Tuesday, November 1, 2022
ඒ බීර පැහැ මොහොත...
Monday, October 31, 2022
කැරලි
Monday, October 24, 2022
අලුත් කවියක්
සේද සළු පට වළා අතුරා
රළු පරළු ගිරි තුඩක- මුදුනක
පෑරි පෑරී ගලන කඳුළත්
මුදා හළ යුතු පතන් බිමකට..
එයින් ඇහැරී අලුත් දළුවක්
පෙති දෙපෙති වී නැගෙන දවසට
මිටින් හළ හැකි අලුත් කවියක්
පතන් බිමකින්, ඈත අහසට...
-මුදිත්-
24.10.2022
Monday, October 17, 2022
ඒ වගේ කතා මට ආයෙ කියන්න එපා...!
පුංචි කාලේ මට තිබුණා රතුපාට ත්‍රී ක්වාට කලිසමක්. අදටත් මොන තරමක, විලාසිතාවක හරි රතු පාට කොට කලිසමක් දකින ඕනම වෙලාවක හිතේ මුල්ලක එල්ලිලා වැනෙන රතු පාට පුංචි ත්‍රී ක්වාට කලිසමක්.. ඉස්කෝලේ කාලේ මම අයිති නිවාසෙට අදාල පාට වුනේ රතුපාට. ඉතින් එකමත් එක නිවාසාන්තර තරඟ කාලෙක, එකමත් එක දවසක, එකමත් එක තරඟයක් වෙනුවෙන් තෝරගතපු සීමිත පිරිසකට මාවත් අයිති වුණා. ඒ වගේ දෙයක් හරි ලොකුවට දැනෙන වයසක් ඒක. කොහොම හරි ඊලඟ දවසේ තරඟයට සම්බන්ධ වෙන්න රතුපාට කොට කලිසමකුත් අරන් හවස් වෙනතුරු ඉස්කෝලේ රැඳෙන්න සූදානමෙන් එන විදියට උපදෙස් ලැබුණා. ඒ මොහොත වෙනතුරු ඉස්කෝලේ කිසිම බාහිර වැඩකට සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබිලා තිබුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වුණේ අපේ ගෙදරට ඉස්කෝලේ ඉඳලා තිබුණු දුර. පහ වසර ශිෂ්‍යත්වය වෙනතුරු ගමේ ඉස්කෝලෙට ගියපු මට, ශිෂ්‍යත්වය පාස් වෙලා ටවුන් එකේ මේ ඉස්කෝලෙට එන්න සිදුවීමත් එක්ක දවසට පැය දෙකහමාරක විතර කාලයක් පාසල් ගමන වෙනුවෙන් වෙන්කරන්න උනා. කොහොමහරි අදාල තරඟෙ වෙනුවෙන් එදා හවස අම්මලා මට රතු පාට කොට කලිසමක් අරන් දුන්නා. ඒ වගේම ඊළඟ දවසේ හැන්දෑ වෙලා මාව එක්කරන් එන්න අම්මා නිවාඩුවකුත් දාගත්තා. ඊට පස්සේ අදාල දවසේ මම ඉස්කෝලේ ගිහින් රතුපාට කලිසම ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ගියා. අදාල තරඟෙ තියෙන සීමාවෙන් ම හිටියත් වරුවක් විතර යනතුරු කිසිම කෙනෙක් මට කතා කළේ නැහැ. අන්තිමේ මම එතන ඉදපු ලොකු පන්ති වල අයට කිව්වා ඊයේ මාව තරඟෙට තෝරගනිපු බව. half මැච් එකකින් පස්සේ ගන්නම් වගේ කතාවක් කියවුණත් ආයෙ ඒ අය මම ඉන්න පැත්තවත් බැලුවෙ නෑ. මම ඒ පැත්තට ගියත් මට බෝලෙ අල්ලන්නවත් ලැබුණෙ නෑ. අන්තිමේ කරගන්න දෙයක් නැතිව