එක එක හැඩෙන් කියවන්න

Wednesday, April 29, 2020

පසු කථාවක්...

සඳ කිඳුරු නාටකයෙහි එන කිඳුරාගේ මිය යාමෙන් පසුව, නඩු විභාගයට තුන් වැනි පාර්ශ්වයක් ලෙස කැඳවූ සාක්ෂිකරුවකුගේ ඇසින් දුටු සාක්ෂිය.

ස්වාමීනි, පිටපතේ හැටියට හුඟක් දේවල් වුණා, ඇත්තයි
දෙන්න හරි ආදරෙන් උන්නා, කැලේ ගහ වැල පවා දිවුරයි
දෑවුරුද්දක් විතර තිස්සේ, කරුණු ටික ටික වෙනස් විදිහයි
කිඳුරු තෙම වැඩ ඇරී ආවෙත්, පෙළක් දවසට රැයේ මැද්දෙයි

ඔන්න ඔතැනදි නිරිඳු වැඩියා, මයෙ හිතේ දඩයමේ යන්නයි
කිඳුරු තෙම පිටපතෙන් පිටපැන, උන්නෙ එතකොට තිරය අස්සෙයි
කිඳුරි මැලවුණ මලක් වාගෙයි, බලාගත් අත බලා උන්නයි
කැරකි කැරකී රජුත් උන්නේ, ඔය ටිකේ ඔය අරණ පැත්තෙයි

එදා හවසත් නිරිඳු වැඩියා, මං හිතන්නේ බහක් ගන්නයි
අරණ කෙළවර කිඳුරි උන්නා, ඇහැට ඇහැ පැටලුණා වාගෙයි
දුක්-තැවුල් ඉරි කැළැල් අතරින්, රිදී එළියක් පිපුණු පාටයි
ඒත් කිඳුරිය රජුට කීවේ, 'කිඳුරු හිත මම රකිමි' කියලයි

නාටකෙන් පිට උන්නු කිඳුරා, වේදිකාවට ආවෙ එවිටයි
අහස පුපුරා දෙපළු කරගෙන, මහා අකුණක් කෙටුවෙ එහෙමයි
පිටපතේ හැටියට ම හීයක්, ඇනී කිඳුරා මැරී උන්නයි
හැබැයි තිදෙනා අතම එසැවී, දිලෙන ඊතල තිබුණි සත්තයි

-මුදිත්-
04.29.2020

රූ සටහන උපුටා ගැනීම:
http://srilankanarteka.com/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92-%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B6%AD%E0%B6%BB/
සඳ කිඳුරු ජාතක කතාවෙහි කිඳුරකු පිළිබඳ සඳහන් වෙයි. සිංහල බොදු ජනතාව අතර ඉතා ප්‍රසිද්ධ සත්ත්ව රූපයකි. මහනුවර චිත්‍ර සම්ප්‍රදායට අනුව අඳින ලද කිඳුරු රූප සඳ කිඳුරු ජාතකය නිරුපණය කරන අවස්ථා වල දක්නට ලැබෙයි. කිඳුරාගේ ශරීරයෙහි උඩුකය මිනිස් ස්වරූපයක් ගනු ලබන අතර යටි කය පක්ෂියෙකුගේ ස්වරුපය දක්නට ලැබෙයි. කෝට්ටේ, තෙල්වත්ත, කැලණිය විහාර වල බිතුසිතුවම් වල මෙම කිඳුරු රූප දක්නට ලැබෙයි.

2 comments:

  1. බෝධි සත්ත්ව කතා වලට අත ගහන්නෙ පරිස්සමෙන් යාළුවා😐

    ReplyDelete
  2. සංකල්පනාවක් නෙ යාළුවා... 😊

    ReplyDelete