එක එක හැඩෙන් කියවන්න

Friday, October 30, 2020

අමුතු මිනිහෙක්

උරා බීගත නොහැකි තරම් තාපය උරා ගත් පොළොවෙහි ගැටී, පොලා පනිනා සුසුම් දාහය ය. නළල් තලයෙන් නැගී දෙකන් අතරින් ගලා හැලෙනා ග්‍රීස්මය ය. ඇන්ජින් කුහර තුළ අඩ වශයෙන් දැවී ශේෂ වූ කාබන් අංශුවෙන් සැදි දුහුවිලි ය. දරා ගත නොහී රත් ගැහී පුපුරු ලන ඇස් ය. බහු අස්‍ර මුහුණු ය. කාබන් මිනිස්සු ය. පිළිස්සුණු නගරය ය. කවියන්ට අනුව නම් කොන්ක්‍රීට් නුවර ය. ගෙවී ගිය දින කිහිපයෙහි පෘථිවි භ්‍රමණය දරා ගත නොහැකි ව තෝන්තුවා වූ කයින් ද මනසින් ද වූ මම, තව දුරටත් දරාගත නොහැකි යයි ශරීර සෛලයක් පාසා කෑ ගසන්නට වූ තැන වාඩිගන්නට තීරණය කළෙමි. ඔව්, වාඩිගත යුතුය. එහෙත් කොතැනින් ද? කලබලකාරී වූත්, ජනාකීර්ණ වූත් නගරයට නොගැලපෙන මේ හරස් වීදිය කිසියම් වතක් පුරන්නා වූ තවුසෙක් වැන්න. පා පැදියක් තල්ලු කරගෙන යන කිසිවෙක්, දැහැන් නොබිඳම සරනා යතුරු පැදියක් දෙකක්, ළූණු එළවළු ගෝනියක් බඩ බැඳගත් ත්‍රී රෝද රථයක් හැරුණු කොට අතරින් පතර ගැහැණියෙක් හෝ මිනිසෙක්.. මීටර කිහිපයක් එපිටින් පෙනෙන බස් නැවතුම වෙත ගොස් මඳක් වාඩිවන බලාපොරොත්තුවෙන් මම එදෙසට පියවර නැගුවෙමි. “ඔබට සෙවණ- පුතුට නිවන...”

තට්ටම් වටය මැන සෑදුවාක් මෙන් වූ සිලින්ඩරාකාර කොන්ක්‍රීට් කඳ මත ඈඳි ගත් සැනින්, කාරා කෙළ ගැසීමේ අවශ්‍යතාවයක් නැගුනේ ශ්වසන මග වෙලා ගත් කාබන් අංශුවෙන් මිදීම පිණිස නැගි ප්‍රතීකයක් ලෙසිනි. අවසාන ආහාරය වශයෙන් ආමාශ ගත වූ කිරි කහට උගුරට ද දැන් දහ අට පැයකට ආසන්න වෙයි. කුසින් ඇවිලී නැගෙන ගින්න කෙලවර වන්නේ ගත නහර ද අවුළුවා දමමිනි. මම පසුම්බිය අතට ගෙන විවර කලෙමි. එහි ඇති මුදල, අවසාන රුපියල තෙක් සිත දනිතත් යලි වරක් ගැන්නෙමි. සියයේ හතරයි, විස්සේ එකයි, දහයේ කාසියයි, පහේ එකයි, දෙකේ එකයි.. රුපියල් හාරසිය තිස් හතයි... මම දෑස් පියා ගතිමි. කුසගින්න වෙනුවෙන් දිය හැකි සාධාරණ ම විසඳුම වන්නේ බනිස් පළුවක් කා, යහමින් සීනි දැමූ කිරි තේ එකක් බීමය. ඉන්පසු කුලී කාමරයට යා යුතුය. නින්දක් නිදා ගත යුතුය. දෑස් පියවුනු පසු බාහිර මුඩුම ලෝකය නොපෙනී යාම කෙතරම් නම් ආශ්චර්‍යමත් ද.. කාලකණ්ණි නගරය ද, නුවරුන් ද නොපෙනී යාම කෙතරම් නම් භාග්‍යක් ද.. හිටිහැටියේ නාසා පුඩු මිරිකමින් ගලා ආ බීඩි ගඳකින් මා දෙඇස විවර වුණි. මොහොතක් ඉන්ට නැති හැටි. නොපීරූ හිසකින්ද, වෙන කවරකුගේ හෝ අවශ්‍යතාවය පිණිස ඇඟලා ගත්තාක් මෙන් වූ කමිසයකින් ද, ඊටම නොදෙවැනි හමගිය කලිසමකින් ද සැරසුණු මැදිවියේ මිනිසෙක් යාබද සිමෙන්ති අසුනෙහි වාඩිගෙන නිවීහැන්නේ බීඩියක් උරයි; දුම අදියි, දුම විඳියි, යළි විදියි. කලබලකාරී නගර සිත්තම මත, වෙන කවර හෝ සිතුවමකින් කපා ඇලවූවාක් මෙන් දිස්වෙන සන්සුන් කමකි. ශාන්ත භාවයකි. මා තමා දෙස බලා හිඳිනු දුටු මිනිසා, මා වෙත සිනාවක් පෑවේ ය. බීඩි දුම විදිමින් තව සිනාසෙන හැටි... මම අසීරුවෙන් මුහුනේ මස් පිඬුවක් නටවා මඳ සිනාවක් පෑවෙමි.

“ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීම වරදක් වග මුන්නැහැ දන්නෙ නෑ වගේ..?” සිනාවට යටින් මම ඇසීමි. “මොකද නොදන්නෙ, මම දන්නවා” යි කී මිනිසා මට ද බීඩියක් දීගු කලේ ය. 

“බොනවද?” 

මා තුල හුන් යක්ශයා විරිත්තන්නට වී ය. “ලැජ්ජ නැතිව තමුසෙ මටත් බීඩියක් දික් කරනවද..”

“ලැජ්ජා වෙන්නෙ මොකටද? බීඩියක් නොබීවට මහත්තයා මහත්මයෙක් වෙන්නෙ නැහැ” යි කී මිනිසා ඇසක් පුංචි කර “එක උගුරයි” කියා වරක් බීඩිය ඇද කොටය බිමට අතහැර පයින් තැලී ය.

“ප්‍රසිද්ධ ස්ථාන වල දුම් නොබොන එක හරි මහත්තයා. ඒත් මෙතෙක් කල් අප්‍රසිද්ධ ස්ථානයක් වුණු මෙතැන, අද මෙහෙම මහත්තය ආවයින් ප්‍රසිද්ධ තැනක් වෙයි කියලා මගෙ ඔලුවට ගියේ නෑ” යි දබරැඟිලි තුඩින් තම හිසට තට්ටු කරමින් මිනිසා පැවසී ය.

“ඔය අතාරින පණ්ඩිත කතා තමුසෙ තියා ගන්නවා, හොඳ හයේ හතරෙ එකෙක් එක්ක නම් තමුසෙ ඔය කතා කියයිද, නෑනේ.” මම ද පෙරළා කීමි.

“අපොයි නෑ. කොහොමත් උන් එක්ක මගේ පෑහීමක් නෑ මහත්තයා. වැදගත් විදියට ජීවත්වෙන්න හදන මිනිස්සු එක්කයි කවදත් මගේ ගනුදෙනු.”

මා මුවේ සිනාවක් ඇඳුනේ නිතැතිනි. “තමුසෙ ඔය චාටු අතාරින්නෙ මගෙන් කීයක් හරි කඩාගන්න නම් තමුසෙගෙ වචන ටික අපරාදෙ, ඒ අදහස දැන්ම අතෑරගන්නවා. මගෙ අතේ ඇති සල්ලියක් නෑ.”

“මං මහත්තයගෙන් සල්ලි ඉල්ලන්න මං මහත්තයට මොකවත් විකුණලා හෙම නැහැනේ? අනික මහත්තයගෙ අතේ සල්ලි නැති වග මට අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. මං ඒක දන්නවා.”

“මූ නම් මහ අමුතු තාලෙ දත් ගලවන එකෙක්” යි මම මටම කියා ගතිමි. මගේ සංචාරක දිවිය පුරා නානාවිධ මාදිලියේ මිනිසුන් ද ගැහැණුන් ද මුණ ගැසී ඇතත් මෙවන් හාදයෙකු පිළීබඳ අල්පමාත්‍ර මතකයකුදු මගේ සිතට නොඑයි. “හොඳයි, එහෙනම් කතාවෙන් කතාව තමුසෙ මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?” ව්‍යාකූල වූ සිතින් මම ඇසීමි.

