!! ඒ තමයි තීරණය.
     එක අතකින්, මේ මොහොතෙ මං ඉන්නෙ සමකාසන්න රටක, ශ්‍රී ලංකාවෙ- ඇතුගල. මද්දහනෙ ඇතුගලට ගිණියම. ඇතාගල පුපුරු ගහන්නෙ පොලා පනින දාහයෙන් වලාකුළු පවා දවාගෙන. මේ මොහොතේ ම දාහයට අහුවෙලා වියැළිලා, නටුවෙන් ගිලිහිච්ච වලාකුළු කෑල්ලක් ඔහේ ගහගෙන ගියා හුළඟට. ඒ වලාකුළ ගැන දුක හිතුනා මට. මේ මොහොතේ සර්වබලධාරී දෙවියන් විදියට, මං තීරණය කලා, තර්ක විතර්ක නැතිවම- වලාකුළක අවශ්‍යතාව යථාවක් බව.
     මගේ ඊළඟ මෙහෙයුම, පෘථිවි හරයට යාරයක දෙකක දුර හිඳිමින් ම පෘථිවි හරය නිවා දැමීම. එක් අතකින් සෞරග්‍රහ මණ්ඩලයට ම තියෙන එකම නීල හරිත ග්‍රහලෝකයට, බුබුළු නැගෙමින් පැසෙන හරයක් මොකටද..? ළය මැද්දෑවෙන් අප්‍රමාණිකව නැගෙන සුසුම් ගුලි කර, බුබුළුලන හරයට දමා ගැසීම අති සරල පියවරක් වුණත්, ඇවිලෙන්නට ම උපන් සුසුමකට පුලුවන් ද, බුබුළු නැගෙමින් පැසෙන ලෝදිය නිවා දමන්න..?
     මං තීරණය කලා තෙත් බර සුළඟක් තනන්න. සුසුම, හුස්මක් කළ යුතුයි ඒකට. සෑහෙන ඉවසීමක් ඉල්ලා හිටින වැඩක් ඒක. ඊළඟට ඇවැසියි තෙත් බර හැඟුම් අල්ලක් ම..
මං තීරණය කළා වළාකුල ගැන හිතන්න. හරියට ම හරි..! මෙන්න උනනවා තෙත- හිත යට..
     එතකොටමයි කඩා පැන්නෙ නරුම වෘක රෑන ආකාස උයනට. උන් තවත් බෝ දුරයි, වලාකුළ පිපි මුදුන් අත්තට. ඒ වුණත් මං දමා ගැහුවා දරදඬු සිතුවිලි අහුරකින් උන්ට. කොහෙද.. උන් හෙලවුනේවත් නැහැ ඒකට.
ඒත්...!
මං හීනෙකින්වත් නොහිතපු විදියට එකම එක කෙසඟ වෘකයෙක් ඉවකළා සිතිවිලි අහුර. ඌට නම් ඒක හිතට අල්ලාපු ගානයි. ඌ, මං දිහා බැලුවා එක එල්ලේම. තත්පර දෙක- තුනක බැලුම් හුවමාරුවක්, සිතිවිලි හුවමාරුවක්.. ටෙලිපති.? කෙසේ හෝ වේවා, වෘකයාගෙන් ලැබුණා සිතිවිල්ලක් මට- අනතුර පහව යන බවට. ඒක අති ක්ෂුද්‍ර සහතිකයක්, සොබා දහම විසින් අත්සන් කළ- ලියා ඇති මා නමට.
     මේ සියල්ල අතරතුර තෙත බේරෙන වැහි අල්ලක් කඩා වැටෙනවා මගේ සිතිවිලි මතට, නොනවත්වාම. තෙත හුස්ම රැල්ලක්- දෙකක්- තුනක්.. නැහැ, අනන්ත වූ ප්‍රමාණයක් ම..
     එක ඇහි පිල්ලමක් සැලෙන සුනංගුවට මගේ ළය පුපුරුවාගෙන මහා තෙත හුස්ම කැටියක් නික්ෂේපණය වුණා පෘථිවි හරයට.
පෙළහරක්...?
ඔව්..! ඔබ කැමති නම්, ඒ කුඩා පෙළහරක්..
පෘථිවිය ඉල්ලා සිටියා යම් කාලයක්, නිවී යාමට. උදා වූ, වෙමින් තිබූ සෘතු නැවතුනා- ඒ ඒ කාල රාමු තුළ ම. ඇතැම් ගංගා, දිය ඇළි, ඒ ඒ තැන් වල ම. මොහොතකට හෝ ගල් ගැසී විශ්වයම..
     මම හැරුණා වලාකුළ වෙත. ඈ ඇතිකලා ශීතල ස්පර්ශයක් මා අත. පුදුමයි තිගැස්මක් වත් නැති කම. මං නැවත බැලුවා පෘථිවි හරය දෙස. සූ සූ ගාමින් නිවෙමින් සිටියා එය. නිවි නිවීඊඊඊ යමින් ම... එක්වරම කෙටුවා තද විදුලි සිතිවිල්ලක් අහස මත, වැහි කෝඩයක ලකුණක් වත් නැතිවම.
මං හිතන්නෙ, තද නින්දකට වැටුණා මම...
     ඇහැ ඇරී බැලුවා මම, නැහැ- බැලුණා මට. වලාකුළ දෙස. නිල් ම නිල් පාට ආකාසය..? එක වලාකුළකුදු නැති ආකාස උද්‍යානය..? දීප්තිමත් තැඹිලි ආලෝකයක් මා වට. ඇස් ගිණි කවන කාන්තිය..! ආලෝකය..!! ගත පුළුස්සන රශ්මිය..!!! වලාකුළ..? මැකී ගිය ලකුණකුදු නොමැතිවම මැකී ගිය..
     පෘථිවි හරය නිවෙමින්..? නැහැ. පැසවන පෘථිවි හරය තුළ මම..! මට දැනුනා දාහය, ගිණියම. සම දවා නැගෙනා පිළිස්සුම. කොහෙන්දෝ නින්නාද දෙන හඬක්..! ඉඟියක්..!!
"සෙල්සියස් අංශක 6000 යි. මේ ක්‍රි.ව. 2025. සාදරයෙන් පිලිගනිමු ඔබ, පෘථිවි හරයට...!!!"
-මුදිත්-
2018.12.19