අසරණ උනු මම එතනින් හැරිලා ඇවිත් හවස් වෙනකම් නොඉඳ ස්කූල් වෑන් එකේම ගෙදර ආවා. මම ආපු බව සිකියුරිටි ගෙන් දැනගෙන අම්මත් හවස ගෙදර ආවා. ඉන් පස්සෙත් හැම අවුරුද්දකම නිවාසාන්තර තරඟ තිබුණා. විවාද තරඟ, කථික තරඟ, සිංහල භාෂා දින තරඟ වගේ වෙන වෙන අමතර තරඟත් හැම අවුරුද්දකම තිබුණා. සෑහෙන කාලයක් යන තුරුම රතුපාට පුංචි කලිසමත් අල්මාරියෙ කොණක ගුලි ගැහිලා තිබුණා. තරඟෙට නොගැනීම ගැන මට ලොකු දුකක් තිබුණෙ නෑ. ඒත් අම්මා උනු රස්තියාදුව ගැන හිතේ ලොකු බරක් තිබුණා. අදත් මං වටේ සෑහෙන තරම් තරඟ තියෙනවා. ඒ එකින් එක මග හරිමින් අදටත් මම ඈත් වෙන හැම වෙලාවකම වගේ මගේ වටේ ඉන්න අය ගොඩක් වෙලාවට එක එක කතා වලින් මාවත් ඒ සමාජයට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් ඒ කාටත් නොපෙනෙන්න රතුපාට පුංචි කොට කලිසමක් අදටත් මගේ හිතේ කොනක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කතා මට ආයෙ ආයෙත් කියන්න එපා කියලා මං ඉල්ලා හිටිනවා.
~~~~~
එකමත් එක කාලෙක හාවෙකුයි ඉබ්බෙකුයි අතරෙ රේස් එකක් තිබුන කියල අපිට උගන්වලා තියෙනවා. හාවා දිනනවා කියලා කැට තියලා කියන වයසක් ඒක. කොහොමහරි ඉබ්බා දිනනවා. හාවා ගේමක් නැති නිසා දිනුම් කණුව පෙනි පෙනී නින්දක් දානවා. ඉබ්බා ෆුල් ගේමෙ හිටපු එකෙක්. නිදාගෙන හිටපු හාවා පෙනි පෙනී සද්දයක් නැතුව ඌ දිනුම් කණුවටම යනවා. නිකං නෙමෙයි ඌට හෙණ ධෛර්යයක්, විශ්වාසයක් තිබුණා කියලත් අපිට උගන්නලා තියෙනවා. හෙණ ලොකු සීන් එකෙ ඉඳපු නිසා හාවට හොඳ වැඩේ වගේ එකක් අපේ ඔලු වල තිබුණා. ඒ වගේම නෑ බෑ නොකියා ගේම ගහපු ඉබ්බා ඉතින් හෙණ රෙස්පා. ඉබ්බෙක් උනත් ඉතින් ඌ වගේ වෙයන් වගේ එකක් අපේ ඔලු වල තිබුණා. කොහොම වුනත් දැන් නං කෙස් ගස් එක දෙක ඉදීගෙන එන වයස මට. දිනුම් කනුව පෙනෙද්දි, හාවා නිදාගෙන ඉන්නවා පෙනෙද්දි, මූ දැන් ඇහැරෙයි දැන් ඇහැරෙයි කියලා හිතෙද්දි, පොඩි සද්දයක් වට පිටෙන් ඇහෙද්දි ඉබ්බට ආපු tension එක, දිනුම පේනකොට එන anxiety එක මට මගේ පුංචි ලෝකෙ ඇතුලෙ හයිලයිට් වෙලා පේනවා. රතුපාට කොට කලිසම ඉස්සර තරම් බරට නොදැනුනත් හිතේ සාමය බිඳ ගෙන මේ කරන දේවල් මොකටද කියලා ඇත්තටම මට හිතෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කතාත් මට ආය කියන්න එපා කියලා මං හරි ආදරෙන් කියනවා.
