එක එක හැඩෙන් කියවන්න

Saturday, April 18, 2020

දෛව

"ඔයා දෛවය විශ්වාස කරනවද?"
"උඹ දෙවියො විශ්වාස කරනවද?"

  බොහෝ පිළිතුරු කෙළවර වූයේ හිස්තැනකිනි. හිස්තැනෙහි කෙළවර සීමා වූයේ ප්‍රශ්නාර්ථමය බැලුම් වලිනි. එසේම, ඒ සියලු හිස්තැන් ද, ප්‍රශ්නාර්ථද මඳක් හෝ දෙවියන්ට බරව ම පැවතුනි. ඉදින්, මේ සටහන කියවන්නෝද පිළිතුරු දුන් නොදුන් නුඹලාම හෙයින් සටහන මෙසේ අරඹමි.

  දෛවය අපව කොනහන්නට තෝරා ගත්තේ වෙනම ම ආකාරයකි. ඈ නමින් උත්තරා විය. (ඈ උත්තරා වූ හැම විටම මම නිරුත්තර වූයෙමි. ඔව්,)මම නමින් නිරුත්තර වූයෙමි. තරුවකින්, ඈත ග්‍රහලොවකින් ඉහිරෙන එළිය පොද වුව ඉරණම් තීරණය කරන්නට වරම් ලද කොදෙව්වක, ආශ්වාස ප්‍රාශ්වාස වා රැල්ලක් හෝ බෙදා ගත නොහෙනැයි සිතිය හැකි තරම් දුර වූ දෙතැනක ඉපිද, ඈ නමින් උත්තරා විය, මා නමින් නිරුත්තර විය.

  එදා වැස්සේ පුදුම වරුසාවෙකි. සෘතුවක විළි බර, තඩි වෙරළු ගෙඩි තරම් වැහි වතුර ගුලි ලෙස, අතොරක් නැතිව ඇද වැටුනේය. උඩු වියන කිටි කිටියේ තොල් විකා ගෙන පළමු අඩ හෝරාව අල්ලාගෙනම උන්නේය. එහෙත් ඒ වැහි වතුර; දහසකුත් පපු කුහර තුල දැවී ගිය සිතුවිලි වලින් නික්මුණු සුසුම් දියවී ගොස් විස ව ගිය වැහි වතුර, සාන්ද්‍ර අම්ලයකට වඩා උකු විය, රුදුරු විය. හෝරාවක් නිමා වෙද්දී නිවර්තන පත්‍ර අඹරාව, කෙසඟ, පත්-නහරමය දැලක් පමණක්ම විය. ඉන් පසුව වැහි වතුර හෝස් ගා ගෙන පොළෝ තල මත්තෙහි හපා කන්නට විය. එකා මත එකා ඇද හැලුනු ඒ විසල් වැහි බිඳු එකිනෙකා පරයා, පොලෝ මත්තෙහි ඇදී ගිය දිගු ගමන් සියල්ල ම කෙළවර වූයේ එකම එක් මහ විසල් සමුදුරකිනි. එකී සමුදුර කරා වැහි දිය රැගෙන ආ විසල් දිය සීරාවෝ කා අතින් හෝ ගංගා නමින් නම් ලබා තුබුණෝය. වැහි දියෙහි දියව ගිය සුවහසක් සිහින බිජු කඩිමුඩියේ ප්‍රරෝහණය වන්නට පටන් ගෙන තිබුණේ වැහි දිය, ගංගා වන්නටත් පෙරාතුවදී මය. දිය කඩිති හා ගංගා තුළ රහසේම තැනුනු ගර්භාශ තුළ මේ ප්‍රරෝහණ කර්තව්‍යය ලොවට රහසේ සිදුවෙමින් පැවතින. කරුණු කාරණා එතරම්ම රහසේ සිදු වුවද කොහේ හෝ තැනෙකින් කාන්දු වූ "ඔත්තුවක්", දිය සීරා ඔස්සේම පාව ගොස් "හරි තැනට" ලඟා වී තිබුණෙන්, සිහින පසු හඹමින් දිය සීරා ඔස්සේ ඇදෙනා කඩදාසි ඔරු තිහ හතලිහක් ඒ වන විටත් දක්නට ලැබුණි. ඔරු කඳන් මත තද කලු අකුරින් මුද්‍රිත පුවත් කතුවැකි, තීරු ලිපි මෙන්ම අතරින් පතර වූ සෙනෙහෙ කොළ මත වූ පෙම් වදන් ද කියවමින් ඇතැම්හු මේ දසුන විඳිමින් හුන්නෝය. කෙසේ හෝ කරුණු කාරණා මෙසේ පෙළ ගැසෙමින් ඒ ඓතිහාසික "සිහින දඩයම" එසේ ඇරඹී තිබිණි.

