එක එක හැඩෙන් කියවන්න
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Monday, May 4, 2026

කොවුල් වත...

කොවුලෙකි ඌ දැන්,

අගනුවර අතු අග නිවසන..

සති අන්ත වල පවා

විහිලුවටවත් 

ගී නොගයන...


අර්ථය අපැහැදිලි "අර්ථ ක්‍රමයේ"

කරවටක් ගිලී පීනන,

ඉඩක් එන දවසක

ලිහී විසිරුණු ස්වර ඛණ්ඩ

තුඩෙන් අහුලන හීන දැක දැක..

කොවුලෝ,

දැන් ඉතින් නොදැනීම

ඇවිත් මැදිවිය - එළිපත්ත ලඟ...!!!


එකෝමත් එක ඉස්සර

බංකුවක් තියාගෙන මිදුලේ

ඇඟිලි නමමින්

තරු රටා ඇහිලුව මිතුරේ..

ඉඩ ලදොත් දවසක..

ගෑස්ටික්, ප්‍රෙෂර් පෙති තාරුකා

තබා බටහිර ක්ෂිතිජේ,

තරු රටා අහුලමු,

අතරින් පතර මරු මරු රටා හමුවේ...!!!


දුම් වළාකුළු අතර

රාත්‍රිය හෙමිහිට පැතිරෙයි,

නෙක තරු රැසින් එක එක

බහල අඳුරේ වැළලෙයි..

තනුවකින් මගහැරුණු ස්වරයක්

ඔහේ ඔබ මොබ පාවෙයි,

ආං.. අර අඩහඳ ආයෙම

අහක බලමින් හිනැහෙයි...


-මුදිත්-

04.05.2026

Image By Gemini AI



Sunday, January 18, 2026

අපි...?

"අනන්ත සයුරේ.. බියකරු දිවි දියඹේ.."
පාළුව ඉරාගෙන
ඈතින් ඇසෙයි කපුගේ..

රැඳී ඉන්නට මතකයක් නැති

පලා යන්නට සිහිනයක් නැති

ඇත්තටම අපි..! 

කොහොම වෙන්නද අපගේ..?


රැය හෙමින් දිගු වෙයි..

මං හෙමින් වැතිරෙන්නම්

ජීවිතය නම්,

තිත්ත කරුවල හිරගේ...


ඇත්තටම අපි,

කොහොම වෙන්නද අපගේ..?


-මුදිත්-

26.10.2025


Paint : Deep Yearning (2020) by Lizelle Lazarus

Sunday, November 9, 2025

එකෝමත් එක ඈත දවසක..

පරිණාම සිතියමේ අග උන්

හෙල්ලක් අතින් ගත් මිනිසා,

කොහේදෝ සිට පැමිණ

අනින්නට ගත් හින්දා,

ටයි ගැටය ඩිංගක් බුරුල් කර

මං කොන්ද දිගහැරියා...


ඔය අතර, 

ශිෂ්ඨාචාර සැලසුම් ප්‍රකාරව

හා හා හරි හාවා - කැලේ මැදින් ආවා..

ජෛවගෝල රක්ෂිතයක් තුලදී 

ඉබ්බා, අභියෝග කෙරුවා

පිටපතේ හැටියට තරඟෙ කෙරුණා...


අවසානයේදී, සභා තොමෝ සතුටිනි

අත්පුඩිත් ඔල්වරසනුත් නැගුනා...


එකෝමත් එක ඈත දවසක...,

හිටිවනම සිහියට ආවෙන්

කට නිසා නැහුණු මී මුත්තා,

නොකියාම බැරි ටිකත් - නොකියා ගිලගෙනම

ඒ ඉතිහාසගත මොහොතෙත්

කට කොනින් සිනාසී උන්නලු

ඩාවින්ට හමුවුණු ඉබ්බා...


-මුදිත්-

18.05.2025


Image generated using Google Gemini


මේ තරම් තරු පිරුණු රැයකත්...!

මේ තරම් තරු පිරුණු රැයකත්

නුඹ නමින් - නුඹ වන්

එකදු තරු රටාවක් නැති හැටි...!


සඳක කරුවල පළුව මත

බොහෝ දේ සිදුවෙයි..