Friday, November 9, 2018

හැන්දෑව නොහොත් නුඹ...

මුදා හළ රැස් කළඹ
දියව යන වෙරළතක,
දාහයක් කරදියක ගිලී යයි..
පඬු පොඟා ලූ සළුව
උරහිසක පළඳාන,
ඉරක් තේජස හළා
ක්ශිතිජයක ගිලෙන්නට නියමිතයි...

නහර බහණින්
එතුණු මස් ගොබ
යළි යළිත් රිදුම් කයි- ඇදුම් දෙයි..
සංතාප සැත් තුඩක්
හදවතේ මුදු තැනක්
ලියාලයි- යළි යළිත් ලියාලයි...

නිවී ගිය ස්වරයක්ව
නිවී ගිය දසුනක්ව
නිවී ගිය ගැඟුමක්ව..
හැන්දෑව...
ඉ සි යු ම් ව
ගලා එයි...

හැන්දෑව හා මුසුව
සන්තානයේ තැනෙක,
චන්ද්‍ර බිම්බය ලෙසට
මා නිවාලනු පිණිස,
මෝදුවෙයි
නුඹ සෙමෙන් මෝදුවෙයි...
                                                         -මුදිත්-
                                                2018.11.09

ඒ අතීතයෙ හැඩතල..

හැන්දෑව අතරින් පියමැන
සංතාප වළා පෙළකින්
මිදී ආවද ප්‍රේමිය,
එ'තරම් ම මෘදු ළයකින්
ඒ තරම් බර සුසුමින්
වෙළී පැටළී ගියේ කෙළෙසද
සංසාරගත ප්‍රේමය...?

පුරාතන මතක පොදි ලඹ දෙන
හන්තාන මුදුනින් නැගී,
ඉපැරණි ම බිම මත ලියැවුණ..
හාදු වංගුව පතුළට
මුදා අත් හළ කවියක,
රහසින් බිඳි බිඳී යනු ඇති
ජීවිතෙන් ගිලිහුණු එළිවැට...

ලියවැල ලිහී ඉහිරුණු බිම
මතක මල් පෙති ඉහී
සුළඟක ගසා ගෙන ගිය ඉම..
යොදුන් ගණනක් දුර
නාඳුනන සයුරක
ගිලී මියැදී යන්නැති
මහවැලිය ගෙන ගිය පෙම...
                                         -මුදිත්-
                                2018.10.30

Wednesday, September 19, 2018

වැඩිය හොඳ කොහොමද..?

මට, වැඩිය හොඳ කොහොමද..? 
                                                 -ඇය-

සාරියක් - ඔසරියක්..?
ගවුමක්..??
කලිසමක්..???

විඩාබර සති මැදක
පාන්දර ඔබ පිපී
මදහස වසන්කොට
කලබලෙන් පටලවයි සාරි පොට..
උදහසේ රැළි හදයි නුඹ..
මට යි ඒ උදහස...

ඉඳහිට එන සැඳෑවක
අතරින් පතර ගිලිහුණු
කහ මල් කිණිති සිඹ,
මල් පෙති ඉහුණු මල් ගවුමට
කටකාර වන මලයි නුඹ..
මට යි ඒ මදහස...

