එක එක හැඩෙන් කියවන්න

Thursday, February 2, 2023

ළං ළංව - අතින් අත නොගෙන ම...

ඇතැම් හැන්දෑවරු වල
තඹ පැහැය විසිරුණු
මැදී ගිය මාවතක,
අපේ ඒ පියවර
තිබෙන්ටත් පුළුවනි
නොතිබෙන්නටත් පුළුවනි...

කෙළවරක් නොහැඟෙන - සංසාර ගමනක
ගව් ගණන් දුර එක්ව එන්නැති,
ඇතැම් විට නො-එන්නැති..
ඒ වුනත්, එහෙව් දුර ගමනක්
අතින් අත නාල්ලා
ළං ළං ව එන්ට වුව පුළුවනි...

සෑම බැඳුමකටම
ප්‍රේමයැයි නම් තබන
මේ කළල් ගොහොරුවේ,
කල්ප ගණනකට පසු
පියුමක් පිපෙන්නට පුළුවනි..
ඒ පිපුනු ඇසිල්ලේ
පරව යන්ටත් පුළුවනි...

අවසානයේ අප,
කෙටිම කෙටි කතාවක
ඡේද දෙක තුනකින් - ලද චරිත නිමා කල
එකම පටු මගක යන - නාඳුනන්නන් පමණකි...

-මුදිත්-
2023.02.01



8 comments:

  1. නොලැබී නොපෙනී ගිය දෙයට වැඩි ආකර්ෂණයක් දැනුනත්, ලැබුනානම්?

    ReplyDelete
  2. නොලැබුනු දෙයක් ගැන ඇතිවන බොහෝ දේ කල්පනා ලෝකයට බාරයි නේද..? ඉතින් ලැබුනා නම් අත්විඳින්න වෙන යථාර්ථය හින්දම, ලැබුනු දේට වඩා නොලැබුනු දේ ආකර්ෂණීය වෙනවා ඇති. එහෙම නේද...? මනුෂ්‍ය ස්වාභාවය. 😊😊😊

    ReplyDelete
  3. ඒ නන්නාදුනන බව හෙන වේදනාවක්💔

    ReplyDelete
  4. දුර ගමනක් අතින් අත නාල්ලා ළං ළං ව එන්ට වුව පුළුවනි... එහෙම දුර ඇවිත් අත් අල්ලාගන්න ලැබුන මොහොතක කැමැත්තෙන්ම අත්හරින්නත් පුළුවනි...

    ReplyDelete
    Replies
    1. අතින් අත් හැරපු ගොඩක් තැන්වල තිබුණෙම හිතින් තද අල්ලාගැනීම්..

      Delete
  5. අවසානයේ අප,
    කෙටිම කෙටි කතාවක
    නාඳුනන්නන් පමණකි 💔

    ReplyDelete