එක එක හැඩෙන් කියවන්න

Wednesday, April 28, 2021

අහසට නැගුනු තරුවක්

             “තරුවක් කියන්නෙ ප්‍රාර්ථනාවක්.” දහසකුත් එකක් අවසානයන් සිතට නැගුන ද මම ලියමින් හුන් ඡේදය එසේ අවසන් කළෙමි. මේ රැය ගෙවී යන්නට මත්තෙන් තවත් ඡේද කිහිපයක් ලියා අවසන් කල යුතු ය. එහෙත් තවත් ඡේදයකට ඉඩ නොදෙමින්, ලියා අවසන් කළ ඡේදය තව දුරටත් මා සිත වෙලාගෙන සිටියි. මම පුටු ඇන්ද මතට බර දී මදකට දෑස් පියා ගනිමි. රාත්‍රී නිහඬතාවය ඊට ම අනන්‍ය වූ හඬවල් රැසකින් තැනී ඇත්තේ ය. පසෙකින් වූ බූටෑව පිරිමදිමින් ගලා ආ රාත්‍රී සුළඟේ දුහුවිල්ලක උෂ්ණය මුසු වුවද වචනයකට පෙරැලිය නොහැකි කිසියම් තෙත් බවක් රැඳී ඇත්තාක් මෙන් විය.

හෝරා ගණනක් පුරා සිත විසින් පෙරැත්ත කළ කෝපි කෝප්පය වත් කරගනු රිසින් මම පුටුව මත වූ බර, දෙපයට මාරු කළෙමි. ළඳු කැලෑ කුට්ටිය තුළින් ගලා එන නිහඬතාවයේ තානය බිඳිමින් නැගෙන කිසියම් සර සරයක් මගේ දෙසවනෙහි පැටැලෙන්නට විය. කුඩා වන සතකුගේ හඬක් යැයි පහසුවෙන් සිතිය හැකි මුත්, මෙම නිල නිවසෙහි ම ගෙවුණු දෙ වසරකට නො අඩු අතීතය විසින් තීව්‍ර කළ ඉව එකී සිතිවිල්ල අනුමත කරන්නට ඉඩ නුදුන්නේ ය. කිසියම් අතීත ස්මරණයක වූ වියළි කොළ රොඩු මත ඉසියුම් ව පා තබමින් ඇවිද යන සිතිවිල්ලකින් නැගෙන්නාක් මෙන් මොහොතකට රැව් දුන් එහඬ ඉනික්බිති මා පෑල දොරකොඩට ඔබ්බෙන් නතර වින.

“මහත්තයා..! මහත්තයා...!!”

පසෙකින් බුබුළු ලන කේතලයේ ඝෝෂාවය. මොහොතකට නිහඬතාවය පවා ගොලුවින. ඒ කටහඬෙහි අයිතිය අතීතයට ය. අතීතයේ එක්තරා එක් මොහොතක පැන නැග එකී අතීතය තුළ ම ගිලී ගිය, යළි කිසි දිනෙක මට නො-ඇසෙන්නට පිළිවදන් දී, හුරු පුරුදු හුළු අතු එළියකින් ඈතින් ඈතට ම ඇදී ගිය, ක්ෂිතිජ රේඛාවෙහි වූ දහසකුත් තරු අතරට මුසුන් වන තුරු කුඩා වී ගිය කටහඬකි එය.

“තරුවක් කියන්නෙ ප්‍රාර්ථනාවක්” යලිත් මම ඒ කුඩා වැකිය මත නතර වීමි. එය එසේ නොවන්නට හැකි ද? ඇත්තෙන් ම ඈ වචනයට නොම හැරවූ ප්‍රාර්ථනාවක් සිර කරගත් හදින්, ඈත අහසට වන් තාරකාවක් වූවා ය.

මේ ඇයම බව මට විශ්වාස ය. නැගෙන්නා වූ හතිය අතරින් ඇසුනු ඒ කටහඬ, එදා රහසින් මිමිණූ ඇගේ කටහඬ ම ය. නැගෙන්නා වූ හතිය තවදුරටත්, එදා ඒ සැඳෑවේ මා උරිස මත දිගේලි කළ කෙළිලොල් හතිය නොවීය. එහෙත් මේ නම් ඈ මය.

“අනේ මහත්තයා... මං දන්නව මහත්තය ඔතන ඉන්න වග. පිං සිද්ධ වෙයි, ඩිංගිත්තකට දොර අරින්න..”