සති අන්ත ඉරිදාවක
නුවර මගතොට වීදි දිග
හිතුමතේ අත් පටලවන් යන,
අත් ඇඟිලි අතරේ
නිදහසයි නුඹ..
මට යි ඒ නිදහස...

සොඳුරිය..
ඉතින් මට,

සාරියක් කියන්නෙ ම උදහස..
ගවුමක් කියන්නේ මදහස..
ඩෙනිමක් කියන්නෙ ම නිදහස...

නුඹට...?
                                                  
                                                   -මුදිත්-
                                            2018.09.18

Tuesday, September 4, 2018

සුරත බැඳි මුතු දෙපොට...

හිත තබා නික්මුණෙන් මතකයක හැඩහුරුව
සිහින ඉවකර ඇදෙන කඳුළකිය නිම නැතිව
ළය පුරා පටලැවී - අතෙහි පැටලෙනු බැරිව
කල්පයක් කල් බලා හුන් අහස, සඳ නැතිව

ගණාඳුරු සිත පුරා නොනැවතී පා නැගුව
සදාතන සිහිනයකි සොඳුරු හැඩතල මැව්ව
පුරාතන මතකයෙක බැඳුම් වරපට ලෙහුව
සරාසඳ වියැකුණිද අඳුරු කළුවට මුහුව

වළා පෙළකට නැගී සැඟවෙන්න හැකි ඔබට
ගෙවා සපැමිණි දුරද, දුරක් නොවුණිද සිතට..?
නිවාලනු නොහැකියෙන්, නැගෙන කඳුළින් ඇසට
අතෙහි පටලා තබමි කළු ගැහුණු මුතු දෙපොට

මගහැරුණු මුතු ඇටය මත නිදන් කර මතක
අත බඳිමි මුතු දෙපොට කඳුළ සඟවා ඇසක
හාදුවක් පළන්දා සියුමැලි ම කොපුලතක
පැතිර යමි දියැවෙමින් සන්තාප කළුවරක
                                                                    -මුදිත්-
                                                            2018.08.31

Tuesday, August 21, 2018

හන්තාන, නුඹ සහ මම..

සන්තාන සෝ සුසුම් උන්නාට මග රැඳී
පෙම් පාට අහස යට මල් හාදු තව වසී
නින්නාද දෙන මතක කෙඳිරුවත් බිඳි බිඳී
හන්තාන තවම අප දෙස බලා ගෙන හිඳී
                                                              -මුදිත්-
                                                     2018.08.18

Tuesday, June 26, 2018

කතාවක ඉතිරි අඩ...

එකකට පසු එකක්
තවමත් දැල්වෙනා දුම්වැටි,
කාලය ගොලුව ගොස් නැති බව
ඉඟියකින්
ඔබට හඟවනු ඇති..

බිඳී ගිය වීදුරුවක
බිම පුරා ඇති කැබලිති,
අතරින් පතර බිම විසිරුණු
මලකින් ගිලිහි ගිය මල් පෙති,
සුසුමන් දෙක තුනක්
කුටිය හැර දා යනු බැරි......

මුවින් නොදෙඩූ බොහෝ දේ
ඉඟියකින්
ඔබට පවසනු ඇති...
                                                  -මුදිත්-
                                          2018.06.26

Monday, May 28, 2018

මැදියමක ..

හදවතේ සියුම් තැන්
මත ම ලැග හුන් මතක..
දිග හරිමි දෙපාමුළ
අඩක් වියැකුණු සඳක...
සිහිසන් ව ගිය නමුදු
තව නො මළ සිහිනයෙක..
නුඹ සිටින'යුරු දකිමි,
කිමිදෙමින් මධුවිතක...
                                 -මුදිත්-
                          2018.05.28

Monday, May 7, 2018

නික්මෙමි...

නොතෙමී හිඳිනු පිණිස ම
ශීතලෙන් මිරිකෙමින් වුව
උයන් කුටියකට වී
දිගු වස්සානයක්
පසු කලෙමි..

හේමන්තයේ එකින් එක
ගිලිහෙමින් යන පත් දැක
ගැඹුරුතම දහමක් අස
තාවර ව ගිය සිත
කූද්දා ඇහැරමි..

වසන්තයෙ පිපි මල් වල
එකිනෙක පැටලි මුදු සුවඳට
සෘතුවක් පුරා කවි ලීවෙමි..

දාහය ම කඳුළු කොට වගුරන
විසල් රුක් සෙවණක
මලානික පත් ගණිමින්
ගිම්හානයක් පසු කෙරුවෙමි..

මල් වරා ලූ පසුවත්,
තෙත සිඳී ගිය පසුවත්,
මෙතෙක් මල් දුන් බිම මත
නතර වී මග බැලුවෙමි..

