එක එක හැඩෙන් කියවන්න

Tuesday, March 3, 2020

සිතුවම වසා නැගුනයි කලුවන් කන්ද

සැන්දෑ ඉරේ, දේදුන්නේ පාට රැසින්
හිරිමල් වියේ ඉස්මත්තේ සිනහ රැසින්
නැහැඹුල් ඇඟිලි අතරේ තෙලිතුඩෙහි අගින්
සිතුවම ඇඳුනි සෙනෙහස් කඩදහිය මතින්

යම්තම් සිනාසෙන ඉඳුවර පිපුණු විල
අහසෙහි, සයුරු දිය මත්තෙහි රැඳුණු නිල
සිහිලැල් හරිත රේඛා'තර පිපුණු මල
මල වට රැඟුම් දෙන මී මැසි - බඹර කැල

කාලය ගලා එන තාලය හා මුසුව
නැග ආ අඳුරු අව පැහැයක කසුකුසුව
ගස, මල් පෙත්ත, මල සහ පොඩි මල් නටුව
හෙමි හෙමිහිට මැකිණ, අඳුරින් වල් බිහිව

කාලය තැනූ කිසියම් රුදු විසක් ලෙසින්
මේ මහ කන්ද ඇඳුනිද මෙහි කවුරු අතින්
හැම අසිරිය ම සොරකම් කළ සොරකු ලෙසින්
දැන් මහ කන්ද වැජඹෙයි සිතුවමෙහි මැදින්

යම්තම් සිනාසුන ඉඳුවර පිපුණු විල
අහසෙහි, සයුරු දිය මත්තෙහි රැඳුණු නිල
සිහිලැල් හරිත රේඛා'තර තිබුණු මල
දැන් නැත එතැන ඝන කළුවර මිසක මළ

ගං දිය ගලා ගිය මග තව දැනෙයි තෙත
මොහොතක් හඟිමි ඒ තෙත, කෙළවරෙහි නෙත
දැන් වියපත් ය මේ සිතුවම් ඇන්ද අත
අර පොඩි බටිත්තන් දුර ඉගිලුනිද මිත?

ඉඳුවර සුවඳ පැටලෙන මොහොතක් ගානේ
මතකෙන් දකිමි පිපි ඉඳුවර එක රෑනේ
හිරිකඩ ඉහෙන විට කැටයම් වී මූණේ
තනිවම සිතමි මේ වෙන්නැති වස්සානේ

ඉඳහිට අතින් සිතුවම පිරිමදින විට
තවමත් දැනෙයි පෙර උණුහුම අඳුර යට
දැකගන්නට වරක් සිතුවම එකලු කොට
පිපියන් ඉරක් කඳු මුදුනට උඩින් හෙට

-මුදිත්-
05.10.2019

Painting: Light and Shadow by Franklin Carmichael

No comments:

Post a Comment