එක එක හැඩෙන් කියවන්න

Monday, May 25, 2020

බුදුගෙයි මරණය

“ටාං..” මා පියවි ලොවට ආවේ ඒ හඬිනි. මෙතැන් සිට ඇරඹෙන ඝන්ඨා නාදය, වරින් වර තවත් හෝරා දෙක තුනක් මුළුල්ලේ වා තලය විනිවිදින්නට නියමිත ය. මම බෝ මළුවේ කොතෙක් වේලා සිටියා දැයි නිනව් නැත. ඇතැම් විට පැයක්, නැතිනම් ඊටත් වැඩියෙන්..

පොහොය නිසාවෙන් අද පන්සලේ සෙනග ය. මහා පිරිසක් ම නොවූවත්, වෙනදාට වැඩියෙන් සෙනග ය. මම හනි හනික, ගෙනා මල් කිහිපය වට්ටියක අඩුක් කර බෝ මළුවට වූයේ මීට සෑහෙන වේලාවකට පෙරාතුව ය. ඇත්තෙන් ම ඒ, මේ මහ සෙනග මගහරින්නට ම නොවේද..? බෝ මළුවේ සිහින් වැල්ල සීතල ය. දෙපයට සනීප ය. දෙ පතුළ ට දැනෙන සැනසුම දෙපයට ම ලබා දෙනු වස් මම දෙපය ම වැල්ල තුළ ඔබා ගනිමි. මඳ සුළඟ පවා සිහිලැල් ය. බෝ පතින් පත වැයෙන්නා වූ සියුම් රාවය, හමන සුළඟ හා ඒකාත්මික ය. කහ ගැහී ගිය පතක් නටුව අතහැර වැල්ල මත පතිත වෙයි. ඉඳහිටක සැඩ ව නැග එන සුළඟක් එවන් බෝ පත් එක දෙකක් වෙහෙර මළුවට ද ගෙන ගොස් අතහරියි. වෙහෙර මළුවේ කොනක ඇති අරලියා ගස ද කිරිය නිම කල මලක් අතහරියි. ඇතැම් විට මල විසින් ගස නටුව අතහරිනවා විය හැකි නොවේද? ගලා එන්නට වූ කල සිතිවිලි වලට නැවතුමක් නැත. බෝ පත පලා පැහැති ය. පත්‍රයක් හෙයින් සුවඳවත් නැත. එනමුත් සැහැල්ලු ය. එහෙයින් බොහෝ දුර පාව යා හැකි ය. නිදහස අසීමිත ය. අරලියා මල සුදු ය. සුවඳ ය. මන බඳන පෙනුමැති ය. එනමුත් බෝ පතට වැඩි බර ය. දුරට පා වෙනු නොහැකි ය. බෝ පත හා ගත් කල නිදහස සීමිත ය. මම ඔහේ ගලා එන්නා වූ සිතිවිලි දාමයෙහි ඇවිදිමි. මඳ ඈතක සිට එන හඳුන්කූරු දුමක් කරනා හිරිහැර ය හැර ඉතිරි සියල්ල යහපත් ය. හඳුන්කූරු දුම සුවඳ නැත. සාම්බ්‍රානි දුම සුවඳවත් ය. මතකයේ අඳුරු අහුමුළු පිරිමැද මොහොතකට හෝ සුවඳ කරනා සාම්බ්‍රානි දුමට මම ප්‍රිය කරමි.

“ඩග් ඩග් ඩග්..” මෙවර මනෝ සක්මන බිඳෙන්නේ අසල ගසෙහි බැඳ ඇති ලවුඩ්ස්පීකරයෙනි. පූජාව ඇරඹෙන්නට මත්තෙන් කවුරුන් හෝ මයික්‍රෆෝනයට තට්ටු කර දෝස විමසනවා විය යුතුය. තව මොහොතකින් පූජාව ඇරඹෙනු ඇත. එනම් නිස්කලංකභාවය සුනු විසුනු වන්නට නියමිත ය. ඊට පෙර බුදු ගෙට ගොස් පැමිණිය යුතුය. මම සීරුවෙන් පිරිස මගහැර බුදුගෙය තුළට පිවිසෙමි. උපාසක අම්මලා කිහිප දෙනෙකු හැරුණු විට කිසිවෙක් නැත. කදිම ය. මම සුවිසල් බුදු රුවෙහි දෑස් බැල්ම තුල ගිලෙමි. කවරෙකුගේ හෝ දෑතක් විසින් මෙය නිම වූවා විය යුතු නොවේද? පඬුවන් සිවුරේ සෑම රැල්ලක් ගානේ, දෑසේ මෘදු බැල්ම මවනා ඉසියුම් රේඛාවක් ගානේ නිමැවූ දෑතක් කොහේ හෝ තැනෙක තිබිය යුතු නොවේද? මම විස්මපත් වෙමි. සියල්ල පසක් කරගත් බැල්මක්.. පරම වූ සුවයෙන් නිවී සැනැහුන බැල්මක්..