කිසිවක් ම සිදු නොවන සේ

රාත්‍රිය නම් සියලු දේ

එතැන ඉපැදී, එතැන්හිම මිය යයි...


කවුරු කොයි ලෙස කීවත්

සඳ එළිය අතරින්,

කරුවලත් පොළොව මත ඉහිරෙයි,

අඳුර මත ලැග ගත් මගේ ඇස්

ආකාස ඉවුරු දිග පීරයි...


මේ තරම් තරු පිරුණු රැයකත්

නුඹ නමින් - නුඹ වන්

එකදු තරු රටාවක් නැති හැටි...!


කුමක් හෝ වරදක්,

කොතැන හෝ සිදුව ඇති..

තවත් ටිකකින්

තවත් හෙටකට එළිවනු ඇති...


-මුදිත්-

26.03.2025

Image generated using Google Gemini


Friday, September 19, 2025

ඇයි මේ කලබලේ...?

කලට නිල්ලට පීදෙන යායක
පුරන් වූ කට්ටියේ, වගුරු දිය අල්ලක
වෙල් පලා නෙළන්නී..
දවසට මිටක් ගානේ පීදෙන
මේ මහා පොළොවේ,
ඈ වෙනුවෙන් ශේෂ සාරය...

මහා හිමිදිරි පාන්දර
'ස්වර්ණ හෝරාවේ',
අවසාන තත්පර කිහිපයේ
ඇයි මේ කලබලේ,
ඈව සුරකින්නට කැමරා රාමුවේ..?

ඉතිහාසය පුරා
කාගෙ හෝ අම්මෙක් ව, අක්කෙක් ව
පැමිණියා සේ ඈ මෙතැනට..
හෙටටත්, මතු මතුත් 
ඉඳුරාම එයි ඈ නෙළන්නට
දවසට මිටක් ගානේ පීදෙන
මේ මහා පොළොවේ,
ඈ වෙනුවෙන් ශේෂ සාරය...

-මුදිත්-
17.02.2025

Image from web


 





Thursday, February 27, 2025

ඔබ සිටින්නේ හැන්දෑවක...

ඔය දෑස් යට මන්දාරම...

පිනි බිංදු වැටුනත්
ලකුණක්, හඬක් නොතියා
ඔබට වැඩියෙන් මං දන්නවා
මන්දාරමක හැඩතල...

හීකඩේ හීතල..!
වළා කැටි යට දම් පාට..!!
ඒ සියල්ලට වැඩියෙන්
ඔය දෑස් යට මන්දාරම...!!!

ඔබ සිටින්නේ හැන්දෑවක...

මන්දාරම් අඳුර දියැවුණු
හීතල බෝම කුරිරුයි..
ඔබට වැඩියෙන් මං දන්නවා
දෑත් ගුලියේ පටලාගත්
අවසාන උණුසුම් කැරැල්ලත්
මැරී අවසන් බව...

බුර බුරා එන හීකඩ..!
කොනිති ගහනා හීතල..!!
ඒ සියල්ලට වැඩියි
ඔය දෑස් යට මන්දාරම...!!!

ඔබටත් රහසින් ම,
ඔබ සිටින්නේ හැන්දෑවක...

-මුදිත්-
15.01.2025

Image: Mystery 05-01-M2C-43 by Wil Lof (2005)


Thursday, December 5, 2024

එකම මන්දාකිණියක, වෙන වෙනම තරු දෙකක...

 "එකම මන්දාකිණියක
වෙන වෙනම තරු දෙකක.."
මතක හැටියට නම්
එහෙමයි උන්නෙ නුඹ - මං..

වැඩිපුර කතා බස්..
ඒ වුණත් හදවතින් දෙඩුවේ
වචන අතරේ - හිස්තැන්..

සඳට නතු වුන රැයක,
තරු..! 
සඳට අවනත නැති තැන්..
රැය - අහස - සඳ - තරු
නිහඬවම හිඳිමින්
නිතර ඇවිලෙන උන්...

ඇත්තටම අපි..!
පෙම් කලාවද රහසින්....?

තරු අතර ඉතිරි ඉඩ බෙදාගෙන විඳිමූ
තුරු අගිසි මල් දරයි, බලාගෙන ඉඳිමූ
කරුවලත් රළු නොවෙයි සඳ රැසක් අඳිමූ
කඳු අතර හිස්තැනක, බදාගෙන ඉඹිමූ

-මුදිත්-
22.10.2024





Wednesday, September 18, 2024

පාවෙලා යන එකද සංසාරෙ...?

බඩ ඉරිඟු දැලි රැවුලු
හේබෑ ව  කලු ගැහුනු
පඬු පාට ගිනි කාෂ්ඨක යායෙ,
දූලි සුවඳක එතී
නාටු හුළඟක් දිගේ 
ඒ වුනත්, වැහි වළාවක් වගෙයි
නුඹ ආවෙ..

ඇත්තමයි! ඒ තමයි,
ඉවුරු දෑලේ එතී
හුරතලේ ගලන්නට
මහ ඇළට දිය පොදක් නැති කාලෙ...

ජීවිතේ මුඩු වුනත්
ආදරේ එහෙමයැ,
වෙන් කරපු එක ම එක
සෘතුවක් තිබුණියැ,
පපු පොතේ ලා රැක්ක
ඉරිඟු බිත්තර මිටත්
ඒ නිසයි උගුල්ලා බිම ලෑවෙ...

වළාකුළු පාවුනා
ඉරිඟු ඇට බොල් වුණා,
ආදරෙත් හරියටම ඒ වාගෙ...

වැහි වහින ඉසව්වල
නන් පාට මල් පිපෙන
කතාවක මුණ ගැහෙන තුරු ආයෙ,
එකම අතකට ගලන
තඹ පාට හුළඟක් ව 
පාවෙලා යන එකද සංසාරෙ...?

-මුදිත්-
01.09.2024

Image source: Internet



Friday, August 23, 2024

හද ගැහුණු තැන එතැනය...

නිල්ගලේ නිල්ල තැවරුණු තැන,
රඹකැන් ඔයේ,
සීතල කඳුළු තැවරුණු තැන..
ගල්ලෙනක පපු ගැබ..
ඇසුණත් නො ඇසුණත්,
හද ගැහුණු තැන එතැනය...

ඉමක් නොපෙනෙන වන ගැබ,
එක කුස උපන් ගහ වැල,
සතා සීපා, කුරුළු පිරිවර,
අතැර, එක දවසක
බිමෙන් පිටමං වීය උරුමය...

ලතු උලා හැඩ වී විසිතුරුව
දුර ගමන් යන අතර,
ශිෂ්ටාචාරය..
මොහොතකට ගොඩවී රතුගලට
කොටුකරයි කැමරා ඇසට,
කහට බැඳි කඩ දතින් හිනැහෙන
ඉතිහාසයක මුල් උරුමය...

-මුදිත්-
07.07.2024

සටහන: 
ඌව පළාතට අයත් නිල්ගල වන මායිමෙන් විහිදෙන දානිගල පර්වත ගල්ලෙන් සිය වාසස්ථාන කරගනිමින් අතීතයේ නිල්ගල ආදිවාසී ප්‍රජාව ජීවත් වූහ. පසුකාලීනව ආරම්භ කෙරුණු සේනානායක ව්‍යාපෘතිය හා ඉඟිනියාගල වේල්ල ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් සිය මුල් බිම් අතැර නික්මෙන්නට යෙදුනු එකී ආදිවාසීන්ගෙන් පිරිසක් වර්තමාන රතුගල ආශ්‍රිත ප්‍රදේශයට ද සංක්‍රමණය වූහ. වර්තමානය වන විට අති දුෂ්කර කෘෂිකාර්මික දිවියකට හුරුවෙමින් සිය ජීවිතය ගැටගසා ගැනීමට ඔවුන්ට සිදුවී ඇති අතර "රතුගල ආදිවාසී උරුම ගම්මානයෙහි" ඔවුන්ගේ පාරම්පරික ආයුධ, උපකරණ සහ මුල් වාසස්ථාන වූ ගල්ලෙන් ආදිය මහජන ප්‍රදර්ශනය පිණිස පවතින්නේ වෙයි. 

