එක එක හැඩෙන් කියවන්න

Saturday, March 5, 2022

තුති මල් මිටකි, මට නැතියෙන් ගුරු පඬුරූ

අත්තටු මිසක කිසිවක් නොතිබුණු හිතට
තිබුණා සිහිනයක් දවසක පියඹන්ට
කීවා වරක් නුඹ, අහසේ හිඳ මෙ මට
"මා වෙත වරෙන්- දෙන්නෙමි තටු නුඹලාට"

තටු ඇති අය ම යති ඉහළින් මගෙ ඉසට
ඉගිලෙන්නට හැකිද ඒ ලෙස මිනිහෙකුට..?
නොතබා වරක් තව ඒ ගැන වද වෙන්ට
මතකයි වින්ද දුක දවසක පියඹන්ට

රැය දහවල ගෙවුණි වෙහෙසුණු හිස් බඩට
නුඹ නුදුටුවෙමි ඉන් පසු කිසිදා ඇහැට
ගුරුකොට තබා නුඹ කී වචනය පෙරට
ඉවසා ගතිමි දිවියේ මතුවුණ කහට

කාලය ගතව තටු වැඩිලා පිට දිගට
දැන් මා කුරුල්ලෙකි ඉගිලෙනු හැකි හැඩට
තුති මල් මිටකි මා ගෙන ආ ඔබ සැමට
එහි ලස්සනම මල් බාරයි නුඹෙ නමට

-මුදිත්-
2022.03.05



6 comments: