එක එක හැඩෙන් කියවන්න

Saturday, March 28, 2020

ජීවිතය මුදා හැර තිබේ...

     මේ ගෙවෙන රාත්‍රිය- අනෙක් සාමාන්‍ය රාත්‍රීන්ටත් වඩා අතිශයින් නිශ්ශබ්දයි. නිශ්චලයි. ශ්‍රී ලංකාව පුරාම, එක යායට සාමාන්‍ය ජන ජීවිතය මේ රැයේ නිශ්ශබ්දයි. නිශ්චලයි. අනෙක් අතට ලෝකය පුරාමත් මේ නිශ්චිත මොහොත ගෙවෙන්නේ අතිශය දෙගිඩියාවෙන්. ක්ෂුද්‍ර ප්‍රාණියෙක් විසින්; ඇත්තෙන්ම කිසිදු සෛලීය ව්‍යුහයක් හෝ නැති, කිසිදු ස්වාධීන ජීව ක්‍රියාවක් පෙන්වීමේ යාන්ත්‍රණයක් නැති ක්ෂුද්‍ර ප්‍රාණියෙක් විසින්, ලෝකය තමන්ගේ යැයි සලකමින් උන් මහා ජීවියාගේ පැවැත්මට මැද ඇඟිල්ල පෙන්වමින් ඉන්නා මොහොතක් මේක.

     එක්තරා එක දවසක, චීනයේ එක මුල්ලකදි ධාරක ජීවියෙක්ව ආක්‍රමණය කර ගන්නා මේ වෛරසයා, අද වෙද්දි ලෝකයේ සාමාන්‍ය හෘද ස්පන්දනය වෙනස් කරමින්, ලෝක බලවතා ලෙසට උදම් අනමින් උන් අමෙරිකාව පවා දණින් ඉන්දවමින්, පෘථිවි තලය පුරාත්, සාගරය හා ආකාසය පුරාත් වේගයෙන් කරක් ගසමින් පෘථිවියේ භාරකාරීත්වය පවරාගෙන උන් අපේ ජීවිත, සති-මාස කිහිපයක් තුළ lockdown කරන්න සමත් වෙලා අවසානයි. ඉතින් අකමැත්තෙන් හෝ මේ විරාමය ඇතුලෙ අපව ගාල් කරමින්, මේ වෛරසයා විසින් මේ කරමින් ඉන්නේ ජීවිත පැවැත්ම පිළිබඳව වන තිත්ත කසායක් අපට පෙවීමයි කියලා මට හිතෙනවා.