~~~~~
ඒ වගේම මේ හිතේ සැහැල්ලුව, නිස්කලංක බව තරඟ අදාල නැති තාලෙන් ගෙවෙන ජීවිතේ ගැන අහන කෙනෙකුට කිව්වත්, එතකොට ඒ පැත්තෙන් අහන ප්‍රශ්න, ගේන තර්ක මහා ගොඩක් තියෙනවා.
"එතකොට උඹ කියන්නේ මහණ වෙන්නද?"
"අපි අකමැති වුනත් තරගය අපිව ගේමට අරං ඉවරයි බං"
බ්ලා බ්ලා බ්ලා... අන්න ඒ ගැන හිතනකොට කොක්කු දෙන්නා එක්ක ආතල් එකේ උඩිං යන අතරේ කට ඇරලා නැහිච්ච ඉබ්බගේ කතාව මට මතක් වෙනවා. ඒ නිසා කොච්චර කොහොම වුණත් තරඟ ගැන, තරඟෙ ගැන තර්ක විතර්ක වගේ මඟුල් වුණත් මට ආයෙ කියන්න එපා කියලා මං හරිම ආදරෙන් කියනවා.
Thursday, September 29, 2022
රුවලින් මිදුනු පසු...
Wednesday, September 7, 2022
සොඳුර, නුඹ සුවයෙන්ද...?
තිතක් කොට දක්වයි
කුඩා කවුළුව..
මහා වැසි සිරකර
නිහඬව, නිසලව හිඳියි
ආකාශ වස්තුව...
රැළි රෙද්ද මෑත් වෙයි,
සුළඟක වෙස් රැගෙන
මායාව ගලා එයි..
පළුදු වුනු අත්තටු අතුල්ලා
රෑසියක වෙණ වැයුම
ඇරඹෙයි...
'ඇත්තමයි,
දැන් දැන් මට හරිම වෙහෙසයි..'
කාලය ඝනීභූතව
නතර වී දැයි
ඝටිකා මුහුණ මත..?
ඈත හිඳ ගී ගයන
අර රොබින් කුරුල්ලා..
උටත් මග වැරදී ද..?
තැනින් තැන පිපි මල්
කහ ගැහී බිම හැලුණු තුරුපත්
එකින් එක පසු කොට,
මිදී ගිය විල් දියෙන් විමසමි
කුමක්දැයි මේ සෘතුව...?
මංමුලා වැලක් වී ලියලන
දින පොතක් මත අදත් ලියැවෙයි
'සොඳුර, නුඹ දැන් සුවයෙන්ද...?'
-මුදිත්-
2022.09.07
Monday, July 11, 2022
නුඹත් හරියට මහවැලියෙ දියවර වගේ...
Monday, June 13, 2022
විලක විල් දිය මතට බැස එන්න රිසි සිතින්
කොහොම නුඹ උන්නාද අහසකට වී ඉතින්...?
රැයක හිස පිරිමදින සරත් සුළඟක අතින්
සඳක මුහුලස ලිහෙයි හන්තාන මුදුනතින්...
Wednesday, May 25, 2022
හෙට අනිද්දට 'තිහයි'...!
![]() |
සිතුවම: අන්තර්ජාලයෙනි. |
Saturday, March 5, 2022
තුති මල් මිටකි, මට නැතියෙන් ගුරු පඬුරූ
Friday, February 4, 2022
(ඒ)ටිපිකල් කතාවක්...
ඉතිහාසයක් පුරා, අඩු පාඩුවක්- පංගු පේරුවක් නැතිව සැනසිල්ල බෙදා දුන් වෙරළක්.. ඇස් මට්ටමට තරමක් ඉහලින්, හැන්දෑ දම් පාට ඉහිරෙන්න පටන් ගත් අහසක්.. මධු සාද සුන් බුන් - ටින් බෙලෙක් බෝතල්..
ඈ ආවේ ඔහුගේ බාහුව වැරෙන් බදාගෙන.
අත් හරින්න නොදෙන තාලේ බැම්මක්.
කරේ එල්ලුනු මල්ලක්..
ඈ ටිපිකල් කෙල්ලක්...
ඔහු ආවේ ඈ තදින් එල්ලුනු බාහුව දරාගෙන.
දෑස් මත තිබුණා අත් හරින්නෙම නෑ කියන බැල්මක්.
කරේ තිබුණෙ නෑ එල්ලුනු මල්ලක්,
ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්..
ඌ ටිපිකල් කොල්ලෙක්...
ඒ වගේ වෙරළකට, ඒ වගේ හැන්දෑවකට අංගසම්පූර්ණ වෙන්න මහ ගොඩක් දේවල් ඕනෑ වෙන්නෙ නෑ.
සීරුවෙන් ලිහෙන අත් ඇඟිලි..
හුරු අත- නුහුරු අත,
නුහුරු අත- හුරු අත.
හුරු- නුහුරු, නුහුරු- හුරු,
ආයෙමත් බැඳුන අත් ඇඟිලි..
එතැන තිබුණා දිවුරුම් දහසක්. රැළි අවුත් යන පමාවට, වෙරළ මත ලියැවුණු ගිවිසුම් ම දස දහසක්. දම් පාට, අළු පාටකට හැරුණා. ගිහින් එන්නම් කියාගෙන ඉරත් ගිලුණා. ඒක ටිපිකල් දවසක්...
හැන්දෑව බෝ වුණේ ඉර හැරෙන්නත් කලියෙන්. ඔහු ගියා ඇයට පියවර දෙක තුනක් ඉස්සරහින්, ඈ ගියා ඔහුට පියවර දෙක තුනක් පස්සෙන්. එතැන තිබුණා රතු වුණු ඇස්.
විද්‍යුත් චුම්බක තරංග වල එල්ලීගෙන කෙටි පණිවුඩ ඉගිලුණා වේගයෙන්, එහෙටත්- මෙහෙටත්. මේත් ටිපිකල් දවසක්...
ඈ අවුත් තිබුණේ දිය රළක අත තදින් බදාගෙන.
ඈ එදා උන්නෙ තනියෙන්.
ඈ ව වෙරළෙන් තියපු දිය රළ, ගිහින් තිබුණා ආයෙත්.
කරේ පැටලී තිබුණා මල්ලක්.
කියන්නට යමක් තිබුණා වගේ පෙනුනත්, ඈ මුව පිරී තිබුණා සිහින් වැල්ලෙන්.
ඉරත් නැවතී බලා උන්නා මොහොතක්, ගිහින් එන්නම් කියා නොපෙනී ගියා ඈතින්...
ඈ ආවේ ඔහුගේ බාහුව වැරෙන් බදාගෙන.
අත් හරින්න නොදෙන තාලේ බැම්මක්.
කරේ එල්ලුනු මල්ලක්..
ඈත් ටිපිකල් කෙල්ලක්...
ඔහු ආවේ ඈ තදින් එල්ලුනු බාහුව දරාගෙන.
දෑස් මත තිබුණා අත් හරින්නෙම නෑ කියන බැල්මක්.
කරේ තිබුණෙ නෑ එල්ලුනු මල්ලක්,
ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්..
ඌත් ටිපිකල් කොල්ලෙක්...
“මේ බලන්නකො මේක...!”
ඇගේ පාමුල තිබුණා වැල්ලෙන් වැහී ගිය, ලොකු පොඩි මල් පිපුණු කුඩයක්...
04.02.2022
Sunday, January 30, 2022
මඟුල් සලකුණු...
ගෙවා ආවෙම් මේ දුර,
නග්න දෙපයින් පියමැන...
වෙහෙසී පලක් නැත,
මැදී ගිය පතුල් මත
සොයා මංගල සලකුණ...
-මුදිත්-
2022.01.30