“මං මහත්තයගෙන් මොනව බලාපොරොත්තු වෙන්නද. සමහරවිට මහත්තය මගෙන් මොනව හරි බලාපොරොත්තු වෙනව වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔන්න ඕකයි මහත්තයා පටලැවිල්ල. මිනිහෙක් කතා කළොත් උගේ හිතේ යටි අරමුණක් ඇති කියලා හිතනවා, කතා නොකලොත් උද්දච්චකම යි කියලා හිතනවා. කොහොම වුනත් මහත්තයම නේ මුලින් කතාව පටන් ගත්තෙ. හොඳයි එහෙම නෙමෙයිද?”

“මං කතා කළේ තමුසෙ මෙතැන බීඩිය බීපු එක ගැන. ඒ කතා කරපු එකේ අරමුණ තමුසෙ කරපු වැඩේ වැරදියි කියන එක. තමුසෙ කියන දේ හරි ඇති, ඒත් අද කාලෙ කවුද යටි අරමුණක් නැතිව කතා කරන්නෙ. එක්කො තමුසෙ අලි තක්කඩියෙක්, නැත්නම් මේ කාලෙට කොහෙත් ම නොගැලපෙන මිනිහෙක්.”

“මහත්තයට ආයෙම වැරදුනා. මං ඒ දෙවිදියෙම නෙවි.” මිනිසා ඔලොක්කු සිනාවෙන් කීවේ ය.

මම මඳ වේලාවක් ඔහු දෙස බලා සිටියෙමි. ඇඳුම පැලඳුම අපිලිවෙල වෙතත් මොහු තක්කඩියෙකැයි කීමට මගේ සිත ද දැන් දැන් ඉඩ නොදෙන්නා සේ ය. අනෙක් අතට සාර්ථක තක්කඩියෙකු වීමට එසේ සිත් පෙළඹවීමට හැකි වීම ම මනා සුදුසුකමක් නොවන්නේද?

“හොඳයි, තමුසෙ කලින් කිව්ව නේ මගේ අතේ සල්ලි නැති වග තමුසෙට අමුතුවෙන් කියන්න ඕන නෑ, තමුසෙ ඒ බව දන්නව කියලා..?”

“ඔව් මහත්තයා” හේ වගක් නැතිව පිළිතුරු දුන්නේ ය.

“තමුසෙ කොහොමද එහෙම කියන්නෙ? අනික තමුසෙට ඒක අදාල වෙන්නෙ කොහොමද?”

“මහත්තයා දැක්කහම මට ඒක කියන්න පුළුවන්, ඇත්තටම ඒක මට අදාල කාරණයක් ම නෙමේ, ඒත් අදාල වෙන එකක් නෑමයි කියන්න බෑ”

“අහා..! මට තේරෙනවා, තමුසෙ ඇවිල්ලා තක්කඩිකම් වලට මිනිස්සු නම්මා ගන්න එකෙක්. අතේ සතේ නැති එකෙක් අහු උනාද තමුසෙ මුට්ටිය දාල බලලා මිනිහව වැඩේට නම්මා ගන්නවා. ලේසි සල්ලියට නැමෙන උන් නැතුවත් නෙමේ නෙ නේ..”

“ඔය, මහත්තයා දිගට හරහට පටලෝ ගන්නවා. මහත්තයට අනුව මේ ලෝකෙ ඉන්නෙ තක්කඩි විතරයි. ඇහුවට තරහ වෙන්නෙපා, එතකොට මහත්තය හිතන විදියට මහත්තය මොකෙක්ද..?”

මූ නම් අලි අමාරුකාරයෙකැයි මට නැවත වරක් සිතුණි. අසන කියන සියලු දෙයට මොහු ලඟ යස පිළිතුරු තිබේ. කොයි හැටි වෙතත් සංවාදය මගහැරයාමට ද මගේ කුකුස් සිත ඉඩ නොදේ.

“හරි, මං ලඟ සල්ලි නැති එක තමුසෙට අදාල නැත්තෙමත් නෑ කිව්වනේ.එතකොට තමුසෙගෙ හිතේ මගෙන් කීයක් හරි ඉල්ලන අදහසකුත් නැත්නම්, ඒක කොහොමද තමුසෙට අදාල වෙන්නෙ කියල කියනවකො බලන්න.”

“මට පුළුවන් මහත්තයට උපදෙසක් දෙන්න”

“මට..! තමුසෙ..? හරි, කියනවකො බලන්න..” නැග ආ උපහාසය කුහුලට යටපත් කරමින් මම කීමි.

“මහත්තයා රස්සා හෙවිල්ල නවත්තන්න.... ඒ වෙනුවට රස්සාවක් පටන් ගන්න” මිනිසා දෑස් දල්වමින් කී ය.

“සෑහ්.. බොහොම වටින උපදෙසක් නෙ ඔහේ දුන්නෙ. මේ... ලොකු උන්නැහේ, තමුසෙ හිතන්නෙ ඕක මීට කලින් මට හිතිලා නෑ කියලද? රස්සාවක් පටන් ගන්න කියන එක නං හරිම ලේසියි, ඒත් මේ රටේ ඒක කරන එක තමුසෙ හිතනවට වඩා සෑහෙන්න අමාරුයි. තමුසෙට මාව පේන්නෙ කොහොමද කියන්න මං දන්නෙ නෑ. ඒත් මම අවුරුදු හතරක් මැරිලා උපාධියත් කරගත්ත එකෙක්, ඒ මගුල සම්පූර්ණ කරගෙනත් දැන් මාස අටකට වැඩී. තමුසෙට ඕන නම් තව ඔය වගේ උපදෙස් දුසිම් දෙකක් කියලා බලනවා. මට කැට තියලා කිව්වෑකි, මං ඒ එකක් නෑර උත්සාහ කරල තියෙනව කියල. තමුසෙ අහල ඇති නේ කතාවක්, ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් පිළිතුර දාර්ශනිකය කියලා? ඉතිං තමුසෙගෙ උපදෙස ගැන මට කියන්න තියෙන්නෙත් ඒ ටික ම තමා”

“මං හිතුවා මහත්තයත් ඔය වගේ කතාවක් කියයි කියලා, කොයි කවුරුත් කියන ටික තමයි ඉතිං මහත්තයත් කියන්නෙ. මේකයි ඉතිං, මහත්තයා රස්සා හොයන්න ඇති. ඒත් මිනිස්සු හොයන හැටියට රස්සාවල් දෙන්න නං කවුරු හරි රස්සා හදන්නත් ඕන. ඒ නිසයි මං කිව්වෙ රස්සාවක් පටන් ගන්න කියලා, අමාරුයි තමා.. ඒත් ටිකක් දුවල පැනලා කට්ටක් කෑවොත් බැරි නෑ. මහත්තයට වරදින්න තියෙන තැන තමයි හරිම රස්සාවක් නිර්මාණය කිරීම.”

මිනිසා මේ සියල්ල පැහැදිලි කරන්නේ අතිමහත් විශ්වාසයෙනි. විකිණිය හැකි සියල්ල වෙනුවෙන් වෙළඳපොලවල් නිර්මාණය වී ඇති යුගයක, ඒ බව දැක පසක් කරගත් අයෙකු ලෙස, මා මේ කථාවට සිනාසෙනු හැර වෙන කුමක් නම් කරන්නද? මා පෙර සිතූ ලෙසම මේ මිනිසා අදට නොගැලපෙන හාදයෙකි. නන්නත්තාර වූ ජීවිතයකි. අනෙක් අතට මා ද නන්නත්තාර ජීවිතයක් ම නොවෙදැයි මේ කියවන ඔබ පෙරළා මගෙන් විමසනු ඇත. ඇත්තය, එහෙත් මා අදට නොගැලපෙන මිනිසකු නම් නොවේ. බාලාංශයේදී යම් තැනෙක මිනිසාගේ මූලික අවශ්‍යතා යනු වාතය, ජලය හා ආහාර බැව් ඇසූ වගක් මතකයේ ඇඳී ඇත. කවර නම් විහිලුවක් ද. ඒ එසේ වන්නට ඇත්තේ මීට යුග යුග ගණන් එපිට ය. ඒ කෙසේ වෙතත්, වාතය ද, ජලය ද, ආහාර ද, ඒ හැරුණුකොට ඖෂධයේ, සත්කාරයේ සිට අධ්‍යාපනය තෙක් දිවෙන සියලු දෙය සඳහා ද අද වෙළඳෙපොලක් නිර්මාණය වී ඇති වග මේ මිනිසාට තේරුම් කර දෙන්නේ කෙසේද? සරලවම ගතහොත් විකිණිය හැකි සියල්ල සඳහා වෙළඳපොල තැනී අවසන් වග මොහුට වටහා දෙන්නේ කෙසේද?

“තමුසෙ ඔය කියන්නෙ බිස්නස් එකක් ගැන නම් මට කියන්න තියෙන්නෙ විකුණ ගන්න පුළුවන් හැම දේකටම මාර්කට් එක හැදිලා ඉවරයි කියන එක තමයි. තමුසෙට තේරුණත් නැතත් ඒක තමයි ඇත්ත. ඒ නිසා තමුසෙ ඔය කියන කථාව ඇවිත් සම්පූර්ණෙන්ම විකාරයක්. එච්චරයි.”

“හොඳයි, මහත්තයා හිතන්න ඔය අපිට කෙලින්ම ඉස්සහින් තියෙන දියවැඩියා තුවාල මධ්‍යස්ථානය. ඕකෙ නේවාසික ප්‍රතිකාර තියෙනවා. තුවාලයකට බේත් දැමීම අමාරු නෑ මහත්තයා. එකම දේ මිනිස්සු ඉල්ලන දේ තේරුම් ගැනීමයි. මහත්තයලට වැරදෙන්නෙ ඔන්න ඔතෙන්දියි. සීනි පාලනය කරගෙන, කෑම ජීවන රටාව දෙක හදාගෙන, තුවාල පෑරෙන විදියෙ වැඩ කටයුතු වලින් ඈත්වෙලා හරියට වෙලාවට බෙහෙත් ටික කරනවා නම් දියවැඩියා තුවාල ගෙදරදිත් හොඳවෙනව මහත්තයා.”

“තමුසෙ දැන් කියන්න හදන්නෙ මේ ආයතනය කරන්නෙ බොරුවක් කියලද?” මම විමතියෙන් ඇසීමි.

“අපොයි නෑ. උන් සියයට සීයක් ම අවංකව වැඩේ කරනවා. ගන්න මුදලත් හරිම සාධාරණයි. බොරුව කරන්නෙ ඕකට එන ලෙඩ්ඩුයි මහත්තයා. ගෙදරදි පාලනයක් නැතිව, බලා කියාගන්න ඉන්න උදවියටත් සැර දාගෙන ඉන්නා ලෙඩ්ඩු මෙතෙන්ට ගෙනත් ගාස්තු ගෙවලා ඇතුලත් කෙරුවට පස්සෙ බළල් පැටවු වාගෙයි. ඔතන නර්ස් ලා තුනක් වැඩ. දොස්තර මහත්තයා උදේ හවස එනවා. ගෙදරදි ඉවසුමක් නැතිව් උන්නු ලෙඩා මෙතෙන්ට ගෙනැත් ඇඳක බාවලා දොස්තර මහත්තයා නියම කරන පිලිවෙලට මෙහෙන් ම කෑම බීම ටික දෙනවා. වෙලාවට බොන බෙහෙත් දීලා, තුවාල වලට බෙහෙත් දැමීමත් කරනවා. තුවාල වේලෙන තුරු ලෙඩා එහෙ මෙහෙ යනවා බොරු, වැසිකිළියට විතරයි. ඉතින් හොඳ වීගෙන එන තුවාල උනත් පෑරෙන්නෙ නෑ. ගෙදරදි සාත්තුකාරයට අත තියන්න නොදෙන තුවාලෙ, අර නර්ස්ලට අගේට සුද්ද කරන්න දෙනවා, බේත් දාන්න දෙනවා. ඉතින් මහත්තයා, තුවාල හොඳ නොවී තියෙයිද? ගෙදරකදි උනත් ඔය පිළිවෙල කරනවා නම් තුවාල හොඳ වෙන්නෙ නැද්ද මහත්තයා. වෙනස තියෙන්නෙ ලෙඩා ගෙ හිත ඉල්ලන පිළිවෙලයි. ඉස්පිරිතාලෙක, සාත්තු මධ්‍යස්ථානෙක හිටියා කියලා කියන්නෙ ලෙඩ්ඩු හරි ආඩම්බරෙන්. අනිත් අතට ගෙදර  අය උනත් තමන්ගෙ එකාගෙ උනත් රැස්පට් ඉවසන්නෙ නෑ. කීයක් හරි වියදම් කරන්න පුළුවන්කම තියෙනම්, මේ පිළිවෙලට ගෙදර උදවියත් සතුටුයි.  ඉතින් ඇත්තටම මෙතනින් සත්කාර සපයන්නෙ ඔන්න ඔය දේවල් ටිකටයි මහත්තයා. එකම බෙහෙත් සත්කාර ටික උනත්, ගෙදරට වඩා මෙතන තියෙන වෙනස ඇත්තටම ඕකයි. ඔන්න ඔය නාඩිය අල්ලලා රස්සාවක් පටන් ගත්තොත් ලාබ උපයනවා නෙමෙයි මහත්තයා ලාබ උපදිනවා.”