ඉනික්බිති එක් මොහොතක
ඉඩෝරය වී - නුඹම සපැමිණ
දන්වා සිටින විට
මෙ බිම අතහැර යා යුතු ම වග,

ඉටි මලක් කොට, මතක රැස
පළන්දා - මල් වැරූ අතු අග
මඳක් තාවර ව හිඳ
මෙයින් නික්මී යන්නෙමි...
                                               -මුදිත්-
                                       2018.05.06

Thursday, May 3, 2018

පැහැයක් නොමැති කවියක්...

හෙළට එපිටින් නැගී,
හැඩයක් මිස
පැහැයක් නොපෙන්වන..
රැකගත් සමාධිය
නොබිඳ ම,
එ'නමුත්
දෙ'ඇස මෑතෙහි
රඳවන..
උතුවන්කඳු සිරස
නුඹ...

මග නොහැර
හැම සති අන්තයම,
එ'නුවර - මෙනුවර'තර
ඉගිලෙන..
නගරාන්තර බසයක
කුඩා කවුළුවක් අස
ක්ෂුද්‍රව ගිය මිනිස් තිත
මම...
                                                   -මුදිත්-
                                           2018.02.27
(කොළඹ- නුවර බසයක කවුළුවකට, උතුවන්කන්ද නිරාවරණය වූ ඇසිල්ලකදී ය)

Tuesday, February 13, 2018

මතකයක්

කොදෙව්වේ ඈත කෙළවර
සන්ධ්‍යාව ලැගුම් ගත්
විඩාබර වෙරළතක,
මෘදුව සළකුණු ව ගිය
ඔබේ පියවර දකිමි..
මඳක් නතරව සිටිමි...

ඔබ මෙතැන පසු කොට
සෘතු ගණනාවක්
ගෙවී ඇති බව හඟිමි..

අතින් අල්ලා බලනු බැරි
සුළඟට ලිහුණු කෙහෙ රැළි
හැමදාම එක හැඩයට
නොසෙල්වී සිටින'යුරු..!
ඔව්..
මතකයක් බව
සිතට හෙමිහිට පවසමි..
ඔබ කියා ගිය ලෙස ම
යළි යළිත් පවසමි...
                                           -මුදිත්-
                                   2018.02.10

Tuesday, February 6, 2018

නිදහස...

තුරු වැල් අත් පසුරු බැඳ
මග දෙපස හිඳ හිනැහෙත්..
පළන්දා හැම නටුවක් අග ම
විළිකුන් සුරත් ඵලයක්...
අත මඳක් දිගු කරමි
අතින් අල්ලා බලනු රිසියෙන්,
එසැනින් මවෙතය
'ඇල්ලීම සපුරා තහනම්..!'
ලියා ඇති ඇස් දහසක්...

කොන්ක්‍රීට් හිස් වසාගෙන
පිපී සුළඟට වැනෙත්
දහසක්
මදාරා- පරසතු මල්..
ඒ සමග දන්වා තබා ඇති වග නම්
'සුවඳ බැලුමට තහනම්...!'

සොඳුර, මේ මාවතේ අග මය
සොඳුරු ම වසත් උයනත්..!
ඉතින්,
මුණගැසෙනු හැකි අපට
ගෙවන්නට නිසංසල මොහොතක්...!

ගත එතෙන මඳ සුළඟින්,
අතු අග මල් කිරුළු සැදි
නිවර්තන තුරු වියනින්,
ස්‍රැතිය දැන පෙම් ගී ගයන
කවිකාර පෙම් විහඟුන්,
ඈත ඉඳ අර..! අත වනන
සුන්දර වසත් උයනක්...!

...............
දොරටුවෙහි පොඩියට ලියා ඇති
'පෙම්වතුන් පිවිසීම තහනම්...!!'
                                                    
                                                      -මුදිත්-
                                              2018.02.05

Saturday, February 3, 2018

නදී...

ගිර'ග මඳහස වී
යටැ'සින් මිටියාවතට ඉඟි කරනා,
චමත්කාරය
තුහින මුහුලස ලෙහා හරිනා..

කඳුළත්, තුසර පිනි කැකුළත්
එකම සෙනෙහෙන්
ළ'තුරෙහි තබන්නී රන්දා..
පුංචි ම තණ පඳුරු හිස
පිපි මලටත්
සෙනෙහස ගෙනෙන්නී හංගා..

කොපුළතක පිපි
ඩාදිය මලක් ගෙන,
මිටියාවතෙහි නළලත පළඳා..
දෙනෙතින් මිටියාවතට සමු දී
පහළට ගලන්නී ගංගා...
                                                    -මුදිත්-
                                            2017.12.10
#Painting by Jeff Pittman