එක එක හැඩෙන් කියවන්න

Wednesday, October 29, 2014

හීනෙකින් වත් හිතුනෙද, මේ තරම් කුරිරු බව දෛවය...

 කඳු කොපුල් තල තෙමාගෙන,
 වැහි කඳුලු ගලාගෙන වැටුනට,
 හීනෙකින් වත් හිතුනෙද,
 මේ තරම් කුරිරු බව දෛවය...

 අතරින් පතර මතුවුනු,
 ළපටි කෙළි බඩු වැළලී..
 දැනෙන මේ කිරි සුවඳ විතරමද,
 කොයිද කිරි කැටි මල්ලී...

 වැස්ස කොච්චර තද උනත්,
 අප්පච්චි වැඩට යන්නැතී..
 ගිය මාසෙ හිඟ පඩිත් අරගෙන,
 අද කලින් ගෙදර එන්නැතී...

  අම්මගේ තුරුල්ලට වෙලා,
 පොඩි මල්ලි නිදියන් ඉන්නැතී..
 මං විතරක්ම මෙහි තනි කරන්නට,
 දෙවියොත් නපුරු උනු හැටී...

"පුතේ අම්මල ඉක්මන්ට ඒවී",
 පොඩි අම්ම බිම බලන් කියනවා..
 කඳුලු ඉනුවත් එතකොටත්,
 මට ආයෙ අහසම බැලෙනවා...

 -මුදිත්-
 2014.10.30


Monday, October 27, 2014

අයියන්ඩියේ...

නිදද්දී හුඟක් උන්,
 තුරුල් කරගෙන සිහින..
 කාටත්ම කලියෙන් පිබිද,
 විටෙක නිදි නොමැතිවම..
 ගියා උඹ,
 පාළු මූසල රෑක..
 තිත්ත කළුවරට,
 ලියාදී ජීවිතය...
 උඹ වෙනුවෙන් නොවෙයි,
 දුක් විඳින අපෙ එවුන් වෙනුවෙන්ම...
 අසාගෙන උන්නාට,
 හැමදාම රෑට..
 දන්නවා යලි නො ඇසෙන බව,
 උඹේ බර පියවර හඬ..
 කදෝ පැණියන් විතරක්ම,
 තනි රකිද්දී උඹගාව..
 නිසලවම වැතිරී ඉන්න ඇති උඹ,
 උඹවත් නොදන්නා තැනක...
 මහා දිග කාලයක්,
 ගත උනත් උඹ නැතිව..
 මග බලනවා තවම හවසට- ඉඳහිට..
 උඹේ රුව මැකී ගිය කඩුල්ල ලඟ..
 අයියන්ඩියේ...,
 උඹේ පොඩි මල්ලිගේ,
 අකීකරු ඇස් දෙක....

 -මුදිත්-
2014.10.27

Wednesday, October 22, 2014

නාඬා ඉඳින් වැහි බීරම,
 හූමිටි තියාගෙන- පාතට වඩින බිම් කරුවලට..
 හිතේ කිසිදාක නැතුවට කහට,
 දාඩිය උරා බීගත්- අපෙ උන්ගෙ ජීවිත වලට,
 කවුදෝ ඉහලා සදහටම කහට...

 අව්වටම කළු ගැහුනු,
 පිට පොත්ත පෙම් පාට නැතුවාට..
 රිදුම් අතරින්,
 නොදැනෙන සේ සිනාසී හිටියාට..
 හිත අස්සෙ හිරවෙලා තියෙනවා ලෙංගතුකම- හැමදාම..
 සමහර විටෙක- සුදු අඳින අය ලඟ නැති තරමටම...

"ගිහින් එන්නම්" කියා ඇවිත් ගිය කිසිවෙක් නැතුවාට..
 බරක් නැහැ පාලුවෙත්,
 පුරුදුයි හුස්ම වාගේම..
 තැලී ඉල්පුනු බල නහර තුල දුවන..
 ලෙයෙහි දියවුනු මිනිසත්කමේ සුවඳ- තනි රකීවී කාටත්ම,
 හැමදාම..
 වෙනසක් නොකරම...

-මුදිත්-
2014.10.22

Monday, October 20, 2014

මල් පරව ගියා දෙන්,
 එපා හිතකට ගන්ට..
 හිරු සැඟව ගියා දෙන්,
 එපා නුඹ බිය වන්ට..
 හෙටක් ඇති නුඹට මට,
 අපෙම වී නැගිටින්න..
 අරුණෝදයක් ඒවි,
 දෑස් දල්වන් ඉන්න...

 කටුක නිරුදක කතර,
 ලියා දී අපෙ උන්ට..
 උකස් කරලාලු,
 වස්සානයත් එතෙරකට..
 යදම් දෙපයට දමා,
 බැඳ දමා අපෙ හීන..
 ඉවසාන ඉන්න නුඹ,
 අපි තනමු වස්සානයක් අපට...

 තටු කඩා බොහෝ උන්,
 සිරකෙරූ කූඩු වල..
 පැතුම් තව ලියා ඇත,
 මළානික දෑස් වල..
 රිදුම් පිරි මදින්නට,
 ලියාදී අතීතෙට..
 හිරු දකින තුරුම යමු,
 අපෙම හෙට දවස වෙත...


-මුදිත්-
 2014.10.19

Wednesday, October 15, 2014

පොත් හලකදී ඉපිද මළ කවි හිත..

දකිනවිට පොත් සැලක්,
 යදියි හදවත ඉසිඹුවක්,
 සිඳී ඉරි ගිය වැව් පතුල සේ,
 පොකැට්ටුව මට කරයි සරදම්...

 අලුත් පොත් සුවඳින් පුරා හද,
 පෙරළ පෙරළා සොයමි මුතු ඇට,
 හීන මැද්දෙන් එබී පොකැට්ටුව මුමුනයි,
 බාල ගිරි දොස හෙට නොවෙයි අද...
                                                  

2014.10.15
-මුදිත්-