එක එක හැඩෙන් කියවන්න

Thursday, September 29, 2022

රුවලින් මිදුනු පසු...

ඉරී ගිය රුවලකි
ඉදින් මින් මතු
රුවලින් මිදී ගිය ඔරුවකි...

ඈත සක්වලක හිඳ
මග කියන තාරකාවනි,
තැනින් තැන විසිරුණු
ගල් පර සහ තවත් බාධක 
නුඹ සිටින අහසට නොපෙනෙයි..
නමුත් ස්තූතියි...
කවුරුන් කෙසේ කීවත්,
තිත්ත කරුවල රැය
මෙතැන් සිට විශ්වාස කල නොහැකියි..

නිදැල්ලේ පාවීම
කොතෙක් කල් කරන්නද..?
නිදැල්ලේ පාවෙන සුළඟක්
කනට කර විමසයි,
තනාගෙන හබලක්
ඉවුරක රැඳෙන තුරු
ගං දිය කැලැත්තිය යුතුවෙයි..

අවසරයි..
මෙතැන් සිට ඉදිරියට
ඕලු මහනෙල් කිහිපයක
නින්ද පිපිරී ඇහැරෙයි,
නෙළුඹු දඬු කිහිපයක
සුවපහසු කලාපය දෙදරයි,
ඇතැම් විට
මත්ස්‍ය පිරිවර මුවින්
කුණුහරුපයක් දෙකක් විසි වෙයි..
ගංදිය පවා 
තව මදක් හෝ බොරවෙයි...

මක්කරන්නද,
රුවලින් මිදී ගිය පසුවත්,
නිදැල්ලේ පා වීම
ඔරුවකට අකැපයි..
ඉවුර මුණගැසෙන තුරු
ඔරුවක දිවි සැරිය ඔහොමයි...

-මුදිත්-
29.09.2022

Image from Internet


5 comments:

  1. එක එක හැඩෙන් කියවන්න පුළුවන් තමා! රූපක භාවිතය සිත් ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා... ❤️❤️❤️

      Delete
  2. තෑන්ක්ස් මචං.. ❤️

    ReplyDelete