මා බුදුන් වහන්සේ අයිති කරගෙන මෙන් ටික වේලාවක් ගත කරන්නට ඇත. උපාසක අම්මා කෙනෙකු මා නික්මෙන තුරු බලා හිඳින්නේ බුදු පුදට විය යුතුය. ඈ අතේ මල් ය. මා අතේ මල් නොවිනි. “වරදක් ද?” සිතිවිල්ලෙන් ම මම යන්නට හැරෙමි. එක්වරම මා නතර කෙරුවේ උපාසකම්මා ගේ දෑස ය. “පිළිම වහන්සේට පස්ස හරවනවද?” ඈ දෑස විමසයි. “කොහෙද ඉතිං ඒවයෙ ගාණක් නේද?” ඈ දෑස තවදුරටත් දොඩමළු ය. “ෂඃ.. මම පස්ස හැරෙව්වද?” මම මගෙන් ම විමසමි. ඇගේ දෑසින් කිසිත් විමසන්නට මට හයියක් නැත. “ම්..හ්.. ඔව් මං හිතන්නෙ. නෑ ඒත් හැරෙව්වෙම නෑ, හැබැයි හරවගෙන ආවා” ඒ මගේ සිත ය. මම නැවත පිළිම වහන්සේට මුහුණ හැරවූයෙමි. කෙමෙන් පස්සෙන් පස්සට අඩි තබන්නට වූයෙමි. උන් වහන්සේගේ දෑස මා වෙත ය. මා වෙත ද? මා වෙත ම ද..?

“කෑස්..!!!!” යමක් පයට පෑගෙනවාත් සමග ම නැගි මරහඬින් මා තිගැස්සුනි. “හත්දෙයියනේ..! මොකෙක් හරි පෑගුණා වත් ද?” මගේ සිත ද කෑ ගායි. යටි පතුළට තෙතක් දැනේ. මම බිම බැලීමට බිය වීමි. උපාසකම්මලා සිව් දෙනෙකුන්ගේ දෙඇස් මා වෙත ය. අර කී උපාසකම්මාගේ දෑස ද ඒ අතර ය. “පච්චියේ..! බුදු ගේ ඇතුළෙමයි”. “මොන මනස්ගාත ඔළුවල තියාගෙන ඇවිදිනවද” ඈ දෑස දිගින් දිගට ම වචන දමා ගසයි. බිම බලන්නට සිතත් ම මගේ දණිස් කටු හිරි වැටී යයි. ගේට්ටු කණුව මුළ පෙරැලි පෙරැලී උන් බලු පැටවුන් ද, වෙහෙර මළුවේ කොනක බැළලියක කටින් එල්ලාගෙන යමින් හුන් බළල් පැටියාද පෙළින් පෙළ මට සිහිවෙයි. “අනේ, ලොකු සතෙක් නං වෙන්න එපා” මගේ සිත හඬයි. “නෑ.. එක්කො නෑ.. මට පෑගුණේ දොරකොඩ තිබ්බ සඳකඩ පහණ” මම සිතන්නට උත්සාහ කළෙමි. “එතකොට මරහඬ දුන්නෙ සඳකඩ පහණෙ උන්නු ඇතෙක් වෙන්න ඇති” මගෙ ම සිත මා පෙළමින් කියයි. “ඇතෙක්..? ඇත් පැටියෙක්..!” මට මහාමායා දේවියගේ ගැබට වන් සුදු ඇත් පැටවා සිහිවෙයි. කොන්ද දිගේ හිරියක් ගලද්දී මම අසීරුවෙන් බිම බැලීමි.

“වළාමේ, මී පැටියෙක්” මා පයට තදවී ඇත්තේ දෑස් වත් නොහැරි මී පැටියෙකි. “වෙලාවට ලොකු සතෙක් නෙමෙයි” එසේ සිතුවද මගේ සිත තෝන්තු වෙයි. නළල දෙපසින් ඩා බිඳු වෑස්සෙයි. “මේ පවුකාර සත්තු. බුදු ගෙයි කප කපා පුරෝගත්තු පව් තමයි මේ, අම්මපා මටත් පව් පුරවන්න මගේ පයටම පෑගෙන්න ආවනේ. පව්කාර ජාතකේ...” ඒ මදිවාට නාකි හතර දෙනෙකුත් මා දෙස බලාගත්වනම ය.

“උඹ ආපු විදියට ඉස්සරහ හැරිලා ආවා නම් ඔය සතා පෑගෙන්නෙ නැහැනේ” මගේ සිත සුපුරුදු පරිදි මට විරුද්ධව කරුණු ගොණු කරයි. සිත යනු ම නිරයකි. විශේෂයෙන් මෙවැනි වේලාවට..

“එහෙම ආවනං බුද්ධ රූපෙට පිටුපාන්න වෙනවා, එහෙම උනානං ඒක මොන තරං පාපයක් ද?”මම සිතට කීවෙමි.

“අනේ නිකං පලයං, උඹේ මහ ලොකු ශ්‍රද්ධාව” සිත ද අතහරින්නේ ම නැත.

“ඇයි?” මම ද අත් නොහරිමි.

“එහෙනං උඹ මුලින් පිටුපාගෙන හැරුණේ?” සිත ප්‍රශ්න දමා ගසයි.

“ඒක අත්වැරදීමක්” මට පිළිමවහන්සේ සිහිවෙයි. “ඔව්, ඒක අත්වැරදීමක්”

“බොරුකාරයා, උඹ දැං මේ බුදු පිළිමෙ ඉස්සරහපිට ම උඹෙම හිතට බොරු කරන්න හදනවා, එහෙම කළා කියලා උඹට ගැලවීමක් නෑ” සිත නාඩගමක තාලයෙන් ගයයි.

“නැහැ, මට නොපෑගුණා නං මේ මීයා අර බැළලිට අහුවෙන්න තිබුණා, එහෙමත් නොවුණා නං මූ මේ බුදුගෙයි සේරම කප කපා විනාස කරල දාන්න තිබුණා. හොඳයි නැද්ද?” මම ද විසංවාදී සිතට පැරදෙන්නට සූදානම් නැත.

“ඔව් ඔව්, උඹ හරි. උඹ නිර්දෝෂයි. ඒකනේ උඹට වෙන්න ඕන, නෙ?” සිත ලෙහෙසියෙන් මා මුදාලන පාටක් ඇත්තේම නැත. “අනික උඹ ඔයතරම් නිර්දෝෂ එකා, ඇයි එහෙනම් මට උත්තර දෙන්න වදවෙන්නෙ? ඔය මී කුණ විසිකරල ආපු වැඩේ කරන් යන එකනේ ඇත්තෙ?” සිත එන්න එන්නම ඇණයක් වෙයි.

            මම සිත පසෙක ලමි. මට සිහිවන්නේ පිළිම වහන්සේ ය. මේ පාපය, මේ මරණය සිදුවූයේ උන් වහන්සේ ඉදිරියේ වීම කෙතරම් නම් අවාසනාවක් ද? ඇරත් මේ පාළොස්වකදා ම? මේ වරදකාරී සිතුවිලි මට සිතන්නට ඇවැසි වූ ඒවා නොවේ. මගේ වරදකාරී සිත අවුලන්නේ මා විසින් මද? නැතිනම් මේ මෙතැන මළ මීයා ද? එසේත් නොමැති නම් මා වෙත මේ එල්ල වී ඇති දෑස් යුග්මයන් ද? මට පිළිම වහන්සේ දෙස බැලීමට ඇවැසිය. උන් වහන්සේගේ දෙ ඇස ද මා විනිවිදිමින් මා වෙතට යොමුව ඇතැයි මට මැවි මැවී පෙනෙයි. මා පරල වී යන්නේ එය සිහිපත් වන මොහොතක් පාසා ය. මේ සියල්ල සිදු වූයේ අර උපාසකම්මාගේ දෑස කී විකාරය අසා බව උන්වහන්සේට කිව යුතුයැයි මට සිතේ. උන්වහන්සේගේ දෙඇස මගහැර මට මෙතැනින් නික්ම යා නොහැකිය. මම උන්වහන්සේගේ දෑස සිහිනගා ගන්නට උත්සාහ කරමි. එහි බැල්ම වූයේ මා වෙත ද? මා වෙත ම ද..?

            ඔව්, මම උන් වහන්සේගේ දෑස දෙස බලා සියල්ල කිව යුතුය. මම සිතට ධෛර්ය ය වඩා ගෙන පිළිම වහන්සේ දෙස බලමි. ඒ දෙඇස දෙස බලමි.

පුදුමයෙකි, නළියන මිනිස් පොදියෙන් ඔබ්බෙහි වූ තැනෙක, පන්සල් බිමෙන්ද, ඈත ලඳු දෙනි වැටියෙන්ද ඔබ්බෙහි වූ තැනෙක, අඩවන්ව ගිය ඒ දෑස ශාන්තව නතර වී තිබිණ.

-නිමි-

-මුදිත්-

24.05.2020


සිතුවම : අන්තර්ජාලයෙනි

No comments:

Post a Comment