එක එක හැඩෙන් කියවන්න

Sunday, January 10, 2021

වෙලාව දහයයි. රෑ දහයයි. වහළෙ උළු උඩට තාලෙකට වැටෙන වැස්සෙ සද්දෙයි, යාන්තමට ඇහෙන රේඩියෝවෙ සද්දෙයි, මමයි.

“ඔබ එන්න..
ඔබ ඇවිත් යන්න එන්න..”

රේඩියෝවෙන් ඇහෙනවා. ආදරණීය ඉල්ලීමක්.. මොරිස් විජේසිංහ ගෙ හඬ. ආදරණීය වස්සානය. හිත අස්සෙ අහුමුළු වල ගුලිවුණු සිංදු කීපයක් ඉතුරු කරපු ආදරණීය වස්සානය..

දවස් ගණනක් පුරාම නුවරට වහින වැස්ස ඉහිරවන හීතල, තවත් රෑක දියවෙවී කැටි ගැහෙන්නෙ නොස්තැල්ජියාවක්. හැඩයක් පාටක් නැති හැඟීමක්. හඬත් තනුවත් එක්ක මගේ හිත මං දැකපු ලස්සනම වස්සාන කීපය අතරට යනවා. ඒ මතකයත් අයිති මේ නුවරට. පේරාදෙණියට..

වැහි කාලෙ බව දැන දැනත්, කැටි ගැහෙන වැහි අඳුර පෙනි පෙනිත් කුඩයක් නැතුව කැම්පස් එක ඇතුලෙ හුරු පුරුදු තනි ගමනෙ ඇවිදන් ආපු හවසක්.. පොද වැස්සකින් පටන් අරන්, මහා ධාරාණිපාත වැස්සකින් කෙළවර වුණු දවසක්.. නහරයක් නහරයක් පුරා හීතල මිදුණු දවසක්...

කාලයක් යන තුරු ඒ වැස්ස වැස්සා. එළියකට බහින්න, ඇඳුමක් වේලාගන්න ඉඩක් නොදී වැහැපු ඒ වැස්ස අවසානෙ ඉතිරි කලේ අප්‍රසන්න හැඟීමක්. ඒත් ඒ හැඟීමෙන්, ඒ වස්සාන කාලෙ වැහැපු හැම වැස්සකම තිබුණු චමත්කාරජනක ලස්සන කෙළෙසෙන්නෙ නැති විදිහට ඒ වස්සාන කාලෙ මතකෙ ඉතිරි වෙලා තිබුණා. අදට ඒ වස්සානෙ අවුරුදු දෙකක් වත් පරණයි. ඒත් පහුගිය සතියක දෙකක කාලෙත් නුවරට වැස්සා. ඉස්සර වගේ විඳින්න ඉඩක් නොතියා ඒ වැස්සෙම උදේ පාන්දර නැගිටලා මෝටර් සයිකලේ නැගලා තෙමි තෙමී වැඩට යන්නත්, ඒ තෙත ඇඳුම් එක්ක හීතලේ පැය නමයක් රස්සාව කරලා ආයෙම තෙමි තෙමී ඒ විදියටම බෝඩිමට එන්නත්, මේ වැහි කාලෙ පුරාම සිද්ධ වෙලා තිබුණා. ඒ හැම දවසකම හවස තෙමි තෙමී බෝඩිමට ආවෙ තෙත ඇඳුම් මාරු කරලා, සරමක් ඇඳන් රස්නෙට ඇඳ රෙද්ද යට ගුලි ගැහිලා කෝපි එකක රස්නෙ එක්ක පොතක් කියවන රෑ පැය දෙක තුන මතක් කරන ගමන්..

අවසානෙ අද ඉරිදා නිවාඩු දවසට එළි වුණා. වැස්ස එහෙමම වැස්සා. මේ මොහොත වෙන තුරුම වහින්නෙ ඒ වැහැපු වැස්ස. දවල් දවසෙම ජනේලෙන් එළියෙ වහින වැස්ස දිහා මං සෑහෙන වෙලාවක් බලන් හිටියා. පහුගිය දවසක කියවන්න ලැබුණු පෝස්ට් එකක තිබුණා වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට කියලා. ඇත්ත, වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට... ඒත් ඒ ලස්සන දිහා බලාගෙන දවස ගෙව්වත් මගේ හිතේ අද දවසෙ අන්තිමට මොකක්දෝ හිස්තැනක් ඉතිරි වෙලා තිබුණා. මේ ටික ටයිප් කරන වෙලාව අතරෙ නොදැනිම සිංදු ගණනාවක් යන්න ඇති. මේ ටික හිතට එන්න පාර කපපු ඔබ එන්න සිංදුවත් නොදැනීම ඉවර වෙලා. අහන වාරයක් ගානෙ හිත ඇවිලෙන, ඒත් ආයෙ ආයෙ අහන්න හිත බල කරන “ඔබ නොදැක බැරුවා.. ඔබ නැතිව බැරුවා” කියන පද පේළි ටික නොදැනිම මගඇරිලා ගිහින්. මොරිස් ගෙ හඬින් ඒ ටික ඇහෙන හැම වාරෙකම අර මතක වස්සානෙට අයිති හීතල, උණුහුමක් වෙලා දැනෙන ඒ හැඟීමට හිතේ තියෙන්නෙ තද ආසාවක්. මග හැරුණු ඒ ආසාවත් එක්ක ආයෙම මට රේඩියෝවෙ ගැයුම ඇහෙන්න ගන්නවා.

“අහස ගුගුරා
අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුණා”

නන්දා මාලනියෙගෙ හඬ. මොහොතකට හිත වැන්දඹු කරන වචන ටිකක්.. තනුවක්.. හිතට දැනෙන හිස්තැන එක්ක මම ජනේලෙන් එළිය බලනවා. තවමත් වැස්ස. ඈත පාරෙ තියෙන ලයිට් කණුවක එළිය යන්තමට වැහි බිංදු වල දියවෙලා. ජනෙල් වීදුරුව පුරාමත් ඒ එළිය දියවුණු වැහි බිංදු. මේ වැහි බිංදු වලත් ඒ හීතලම ඇති. මම ජනේලෙ ඇරලා වීදුරුවෙ හැපි හැපී වැටුණු වැහි බිංදු වලට එන්න ඉඩ දෙනවා. ඇට මිදුලු වලටම කාවැදෙන තරම් වුණු හීතල.. සමහරවිට මේ වැස්ස මේ මොහොතෙ පේරාදෙණියටත් මෙහෙමම වහිනව ඇති. හවස් වරුව පුරාම හන්තානෙ මුදුන් තීරුව විතරක් පේන නොපෙනෙන තරමට මීදුම් කැරලි තියෙන්න ඇති. ධාරාණිපාත වැස්සට කලින් හන්තාන දිහාවෙන් ආපු හුළඟක් එක්ක හිරිකඩ රැල්ලකුත් යන්න ඇති. ඒ සේරම එක්ක මුළු පේරාදෙණියටම එකෙක් හරි ලඟ එන වැස්ස පෙනි පෙනී කුඩයක් නැතුව ම තනියම එළියට බහින්න ඇති. එන සතියෙත් මේ වැස්ස මෙහෙමම වහීවි.

ඔව්...
වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට... ඒක හැමදාම එහෙමම වේවි.

 

-මුදිත්-
2021.01.10



No comments:

Post a Comment