නිල්ගලේ නිල්ල තැවරුණු තැන,
රඹකැන් ඔයේ,
සීතල කඳුළු තැවරුණු තැන..
ගල්ලෙනක පපු ගැබ..
ඇසුණත් නො ඇසුණත්,
හද ගැහුණු තැන එතැනය...
ඉමක් නොපෙනෙන වන ගැබ,
එක කුස උපන් ගහ වැල,
සතා සීපා, කුරුළු පිරිවර,
අතැර, එක දවසක
බිමෙන් පිටමං වීය උරුමය...
ලතු උලා හැඩ වී විසිතුරුව
දුර ගමන් යන අතර,
ශිෂ්ටාචාරය..
මොහොතකට ගොඩවී රතුගලට
කොටුකරයි කැමරා ඇසට,
කහට බැඳි කඩ දතින් හිනැහෙන
ඉතිහාසයක මුල් උරුමය...
-මුදිත්-
07.07.2024
සටහන:
ඌව පළාතට අයත් නිල්ගල වන මායිමෙන් විහිදෙන දානිගල පර්වත ගල්ලෙන් සිය වාසස්ථාන කරගනිමින් අතීතයේ නිල්ගල ආදිවාසී ප්‍රජාව ජීවත් වූහ. පසුකාලීනව ආරම්භ කෙරුණු සේනානායක ව්‍යාපෘතිය හා ඉඟිනියාගල වේල්ල ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් සිය මුල් බිම් අතැර නික්මෙන්නට යෙදුනු එකී ආදිවාසීන්ගෙන් පිරිසක් වර්තමාන රතුගල ආශ්‍රිත ප්‍රදේශයට ද සංක්‍රමණය වූහ. වර්තමානය වන විට අති දුෂ්කර කෘෂිකාර්මික දිවියකට හුරුවෙමින් සිය ජීවිතය ගැටගසා ගැනීමට ඔවුන්ට සිදුවී ඇති අතර "රතුගල ආදිවාසී උරුම ගම්මානයෙහි" ඔවුන්ගේ පාරම්පරික ආයුධ, උපකරණ සහ මුල් වාසස්ථාන වූ ගල්ලෙන් ආදිය මහජන ප්‍රදර්ශනය පිණිස පවතින්නේ වෙයි.
![]() |
රතුගල ආදිවාසී ගම්මානයේ ප්‍රදර්ශනයට තබා ඇති ආදිවාසීන් භාවිතා කළ සාම්ප්‍රදායික උපකරණ |
![]() |
රතුගල ආදිවාසී ගම්මානයේ ප්‍රදර්ශනයට තබා ඇති ආදිවාසීන් ගේ ඡායාරූප කිහිපයක් |
ඡායාරූප අයිතිය: Mudith Vidanagamage
ඇත්තටම ආදි වාසීන් ආදි ලෙසම නොසිට ඉදිරි ගමනක් යා යුතුයි. ජීවන රටාවත් සංස්කෘතිකාංගත් රැකිය යුත්තේ අනන්‍යතාව රැකගැනීම උදෙසායි.
ReplyDeleteඔව්. පැහැදිලිවම.. මේ ලියපු අදහසට මූලික වුනේම, ඔවුන්ව ඔබත් මමත් මේ ගෙවන සාමාන්‍ය ජීවන රටාවට හුරු වීම (හෝ හුරු කිරීම) කියන කාරණාව කොයි තරම් දුරකට සාර්ථක ද කියන දේ යි.
Deleteසියැටෙල්ගෙ යැයි ප්‍රසිද්ධ ලියමන මතක් උනා 💔
ReplyDeleteමක් කරන්නද. සියල්ල නැසෙන සුලුයි කියලවත් හිත හදාගමු!
හ්ම්ම්... "වෙනස්වීම" විතරයි නෙ වෙනස් නොවෙන්නෙ..
Delete