එක එක හැඩෙන් කියවන්න

Tuesday, May 19, 2020

අගුල

ඈ මෙහි රැගෙන ආවේ මෝසම් සුළඟකිනි. සුළඟකට පවා හැඳුනුම්පතක් ඇවැසි ඉසව්වක එය මෝසම් සුළඟක් ලෙස හැඳින්වීම වඩා උචිතය. අනෙක් අතට දුරුත්තක වැසි රැගෙන එන සුළඟක්, ඊසාන දිග මෝසමේ සුළඟක් නොවේ යැයි කාට නම් කිව හැකිද? වටිනාම කාරණය, ඇය ද එය එසේ විශ්වාස කළා ය.

“මා මෙහි රැගෙන ආවේ මෝසම් සුළඟකිනි.”

 

ඒ මතකයේ අත පෙවිය හැකි සීමාව ආසන්නයේ වූ දුරුත්තකි. කාලගුණ අනාවැකි පමණ ඉක්මවා විශ්වාස කළ හුදී ජනයෝ, ලඟ එන දුරුත්තේ ශීතල අවතක්සේරු කළෝහු ය. දෙසැම්බරයේ නත්තල් සීනු හඬ යන්තමින් වියැකෙද්දී ධීවරයෝ බහුදින යාත්‍රා  පිට නැගී නික්මුණෝ ය. ගොවීහු අලුත් බිජු වැපුරුවෝ හ. කවීහු ශීතලෙන් ශීත වුණු නොවැම්බරයක් ගැන, දුරුත්තට එකදු අකුරක් ඉතිරි නොකරම කවි ලියූ හ. අවසානයේ කාලගුණ අනාවැකි වලට පශ්චාත්භාගය පෙන්වමින් ඒ දුරුත්ත ඇඳෙන්නට විය. ඊසාන දිග මෝසම් සුළඟට ම ඇලී ගිය ශීතල හැම අස්සක් මුල්ලක් නෑරම විහිදෙන්නට විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එය අවාඳුරු-ශීත ලාටුවක් විය. තැවරුණු තැවරුණු තැන මුස්පේන්තුවම ඉතිරි කළ ලාටුවක් විය.

ඒ වන විටත් ක්‍රම ක්‍රමයෙන් කැටි ගැසෙමින් පැවති ශීතල අතරේ වුවද එතැන “පැජෙන්ඩාවක් 1” සංවිධානය කර තිබිණි. සුරූපී නිරූපිකාවන් රැසක් තම තම මෝස්තර ඇඟ ලා ගැනීමේ යුහුසුළුව සිටි අතර ඈ සිය මෝස්තර නිර්මාණ ශිල්පිනිය සැකසූ ඇඳුම ඇඟ ලා ගත්තී, මනරම් කැට් වෝක් සෙයියාවට ඉඟ රවුම් කරමින් උන්නා ය. ඇගේ ඉතිරි අර්ධය හෙවත් නිවුන් සෝයුරිය ද ඊට යාබද තැනක සිය නිරූපණය සඳහා සැරසෙමින් උන්නා ය. මහේක්ෂීය ලෝකය තුළ මෙසේ කටයුතු සිදුවෙමින් පැවති අතර, ස්වාභාවධර්මයා ලඟ ලඟ එන දෛවෝපගත “සයික්ලෝනය 2” සඳහා අවශ්‍ය පරිදි වායුගෝලය සීරු මාරු කරමින් උන්නේ ය.

කවියා උන්නේ සිය කුටිය තුළ මය; ඔහු තනාගත් ඔහුගේ ම ලෝකය තුළ ය. පසෙකින් දැල්වෙන මළානික එළියේ, ඔහු හිස් කඩදහිය මත වචන අමුණමින් උන්නේ ය. සියල්ල වේගයෙන් වාණිජකරණය වන ලොව නිර්දය ලෙස විවේචනය කිරීම පමණක් සෑහුණේ නැත. සියල්ල වෙළඳ වටිනාකම් ලබන්නා වූ යුගයක, එකී විවේචන ද කදිම වෙළඳ භාණ්ඩ බවට පත් වන බව ක්‍රමයෙන් ඔහු වටහාගත්තේ ය. එහෙයින් විවේචන සියල්ල “තිත්ත” පුවත්පතෙහි ලිපි මාලාවක් ලෙස ලියා පළකිරීමේ කර්තව්‍යට ඔහු අත තබා තිබුණේ ය. හෘදය සාක්ෂිය බර ය. ඇත්ත ය. එහෙත් බරක් දැනෙන්නට පවා හෘද සාක්ෂියක් තිබීම ම වඩා වැදගත් වූ යුගයක, එහි බර පිළිබඳ අදාල කරගත යුතු ම නැත.