ඈ කරන්නේ ආයාචනාවකි. ජීවිතය නම් වූ අටෝරාසියක් කෙනෙහිලිකම් අබිමුව ද මොහොතකට හෝ දණ නොනැමූ ඒ යෞව්වනිය අසල මොහොතකට මා මතක ධාරා නතර වින.

“මහත්තයගෙ ගෙට අල්ලලා ළිඳක් තියෙන හන්දා මහත්තයට මේ වල, නිකම්ම වතුර වලක් වෙන්නැති. ඒත් මේ ගමේ ඉන්න එවුන්ට මේක තමයි එකම ළිඳ. එහෙව් එකේ මහත්තය සයිකලේ මේ ළිඳෙන් හෝදන එක හරි කැත වැඩක් මහත්තයා.”

ඒ ඈ පිළිබඳව වූ මුල් ම මතකය ය. ගංගොඩේ කෙල්ලක වුවද එදා පවා ඈ කීවේ ඇත්තකි. මා සයිකලය හරවා ගෙන ආපිට නිල නිවෙස වෙත ආවෙමි. කතාව ඇත්ත මුත් ඒක කීවේ ගංගොඩේ එකියකි. කැලෑ කොටේ කෙල්ලකි. අනික් අතට ගංගොඩේ එකියක විසින් කීවද කතාව ඇත්තකි. නුරුස්නා සිත උපන්නේ එහෙයිනි. ඉතිරි සියල්ලෝ වදනුදු නොදොඩා උන්න ද, ඈ ගත් කටටම එය කියා දැම්මාය. නැගුනු නුරුස්නා සිතින් යුතු ව මම කමිසය ගලවා පුටුපත්ත මතට විසි කළෙමි. සිගරැට්ටුවක් ගෙන දෙතොලතර රන්දා, දල්වන්ට තැත් දැරුවෙමි. ගංතුලාන පිස එන වියැළිව ගිය සුළඟ ගිනි දළුව හා පොර බදද්දී අතකින් සුළං මුවා කළ මම රන්පත් තුඩග දැල්වීමි. ළය සැහැල්ලු වන ඇසිල්ලේ මුහුණ ඔසවා බලන විට මා ඉදිරියෙහි වූයේ තලතුනා ගැමියෙකි. ගැමියාට ඈතින් කඩුල්ල අද්දරට වී ඉන්නා තවත් සළ රුවකි.

“අනේ මහත්තයා අපේ පොඩි එකී නොතේරුං කමට කියාපු කටකැඩිච්ච කතාවට අමනාප වෙන්ට එපා. සමාවෙන්න ඕන අපට. ඒකි නොදන්නව උනාට මේ ගමේ උන්දැලට මහත්තයව වටිනවා. ඒකි තේරුමක් නැති එකී මහත්තයා.”

මම සිතාමතාම මුහුණ බැරෑරුම් කර ආයාසයෙන් සිනාසෙන බවක් පෙන්වීමි.

“ඒකට කමක් නෑ. අනිත් අතට ඒකි කිව්වෙත් බොරුවක් නෙමේ.” මම කීවෙමි. ගැමියා සැනසුන පාටක් නැත.

“ඒයි, මෙහෙ වරෙන්. ඇවිත් මහත්තයට වැඳලා සමා ගනින්.” හේ කඩුල්ල දෙස බලා කෑ ගෑවේය. ඈ පය අද්දමින් ආවාය.

“වැඳපන් මහත්තයට”

මම කවදත් වැඳුම් ලබනු රිසියකු නොවුයෙමි. අනෙක් අතට ඈ වයසින් මට වටා උපරිම පස් වසක් හෝ මඳක් වැඩියෙන් බාල වන්නට ඇත. මෙතෙක් වේලා ගැමියා ඈ හට කල අණට මා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූයේ ඇයි දැයි අදටත් මට පැහැදිලි නැත. වෙන කවර හෝ අවස්ථාවක් වූයේ නම් වහා මා එම අණ කෙරුම පවා වලක්වන්නේය. ඇතැම් විට එවෙලේ මා එසේ නොකළේ ඈ මා වෙත පැමිණීම වළකන්නට මා තුළ වූ අකැමැත්ත නිසා වන්නට පිළිවන. අනෙක් අතට ඈ, පෙර මා හට කී බස නිසා මා තුළ ඇතිවූ පරාජිත සිත සනසාලනු පිණිස ද විය හැකිය. මා වෙත පැමිණි ඈ බිම බලාගත්වනම තාවර වෙමින් උන්නී ය.

