එක එක හැඩෙන් කියවන්න

Sunday, November 9, 2025

එකෝමත් එක ඈත දවසක..

පරිණාම සිතියමේ අග උන්

හෙල්ලක් අතින් ගත් මිනිසා,

කොහේදෝ සිට පැමිණ

අනින්නට ගත් හින්දා,

ටයි ගැටය ඩිංගක් බුරුල් කර

මං කොන්ද දිගහැරියා...


ඔය අතර, 

ශිෂ්ඨාචාර සැලසුම් ප්‍රකාරව

හා හා හරි හාවා - කැලේ මැදින් ආවා..

ජෛවගෝල රක්ෂිතයක් තුලදී 

ඉබ්බා, අභියෝග කෙරුවා

පිටපතේ හැටියට තරඟෙ කෙරුණා...


අවසානයේදී, සභා තොමෝ සතුටිනි

අත්පුඩිත් ඔල්වරසනුත් නැගුනා...


එකෝමත් එක ඈත දවසක...,

හිටිවනම සිහියට ආවෙන්

කට නිසා නැහුණු මී මුත්තා,

නොකියාම බැරි ටිකත් - නොකියා ගිලගෙනම

ඒ ඉතිහාසගත මොහොතෙත්

කට කොනින් සිනාසී උන්නලු

ඩාවින්ට හමුවුණු ඉබ්බා...


-මුදිත්-

18.05.2025


Image generated using Google Gemini


මේ තරම් තරු පිරුණු රැයකත්...!

මේ තරම් තරු පිරුණු රැයකත්

නුඹ නමින් - නුඹ වන්

එකදු තරු රටාවක් නැති හැටි...!


සඳක කරුවල පළුව මත

බොහෝ දේ සිදුවෙයි..

කිසිවක් ම සිදු නොවන සේ

රාත්‍රිය නම් සියලු දේ

එතැන ඉපැදී, එතැන්හිම මිය යයි...


කවුරු කොයි ලෙස කීවත්

සඳ එළිය අතරින්,

කරුවලත් පොළොව මත ඉහිරෙයි,

අඳුර මත ලැග ගත් මගේ ඇස්

ආකාස ඉවුරු දිග පීරයි...


මේ තරම් තරු පිරුණු රැයකත්

නුඹ නමින් - නුඹ වන්

එකදු තරු රටාවක් නැති හැටි...!


කුමක් හෝ වරදක්,

කොතැන හෝ සිදුව ඇති..

තවත් ටිකකින්

තවත් හෙටකට එළිවනු ඇති...


-මුදිත්-

26.03.2025

Image generated using Google Gemini