     මෙතෙක් කාලයක් අවසානය, නිමාව, මරණය කියන සත්‍යතාවන් පවා අමතක කරවන සුළු තරඟයක උන් මිනිස් වර්ගයා මේවෙද්දි නැවත වරක් මරණයේ ආමන්ත්‍රණය ඇතුලෙන් ජීවිතයට ඇහුම්කන් දෙන්න පෙළඹිලා. උදේ පාන්දර ඇහැරගෙන race එකක දුවන්න සුක්කානම අතට ගතපු, පාරෙ බස් එකට, කෝච්චියට, බයික් එකට නැගපු ජීවිත මේ වෙද්දි ටිකක් දවල් වෙනකම් නිදාගනිමින් ඉන්නවා. තමන්ගෙ දුව පුතා එක්ක නැවත වරක් හෝරා කිහිපයක් තදියමක් නැතිව ගතකරමින් ඉන්නවා. අතහැරගන්න බැරි පුරුදු කියලා මානසිකව හංවඩු ගහගතපු දේවල් එකින් එක අතහරිමින් ජීවිතය ගෙවන්න හුරුවෙමින් ඉන්නවා. සිගරැට් එක නැතිව වැසිකිළි යන්න බැරි වුණු අය, කිසීම කරදරයක් නැතිව ඒ වැඩේ කරමින් ඉන්නවා. හවසට හීන් අඩියක් නොගහා ගෙදර එන්න බැරි වුණු පිරිමි, ඒ කිසිවක් නැතිව දරු පැටව් එක්ක අල්ලාප සල්ලාපයේ හැන්දෑව ගෙවමින් ඉන්නවා. ගෙදර බතක් උයාගන්න එක වේදනාවක් කරගෙන කඩෙන් රෑ කෑම කන්න පෙරැත්ත කරපු ගැහැණු, දන්නා සූප ශාස්ත්‍ර සියල්ලම දමමින් තමන්ගෙ දරු පැටවුන්ට, ස්වාමිපුරුෂයාට රෑ කෑම හදන්න පෙළඹිලා තියෙනවා. සොසේජ්, මීට් බෝල්ස්, පෝකීස් නැතුව සොහොන් වගේ පාළුවට පෙණුනු කෑම පිඟාන, අද පලා මැල්ලුමෙන්, කරවල බැදුමෙන් සර්ව සම්පූර්ණ ව පේන්න පටන් අරන් තියෙනවා. EGB, Coke නැතුව කෑම එපා කියපු අය කිරි හොදියි බතුයි රහ කර කර කමින් ඉන්නවා. මස් මාළු නැතිව කන්න පිරිය නෑ කියපු අය, හරි අපූරුවට සම්බෝලයි බතුයි කමින් ඉන්නවා. සිංහල අවුරුදු දාට විතරක් එක මේසෙක කෑම කාපු, එදාට විතරක් බිරිඳට සැමියාට බත් කටක් කවාපු අයට අද අවුරුදු නැතිවම ඒ සතුට ආදරය බෙදාගන්න පුලුවන් බව වැටහිලා තියෙනවා. අවුරුදු ගණනක් විලාසිතාවට Book Fair ගිහින් ගෙනාපු පොත් එක දෙක රාක්ක වලින් එළියට ඇවිත්, පොතක් පතක් කියවන්න තවමත් අපිට පුලුවන් බව සාධනය කරමින් ඉන්නවා. වැට මායිමේ තියෙන කොස් ගහේ වඳුරන්ට රිලවුන්ට ඇරපු කොස්, අපිටත් කන්න පුලුවන් බව යළි වටහාගමින් ඉන්නවා. තරඟයට එකතු කරපු චිත්‍රපට, සංගීත ඇල්බම් හීන් සැරේ රසවිඳිමින් අතීතෙට පොඩ්ඩක් ගිහින් එන්න වෙලාව හදාගනිමින් ඉන්නවා. දාහක් බඩු මුට්ටු පිරිවරාගෙන ගෙවන මොකක් හරි එකකට ජීවිතය කියනවට වඩා, සරලව ගෙවෙන ජීවිතේක මොකක්දෝ අමුතු සැහැල්ලුවක් වගේ එකක් දැනෙමින් තියෙනවා. මෙච්චර දවසක් උන්නද මළාද වගක් නොතිබුණු දවසෙ පඩියෙන් ජීවිතේ ගොඩ දාගතපු අල්ලපු ගෙදර එකා කාලද දන්නෙ නෑ කියල සිතිවිලි වලට එන්න හිතේ ඉඩ හැදෙමින් තියෙනවා. හෙට දිහාට ඒ මනුස්සයගෙ පැත්ත පොඩ්ඩක් බලන්න ඕනෙ කියල හිතෙමින් තියෙනවා. කොටින්ම ජීවිතය කියන්නෙ තරඟයට දුවනවට වඩා තමන්ගෙ ආදරණීයයන්, අසල්වැසියන් එක්ක හිමින් තාලෙ ඇවිදගෙන යන්න ඕන ගමනක් නේද කියන එක, අපි මැරෙන මිනිස්සු නේද කියන එක අත්විඳිමින් ඉන්නවා.

     කෙටියෙන්ම කියනවා නම් මට දැනෙන හැටියට, තමන්ට කියා ජීවිතයක්, පැවැත්මක් නැති වෛරසයක් විසින්, සියල්ලම තමන්ගෙ කරගෙන උන්නු අපිට ජීවිතය කියාදෙමින් ඉන්නවා.

-මුදිත්-
27.03.2020



No comments:

Post a Comment