රතුගල ආදිවාසී ගම්මානයේ ප්‍රදර්ශනයට තබා ඇති ආදිවාසීන් භාවිතා කළ සාම්ප්‍රදායික උපකරණ

රතුගල ආදිවාසී ගම්මානයේ ප්‍රදර්ශනයට තබා ඇති ආදිවාසීන් ගේ ඡායාරූප කිහිපයක්

ඡායාරූප අයිතිය: Mudith Vidanagamage

Thursday, June 6, 2024

නික්මුණිද, ඇතුළු හද වනයට..

ඒ අවුරුද්දෙ මැද හරියෙ ඔය කියන දවසෙ හම්බුනාට පස්සෙ එයා ගැන කිසිම ආරංචියක් නෑ. ඒක හරියට එයා මේ ලෝකෙන්ම ගැලවිලා ගියා වගෙයි.

නිහඬවම පියමැන
හද මැදින් විහිදෙන දෙණි පෙත,
ඇතුළු හද වනයට
නොදොඩා නොකියාම නික්මුණිද..
නිහඬ නිසලම තැන් වසාගත් 
ඔබ ද අව'ඳුරු මිහිදුම...?

කැලඹුම් මෝසමට ඉඩ දී
නුවරුන් දහක් ඇස් මගහැර..
නැතක් කල් වස් වසා එකලාව
නැමුණිද ඇතුළු හද තුළටම,
නොදැනීම...?

නිහැඬියාවේ හැඬුම මත
මරණ දහසක රිදුම් ලියලයි,
සදාකාලික ශිශිරයක
උණුහුම පතා, මතක මිට ඇවිලෙයි..
හුදෙකලාවේ ඈත කෙළවර
හිස්කම පවා, තව හිස්කමක් පමණයි,
විශ්වයේ සමහර හිස්තැන්
මළවුන්ට විතරක් ම උරුමයි...

-මුදිත්-
02.06.2024

Image source: Internet


Sunday, June 2, 2024

මොනවාද ඉතිරිව ඇත්තේ...

හරිත වන කැටියේ
කේතුධාරී තුරු සෙනගකගේ
පැවැත්මේ මායා සුසුමයි මේ
ඝන ඝනව
මා වටා කැටිවෙන්නේ...

හරිතව සදාකල්
නිරන්තර වැසි වසින - නිවර්තන හදවත
මා නමින් රැකගන්නට
පිලිණ දුන් වන තීරයයි මේ
මා වටා පැතිරී හිඳින්නේ...

නිල්ල වැඩිපුර නොගෑවුණු
මැදී ගිය මංතීරු අතරේ,
විලවුන් සුවඳ දියැවුනු
ඩා බිඳක සිහිලේ..
මට තවම හමු නොවුණු
යමක් මිහිරක් ඇති,
ඒ නිසයි ඔබ ඔතැන ඇත්තේ...

සංසාර මාවත - බෙදි බෙදී යන විට
එක මගක් පමණක් නොවෙයි
එකම ගඟ හරහා යන්නේ..
මේ විසල් විශ්වයේ
කුරා කුහුඹුවන් අපි,
මේ මොහොත මිස මොනවාද
ඔබට මට ඉතිරිව ඇත්තේ...

-මුදිත්-
19.05.2024 (සිංහරාජ වන මායිමේ හිඳ)

Photo by : Mudith Vidanagamage

මතක මීදුම මැද..

මැදී ගිය පටු මගක,
මඩ කඩිත්තක දියැවෙයි 
රබර් යායට ඉහළින් එබුණ සඳ...

සෙත් පතා තුන් ලොවටම
සියක් සැතපුම් දුර ගෙපැලක
දැනුදු දැල්වෙනු ඇති පාන් පැල...

කුරුලු පාලුව පුරා, පාලුව ම රජවෙන දවසක් ගැන..
සිහිනයක වත් දැක තිබුණාද, 
නිහඬවම ඉන්නේ මහ නියර...?

-මුදිත්-
2024.02.13

Old Man, Painting by Dominique Dève

Friday, April 5, 2024

සඳට ඉඩ දෙන්න පෙර...

දොළ දියෙන් දොවාගෙන අත පය,
රබර් යායක් යටින්
ඇදි ඇදී එයි ගොම්මන...