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

   මම පුරා පෑ දොළහක තරම් වූ දිගු රාත්‍රී නින්ද බිඳ ඇහැරුනෙමි. වෙලාව උදෑසන දහයයි කාලට මදක් වැඩියෙනි. කවුළුවට එපිටින් තොරතෝංචියක් නැති වරුසාවය. මම පසුගිය රැයේ වර්ෂාව ඇරඹුණු මොහොතක් සොයා මතකය  වෙහෙසුවෙමි. නැත, ඒ වගක් ලියැවුණු මතකයක සේයාවකුදු නැත. "එහෙනං රෑ මැද්දෑවෙ වෙන්නැති" මම මට ම කියා ගතිමි. මේ වහින්නේ හය මසක් පුරා මගහැරී තිබූ වර්ෂාවයි. තෙමෙන්නට බලා හුන් සිහිනමය වර්ෂාවයි. ඇරැඹෙන මොහොත තෙක් ඇඟිලි ගනිමින් බලා හුන් වර්ෂාවයි. ඇත්තෙන්ම, වරුසාවකට එතරම් ම රුදුරුව පිටුපා හිඳින්නට පුළුවනිද. මම වහා එළියට පැන්නෙමි. අහා.. වැහි බිඳු ගත තෙමා හරිනා පහස.. මම වර්ෂාවට ඉඩහැර දෑස පියාගත්තෙමි.