ඈ බලාපොරොත්තුවෙන් හුන් නිරූපණ වාරය කිසිදා පැමිණියේ නැත. පැජන්ඩාවේ ඇරඹුම සනිටුහන් කළ මූලික උත්සවාංගය අවසාන වන්නටත් පෙර ම මහා ශබ්දයකින් ඊළඟ පරිච්ඡේදය ආරම්භ වීය. “දඩාස්..!” ඉදිරිපස වූ ලතු-පුයර පෙරාගත් සැරසිලි පුවරුවක්, නිරූපිකාවක අතින් විසිවෙන ටිෂූ කඩදහියක සැහැල්ලුවෙන් පාවී ගොස් බිත්තියක වැදී වැටුණි. ඉතිරි වී තිබූ ආලෝක කැබලි, මහා කළුවර විසින් එළව එළවා දමද්දී වාතය කැළැත්තීම ඇරඹුනු අතර අතට අසුවූ සියල්ල දෛවයේ ලියැවී තිබූ තැන් වලට විසිකර දමමින් සයික්ලෝනය විසින් කොදෙව්ව ආක්‍රමණය කිරීම අරඹා තිබුණි.

එය තුන් වරු පිරිතක් මෙන් පුරා වරු තුනක් තිස්සේ ගලා ගියේ ය. තුන් වරුව අවසානයේ මදින් මද ආලෝක කදම්භ වෑස්සෙන්නට පටන් ගෙන තිබුණි. විශ්වයේ වූ සෑම සියලු දෙයක් ම ඒවාට හිමි හරිම තැන්වල ස්ථානගත කර තිබුණාක් මෙන් විය. බැලු බැලු අත ඒ-මේ විසිරී ගිය සියල්ලෙහිද වූයේ මනා සංවිධිත බවකි. ඇසට ප්‍රිය සැකැස්මකි.

ඇය කෙමෙන් දෑස් හරිමින් උන්නාය. දැනෙන්නට වූ පළමු හැඟුම වූයේ තද ඔක්කාරයක් සහ ඉසේ ඇම්මකි.

“දැන් කොහොමද..?” නුහුරු හඬකින් විමසීය. ඈ සිහි එළවා ගනිමින් සිටියා ය. අසීරුවෙන් හැරගත් දෑසින් අවට පිරික්සුවා ය. මළානික එළියෙන් යමක් ලියමින් මේසයට වාඩි වී හුන්නේ මිනිසෙකි (ඔබ මා දන්නා පරිදි කවියා ය). ඈ කිසිත් නොකියා මේ කවරාකාර තැනක් වන්නට හැකිදැයි වටහා ගන්නට උත්සාහ දරමින් සිටියා ය. ඇගේ සිරුරේ තව දුරටත් දැවටී තිබුණේ නිරූපණය සඳහා ඇඟ ලා ගත්, සිරුරින් තුනෙන් එකක් පමණ වසා සිටි වස්ත්‍රය යි. ඒ කිසිවක වගක් නැතිව  මේසයට වාඩිගෙන හිඳිනා මිනිසා, කොහොමදැයි කියා ඇසුවේ මොහුම දැයි සිතෙනා තරමට කරමින් හුන් කටයුත්තට ම ඇලී හිඳියි. යටත් පිරිසෙයින් එකැසක් හෝ කරකැවී තමා දෙස බලනු ඇතැයි ඈ සිතුවත්, එය එසේ සිදු වූයේ නැත.

“ඔය වහලා තියෙන කෑම එක කන්න. එතනම තියෙන බෙහෙත් පෙති දෙක, ඒ පැනඩෝල් දෙකක්. ඒක බොන්න. ඔය ටැප් එකේ එන වතුර බොනවා, ඒත් කෝප්ප නං ඇත්තෙ එකයි.” කරමින් හුන් වැඩයෙන් මොහොතකට හෝ නොමිදී කවියා කීවේය.

“මං කොහොමද මෙහෙට ආවෙ?” ඈ සිය දැවෙන්නා වූ මවිතය එළියට දැම්මා ය.

“අනිත් දේවල් වගේ, හුළඟට තමයි” කවියා කීවේ ය.

“මගේ නංගි, මං අහන්නෙ මගේ නිවුන්නි - ආවෙ නැද්ද එතකොට? හුළඟ එද්දි අපි දෙන්නා අත් අල්ල ගත්තා මතකයි” ඈ කීවා ය.

“ආ.. ඒ නංගිද? මං හිතුවෙ ඔයාගෙ හෙවනැල්ල කියලා. එයත් හුළඟට ආවා, ඒත් එයා එහෙමම ඔය ජනේලෙන් එළියට ගහගෙන ගියා. ඔයා විතරයි මෙතන ඉතුරු වුණේ.” ඔහු උදාසීනව පිළිතුරු දුන්නේ ය.