විදුලි සැරයක් මොළය හරහා ගියාක් මෙන් මම  තිගැස්සී ගියෙමි. මේ මිනිසා කියනා කථාව සත්‍යක් නොවේද. මිනිසුන් ගේ භෞතික අවශ්‍යතා පරයා නැගෙන්නා වූ මානසික රුචි නැඹුරුතා යසට ගලපා පැහැදිලි කරනා මේ මිනිසා කවරකු විය හැකිද? තක්කඩියෙකු යැයි දැන් නම් කිසිසේත් මා සිත විශ්වාස නොකරයි. තක්කඩියෙකු වුවද නිකම් ම නිකම් තක්කඩියෙකු වන්නට ඉඩක් නැත. කිසියම් දාර්ශනිකයෙක්? නැතහොත් තැනින් තැන සරමින් පර්‍යේෂණ පවත්වන්නා වූ පර්‍යේෂකයෙක්? ඒ කුමක් වුවත් මේ පෙනෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ගැන මෙතරම් යසට දන්නේ කෙසේද? සේවක මණ්ඩලයේ සිට ප්‍රතිකාර පිලිවෙල තෙක් සියල්ලම..? මම සිතෙහි කැකෑරෙන්නා වූ පැනය ඔහු ඉදිරියේ තබමි.

“තමුසෙ කොහොමද මේක ගැන මේ තරම් හරියක් දන්නෙ?”

“මේ ආයතනෙ ගැන මේකෙ අයිතිකාරයා වත් මං තරම් හොඳට දන්නෙ නෑ මහත්තයා. ඇත්තම කියනව නම් මේ ආයතනය මගේ අදහසක්”

මෙවර නම් සියලු කුතුහලයන් විසුනු කරමින් මා මුවින් පැන්නේ සිනාවකි. මේකා පිස්සෙක් විය යුතුය. පෙර කී සියලු විස්තර මෙම ආයතනයේ සේවකයෙකු හා දොඩමලු වීමෙන් දැන කියා ගන්නට ඇත. මොහොතකට පෙර දාර්ශනිකයෙකු හෝ පර්‍යේෂකයෙකු වන්නට ඇතැයි පහල වූ කල්පනාව පිලිබඳ මට ම මා කෙරේ සිනහවක් පහල වින.

“හොඳයි ලොකු උන්නැහේ.. දැන් ඔය මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වල නාඩියත් දැනන් ඉන්න එකේ ඇයි එතකොට තමුන්නැහේ තමුන්ගෙම කියලා රස්සාවක් පටන් නොගන්නෙ..?” මිනිසා සමච්චලයට පත් නොකරන්නට සිතූ මම, සඟවා ගත් සිනහවෙන් යුතුව විමසීමි.

“මහත්තයා හිතුවෙ මං රස්සාවක් නැතිව මහත්තයට උපදෙස් දෙනව කියලද? මට, මම ම පටන් ගත්තු මගේම කියලා රස්සාවක් තියෙනව මහත්තයා. මේ දැන් උනත් මම මේ කරන්නෙ ඒක වෙන්න පුලුවන්..”

මෙවර මා සිනහව සිරකර ගත්තේ ඉතා අසීරුවෙනි. මෙවන් මිනිසුන් අපහසුතාවයට පත් කිරීම කිසි සේත් මාගේ ස්වාභාවය නොවේ. එහෙත් මොහු ගේ උද්දච්චභාවයත්, පෙරදී විදා පෑ පාණ්ඩිත්‍යයයත් සිහිවන මට ලෙහෙසියෙන් කර බා ගන්නටද නොසිතෙයි.

“බොහොම වටින රස්සාවක් වෙන්න ඇති එහෙනම්. එතකොට ඔය ඇඳුමෙන්ම ද රස්සාව කරන්නෙ?”