“මට වඳින්න කියන්නෙ මොන එහෙකටද? ඒ කීව දේ උනත් වරදක් නෙමෙයි. දැන් ඒක ඉවරයි, දැං රෑ බෝවෙන්න කලිං ගියානං නේ හොඳ..?

මම කීමි. ඈ යම්තම් දෙ ඇස දක්වා මා දෙස බැලුවේ එවිටය. ඉනික්බිති සිහින් පට්ටයකින් බැඳ තිබූ නෙළුම් අල මිටියක් ටීපෝව මත තැබූ ගැමියා, සිය දෝණියැන්දෑ හා යන්නට හැරුණේය.

“රාජකාරි වැඩකට ආවත්, වෙන මොන කාරණේකට ආවත් මට මොකවත් ගේන්න උවමනා නැහැ. අමනාපයකට නෙමෙයි, ඒත් එහෙම උවමනා නැහැ. ආයෙ එහෙම ගේන්න එපා.” හැරී යන ගැමියාට ඇසෙන්නට මම කීමි.

ග්‍රීස්මය ගෙවී ගියේ දුහුවිලි මතක අතරිනි. ඒ අතීතය, හුදෙකලාවේ නැගුනු අරලියා ගසක් යට රැඳි සුවඳක් සේ අදත් අතරින් පතර නැගී වියැකෙයි. දොර අගුල මත තබාගත් අත තවමත් අතීරණයෙනි. දොරට එපිටින් ගිලගන්නට වෙර දරනා ඉකියකි.

ගිම්හානයේ ඉම, මහපොළොව තෙමා හළ වරුසාවකි. ඕලු, මානෙල් පිපෙන්නට පිඹුරුපත් සැකැසුනු සවසකි. වරින් වර ඈ අවුත් ගිය ගමනක, දෛවෝපගත වරුසාවකට කොටුවුනු දවසකි. නිල නිවස්නයේ පියස්ස යට, ඈ තෙමී ගියේ මා නමැති වරුසාවෙනි. මා තෙමී ගියේ ඈ නමැති වරුසාවෙනි. වියැළිව ගිය කාශ්ඨක පොළෝ තලයට වුව උරා බීගත නොහුණු වරුසාවකි. කල්ප ගණනක් පුරා රැස්කෙරූ දියකඳ හෙලන්නට බලා හුන් අහසකි. එහෙයින් ම නිවමින්, නිවුනු පොළොවකි. ළය පුරා ඉහිරුණු ඕලු කහටකි. නැහැ පුඩු අගිස්සෙහි නැවුම් දුහුවිලි පුසුඹකි.

ඒ පරිච්ඡේදය නිමා වූයේ එක්තරා ගණාඳුරු රැයකිනි. ඈ පැමිණ සිටියේ එපවත සැලකර යන්නට ය. ඒ හැර අන් කිසිදු ඉල්ලීමක් ඈ තුළ නොවිනි.

“මං දන්නවා මහත්තය හිතන්නෙ මොනවද කියලා, ඒ වගේම මහත්තය කියන්න හදන්නෙ මොනවද කියලා. මහත්තය විතරක් ලං වුනා නෙවි, මාත් මහත්තයට ලං වුනා. ඒත් මේ දවස කවමදාහරි එයි කියලා මං දැනන් උන්නා. මහත්තය කැමති වුණත් මහත්තයගෙ නෑ සනුහරේ මහත්තයට හරස් වෙනවා, ඒක සහතිකයි. අනිත් අතට මට උවමනාත් නැහැ මහත්තයගෙ ඇඟේ එල්ලෙන්න. මහත්තයට දැන ගන්න යුතුකමක් තියෙන හින්දයි මං මේ ගමන ආවෙ, මහත්තයට කියල යන්න. ආයෙ මං මේ මායිමේ දකින්න නැතිවෙයි. මහත්තයට දෙවි පිහිටයි.”