“අනේ..!” ඈ හඬන්නට විය.

“කරදරයක් වෙන්න විදියක් නෑ, මං හිතන්නෙ එයා එහා පැත්තෙ බෝඩිමට වැටුණා. ඔය සද්දෙ ඇහෙන්නෙ, එහෙන්.” ඔහු කීවේ ය. ඈ මඳකට කන් දුන්නා ය.

“අඩෝ, මෙන්න මේකි ඇහැ ඇරලා යකෝ. වරෙල්ලා මෙහාට...”

“ඒක නෙමෙයි, මං කිව්වා කියලා බීඩි මිටියක් වත් අරං වරෙං, කක්කුස්සි යන්න වත් දුමක් නෑ කාමරේ හරියෙ.” තනි ගෝසාවකි. ඈ වෙවුලා ගියා ය.

“අනේ! එතන මහ නරකාදි තැනක් වගේ නෙ” ඈ පරල ව හඬා වැටෙන්නට වූවා ය.

“පේන තරම් එක යකෙක් වත් කළු නෑ. අනිත් අතට පේන තරම් කොක්කු සුදුත් නෑ. සත්තිගුම්බ ජාතකේ ගිරව් දෙන්නා මතක නේ? ඒ වගේ තමා. එයා වැටුණෙ එතෙන්ට, ඔයා වැටුණෙ මෙතෙන්ට.”

*** *** ***

කාලය ගෙවී ගියේය. මේ කුඩා කුටිය තුළ දී එය ද තාලයකට ය. රිද්මයානුකූලව ය. හරියට කවියක් වාගේය. කවියා උදේ ම පිට වෙයි, රෑ වී ගෙට එයි. විටෙක මිටි බැඳි පත්තර උස්සාගෙන එයි. කාවුන් විද දැල් ගැසුණු පොත් සීරුවට කියවයි. හැලෙන පිටු අහුලයි, අලවයි. ළාවට බොයි. ලියයි. ඇගේ දෛවෝපගත ආගමනයෙන් දෙදිනකට පසුව ඈ මෙහි වූ එකම කොහු ගුදිරිය මතට පැදුරක් එළා, ඒ උඩින් රෙද්දක් ද එලුවා ය. දැන් කොහු කෙඳි ඇඟේ ඇනෙන්නේ නැත. බඩු සියල්ලේ දූවිලි පිස්සාය. මකුළු දැල් කැඩුවාය. කවියාටත් එක්ක ම ඉව්වා ය. ඔහුද කෑවේ ය. ටිකකි. මදි ටිකට බීවේ ය. ඔහු හවස එන විට කලමනා ගෙනාවේය. “එළවළු, පලා, පොත්,මුරුක්කු, පත්තර සහ සිගරැට්” ඈ වෙනත් යමක් කී දාට ඒවාද ගෙනාවේය. “එළවළු, පලා, පොත්,මුරුක්කු, පත්තර, සිගරැට් සහ වෙනත් දේ..”

නිදන්නට ආ විට ඈ සිතයි. “දාහකින් හොයන්න බැරි මිනිහෙක්”. තම නංගී වෙනුවෙන් විසිවෙන කුණුහරුප මොහුගෙන් නම් කිසිවිට විසි නොවෙයි. වැඩ පැවරීමක් නොවෙයි. කේන්ති ගැනීමක් නොවෙයි. කවරාකාර ඇඳුමක් පැලඳුමක් ඇන්ද ද ඇදයක් දෝසයක් නොකියයි. නියමයි.. විටෙක නංගී ගැන දුකකුත් සිතෙයි. “ලබාපු හැටියට නේ” සිත හෑල්ලු වෙයි. නින්ද යයි.

*** *** ***

“කාලය පුරුදු රිද්මයෙන් ගලා යයි. දැන් දැන් කවියා බීගෙන ගෙදර එයි. මට තලයි.” කතාව මෙසේ කියන්නට තිබුණා නම් මැනවැයි ඈ සිතයි. එසේ වී නම් කීමට ඇති සේරොම ඒ ගොන්නට ඔබා කිව හැකිය. එහෙත් එක ම එක වරදක් ඇර වෙන කියන්නට කිසි දොසක් ඔහුගේ නැත. “මේ මුළු කාලෙට ම මගෙ ඇඟට අතක් තියලා නෑ, මිනිහෙකුට මෙහෙම ඉන්න පුළුවන්යැ, ටක්කෙට ම වෙන ගෑණු ඇති. මෙච්චර මේ ගිණි කිකිළියෙක් වගේ මං ඉද්දි.” ඈ තනිවම සිතන්නට වන්නී, නංගීට බැණ වදිනු ද ඇසෙයි. ඈ අසා සිටියා ය. ඈ තුළ නංගී ගැන උපන්නේ අමුතු තරහවකි.