“අපොයි ඔව්. බොහොම වටින රස්සාවක්, ඒ වගේම සේවයක්
... ඇඳුම නම් මහත්තයා වෙලාවෙන් වෙලාව වෙනස්. හැම රාජකාරියටම එහෙම නේ. දොස්තර මහත්තුරු වාට්ටුවේ ඉන්නෙ සැත්කම් ඇඳුමෙන් නෙමේ නෙ. දැං අර ට්‍රැපික් රාළහාමි උනත් ඔය අත් දෙකට සුදු දාගෙන ඉන්නෙ මහ පාරෙ රාජකාරියෙදි විතර නේ. නිකමට හිතන්න මහත්තය මා එක්ක මේ කතාවට ආවෙත් අර බීඩි කොටෙයි, මේ කබල් ගැහිච්චි ඇඳුමයි නිසා නේ.” මිනිසා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය.

“මං දන්නව මහත්තයගෙ ඔලුවෙ දැන් නලියන ප්‍රශ්නෙ, මගෙ රස්සාව මොකද්ද කියන එක නේ” මිනිසා ඇස් නටවමින් ඇසී ය. “මහත්තයට පුළුවන් නම් හිතල කිව්වට කමක් නෑ, මම මේ කර කර ඉන්නෙත් ඒකම තමයි..” මිනිසා මගේ කුහුල වඩමින් වෙට්ටු දමයි.

“හරි, මට බෑ. තමුසෙ ම කියනවකො තමුසෙගෙ මහ ලොකු රස්සාව..” මම, මෙතක් වේලා සිත පුරා පැතිරුනු උපහාසය යටකරමින් නැගුනු කුහුලින් යුතු ව ඇසීමි.

“මං විකුණන්නෙ රස්සාවල් යාලුවා.. මං කිව්වා වගේම මේ පේන දියවැඩියා මධ්‍යස්ථානයත් මගේ වැඩක් තමා. කොහොම උනත් ඔහේගෙ මූණ දිහා බලද්දි නම් මට හිතන්නෙ, දැං මගේ කන්තෝරු කාමරේට ගිහින්, මීට වඩා සැප පහසුවට වාඩිවෙලා, සීතලට අයිස් කෝපි එකක් කාරිය බිබී අපි දෙන්නට කතා කරන්න දේවල් ටිකක් මෙතනින් එහාට තියේවි කියලා.”

 

 

*** *** ***

-මුදිත්-
25.10.2020

සිතුවම අන්තර්ජාලයෙනි

Friday, October 16, 2020

සන්ධ්‍යාව මගහැර - දැන් ඉතින් රාත්‍රිය...

නිමිත්ත: දහවල ද, සන්ධ්‍යාව ද සේවා මුරයට ම සින්න වී ගිය වකවානුවේ- එක් දිනයක, සේවා මුරය නිම වී කුලී කාමරය බලා එන අතරමගදී ඈත තුරු හිසක් මත දුටු, දවසේ අවසාන රන් පැහැ සේයාව ඇසිල්ලෙන් අතුරුදන් විය. 


තුරු හිස් මුදුන් මත වැතිරෙයි

සන්ධ්‍යාව ඉහිරවූ රන් පාට,

අවසාන බිඳුව තෙක්

පඬු පෙඟී ගිය පසුව

මෙන්න ඒ වළාකුල ඇස ගාව..


ඇසිපියක් සැලෙන කොට

කඳු වලල්ලෙන් පැන

නිම්නයට ගොඩවදියි රෑ පාන,

උස් ම කඳු මුදුන වුව,

අඩදැණියි අන්න ඒ, රැය ගාව..


සායම් ලූ ඉසව් පිරිමැද,

බෝඩිම්කාර සිත ගාල් කර

ඝණ අන්ධකාරයෙහි හරි මැද,

ගණා'ඳුර මය ගෘහපති

එතැන් සිට

සිත් මූකලානෙහි රජයන...


-මුදිත්-
2020.10.16

Painting: Darkness Like A Screen, Light Like a Halo," by Patrick Aaron

Monday, October 12, 2020

ගුරු දිනය වෙනුවෙනි.. සෙනෙහසිනි...

මුල් පුටුව ලඟ තනිය මකන ඉටි මල් පොකුර

ඉන්ටනැෂනල් සිහින, වසාගෙන කහ සමර

සල් ගසක මුල වැටුණු හෝඩි පොත මුල් අකුර

සින්තටික් අතු අගට පලන්දයි පොඩි අමර


-මුදිත්-
2020.10.12