එක එක හැඩෙන් කියවන්න

Wednesday, August 14, 2019

අමුතු දූපතේ අපි එක්ක උඹ..

බාරයක් ඔප්පු කිරීම සඳහා, අයහපත් සෞඛ්‍ය තත්වයේ සිටි වියපත් ඇතින්නක් දළදා පෙරහැරේ ගමන් කරවයි.

                                             - තවත් එක් සිදුවීමක් -


දරා නැගි කොපුල් පිට පුපුරු ලන වේදනා ගලනා
පුරා නැති පෙරුම් දම් පුරන්නට සසර සැරිසරනා
මරා ගනු බැරි සිතින් පුරුද්දට කොදෙව්වට එබෙනා
සරා සඳ මුදුන් වින නිකිණි අහසට කඳුළු පුරනා

කුලේ මුත් සද්දන්ත, අනේ නුඹ නිස්සද්ද?
පින් කුසල් පුරන්නට ඉතින් මෙහි ආවාද?
කල් බලා පුරන්නට පිළිවෙතක් තිබුනාද?
අනේ දුක දකින්නට බුදු නෙතක් නැතිවාද?

ඉපල් දර අතු මතට එලුව සේ කඩ රෙද්ද
සැකිල්ලකි වේදනා දරාගෙන නිස්සද්ද
නිසොල්මන් කඳුළු බර කොතරම්ද ළය මැද්ද
විකල් වද මිනිසුනේ දකින්නට දුක නැද්ද?

සාධුජන හඬ නැගී සරුප බිත්තර බිඳුන
සරා සඳ හිරි වැටී නිකිණි අහසින් වැටුන
දරා ගනු බැරි සයෙන් පිරිත් පැන් කළ සිඳුණ
උරා ගත් මෙත් බෙලෙන්, කොදෙව්වකි උණ ගැණුන

දණ නමා බැති සිතින් ඉහළ මාලය වඳින
පින පතා තරඟයට කුසල් පිලිවෙත් පුරන
මැන බලනු බැරි තරම් දහම් බණ පද අසන
උණ ගැනුනු මහ සෙනග පතයි නුඹටත් නිවන


-මුදිත්-
2019.08.14


No comments:

Post a Comment