   මා දෑස හැරියේ සියුම් යමක් පයෙහි ගැටීමෙනි. "කඩදාසි ඔරුවක්..!!!" එය ඉතා සියුම් රේඛා ඔස්සේ නමා සකසා තිබූ හුරුබුහුටි කඩදාසි ඔරුවකි. එය මා පයේ හැපෙමින්, දිය පහර මත ලෙලැවෙමින් උන්නේ ලලනා ලාලිත්‍යකිනි. එතැන් හිඳ මගේ විඥානය තුළ එය, "ඈ" ලෙස ලැගුම් ගත්තේය. එය තර්කමය ප්‍රශ්නාර්ථයන් නැතිවම කාන්තා ඔරුවක් වූයේ එලෙසය. අන් සියලු කරදහි ඔරු පරිද්දෙන් ම ඈ ද මේ සිහිනමය වැස්සේ කලඑළි බැස තිබුණාය. පොතේ හැටියට නම්, ඒ සිහින දඩයමට ය. එහෙත් ඈ මැවූ ලාලිත්‍යයත්, ඈ මැවූ චමත්කාරයත් ඒ ක්ෂණික විචිකිච්ඡාව මා කෙරෙන් පළවා හැරියා ය. මම පහත් වී, ඈ මා සුරත මතට ගත්තෙමි. එකෙනෙහි ඈ තුනී බඳ මත වූ මුද්‍රිත, කුඩා, තද කලු අකුරු අතරින් කෝළ "පදුකෝනියානු" මදහසක් පැළැඳ ගත්තී, වර්ෂාවෙන් තෙමී ගිය ගහකොළ අතරින් නැගී ආ සිහිනමය සුසුවඳ දෙතුන් ගුණිතව මා වෙලා නැගෙන්නට විය. කෙමෙන් ඈ මදහස අඩක් පියැවෙමින් ගිය මා දෙනෙත් අතරින් රිංගා ළමැද්දට ගලා යන්නට විය. ඊළඟ තත්පරය මා උන්නේ කඩදාසි ඔරුව තුළ එරමිණියා ගොතාගෙන ය. කුඩා ඔරු පතුල පුරා පසුගිය ශරත් සෘතුව පුරා ගසින් ගස- අතින් අත ගිලිහුණු පඬු පෑ පත්‍ර විසිරී තිබුණේය. ඒ සෑම පත්‍රයකම පාහේ සියුම් නිය තුඩකින් කැටයම් කළ කවියක් බැගින් වූ කවි දුසිම් දෙක තුනක් ඔරු පත්ලේ වැතිර උන්නෝය. මම පත්‍රයක් අතට ගතිමි. කිසියම් නොතේරුණු බසකින් ලියා තිබුණද ඒ කවියක් ම බව මා හදවතේ ගැඹුරුම තැනෙකින් ආ දෝංකාරයකින් සටහන් විය. මම පත්‍රය තිබූ තැනින් යළි තබන්නට සැරසුනෙමි. පත්‍ර පලසට යටින් එතැන වැතිරී උන්නේ පසුගිය වසන්‍තයට උරුමකම් කියන්නා වූ අවපැහැව ගිය මලක් හා ඒ වටා වැතිරී උන් මල් පෙති හත අටකි. මම පත්‍ර පලස අතින් එහෙ මෙහෙ කළෙමි. "මල්..!" ඒ යට වැතිර උන්නේ පෙර වැනිම මල් සමූහයකි. මම ඒ සියලු දෙය උන් තැන්වලම තබා වට පිට බැලුවෙමි. ඇද හැලුණු වර්ෂාව තුනී වී ගියද ඒ පරිච්ඡේදය නිමා නොකරනු වස් සිහින් වැහි පොද සේලයක් තවදුරටත් ඇදහැලෙමින් පැවතින.

   කුඩා කඩදහි ඔරුව, ගල් බොරළු කැට අතරින් සීරුවට වංගු ගනිමින් ඉදිරියට ඇදී ගියේය. අතරින් පතර කුඩා ගප්පි පැටවුන් සේලමය වරල් සලමින් නැංවූ රළ ගෙඩි විසින් කුඩා ඔරුව ඔසවා අතහැරියේය. එහෙත් පුංචි තණකොළ මල් රෙහෙණු ඉහිරුනු කුඩා දිය සීරා මත විචිත්‍රය මවමින් ඔරු පොඩිත්ත ලාලිත්‍යමය ගමනෙහි ම යෙදුනේය. කාලය පුරුදු රිද්මයට ම ගලා යන්නේ එක් මොහොතක ඔරුව තණ පිඩැලි ඇල්ලූ බිම් කට්ටියකින් සීමා වූ කුඩා දොළ පහරකට හැරී ගමන් කරන්නට විය. දොළ පහර දෙපැත්තේ, විසල් වැහි වතුර බිඳු දෙවුරෙහි හොවාගත් තුරුණු තණ පඳුරු මා දෙසට හිස් නමාගත් ඉරියව්වෙන් ම උන්නෝය. ක්‍රමයෙන් වැහි අඳුර, සැඳෑ බිම් කරුවල බවට වෙස් මාරු කරගනිමින් මුළු ලොවම තිත්ත කරුවල ලාටුවක ගිල්වා දැම්මේය. එනමුදු ඔරුව තවදුරටත් නිසල ගමනෙහි ම යෙදී උන්නාය. කලුව අතරින් කිසියම් ම හෝ ඡායාවක් දෘශ්‍යමාන වන මොහොත වන විට අලුයම හතර ආසන්න වන්නට ඇත. කෙමෙන් ඒ නව උදෑසන දිගහැරෙමින් තිබුණේ ඇසට ආගන්තුක වටපිටාවක හැඩතල මතුකරමින්‍ ය. පළමු හිරු දළුව ම කුඩා ඔරු බඳ මත පතිත වූයේ පෙරදින ඔරු පතුල මත නුවූ මකරන්ද පිරි මල් කෙමි දුසිමක් පමණ පෙන්වමිනි. එලෙස මා ලද එකම, ඉමිහිරිත ම ආහාරය මට හමුවීය. මද්දහන පසුවන තුරුම ඔරුව ගමනෙහි යෙදී, කෙමෙන් වේගය අඩුව ගොස් නෙළුම් පත්‍රයක මායිමේ තැවරී නතරවිණ. ඉන් පසු එළැඹි ඒ මොහොත සිත්තමක් මෙන් මා මතකයෙහි කිඳා බැසගත්තේය. නෙළුමක් මැදින් මතුවී නෙළුම් පෙත්තක් දිගේ ලතාවට ඇවිද ආවේ අපූරු යෞවනියකි. සුකුමාලියකි. මුදා හැරි මුහුලස ලතාවට ලෙලැවෙද්දී ඈ මවෙතට ඇවිද ආවාය. පෙර හමුනොවූ ආගන්තුක මුහුණක් වුවද අතිශය හුරු පුරුදු හැ‍ඟුමක රශ්මියක් ඈ වටා නැගෙන්නාක් මෙන් මට දැනින. ඈ මා වෙත පැමිණ මදහසක් පෑවාය. "පදුකෝනියානු මදහස..!!!" මේ අර ඔරු පොඩිත්‍ත මා වෙත පෑ සිනහව ම නොවේද..? මා ඒ සිතුවිල්ලෙහි ම ගිලී හිඳිද්දී නිද්‍රා සුරතකින් මා අතක් ගෙන, කොහි හෝ ඈ මා කැන්දාගෙන ගියාය. එය එක් නෙළුම් පතකින් වියන් බැඳි තවත් නෙළුම් පත් වේදිකාවක් විය. ඒ මත තැබූ කුඩා තිරිවානා ගල් කැටයක් මත ඈ මා හිඳුවා, මට කෙලින් ම මුහුණ ලා තැබූ තවත් එවැනිම ගල් කැටයක් මත ඇයද හිඳගත්තාය.