මම ගල් ගැසී හුන්නෙමි. හුරු පුරුදු හුළු අතු එළියේ ඈ ඈතින් ඈතට ම යන්නට වූවා ය. ඈත අහසේ දිලුනු තාරුකාවක් තරමට ඒ එළිය කුඩා වී යනතුරු, ඈ ඈතින් ඈතටම යන්නට වූවා ය. ඉනික්බිති ගෙවී ගිය අට මසක කාලය තුළ දෙතුන් අවුරුද්දක දෑ එක හුස්මට සිදුවිනි. සතියක් ගෙවී ගිය තැන ඈ කා හට හෝ සරණ දී තිබිණි. ඉන් ගෙවී ගිය දෙමසක පමණ කාලය තුල මා කියා කිසිවෙක් නොවුනි. එයිනුදු දෙමාසයකට පසු මම ද විවාපත් වූයෙමි. එහෙත් එහි කිසි මගුල් සිරියක් නොවුණි. ග්‍රීස්මය දැඩිව නැගී නැගුනේය. එතෙක් රැකගෙන හුන් අවසාන තුරු පත් දෙක තුන පවා සුළං කියනා අත ඉබාගාතේ  යනු එනු පෙනුනි. ඉඳහිට ආ ගිය සුළඟක වුවද දාහය ම රැඳී පැවතුනි. ඉනික්බිති මේ මොහොත එළැඹිනි.

අගුල මත රැඳුනු අත තවමත් එලෙසම ය. මා මේ රැයෙහි දොර හරින්නේ කෙසේද? ඇගේ ගිලගත් ඉකිය අතරින් බිළිඳෙකු ගේ හැඬුමක් ද නැගෙන්නට සැරසෙන හඬ ඇසේ. මා නිවස තුළ මා බිරින්දෑ නිදන්නී ය. මා කෙසේ නම් දොර හරින්නද.. දොර නොහැර ඈ ත් ඈ අත සිටින බිළිඳාත් දකින්නේ කෙලෙස ද? අනෙක් අතට දොර හැර ඈ පිළිබඳව මා බිරිඳට කියා සිටින්නේ කෙලෙසද.? අවසානයේ මම දොරගුල අතින් අත්හළෙමි. තවත් මොහොතකින් යළි වියළි තුරුපත් මත සර සරය ඇසෙන්නට විය. එහෙත් ඒ පෙරටත් වඩා ප්‍රවේශමෙනි, සෙමිනි. ඈ යන්නට ඇත. එහෙත් ඒ රැයටත් නොදැනෙන්නට ය. ලකුණකුදු නො-රැඳෙන්නට ය. කෑ ගසා රැයම හඬවන්නට තිබියදී, ඈ පැමිණියාටත් වඩා ප්‍රවේශමෙන්, රහසින් නික්මී ගියා ය. ඇතැම් විට ඈ බිතක්කන රෙදි වැල්පොටෙහි වූ ගැහැණු රෙදි පිළි දකින්නට ඇත. ඒවා මගේ බිරිඳගේ බව අනුමාන කරන්නට ද ඇත. ඒ සියලු දෑ එසේ වූවත්, මේ තරම් ඝන රැයක වන තීරය මැදින් තනිව පියමැන එන්නට තරම් අවදානමක් ඈ ගත්තේ මන්ද..? මට හඬන්නට සැරසුණු බිළිඳා සිහිවිණ. ඒ එදා ඈ කුස දරාගෙන නික්ම ගිය බිළිඳා වන්නට නොහැකිද? ඉදින් මා ඒ දෙඇස දැකගත යුතුම ය. වහා පුටුවෙන් නැගුණු මම පෑළ දොර හැරියෙමි.

මුළු රැයම නිසල ය. කවරදාකටත් වැඩියෙන් සිහිල ය. වන සතකුගෙන් නැගෙනා හඬක් හැරුණු කොට, නිහඬය. මා වන තීරය මැද්දෑවෙන් වැටී ඇති පය ලකුණින් සලකුණු වූ කුඩා මාවත දෙස බැලීමි. ඈ පෙනෙන්නට සිටියේ නැත. මවිසින් තෝරා ගත් ජීවිතය මත කිසිදු කැළලක්, ලකුණක් ඉතිරි නොවන සේ මේ දුර ගෙවා සපැමිණ,පයින් ම ඈ නික්ම ගොස් තිබුණා ය. රාත්‍රිය බිඳිමින් මොණරකුගේ විලාපය ඈතින් ඇසේ. නග්න අහසේ දිදුලන තරු එළිය හැරුණු කොට ක්ෂිතිජ මායිමට මෙපිටින් වූ ඒ කුඩා ආලෝක තිත, එදා ඒ රැයෙහි ලෙසට ම ක්‍රමයෙන් කුඩා වෙමින් ඈත තාරකා ගොන්නෙහි සැඟවී ගියේය. ඒ අවසාන වතාවට ය.


 

-මුදිත්-
27.04.2021

No comments:

Post a Comment