වැඩ ඇරී එන'තර - මහ නියර මගහැර

අඳුර ඩිංගක් ගනව ගිය තැනකදි

කිරිලි තුඩකට මාරුවෙයි

සකලයන් අඹන්නෙකු අත ඇති වී මිට...


ඉර ඇනෙයි ලුණු මිරිසක් ව අවරදිග..


සුනු සහල් බත් මිටක්

සරිවෙයි සම සමව

කටවල් තුනකට,


සඳට පුළුවනි දැන්

කැමති යෝගයකින්

උදා වෙන්නට අහසට...


-මුදිත්-

2023.10.07


ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූප සබැඳිය: https://deborahsilvermusic.com/?q=leaf-and-vase-original-geometric-cubist-still-life-painting-ii-ab974RtW 


Wednesday, December 20, 2023

ඇත්තම සතුට..!

නිමා වෙලා යන විට අවසන් එපිය
ජීවිත කතන්දර සේරම එක කොපිය
ආයෙත් කටේ දාගෙන ඊයේ ටොපිය
"ඇත්තම සතුට..!" සොයමින් යන අපි අපිය

-මුදිත්-
20.12.2023

සිය ගණනක උපාධි අපේක්ෂක කොලු කෙල්ලන් සැරිසරන BMICH පරිශ්‍රයේ බංකුවක, මල්ලීගේ උපාධි ප්‍රදානෝත්සවය අහවර වන තෙක් තාවර වෙන අතරතුරේදී ය.

Image: Happiness by Shira Sela

Thursday, November 30, 2023

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට

නිමිත්ත: කුලී කාමරයේ බිත්ති පැල්මක දළු ලා වැඩෙන පැණි කොමඩු පැළයකි.


තෙත රැඳි ඉසව් නොදැනිම මගහැරුණාද

දළුලන හරිත රේඛා මග හැරියාද

සීනෙක පෙනුණු රහසක් මග කීවාද

නොලැබුණු යමක් වෙනුවෙන් මෙහි ආවාද


ඉඳහිට ඉහෙන දිය මිස, දිය මං නැතුවා

දුහුවිලි කහට කුණු මිස පොහොරක් නැතුවා

දළ රළු දළඹ මත මහ පොළොවක් නැතුවා

හෙමිහිට මුල් අදිනු මිස සරණක් නැතුවා


"ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට"

සීනෙන් වැටෙන විට මතකයෙ මහ හෙළට

මා වාගෙම උඹත් යනවා ඇති ගමට


ජීවයෙ රටා ඇඳ රළු බිතු කොපුල පිට

දුර නෑයෙකු ලෙසින් මට පෑ සිනහ කට

කොටුවුණු අගනුවර මුල් නැති පොළොවකට

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට


-මුදිත්-

30.11.2023


ඡායාරූපය අන්තර්ජාලයෙනි.

Monday, October 9, 2023

දැන් ඉතින් නිදහසේ සැතපෙන්න

ඉහළින් බොරව කැළඹුණු ගඟ දියකි නිතින්

ගුණ-දොස් නැගෙත, මනු දම් සැඩ රැළිති ලෙසින්

දෑලේ ඉවුරු තුරු සෙන් හිස් නමති සෙමින්

ඔබ පා වෙන්න පහළට මල් පියලි මැදින්


ජැක්සන් ඔබට සුව නින්දක්...!

-මුදිත්-
2023.10.09

සේයාරුව අන්තර්ජාලයෙනි

Tuesday, September 26, 2023

සිප් එක ඇරුනු ප්‍රේමය...

පොලිසිය විසින්, උද්‍යානයක අශෝබන ලෙස හැසිරුනු තරුණ තරුණියන් පිරිසක් අල්ලයි.
-පුවතක්-

තත්පර කටු - ඔරලෝසු මුහුණත්
බොරු කර,
මහ දවල් දොළහටත්
උදා වෙන්නට පුළුවනි රාත්‍රිය...

කියවගන්නට බැරිව සෘතුව,
නාඹර කදෝකිමියන් රෑන්
ඉගිලෙන්න පුළුවනි එහෙම දවසට..

වැස්ස, උඹ වැස්සේ
වැරදි දවසක...

"පබ්ලික් පාක්" ලෙස
වර්ණ ගැන්වූ මකුළු දැල් වල
කුරුකුහුඹු - කදෝකිමි,
ජෝඩු පැටලුණ හවසට,

ප්‍රේමයේ දිග පළල 
මිමි මැනගෙන,
"මොබයිල් ජිප්" එකක් එයි
ප්‍රේමයට නිර්වචන අරගෙන...

-මුදිත්-
26.09.2023

Saturday, July 15, 2023

ඈත මැදපෙරදිගේ නගරෙක - තනි උනා මම..

විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

ඉතින් වැරදිලාවත්
ඔබ ගියත් දැක දැක,
නො එන බව
සහසුද්දෙන් ම දැන දැන...

එකෝමත් එක කලක
ඔබෙ ඔඩොක්කෙන් ගිලිහුණු
වියළි රටකජු පොතු වගේ..
විසිරුණා,
මේ වියළි හුළඟට මුහුවෙන
සියලු දේ (මමත් ඇතුලුව)..

බොහෝ දවසට
ඔබෙ උකුළ උඩ ඉතුරු වුණ
නවකතා පොත වගේ,
හුළඟකට බර වැඩි
කාරෙකක්, පුටුවක්, බිල්ඩිමක්..
හතරැස් ව නැවතුනා තැන තැන...

අන්තිමේ,
විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

-මුදිත්-
14.07.2023

Image source: internet



Tuesday, May 9, 2023

දැන් ඉතින් අප දෙදෙන..

ළමැද්දෙන් පැළී ගිය නිම්නය
මේ බෙයද නුඹ මා වෙන්කළ...

මම,
සීරුවෙන් තෝරන,
පිළිතුරු බඳිමි මුදු වදනින්..
නුඹ,
තියුණු අසිපතකින්
ඉසියුම් ම හද ඉසව් ලිය ලා
හැරී යයි පෙත් මගකින්...

ඉදින් මට එනු බැරි..
නතර වී ඉනු බැරි..
ලේ ගලන හදකින්
යමි සෙමෙන් මැරි මැරි...

නුඹට පෙනෙනා පිණිස
හුස්ම පිඹ ඇවිලූ
දහසකුත් තාරුකා එළි,
නිම්න බිම ඉහළින්
රටාවක අමුණා ඇති..
හෙට උදාවන පැයට
නුඹ'තින් ම ගිනිගෙන දැවෙන්නට
දිරාපත් අහස සැරසෙන හැටි... 

දැවී ගිය තාරුකා භෂ්මපත් කෙඳිරිලිය
හැරී යන තොටුපොළක වේදනා හසරැළිය
ඉදින් අප වෙන් කලද සංසාර සැඩ සුළිය
මතු මතුද මුණගැසෙන තාරකා දුහුවිලිය

-මුදිත්-
10.05.2023

"Faded away" painting by Miroslav Zgabaj


Sunday, April 23, 2023

ෆර්මිනා...

ෆර්මිනා,
කොළරාව සේ පැතිර
පිළිකාවක් සේ නැගෙයි
ආලය...

සිහිනයෙන් හිස හැපී
ආලයේ එළිවැටක,
ජීවිතය ඇද වැටෙයි
කවියක - සළාවැටුමක..
රැය පවා නින්ද නැති නුවරක,
ප්‍රේමයේ වැළපුම් ස්වරය
මැග්දලේනාව සේ
නොනැවතී ගලන හඬ ඇසෙනවද...

ඉසියුම් ම හද බිතක 
ඉවුරු මායිම හැපෙන
කේශනාළිකා හිස් පුපුරයි..
ඉදින් මා දල්වන,
ශිශිරයේ නැහැඹුල් ම හිරු කිරණ
ඔය දෑස් මත පිපී දිලිහෙයි..
ප්‍රේමයේ දිග පළල හඳුනන
මැග්දලේනා ඉවුරු දිග
පිරිමි කඳුළක් හෙටත් පාවෙයි..
ෆර්මිනා,
එකම එක මොහොතකට
ජීවිතයෙ අගිස්සක
ප්‍රේමයට කල්පයක් ඉඩ තිබෙයි...

-මුදිත්-
2023.04.21