එක එක හැඩෙන් කියවන්න

Sunday, April 19, 2020

කෙහෙරැල්ල

          ඒ නම් මහා පුදුමාකාර කෙහෙරැල්ලකි. දහවලත් සැන්දෑවත් අතර මැද හෝරා දෙක තුන තෙත් කර හැලුණු වැහි රැල්ලෙන් මග හැරී ගිය හිතුවක්කාර පොද අහුරු මගින් තෙත් නොවුණු කෙහෙවල්ලක, පරෙස්සම් සහගත කෙහෙරැල්ලකි. මා, ගාල්ල බලා යන බස් රියක් තුළට හනි හනික ගාල් වූවද අර කී පොද අහුරු වලට මා මගහැරී නොතිබිණි. මම අසුනකට බරවීමි. කඳේ බර තට්ටමට මාරු වී අසුනේ කුෂන් තෙරපයි. දෑස් ද පියා ගත් කල සිතේ බර ද උකුලටත්, තට්ටමටත් මාරු වනු ඇත. අහා.... කෙතරම් නම් සැහැල්ලුවක්ද.. මම දෑස් පියා ගනිමි. නින්දක් හතර මායිමක නොවුණද, ඇස් පියන් තදවූ පසුව තැනෙනුයේ මනෝ සක්මනකට කදිමතම උයනකි. අඩක් හැර ඇති, රිය කවුළුවෙන් හමනා සුළඟ ද තෙතය. සීතය.. මම ප්රේමයේ කිරිකෝඩු මාස කිහිපය තුළ මනසින් ඉපිලෙමින් සක්මන් කරමි.

          මේ කියන කෙහෙරැල්ල මගේ මුහුණට පැන, අනින්නේ මෙන්න මෙවිටය. බිඳී, විසිරී යන්නේ මා අපූරුම සිහින සක්මන ය. මේ කවර නම් වධයක්ද.. මම දෑස් හැර විමසමි.

          විසල් ව ඇරී ඇති කවුළුවෙන්, තවමත් තෙත නොවියලුණු සුළඟ අවසරයකින් තොරව ම, රිසිසේ හෝස් ගා පිනුම් පනිමින් එයි. මගේ අසුනෙහි කවුළුව පැත්තේ වාඩිගෙන සිටින්නේ කෙල්ලකි. කවුළුව හරින්නට ඇත්තේද ඈ ම විය යුතුය. කවුළුවෙන් පනිනා සුළඟ, පළමු පය ඇගේ කෙහෙවල්ලටත් දෙවන පය මගේ මුහුණටත් තබමින් බසය තුලට පනින්නේය. නිකම් පිනුමක් නම් ඉවසා සිටිය හැක. එහෙත් මේ පනින්නේ, ඇගේ කෙහෙවල්ලේ වූලෙන් මිදුණු කෙහෙරැල්ලක්ද සමගිනි. කරදරය ඇත්තේ එතැනය. ඈට නම් ගණනක්ම නැත. කවුළු වීදුරුව මුළුමණින්ම විවර කරලන්නට ඇති ඇගේ අත, දැන් කවුළුවේ ලෝහ පට්ටමට තට්ටුවක් දමමින් තාලයක් අල්ලයි.
          'මේකි මාර එකියක් නෙ..'
ඈට ම අලගු තියනා සුළඟ, තව තවත් කෙස් ගස් වූලෙන් මුදාලයි. නිදහසේ විසිරෙන කෙහෙරැළි, නිදහසේ උපරිමය මේ යැයි කියමින් මගේ මුහුණේ හරි අඩක් ම අල්ලාගෙන නිදහසේ කැරළි ගසයි. මට යමක් ඇණයක් වන්නේ ඉවසීමේ හරිත සීමාවත් රක්ත සීමාවත් අතර මැද්දෑවේදී ය. මේ නම් දැන් මහ ම ඇණයක් ය. ඈට කිව යුතුමය.

          "මේ.. ඔයාගෙ කොණ්ඩෙ සේරම මගෙ මූණෙනේ. බැරිද කොණ්ඩෙ පොඩ්ඩක් හරිගස්සගන්න.."

          මා එසේ කීවේ නැත. ඈ වෙනම ලෝකයකය. කුමක් හෝ කල යුතුය. මම කල්පනාවට වැටෙමින් දෑස් වසාගතිමි. ටිකක් සැරට උගුර පෑදිය හැකිය. නැතිනම් කෙලින්ම ඇඟිල්ලෙන් ඇන ඈට කතාකල හැකිය. මොනම මඟුලක් කර හෝ පළමුව ඇගේ මුහුණ මා වෙත හරවා ගත යුතුය. ඉන්පසු කීමට ඇති සබ්බ සකලමනාවම එක රළු බැල්මකින්ම කියා දැමිය හැකිය. මම යළි යළිත් එය මෙනෙහි කළෙමි. ඉන්තේරුවෙන්ම එය සාර්ථක වනු ඇත. ඇදගත් හුස්මක්ද රළු පරළු බැල්මක්ද සමගින් මම දෑස් හැරියෙමි.

