එක එක හැඩෙන් කියවන්න

Monday, May 7, 2018

නික්මෙමි...

නොතෙමී හිඳිනු පිණිස ම
ශීතලෙන් මිරිකෙමින් වුව
උයන් කුටියකට වී
දිගු වස්සානයක්
පසු කලෙමි..

හේමන්තයේ එකින් එක
ගිලිහෙමින් යන පත් දැක
ගැඹුරුතම දහමක් අස
තාවර ව ගිය සිත
කූද්දා ඇහැරමි..

වසන්තයෙ පිපි මල් වල
එකිනෙක පැටලි මුදු සුවඳට
සෘතුවක් පුරා කවි ලීවෙමි..

දාහය ම කඳුළු කොට වගුරන
විසල් රුක් සෙවණක
මලානික පත් ගණිමින්
ගිම්හානයක් පසු කෙරුවෙමි..

මල් වරා ලූ පසුවත්,
තෙත සිඳී ගිය පසුවත්,
මෙතෙක් මල් දුන් බිම මත
නතර වී මග බැලුවෙමි..

ඉනික්බිති එක් මොහොතක
ඉඩෝරය වී - නුඹම සපැමිණ
දන්වා සිටින විට
මෙ බිම අතහැර යා යුතු ම වග,

ඉටි මලක් කොට, මතක රැස
පළන්දා - මල් වැරූ අතු අග
මඳක් තාවර ව හිඳ
මෙයින් නික්මී යන්නෙමි...
                                               -මුදිත්-
                                       2018.05.06

2 comments:

  1. ලස්සන නිර්මාණයක් එක්ක ගොඩක් කාලෙකින් නේද මුදිත.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔව් දුමින්ද.. සෑහෙන කාලෙකින්. වැඩ ටිකක් වැඩියි නෙ. කාලෙකට පස්සෙත්, තවමත් දුමින්දලා කුරුටු පැත්තෙ ඇවිත් යන එක ගැන හදවතින් ම සතුටුයි..

    ReplyDelete