එක එක හැඩෙන් කියවන්න

Saturday, August 30, 2014

අල්තීනායි...

අල්තීනායි...
 මහ වැස්සේම තෙමීගෙන,
 අයිලයේ කෙලවරම ඉඳ,
 පයින්ම ආවේ මම,
 හෙට ආයෙ ඉස්කෝලෙ පටන් ගන්න බව කියන්න..
 කන්ද උඩ ඉස්තාලෙ,
 අපි ගොම මැටි ගාපු,
 ඉස්කෝලෙට එන්න කියන්න...
 කලු ගැහුනු,
 උඹේ ගෙයි දොරකඩ දක්කම,
 වැහි හීතලේ මැද්දෙම,
 පිච්චුනා වගෙයි මගෙ හිත..
 අල්තීනායි...
 ලොකු වහලවල් උඩ නැවතුනු,
 පොඩි පොඩි වැහි බිඳු,
 උඹෙ පොල් අතු වහලයෙන්, ලොකු ලොකුවට වැටෙනකොට
, ගැලවුනු මැටි පොලවට- උඹේ පොත් පිටු ඇලෙනකොට..
 වහලෙ හිල් වහන්නට- උඹේ පොත් පිටු සින්න වෙනකොට..
 උගුර හිරවෙනවා වගෙයි මට,
 උඹට ඉස්කෝලෙ ගැන කියන්න..
 මේ දුයිශෙන් පට්ටමත් බරක් මට,
 අල්තීනායි....
 උඩ ඉන්න දෙයියොත්,
 උඹලාගෙ දෛවයම කලු තීන්තෙන් ලියනකොට.....

මුදිත්
 2014.08.18

No comments:

Post a Comment