“ඒයි, මේ මස් ටික හදලා තියපං. ළාවට බැදලා.” ඒ පැත්තෙන් ඇසෙයි. ඇයට ආවේ පුපුරා හැලෙන තරහකි. ඈ අත තිබූ වීදුරුවෙන් බිත්තියට දමා ගැසුවා ය. මුහුණ කොට්ටයේ ඔබාගෙන ඇඳට වැටුණා ය. රෑ වෙද්දී කවියා දොර හරිනු ඇසුනි. දොර වැසෙනු ඇසුනි. ඉන්පසු පුටුවෙහි “ක්‍රීක්” හඬ, වීදුරු කැබලි අතුගෑවෙන හඬ, පුටුවෙහි වාඩි ගන්නා හඬ සහ අවසානයට ම කුඩා ලෝකය නිශ්ශබ්දතාවයේ ගිලී යන හඬ.

නො-නින්ද, වේදනා විසර ගෙඩියක් මෙන් පැසව පැසවා තිබුණේ ය. රෑ පුරා නිදි වැරූ ඇස් පාන්දර කැවි කැවී වේදනා දුන්නේ ය. මතක එක එකක් පසුපස විත් ඇසට පැන පැන ඇන්නේය. වියළී ගිය හැඟුම් දර ඉපල් වෙලාගෙන කේන්තිය ඇවිලෙන්නට විය. ලැව් ගින්නකි. සිතිවිලි ද හැඟුම් ද ඕනෑවටත් වඩා වියළි ය. ඇවිලෙන්නට ම අත වනනේ ය. කවියා දොර වසාගෙන නික්මෙන හඬ ඇසුනි. ඈ නැගිට්ටාය. අතට අසුවූ සියල්ල වීසි කර ගැසුවා ය. “කාලකණ්ණි කුණාටුව..!” ඈ ඉව්වේ නැත්තේ තරහට ය. ඇතැම් විට කවියා ඒ බව වත් නොදන්නවා විය යුතුය. වළඳක් හෝ හැඬවුණේ නැත. හේ සුපුරුදු ශාන්තියෙන් නික්මුනු හැටි. “දුෂ්ඨයා, වසලයා, නපුංසකයා..” ඈ සිතින් කෑ ගෑවා ය. “මං යනවා.” ඈ තීරණයකට ආවා ය. “ඌට රිද්දන්න පුළුවන් එක ම විදිය ඒක තමයි. ඇයි යකෝ රටේ පිරිමි නැතුවද? ඉන්නකන් නැති අගේ, ගියාම දැනෙයි.” ඈ වසා ඇති දොර දෙස බැලුවා ය. “ගෑණියෙකුගෙ ආවේගෙ දොරක් වහලා දාලා නවත්තන්න පුළුවං කියලද හිතන්නෙ ඌ..?” ඈ සිංහබාහුගේ ධෛර්ය ගත්තා ය.“ගල් ලෙන බිඳලා- ලෙන් දොර ඇරලා..ආ..ආ..” ඈ උමතුවෙන් මෙන් ගයන්නට වූවා ය. අතට හසුවූ ඇඳුම දෙක මල්ලක ඔබා ගත්තාය. “එද්දි දොර කඩලා දාලා බව දැක්කාම දෙකොනින් ඇවිලෙයි”. ඈ තඩි පොල්ල ද උස්සාගෙන දොර අසලට විත් දොර අල්ලුවෙන් අල්ලා මඳක් සෙලවූවා ය. “ක්‍රීක්..” දොර නිකන්ම විවර වූයේ කවියා තුළ වූ උපශාන්ත භාවයෙන් මය. ඊළඟ තත්පර කිහිපය වා තලය ගිගුම් දුන්නේ ඇගේ විලාප නාදයෙනි.

“ඇයි පරයෝ අඩුම තරමෙ තොට මේ දොර අගුල් දාල යන්න වත් බැරි..?”

*** *** ***


පාද සටහන්;

1.     පැජෙන්ඩාව = Beauty Pageant

2.     සයික්ලෝනය = Cyclone

සිතුවම් අයිතිය: Leyla Munteanu

 

19.05.2020

-මුදිත්-

 

 


2 comments:

  1. It's really unbelievable to imagine how you describe each and every word so beautifully...nice work..looking 4wrd for some more soon❤ well done writer❤

    ReplyDelete
  2. Its beautiful writing ❤🌹

    ReplyDelete