"ඔයා..? ඔයා කවුද?' ඈ සංවාදය ඇරැඹුවාය.

ඇත්තටම මම කවුද? මම සිතුවෙමි. කඩදාසි ඔරුවක නැගලා මේ තරම් දුරක් පාවෙලා ආපු මිනිහෙක්?
"මම" අවසානයේ මම එලෙස පිළිතුරු බැන්දෙමි.

ඇය: ඊට වඩා පැහැදිලි හඳුන්වා දීමක් නැද්ද?"

මම: තමන් තමන් ම බව කියන්න ඊටත් වඩා පැහැදිලි විදියක් තියෙන්න පුලුවන්ද?

ඇය: සමාවෙන්න "මම" ඒත් මෙතන ප්‍රශ්න අහන්න නියමිත මට.

මම: කඩදාසි ඔරුවක නැගලා නොදන්න පළාතකට ආපු මිනිහෙකුටත් අහන්න දාහක් ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ඇය: හ්ම්.. ඒත් ඒකෙම අනිත් පැත්ත, කඩදාසි ඔරුවක නැගලා නොදන්න පළාතකට පාවෙලා ආපු
මිනිහෙක්ගෙන් අහන්නත් දාහක් දේවල් තියෙන්න පුළුවන්.

මම: හොඳයි, අහන්න..

ඇය: ඒ කඩදාසි ඔරු බඳේ තිබුණු ටික කියෙව්වද?

මම: නැහැ. බැරිවුණා.

ඇය: ආහ්.. එහෙමද?

මම නිහඬව හිඳිමි.

ඇය: ඔබ තමයි "සිහින රැස්කරන්නා". එහෙම නේද?

මම තවදුරටත් නිහඬවම හිඳිමි.

ඇය: මොකද කථා නැත්තෙ, ම්ම්..? (පදුකෝන්මය සිනහව කාජල්මය දෑසක්ව දොඩමළු වෙයි.)