          මේ කවර නම් කෙල්ලක්ද... දුටු දෙයින් මා තිගැස්සී ගියෙමි. ඉදිරි අසුනේ කවුළුව පැත්තේ මැදිවියේ පමණ කතකි. එතැන කවුළුවද විවර ය. එම අසුනේ පිට වාරුවට ඉහළින් අර කී කතගේ කෙහෙ කැරැල්ලක් මේ පැත්තට වැටී ඇත. හමන සුළඟේ පොරයට හසුව එයද සසැලෙයි. ඇඹරෙයි.. මඳක් තඹ ගැසී ඇති එ'කෙහෙරැල්ල වටා දඟකාර ලෙස මේ කෙල්ල ඇගේ අතැඟිලි නටවයි. කෙහෙරැල්ල සුරතේ දබරැඟිල්ල වටා පටලාගනියි. ඒ හමන සුළඟින්ම ඇගේ නොසණ්ඩාල කෙහෙරැල්ල මගේ මුහුණට අනියි. දෙකක් කියන්නට සිතාගත් සිතද සුළඟට ගසාගෙන ගියාක්ම වැන්න. මට ඇතිවූයේ ඇගේ හිස බූ ගා දමන්නට තරමේ කෝපයකි.

          "මේ..." මම ඈ ඇමතීමි. එක්කෝ ඈට නෑසුණා විය යුතුය. නැතිනම් ඈ මහ කපටි හෙරක් විය යුතුය. මා සිතින් පුපුරා හැලෙද්දී ඈ කොහේදෝ තිබී ඇදගත් කන් බණුවක් දෙකන් තුල ඔබා ගත්තාය. කෙස්ස දැන් නම් තවත් නිදහසේ හැසිරෙනු ඇත. මා තව සැලකිය යුතු දුරක් මෙසේ යා යුතුව ඇත. මේ වධය ඉවසා සිටිය හැකිද.. මුලදී කෙසේ වූවත් දැන් නම් මෙය කෙසේවත් ඉවසා සිටිය නොහැකි වධයකි. ඇගේ කෙළිලොල්කමින් ම මගේ මුව ගොළුගැසී ඇත්තාක් මෙන් මට හැඟේ. ඇත්තෙන්ම එය එසේ නොවන්නේද...? මගේ සිත ඉවසුමේ රතු කට්ට වෙත වේගයෙන් ඇදී යමින් පවතී. දැන් කෝපය ඇවිලෙන්නේ මගේ පීචං පෞර්ෂය ගැනත් එක්කය. "කෝ උඹේ අර මහ ලොකු කට..?" නක්කල් සිනවක්ද සමගින් මම මගෙන් ම ඇසුවෙමි. කොලොප්පම දෙ තුන් ගුණයක් කරන්නට ඇගේ කෙහෙවල්ලෙන් පැන තවත් කෙහෙරැල්ලක් දෙකක් ද මට ඇනීම සඳහා අලුතෙන් පැමිණ සිටී. මෙය නම් ඈ සිතා මතා සිදුවෙන්නට හරිනවා විය යුතුය. ඇරත්, කොණ්ඩයක් මෙලෙස ඇණයක් වන්නට සිහි ඇත්තියක් ඉඩහරිනු ඇත්ද...? මේ නම් ඔලුව හොඳ නැති එකියක්ම විය යුතුය. අර කෙහෙරැල්ලක් අල්ලාගෙන මෑ කල නාඩගම ඊට "එහෙයි එහෙයි" කියයි. මේකි දැන් දෙ තුන් පොළකින් මට සිනාසෙනු ඇත. අර හෙඩ්ෆෝන ඇබ මට පෙනෙන්ටම කනේ ඔබාගත්තේ මා තව තවත් හිර කරනු පිණිසය. මම ද දෑස් තද කරගෙන ම සිතන්නට වීමි. මගේ දෑත් නලියන සේය. මා ආවේගය පාලනය කරන්නේ ඇයි..? "හිටපං දෙන්න..." මටම කියාගනිමින් එක්වරම මම ඇගේ කෙස්ස තදින් ඇදී යන සේ මගේ මුහුණෙහි වූ ඇගේ කෙස්ස පිසදාහැරියෙමි. එකෙනෙහි ම... මා අතේ පැටැලුණු කෙස් රොදක් තදින් ඇදෙනවාත් සමගම ඇගේ කෙහෙවල්ල ඉදිරී, අසුනේ ඇයත් මමත් අතර කොටසට වැටුණි. මගේ උගුර සිරවුණි. මා දුටුවේ කෙස් ගස්කුදු නොමැති ගෝලාකාරව දිලිසෙන ඇගේ හිසත්, බියපත්ව, කඳුලෙන් පෙඟී විසල්ව ගිය ඇගේ දෑසත් පමණි. මට මේ දැනුදු ඇසෙන්නේ සවන් තුල නිනඳ දෙන ඇගේ බියපත් හඬ ම පමණි.

          "කවමදාවත් මට දිග කොණ්ඩයක් තිබුණෙ නෑ අයියේ.. ඉස්කෝලෙ අට වසරෙන් පස්සෙ මට මගේම කියල එකම එක කෙස් ගහක් වත් ඉතුරු වුණේ නෑ.. ඔයාට කරදරයක් වුණු බව තේරුණා. සොරි... මට ලොකූ ආසාවක් තිබුන, ඔයාගෙ කොණ්ඩෙ මගෙ මූණෙ වදිනව කියල කාගෙන්ම හරි අහගන්න. හැම තිස්සෙම මගේ හිතේ තිබුණෙ එච්චරයි..."

     **********
                              -මුදිත්-
2016.01.14

No comments:

Post a Comment