මම: හොඳයි, එහෙම කියමු. ඊළඟට..?

ඇය: ඔයා සෙල්ලමට එන විදියට මං ආසයි වගේ. ම්ම්.. කෙලින් කථා කරමු, ඇයි සිහින රැස් කරන්නෙ?

මම: හීන කියන්නෙ නන්නත්තාරෙ යන්න ඕන දේවල් නෙමෙයි.

ඇය: ඒ වුණත් හීන නිසා මිනිස්සු නන්නත්තාරෙ යනවා.

මම: නැහැ, ඒක වැරදියි. ඒක ඔයාම හදලා එළියට දාපු අදහසක්. හීන නිසා මිනිස්සු ජීවත් වෙනවා.

ඇය: නැහැ, හීන නිසා මිනිස්සු අමාරුවෙ වැටෙනවා. බලන්න ඔබ දිහා.

මම: නැහැ, ඒක වෙනස්. හීනයක් වෙන්න පුළුවන්. ඒත් මම ආවෙ ඒ කඩදාසි ඔරුව නිසා මට දැනුනු හැඟීම නිසා. මම ඒ හැඟීමට බැඳුණා.

ඇය: ඔරුවකට..?

මම: ඒක නිකම්ම ඔරුවක් නෙමෙයි. ඔයා ඒක දන්නවා ඔයා ඒකට කාවද්දලා තිබුනෙ ඔයාව. මං ඒ ඔරුවෙන් දැක්කෙ ඔයාව. මම බැඳිලා තියෙන්නෙ ඔයාට.

ඇය නිහඬ මලානික බැල්මකින් බලා උන්නාය.
මේක වෙන්න තිබුණෙ ම මෙහෙම වෙන්න ඇති.

මම: එහෙමත් දේවල් වෙනවද?

ඇය: මේ වෙලා තියෙන්නෙ.

මම: මම සැරයක් කිව්වෙ, මට දැනුනු හැඟීම නිසා. ඒක ආදරේ වෙන්න ඇති. මං හිතනවා එහෙම. ඒත් ඔයා ඒක පාවිච්චි කලා මාව මෙතෙන්ට ගෙන්න ගන්න. මාත්, මේ හැම තැනකම ඉහිරිලා පැතිරිලා දළු දාන්න නියමිත හීන සේරමත් විනාශ කරලා දාන්න. එහෙම නේද?

ඇය: (මලානිකව) ඔබට ප්‍රශ්න අහන්න බැහැ.

මම: ඔයාට මම කිව්ව දේ ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.

ඇය: ඔයා ඇත්තටම ඒ කඩදහිය කියෙව්වෙ නැද්ද?

මම: (සිනාසෙමින්) නැහැ. ඇයි ඔයාගෙ සැලසුමට අව්ලක්ද..

ඇය: ඇත්තටම ඔයා මේ දකින දේ මගේ සැලසුමක් නෙමෙයි. මාත් මේකෙ එක පුංචි කෑල්ලක් විතරයි. ඇත්තටම මගේ සැලසුමේ තිබුන එකම දේ, ඔයා ඒ කඩදහිය කියවාවි කියන බලාපොරොත්තුව විතරයි.

මම: මොකද්ද ඔයාගෙ ඒ මහ ලොකු සැලසුමේ තිබ්බෙ?

ඇය: තාමත් ඔයාට ප්‍රශ්න අහන්න බෑ. ඒත් දැන් මට කෝකත් එකයි.

මම: ඉතිං?

ඇය: මේ හැම දේකටම හොරෙන්, පිටින් මම ඒක ලිව්වෙ ඔයාට කියවගන්න. ඒකෙ ලියලා තිබ්බෙ "මේ බෝට්ටුවට නගින්න එපා!" කියලා. මුලු කොළයක් පිරෙන්නම මං ලිව්වෙ ඒක. ඔයා පිලිගන්නවද එහෙම දෙයක් ඇතුලෙත් තියෙන්නෙ ආදරේ කියන එක?

මම: ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

-නිමි-

-මුදිත්-
2019.11.12

3 comments: