එක එක හැඩෙන් කියවන්න
Showing posts with label සටහන්. Show all posts
Showing posts with label සටහන්. Show all posts

Monday, October 17, 2022

ඒ වගේ කතා මට ආයෙ කියන්න එපා...!

පුංචි කාලේ මට තිබුණා රතුපාට ත්‍රී ක්වාට කලිසමක්. අදටත් මොන තරමක, විලාසිතාවක හරි රතු පාට කොට කලිසමක් දකින ඕනම වෙලාවක හිතේ මුල්ලක එල්ලිලා වැනෙන රතු පාට පුංචි ත්‍රී ක්වාට කලිසමක්.. ඉස්කෝලේ කාලේ මම අයිති නිවාසෙට අදාල පාට වුනේ රතුපාට. ඉතින් එකමත් එක නිවාසාන්තර තරඟ කාලෙක, එකමත් එක දවසක, එකමත් එක තරඟයක් වෙනුවෙන් තෝරගතපු සීමිත පිරිසකට මාවත් අයිති වුණා. ඒ වගේ දෙයක් හරි ලොකුවට දැනෙන වයසක් ඒක. කොහොම හරි ඊලඟ දවසේ තරඟයට සම්බන්ධ වෙන්න රතුපාට කොට කලිසමකුත් අරන් හවස් වෙනතුරු ඉස්කෝලේ රැඳෙන්න සූදානමෙන් එන විදියට උපදෙස් ලැබුණා. ඒ මොහොත වෙනතුරු ඉස්කෝලේ කිසිම බාහිර වැඩකට සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබිලා තිබුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වුණේ අපේ ගෙදරට ඉස්කෝලේ ඉඳලා තිබුණු දුර. පහ වසර ශිෂ්‍යත්වය වෙනතුරු ගමේ ඉස්කෝලෙට ගියපු මට, ශිෂ්‍යත්වය පාස් වෙලා ටවුන් එකේ මේ ඉස්කෝලෙට එන්න සිදුවීමත් එක්ක දවසට පැය දෙකහමාරක විතර කාලයක් පාසල් ගමන වෙනුවෙන් වෙන්කරන්න උනා. කොහොමහරි අදාල තරඟෙ වෙනුවෙන් එදා හවස අම්මලා මට රතු පාට කොට කලිසමක් අරන් දුන්නා. ඒ වගේම ඊළඟ දවසේ හැන්දෑ වෙලා මාව එක්කරන් එන්න අම්මා නිවාඩුවකුත් දාගත්තා. ඊට පස්සේ අදාල දවසේ මම ඉස්කෝලේ ගිහින් රතුපාට කලිසම ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ගියා. අදාල තරඟෙ තියෙන සීමාවෙන් ම හිටියත් වරුවක් විතර යනතුරු කිසිම කෙනෙක් මට කතා කළේ නැහැ. අන්තිමේ මම එතන ඉදපු ලොකු පන්ති වල අයට කිව්වා ඊයේ මාව තරඟෙට තෝරගනිපු බව. half මැච් එකකින් පස්සේ ගන්නම් වගේ කතාවක් කියවුණත් ආයෙ ඒ අය මම ඉන්න පැත්තවත් බැලුවෙ නෑ. මම ඒ පැත්තට ගියත් මට බෝලෙ අල්ලන්නවත් ලැබුණෙ නෑ. අන්තිමේ කරගන්න දෙයක් නැතිව අසරණ උනු මම එතනින් හැරිලා ඇවිත් හවස් වෙනකම් නොඉඳ ස්කූල් වෑන් එකේම ගෙදර ආවා. මම ආපු බව සිකියුරිටි ගෙන් දැනගෙන අම්මත් හවස ගෙදර ආවා. ඉන් පස්සෙත් හැම අවුරුද්දකම නිවාසාන්තර තරඟ තිබුණා. විවාද තරඟ, කථික තරඟ, සිංහල භාෂා දින තරඟ වගේ වෙන වෙන අමතර තරඟත් හැම අවුරුද්දකම තිබුණා. සෑහෙන කාලයක් යන තුරුම රතුපාට පුංචි කලිසමත් අල්මාරියෙ කොණක ගුලි ගැහිලා තිබුණා. තරඟෙට නොගැනීම ගැන මට ලොකු දුකක් තිබුණෙ නෑ. ඒත් අම්මා උනු රස්තියාදුව ගැන හිතේ ලොකු බරක් තිබුණා. අදත් මං වටේ සෑහෙන තරම් තරඟ තියෙනවා. ඒ එකින් එක මග හරිමින් අදටත් මම ඈත් වෙන හැම වෙලාවකම වගේ මගේ වටේ ඉන්න අය ගොඩක් වෙලාවට එක එක කතා වලින් මාවත් ඒ සමාජයට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් ඒ කාටත් නොපෙනෙන්න රතුපාට පුංචි කොට කලිසමක් අදටත් මගේ හිතේ කොනක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කතා මට ආයෙ ආයෙත් කියන්න එපා කියලා මං ඉල්ලා හිටිනවා.

~~~~~

එකමත් එක කාලෙක හාවෙකුයි ඉබ්බෙකුයි අතරෙ රේස් එකක් තිබුන කියල අපිට උගන්වලා තියෙනවා. හාවා දිනනවා කියලා කැට තියලා කියන වයසක් ඒක. කොහොමහරි ඉබ්බා දිනනවා. හාවා ගේමක් නැති නිසා දිනුම් කණුව පෙනි පෙනී නින්දක් දානවා. ඉබ්බා ෆුල් ගේමෙ හිටපු එකෙක්. නිදාගෙන හිටපු හාවා පෙනි පෙනී සද්දයක් නැතුව ඌ දිනුම් කණුවටම යනවා. නිකං නෙමෙයි ඌට හෙණ ධෛර්යයක්, විශ්වාසයක් තිබුණා කියලත් අපිට උගන්නලා තියෙනවා. හෙණ ලොකු සීන් එකෙ ඉඳපු නිසා හාවට හොඳ වැඩේ වගේ එකක් අපේ ඔලු වල තිබුණා. ඒ වගේම නෑ බෑ නොකියා ගේම ගහපු ඉබ්බා ඉතින් හෙණ රෙස්පා. ඉබ්බෙක් උනත් ඉතින් ඌ වගේ වෙයන් වගේ එකක් අපේ ඔලු වල තිබුණා. කොහොම වුනත් දැන් නං කෙස් ගස් එක දෙක ඉදීගෙන එන වයස මට. දිනුම් කනුව පෙනෙද්දි, හාවා නිදාගෙන ඉන්නවා පෙනෙද්දි, මූ දැන් ඇහැරෙයි දැන් ඇහැරෙයි කියලා හිතෙද්දි, පොඩි සද්දයක් වට පිටෙන් ඇහෙද්දි ඉබ්බට ආපු tension එක, දිනුම පේනකොට එන anxiety එක මට මගේ පුංචි ලෝකෙ ඇතුලෙ හයිලයිට් වෙලා පේනවා. රතුපාට කොට කලිසම ඉස්සර තරම් බරට නොදැනුනත් හිතේ සාමය බිඳ ගෙන මේ කරන දේවල් මොකටද කියලා ඇත්තටම මට හිතෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කතාත් මට ආය කියන්න එපා කියලා මං හරි ආදරෙන් කියනවා.

~~~~~

ඒ වගේම මේ හිතේ සැහැල්ලුව, නිස්කලංක බව තරඟ අදාල නැති තාලෙන් ගෙවෙන ජීවිතේ ගැන අහන කෙනෙකුට කිව්වත්, එතකොට ඒ පැත්තෙන් අහන ප්‍රශ්න, ගේන තර්ක මහා ගොඩක් තියෙනවා. 

"එතකොට උඹ කියන්නේ මහණ වෙන්නද?"

"අපි අකමැති වුනත් තරගය අපිව ගේමට අරං ඉවරයි බං" 

බ්ලා බ්ලා බ්ලා... අන්න ඒ ගැන හිතනකොට කොක්කු දෙන්නා එක්ක ආතල් එකේ උඩිං යන අතරේ කට ඇරලා නැහිච්ච ඉබ්බගේ කතාව මට මතක් වෙනවා. ඒ නිසා කොච්චර කොහොම වුණත් තරඟ ගැන, තරඟෙ ගැන තර්ක විතර්ක වගේ මඟුල් වුණත් මට ආයෙ කියන්න එපා කියලා මං හරිම ආදරෙන් කියනවා.



-මුදිත්-
17.10.2022

Saturday, November 6, 2021

Enemy (2013)

     මිනිස් සන්තානය ඇතුලෙ බලාපොරොත්තු සහ ආශාවන් ට තියෙන්නෙ මොන විදිහක වටිනාකමක් ද? එහෙමත් නැත්නම් මිනිහෙකුට ආශාවක්, බලාපොරොත්තුවක් කියන්නෙ මොන ආකාරයක දෙයක් ද? සරලවම කියනවා නම්, මිනිහෙක්ව ඊළඟ තත්පරය වෙනුවෙන් තමන්ගෙ ජීවිතයට අලවලා තියාගන්න මැලියම වෙන්නෙ බලාපොරොත්තු සහ ආශාවන්. ඒ අර්ථයෙන්, ආශාවන් සහ බලාපොරොත්තු මිනිසාව ජීවත් කරවනවා. නමුත් යම් මොහොතකදි මේ බලාපොරොත්තුවක, එහෙමත් නැත්නම් අසීමිත ආශාවක වෙන බිඳවැටීම ඒ පුද්ගලයාගෙ ජීවිතයෙ මොන විදියෙ කඩාවැටීමකට හේතු වේවිද..?

     Anthony කියන්නෙ නළුවෙක් වෙන්න හීන දැකපු මනුස්සයෙක්. වගකීම් වලින් මිදුනු සෙල්ලක්කාර ජීවිතයකට ආසා කරපු මනුස්සයෙක්. කොහොම නමුත් චිත්‍රපටි කීපයක සුළු චරිතයකට දෙකකට තමන්ගෙ මේ නළු හීනය සීමා කරන්න Anthony ට සිද්ධ වෙනවා. ඒ වගේම වගකීම් විරහිතව, විවිධ කාන්තාවන් ඇසුරේ ගෙවන්න ආසා කරපු ජීවිතය වෙනුවට විවාපත් වෙලා, දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න තමන්ගෙ බිරිඳගෙත්, ඒ වගේම තමන්ගෙ අම්මගෙත් වගකීම් බර පැටවුනු ජීවිතයක් ගෙවන්නත් සිද්ධ වෙනවා.

     Adam කියන්නෙ ඉතිහාසය ආචාර්‍යවරයෙක් විදියට රැකියාව කරන, ඒකාකාර නීරස ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. ආශාවන් අවුලනසුළු පෙම්වතියක් ඔහුට හිටියා වුනත් ඇය එක්ක තියෙන කායික සම්බන්ධය පවා අර කියපු ඒකාකාර රටාවේම තවත් එක සිදුවීමක් විතරයි. 

     චිත්‍රපටය පටන්ගැන්මේ ඉඳන්ම චිත්‍රපටය පුරා ඇඳෙන කුතුහලය මිශ්‍ර 'වෙනස්' හැඟීම තියෙනවා වුනත් චිත්‍රපටයෙ එක පීක් එකක් විදියට, මුලින් කියපු චරිත දෙක ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන අවස්ථාව හඳුන්වන්න පුළුවන්.  ඇත්තෙන් ම Anthony සහ Adam දෙන්නා රූපයෙන් සර්වසමයි. තවත් ටිකක් ඉස්සරහට මේ ආඛ්‍යානය ගලාගෙන යද්දි මේ දෙන්නාගෙ කටහඬවල් පවා සර්වසම බව පේන්න ගන්නවා. මේ විදියට ගලාගෙන යන චිත්‍රපටයෙ කෙළවර මොන වගේ එකක් වේවිද? ඇත්තටම Anthony සහ Adam කියන්නෙ කවුද? චිත්‍රපටයට අනුව Anthony ගෙ ජීවිතයට Adam ගෙ පැමිණීමත්, ඒ වගේම Adam ගෙ ජීවිතයට Anthony ගෙ පැමිණීමත් කියන කාරණාව මේ චරිත දෙකට කොයි විදියෙ බලපෑමක් වේවිද..?

     ඉතින්, මේ කියපු චරිත ද්විත්වය විසින් ඔබට මට කියන්න උත්සාහ කරන යම් දෙයක් තියෙනවා. ඒ තමයි දිනෙක ඔබටත් මටත් මුණ ගැහෙන්න ඉඩ තියෙන සතුරෙක් ගැන.  චිත්‍රපටය ඉඳුල් කරන්නෙ නැතිව කතාව මීට වඩා එහාට කියන් යන්න අමාරුයි. Anthony සහ Adam යන චරිත ද්විත්වයටම පණ පොවමින් Jake Gyllenhaal, psychological thrillers ඇතුලෙ තියපු තමන්ගෙ ලකුණ ඒ විදියටම මේ චිත්‍රපටය ඇතුලෙත් තියලා තියෙනවා. ඒ වගේම Denis Villeneuve ගෙ අධ්‍යක්ෂනයත්, ඇහැටත් මනසටත් අමිහිරි නොවෙන විදියට චිත්‍රපටයෙ ආඛ්‍යානය ඇතුලට රූපක ගෙන ආපු විදියත් මේ කෙටි සටහන ඇතුලෙ මතක් කළ යුතුමයි. මෙතැනින් ඔබ්බට චිත්‍රපටය නැරඹීම ඔබට ඉතිරි කරලා, චිත්‍රපටය ආරම්භ වෙන තැනින් මම සටහන අවසාන කරන්නම්.

" Chaos is order yet undeciphered"

මම හිතන්නෙ ඔබේ movie list එක ඇතුලෙ මේ චිත්‍රපටයට ඉඩක් වෙන්විය යුතුමයි.





-මුදිත්-
2021.10.31

Sunday, October 3, 2021

තෙමෙන්නම ඕන...

     "දැන් නම් අඩුවෙලා යයි.." මං එහෙම කිව්වත් මෙහෙම වැහි තව සෑහෙන වෙලාවකට ඉවර නොවෙන බව මං දැනන් හිටියා. ඒත් මං මගේ අසල්වැසි මගියාට බොරුවක් කිව්වා. ඒ සමහරවිට මේ පුංචි පියැසි තීරුව ඇතුලෙ තියෙන සුව පහසුව තව කෙනෙක් එක්ක බෙදාහදාගන්න තියෙන නොකැමැත්ත වෙන්නත් පුළුවන්, එක්කෝ මිනිහා, තමන්ගෙ අතේ තිබුණු කුඩේ ගැන වැඩි තක්සේරුවක ඉන්න බව මට ඇඟෙව්ව නිසා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඒක වචනෙකට ගන්න බැරි මොකක් හරි හැඟීමක් එක්ක මතු වුණු හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වැස්ස තුනී වෙන්න හදන බව පෙන්නන්න අහස මවාපාපු ලකුණු වලට, කුඩයක් අතේ තිබුණු උජාරුවත් කවලම් වුණු නිසා මිනිහා ඒ තුනී වැස්සෙ එළියට බැස්සා.

     කාලයක් තිස්සෙ මේ වැස්ස හුරු නිසාත්, කුඩයක් පාවිච්චි කරන පුරුද්ද අතෑරල දාපු නිසාත් තව ටිකක් වෙලා මේ පියසි තීරුව යටට වෙලා වැස්ස දිහා බලන් ඉන්න මං තීරණය කළා. දැන් මං ඉස්සරහ තියෙන කෙලින් විහිදෙන පාර දිගේ, පේන දුරකට ඉන්න එකම ප්‍රාණියා අර තරුණයා විතරයි. දහ අටක් ඇති වයස, ඒක එහෙම නම් මගේ වයසෙන් හරියටම බාගයක් ඇති. වැස්සකට තෙමෙන්න බැරි වයසක් නෙමෙයි ඒක... මට මගේ කල්පනාවෙ මිනිත්තු දෙකක් නැත්නම් තුනක් ඉන්න ලැබෙන්න ඇති, වැස්ස එක පාරටම කීප ගුණේකින් සැර වැඩිකළා. ඒක කුඩේකට කොහෙත්ම දරන්න පුලුවන් වැස්සක් නෙමෙයි. වැස්සත් එක්ක අන්දුන් කුන්දුන් වුණු තරුණයගෙ ඡායාව දිහා සුදු පාටට වැටෙන තද වැස්ස අතරින් මං බලාගෙන හිටියා.

     වැස්ස එක්කම ආවෙ තද හුළඟක්, මෙහෙම වැහි එක්ක හැමදාම වගේ එන විදියෙ තද හුළඟක්. ඒ හුළඟ එක්ක ටිකක් වෙලා ඔට්ටු වුණු තරුණයගෙ කුඩේ ඊළඟ මොහොතෙ ඇඹරිලා යන හැටි මට වැස්ස අතරින් අපැහැදිලිව පෙනුනා. අවසානෙ අසීරුවෙන් කුඩේ අකුලගත්තු තරුණයා ආපහු මං ඉන්න දිහාවට පය තිබ්බා. මං හිතපු විදිහට ම ඉක්මන් අඩි.. ඒ කොහොම වුණත් තරුණයා මෙතෙන්ට නො එන බව මම එතකොටත් දැනන් හිටියා. හරියටම හරි... තරුණයගෙ වේගෙ අඩු වුණා. පියවර දහයක් වත් නෑවිත් මිනිහ නැවතුනා. මං හිතපු හැටියටම ආපිට හැරුණා. මේ තරම් තෙමුණට පස්සෙත්, ආයෙ මොකටද හෙවණක්..? තරුණයා ශාන්තදාන්තව යන්න ගිය දිහාවට ඇවිදන් යන්න පටන් ගත්තා.

     "සමහර වැහි තියෙනවා, ඒවට තෙමෙන්නම ඕන.." වැස්ස නවතින්න තව සෑහෙන තරම් වෙලාවක් යන බව දන්න හින්දම, මං හීතලට සිගරට් එකක් පත්තු කරගත්තා.


-මුදිත්-
2021.10.03

Image source: www.pinterest.com


Monday, April 19, 2021

ලොලිටා

ඒක වචනෙකට ගන්න හරි අමාරු විදිහෙ මූණක්. අඩි පහක් වත් උස හීන්දෑරි ඇඟක්. පාන්දර ඉර එළිය වැටුණු තිරිඟු කරලක රත්තරන් පාට කොණ්ඩයක්. මුලින්ම දැකපු වෙලාවෙදිම ඇඟ ඇතුලෙ පුංචි ගිණි පුළිඟුවක් අවුලාපු කෙල්ලක්...

දකින මුල්ම මොහොතෙ ඈ හිටියෙ හොඳටම තෙතබත් වෙලා, ඇඟටම ඇලුනු තුනී රෙද්දකින් මහපු කොට ගවොමක් ඇඳන්. ඒ රෙද්ද ළා රතු, කොළ පාට පොඩි මල් තිබුණු ළා කහ පාට ටච් එකක් තියෙන සුදු රෙද්දක්. ඈ හිටියෙ තණකොළ මිදුලෙ දිගාවෙලා, සඟරාවක් බලන් ගමන්. ඈට එහා පැත්තෙන් නැගුනු වතුර මලක් නොකඩවාම වතුර ඉහිමින් ඈව තෙතබත් කළේ, ඒ දර්ශනය දකින කිසි කෙනෙකුට පුංචිවත් සමාවක් නොදෙන විදියෙ තාලෙකින්.

“Beautiful”

ඒ තමයි ඒක දකින ඕනම කෙනෙකුට කියාගන්න පුලුවන් වෙන එකම දේ. ඒ දසුන ගැන වැඩි වැල්වටාරම් නෑ. නෑ නෙමෙයි, වචන හොයාගන්න බෑ. ඒ තමයි ඒකි. වයස අවුරුදු දහ තුනක් විතර ඇති වුනත්, ඈට තිබුණෙ ගිනි දළුවක වගේ හරිම ඇවිලෙනසුලු දාංගලයක්. ඒ දාංගලේ ඈගෙ හැම ඉරියව්වකම, හැම කෙස් ගහකම, හැම උපන් ලපයකම ඉඳන් තිබුණා. මේ කෙල්ල මට මූණට මුණගැහුන එකියක් නෙමෙයි. ඒ වගේම මූණට මුණගැහීම ඇතුලෙ තියෙන අවදානමට මම බයයි. මේ රූප රාමු අස්සේ ගෙවුණු පැය දෙක හමාරක විතර වෙලාවෙන් පස්සෙ, ඇත්තටම ඒ අවදානමට මම බයයි. ඈ තමයි ලොලිටා.

Film එක පටන් ගන්නෙ තණබිමක් පසුබිම වෙච්ච රාමුවකින්. ඒ පසුබිමේ ඈත පාරක් දිගේ එන කාර් එකක දර්ශනයෙන්. කාර් එක එන්නෙ පාලනයකට නතු වුනත්, එහෙම නැති ලීලාවකින්. හරියට ඒකෙ Driver ගෙ ජීවිතේ වගේ. මේ කාර් එකේ Driver තමයි කතාවෙ එන ප්‍රධාන ම පිරිමි චරිතෙ වෙන Humbert. මිනිහගෙ අතේ තියෙනවා කොණ්ඩ කටුවක්. ඔව්, කුණුත් ලේත් තැවරුණු ඇඟිලි දෙකකින් මෘදුව ඒත් අත් හැරෙන්නෙ නැති විදියකින් හිරවුණු කොණ්ඩ කටුවක්. ඒ අත් රැඳිලා තිබුණෙ ඔහේ යන වාහනෙට පාර කියන්න තියෙන සුක්කානම උඩ. වාහනෙ ගමන නිසා එහා පැත්තෙ සීට් එක උඩ තියෙන revolver එක එහෙ මෙහෙ යනවා. තව දුරටත් වාහනෙ නිශ්චිත අරමුණකට දක්කන්නෙ නැති වුනත් ඒ Driver එහෙම නැත්නම් Humbert අර revolver එක සීට් එක උඩ ආයෙ ආයෙත් ස්ථානගත කරන්න උත්සාහ කරනවා. ඒ frame එක ම මට ඉතිරි කලේ මහා කඩාවැටීමක්. ඉබාගාතේ යන වාහනයක, හරි තැනින් තියන්න උත්සාහ කරන ගිනි අවියක්. ඒ revolver එක පත්තු වුණු තැන, ඒ විදිය, හේතුව දකින්න නම් film එක ඉවරවෙන තුරු ඉවසන්න වෙනවා. ඇත්තටම ඉවසන්නම වෙනවා. ගිනි දළුවක් වගේ ඇවිලෙන ළපටි කෙල්ලෙකුත්, ඒ කෙල්ලගෙ සුළු පියා වගේම පෙම්වතාත් වෙන මනුස්සයත් අතරෙ ගලාගෙන යන, ආදරයත් - ලිංගිකත්වයත් අතරෙ යම් තැනක ස්ථානගත වෙන සම්බන්දයෙත් කතාව ඉවසන් ඉන්නම වෙනවා.

වරින් වර මං ඒ පිරිමි කෙනා බවට පත්වෙන එක වලක්වාගන්න සෑහෙන උත්සාහ කළත් අවස්ථා කීපෙකම මං අසාර්ථක වුණා. චිත්‍රපටිය පුරාම තිබුණු උකු කළුතෙල් වගේ හැඟීමක් මගේ ඇතුලෙ තැවරුණු එකෙන් ගොඩ එන්න මට සෑහෙන වෙලාවක් ගියා. ඒ හින්දම මං හිතනවා ටික වෙලාවක් film එක එක්ක ගතකරන්න බලන් ම කෙනෙකුට බලන්න වටින film එකක් ඒක. ඒ වගේම මේක ලියන්න පෑන අතට ගනිද්දි තිබුණු හැඟීම් ටික ගලපගන්න බැරුව හරිම අසරණ තත්වයකින් මේක ඉවර කරන්න වෙන එක පවා තවත් අතකින් හරිම වේදනාවක්. ලිංගිකත්වය, හැඟීම්, ආසාවන් අතරෙ ආදරය ඒ කතාවෙ මුදුන් මුල වගේ තිබුණා කියලත් film එකේ අන්තිම ¼ ඇතුලෙ මට හිතුනා. ඒ වගේම සමහර කතන්දර වල හරිම තැනින් ස්ථානගත කරන්න ඉතුරු වෙන්නෙ revolver යක් වගේ දෙයක් විතරක් වෙන්නත් පුළුවන් කියලත් අවසානෙදි මට හිතුනා.

Film එක ආරම්භයත් අවසානයත් එක මත පිහිටන විදිහෙ එකක්. ඒ නිසා කථාවෙ ආරම්භයෙදි වගේම අවසානයෙදිත් පොදු වෙන, ලොලිටා ගැන Humbert කියන දේ මං හිතනවා මං මොන වැල්වටාරම ලිව්වත්, ඒ හැමදේකටම වඩා ලොලිටා ගැන perfect description එකක් කියලා.

“She was Lo,
            Plain Lo in the morning
            Standing four feet ten in one sock..
            She was Lola in slacks.
            She was Dolly at school.
            She was Dolores on the dotted line.
            In my arms,
            She was always Lolita…
            Light of my life,
            Fire on my loins,
            My Sin..
            My Soul...”

 

-මුදිත්-
18.04.2021



 

 

Sunday, January 10, 2021

වෙලාව දහයයි. රෑ දහයයි. වහළෙ උළු උඩට තාලෙකට වැටෙන වැස්සෙ සද්දෙයි, යාන්තමට ඇහෙන රේඩියෝවෙ සද්දෙයි, මමයි.

“ඔබ එන්න..
ඔබ ඇවිත් යන්න එන්න..”

රේඩියෝවෙන් ඇහෙනවා. ආදරණීය ඉල්ලීමක්.. මොරිස් විජේසිංහ ගෙ හඬ. ආදරණීය වස්සානය. හිත අස්සෙ අහුමුළු වල ගුලිවුණු සිංදු කීපයක් ඉතුරු කරපු ආදරණීය වස්සානය..

දවස් ගණනක් පුරාම නුවරට වහින වැස්ස ඉහිරවන හීතල, තවත් රෑක දියවෙවී කැටි ගැහෙන්නෙ නොස්තැල්ජියාවක්. හැඩයක් පාටක් නැති හැඟීමක්. හඬත් තනුවත් එක්ක මගේ හිත මං දැකපු ලස්සනම වස්සාන කීපය අතරට යනවා. ඒ මතකයත් අයිති මේ නුවරට. පේරාදෙණියට..

වැහි කාලෙ බව දැන දැනත්, කැටි ගැහෙන වැහි අඳුර පෙනි පෙනිත් කුඩයක් නැතුව කැම්පස් එක ඇතුලෙ හුරු පුරුදු තනි ගමනෙ ඇවිදන් ආපු හවසක්.. පොද වැස්සකින් පටන් අරන්, මහා ධාරාණිපාත වැස්සකින් කෙළවර වුණු දවසක්.. නහරයක් නහරයක් පුරා හීතල මිදුණු දවසක්...

කාලයක් යන තුරු ඒ වැස්ස වැස්සා. එළියකට බහින්න, ඇඳුමක් වේලාගන්න ඉඩක් නොදී වැහැපු ඒ වැස්ස අවසානෙ ඉතිරි කලේ අප්‍රසන්න හැඟීමක්. ඒත් ඒ හැඟීමෙන්, ඒ වස්සාන කාලෙ වැහැපු හැම වැස්සකම තිබුණු චමත්කාරජනක ලස්සන කෙළෙසෙන්නෙ නැති විදිහට ඒ වස්සාන කාලෙ මතකෙ ඉතිරි වෙලා තිබුණා. අදට ඒ වස්සානෙ අවුරුදු දෙකක් වත් පරණයි. ඒත් පහුගිය සතියක දෙකක කාලෙත් නුවරට වැස්සා. ඉස්සර වගේ විඳින්න ඉඩක් නොතියා ඒ වැස්සෙම උදේ පාන්දර නැගිටලා මෝටර් සයිකලේ නැගලා තෙමි තෙමී වැඩට යන්නත්, ඒ තෙත ඇඳුම් එක්ක හීතලේ පැය නමයක් රස්සාව කරලා ආයෙම තෙමි තෙමී ඒ විදියටම බෝඩිමට එන්නත්, මේ වැහි කාලෙ පුරාම සිද්ධ වෙලා තිබුණා. ඒ හැම දවසකම හවස තෙමි තෙමී බෝඩිමට ආවෙ තෙත ඇඳුම් මාරු කරලා, සරමක් ඇඳන් රස්නෙට ඇඳ රෙද්ද යට ගුලි ගැහිලා කෝපි එකක රස්නෙ එක්ක පොතක් කියවන රෑ පැය දෙක තුන මතක් කරන ගමන්..

අවසානෙ අද ඉරිදා නිවාඩු දවසට එළි වුණා. වැස්ස එහෙමම වැස්සා. මේ මොහොත වෙන තුරුම වහින්නෙ ඒ වැහැපු වැස්ස. දවල් දවසෙම ජනේලෙන් එළියෙ වහින වැස්ස දිහා මං සෑහෙන වෙලාවක් බලන් හිටියා. පහුගිය දවසක කියවන්න ලැබුණු පෝස්ට් එකක තිබුණා වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට කියලා. ඇත්ත, වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට... ඒත් ඒ ලස්සන දිහා බලාගෙන දවස ගෙව්වත් මගේ හිතේ අද දවසෙ අන්තිමට මොකක්දෝ හිස්තැනක් ඉතිරි වෙලා තිබුණා. මේ ටික ටයිප් කරන වෙලාව අතරෙ නොදැනිම සිංදු ගණනාවක් යන්න ඇති. මේ ටික හිතට එන්න පාර කපපු ඔබ එන්න සිංදුවත් නොදැනීම ඉවර වෙලා. අහන වාරයක් ගානෙ හිත ඇවිලෙන, ඒත් ආයෙ ආයෙ අහන්න හිත බල කරන “ඔබ නොදැක බැරුවා.. ඔබ නැතිව බැරුවා” කියන පද පේළි ටික නොදැනිම මගඇරිලා ගිහින්. මොරිස් ගෙ හඬින් ඒ ටික ඇහෙන හැම වාරෙකම අර මතක වස්සානෙට අයිති හීතල, උණුහුමක් වෙලා දැනෙන ඒ හැඟීමට හිතේ තියෙන්නෙ තද ආසාවක්. මග හැරුණු ඒ ආසාවත් එක්ක ආයෙම මට රේඩියෝවෙ ගැයුම ඇහෙන්න ගන්නවා.

“අහස ගුගුරා
අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුණා”

නන්දා මාලනියෙගෙ හඬ. මොහොතකට හිත වැන්දඹු කරන වචන ටිකක්.. තනුවක්.. හිතට දැනෙන හිස්තැන එක්ක මම ජනේලෙන් එළිය බලනවා. තවමත් වැස්ස. ඈත පාරෙ තියෙන ලයිට් කණුවක එළිය යන්තමට වැහි බිංදු වල දියවෙලා. ජනෙල් වීදුරුව පුරාමත් ඒ එළිය දියවුණු වැහි බිංදු. මේ වැහි බිංදු වලත් ඒ හීතලම ඇති. මම ජනේලෙ ඇරලා වීදුරුවෙ හැපි හැපී වැටුණු වැහි බිංදු වලට එන්න ඉඩ දෙනවා. ඇට මිදුලු වලටම කාවැදෙන තරම් වුණු හීතල.. සමහරවිට මේ වැස්ස මේ මොහොතෙ පේරාදෙණියටත් මෙහෙමම වහිනව ඇති. හවස් වරුව පුරාම හන්තානෙ මුදුන් තීරුව විතරක් පේන නොපෙනෙන තරමට මීදුම් කැරලි තියෙන්න ඇති. ධාරාණිපාත වැස්සට කලින් හන්තාන දිහාවෙන් ආපු හුළඟක් එක්ක හිරිකඩ රැල්ලකුත් යන්න ඇති. ඒ සේරම එක්ක මුළු පේරාදෙණියටම එකෙක් හරි ලඟ එන වැස්ස පෙනි පෙනී කුඩයක් නැතුව ම තනියම එළියට බහින්න ඇති. එන සතියෙත් මේ වැස්ස මෙහෙමම වහීවි.

ඔව්...
වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට... ඒක හැමදාම එහෙමම වේවි.

 

-මුදිත්-
2021.01.10



Friday, November 13, 2020

කෝල් එකක්

දවස් දහයකට කිට්ටු නිරෝධායනේ ඉවර කරලා ආයෙම නුවරට ඇවිත් හෙටට සතියයි. දවස පුරාම දකින්න ලැබෙන මැෂින් එකක තියෙන පුංචි දැති රෝදයක් වගේ, දැන් ජීවිතෙත් එකම තැන කැරකෙනවා. එහෙම දැනුනු වෙන කාලත් තිබුණා, ඒත් මේක එහෙම දැනෙන කාලයක් නෙමෙයි, ඇත්තටම ඒක එහෙම සිද්ධ වෙන කාලයක්. මං දන්නවා, දැං උඹලා මෙතන වැලලෙන්න හදයි (මේක කියවන්න ලැබුනොත්) ඕක ඔහොම තමයි, ජීවිතේ එහෙම කාලවල් තියෙනවා තමයි, අරකයි මේකයි කියලා. ඇත්ත. මමත් ඒක නෑ කියන්නෙ නෑනෙ. මම මේක ලියන්නෙ ඒක එහෙමද කියලා අහන්න වත් උඹලාගේ පණ්ඩිත උපදෙස් බලාපොරොත්තුවෙන් වත් නෙමෙයි. මම මේ ලියන මොහොත වෙද්දි මේ තත්වෙත්, ඒකට මූණ දෙන්න ඕන බවත් සෑහෙන තරමකට මගේ ඔලුවට ඔබාගෙන ඉවරයි. සරලවම මේක ලියන්නෙ එක තැන පල්වෙන්න සිද්ධ වෙන බව දැනගෙන උනත්, ඒක එහෙම සිද්ධ වෙන්න නියමිත බව දැනගෙන උනත් නිකම්ම ඒ ඉරණමට යටත් වෙන්න තියෙන අකමැත්ත නිසා.

මම මේක ලියන මේ මොහොතෙදි මගේ මේ කාමරේ එක බිත්තියකින් එහා පැත්තෙ සාලෙ ඉඳන්, ගෙදර අංකල් පොරගෙ බෑණා එක්ක ලාවට සෙට් වෙන සද්දෙ මට ඇහෙනවා. මම ඉබේම හිතන්න ගන්නවා. මට මේ දැනෙන හැඟීම මොකක්ද? මට හුරු පුරුදු වොයිස් එකක් මගේ ඔලුව ඇතුලෙන් කියනවා “උඹත් වීකෙන්ඩ් එක අල්ලලා හීනියට අඩියක් ගහපන්, ඕක ඇරිලා යයි” කියලා. ඇත්තටම ඒක එහෙමද? කියලා හිතන එක පැත්තකින් තියලා, “ඒ වොයිස් එක කාගෙද” කියලා මම හිතන්න ගන්නවා. ටිකකින් මට මීටර් වෙනවා ඒ මගෙ හෙණම ලඟ යාලුවෙක්ගෙ කියලා. එතකොට කොහොමද මට ඌගෙ වොයිස් එක එච්චරටම මිස් උනේ...? ටිකක් වෙලා යද්දි මට මේ දිග කතාවම පොඩි පොඩි කෑලි විදියට තේරෙන්න ගන්නවා. කාලයක් තිස්සෙ උන්ගෙ කටහඬවල් වල, ඒ වොයිස් වල ස්ටීරියෝ සවුන්ඩ් එකක හෙවනැල්ල තැවරිලා තිබුණා. ඒත් අද හදිසියේ මගේ ඔලුවට කටහඬේ ඒ හෙවනැල්ල තිබුණෙ නෑ. හදිසියේ ඔලුවට ඇවිත් වචනයක් කතාකරල යන්න ආපු පරණ මතක කටහඬ, ෆෝන් ස්පීකර් එකක් අස්සෙන් ආවෙ නෑ. ඒක, ඉස්සර හවසක- බීච් එකක, ජීවිතේ එක්ක ඔට්ටු වෙලා හති වැටෙන්න කලින්, ඒ හතිය- මහන්සිය ගැන කතා කර කර, ඔලුවට ආපු සේරම කුණුහරුප ටික මූදු හුලඟක පටලවල දාන්න ජීවිතේ ඇතුලෙ යන්තමට හරි ඉඩක් තිබුණ කාලෙ ඇහුණු කටහඬක්. ඔලුවෙ තිබ්බ වල්පල්, කුණුහරුප, අවුල් ටික ඔක්කොම හීනි අඩියක් ගහන ගමන් හපන්න, අන්තිමේ ඒ සේරම දිග චූ පාරක් දිගේ බීච් එකේ කොනක දාල එන්න ජීවිතේ අස්සෙ ඉඩක් තිබ්බ ඒ කාලෙට අයිති කටහඬක්. ඒ කාලෙ වගේම, ඊට පස්සෙත් අපි සෙට් උණා. ඉස්සර සතියකට දෙකකට නැත්නම් මාසෙකට සැරයක් බීච් එකේ සෙට් වුණු අපි, පස්සෙ පස්සෙ හැමදාම සෙට් වුණා. නැත්නම් දවසකට දෙකකට සැරයක් සෙට් උණා. ඒ වැඩේ එච්චරටම ලේසි කරල දෙන්න ෆෝන් එක හැම වෙලාවෙම අපි ලඟ තිබ්බා. කතා බහ ටික ටික ස්ටීරියෝ වුණා. ස්පීකර් එක උඹ වෙලා උඹ ස්පීකර් එක උණා. ඔලුව අස්සෙ නලියගෙන එන මේ ටිකත් එක්ක මට ෆෝන් එක දිහා බැලුණා.

“එතකොට උඹ නිසාද මේ ඔක්කොම..?” මම ෆෝන් එකෙන් එහෙම ඇහුවෙ නැති උනාට ෆෝන් එක දිහා බලද්දිම මට එහෙම හිතුණා. ඒ ආපු කාලකණ්ණි හැඟීම විස්තර කරන්න හෙණ අමාරුයි. තනියම බෝඩිං කාමරේක ඉද්දි කූඹි පුකක් තරමෙ දෙයක් උනත්, වැරදි වෙලාවෙ මතු උනොත් ඒකට මුලු ඇතුලාන්තෙම විනාස කරල දාන එක හරිම සිම්පල් වැඩක්. මම දන්නෙ නෑ මට සිද්ද උනෙත් ඒකද කියල, කොහොම හරි ඒ වේසා හැඟීමෙන් ගැලවෙන්න මට ෆෝන් එක ෆ්ලයිට් මෝඩ් දාලා ස්ක්‍රීන් ඕෆ් කරලා පැත්තකටම දාන්න උනා. අන්න එහෙමයි ෆෝන් එක පැත්තකට විසි කරල මං මේ හෑල්ල ලියන්න ලැප් එක දිගෑරගන්නෙ. ඇත්තටම කියනව නම් හරියටම මේ මොහොත වෙද්දි අකුරු වලට හරවගන්න කියලා කලින් ඔලුව ඇතුලෙ පෙළ ගැහිලා තිබුණු ටික ලියවිලා ඉවරයි.

“එතකොට දැං මං මොකද කරන්නෙ?” මං එහෙම ඇහුවෙ නෑ, කාගෙන් කියලා අහන්නද.. ඒත් එහෙම අහන්න තිබුණ නම් කියලම හිතුනා. ඉතින් මම ආයෙත් මේක ලීයන්න පටන් ගන්න කලින් කරපු විදියටම කල්පනා කරන්න පටන් ගත්තා. මට දැන් ආයෙම ඇහෙන්නෙ එහා පැත්තෙ මාමයි බෑණයි දෙන්නගෙ සංවාදෙ. ඒකත් මාරයි. එක්කෙනෙක්ගෙ ඉස්සරහ වාඩි වෙලා ඉන්නව තමන්ගෙ දුවගෙ කසාද මනුස්සයා, අනිකාගෙ ඉස්සරහින් වාඩි වෙලා ඉන්නව තමන්ගෙ කසාද ගෑණිගෙ තාත්තා. කෙනෙකුට හිතෙන්නත් පුලුවන් කොහොම ඕපන් වෙලා කතාකරන්නද කියලා. හැබැයි දෙන්නම කසාද පිරිමි. ජෙනරේශන් දෙකක්, ඒත් බැඳපු උන්. මං හිතනවා මුළු සංවාදෙම ගොඩනැගෙන අඩිතාලම වැටෙන පලවෙනි ගල් කෑල්ල ඕක වෙන්න ඇති කියලා.

“ඇත්තටම ඒක එහෙමමද..?” සංවාදයක් පටන් ගන්න ඒ තරම් සීරියස් සමානකම් සෙට් එකක් තියෙන්නම ඕනද? මම හිතන්න ගන්නව. ඒත් ඒකට හරි උත්තරයක් හිතාගන්නම බැරි වෙනව. එහෙමයි කියලා මේ තනි කාමරේ කාගෙන් නම් අහන්නද? සද්දයක් දාන්න පුලුවන්, රෙස්පොන්ස් එකක් දෙන්න පුලුවන්කම තියෙන මොකෙක් හරි සතෙක් හරි හිටිය නම් මේ කෙහෙල්මල ටයිප් කරන එක පවා නොවෙන්න තිබුණ බව ඔය අස්සෙ මට හිතෙනව. සිරාවට, එහම උනා නම් ඌ එක්ක ඔහේ කියව කියව ඉන්න තිබ්බ නේද කියල මට හිතුණ. ඌට කතාකරන්න බැරුවට ඌ සද්දයක් දාල, වල්ගෙ හරි වන වනා ඉන්න තිබුණ. මගේ මූඩ් එක, ටෝන් එක ඌට තේරෙන විදියට ඌ නැට්ට වනන රිදම් එක එහෙමත් වෙනස් වෙන්න තිබුණා. බල්ලෙක් හදන්න ඕනමයි කියන හැඟීම, දරාගන්න බැරි චූ බරක් සයිස් එකෙන් දැනෙන්න ගන්නෙ මේ වෙලාවෙ. ලඟදි යූ ටියුබ් එකේ දැකපු ලැබ්‍රදෝර්ස්, හස්කීස් ල ටිකකගෙ හුරතල් ටිකකුත් ඔලුව ඇතුලෙ ප්ලේ වෙන්න ගන්නව. ලැබ්බා පැටව් ටිකක් ගැන ඔත්තුවක් හොයාගන්න යාලුවෙක්ට කෝල් එකක් ගන්න මට ෆෝන් එක ඕනම වෙනව. “ෆ්ලයිට් මෝඩ්” “අනෙ මේ හු**” හිතෙන් කියවෙද්දි මං ෆ්ලයිට් මෝඩ් ඕෆ් කරල අරූට කෝල් එක ගන්නව. ... ... ... හරි, රිං වෙනව. ... ... ... ... හරි, ඉස්සුවා. “හෙලෝ.., අඩෝ අර උඹ පහු ගිය දවසක කිව්වෙ ලැබ්බා පැටව් ටිකක් ගැන. පොඩ්ඩක් මට ඒ විස්තරේ ආපහු කියපංකො”

“හරියට හරි, අද සිකුරාද නේ. අදත් අර උඹේ ෆ්ලයිට් මෝඩ් නාඩගම නටල වගේ. මේ, පිස්සු හු**වල් කරන්නෙ නැතුව හෙට දිහාට එලියට බැහැල අඩියක් එහෙම ගහල ඇවිත් කෝල් එකක් ගනිං”



 

-මුදිත්-
13.11.2020

Saturday, March 28, 2020

ජීවිතය මුදා හැර තිබේ...

     මේ ගෙවෙන රාත්‍රිය- අනෙක් සාමාන්‍ය රාත්‍රීන්ටත් වඩා අතිශයින් නිශ්ශබ්දයි. නිශ්චලයි. ශ්‍රී ලංකාව පුරාම, එක යායට සාමාන්‍ය ජන ජීවිතය මේ රැයේ නිශ්ශබ්දයි. නිශ්චලයි. අනෙක් අතට ලෝකය පුරාමත් මේ නිශ්චිත මොහොත ගෙවෙන්නේ අතිශය දෙගිඩියාවෙන්. ක්ෂුද්‍ර ප්‍රාණියෙක් විසින්; ඇත්තෙන්ම කිසිදු සෛලීය ව්‍යුහයක් හෝ නැති, කිසිදු ස්වාධීන ජීව ක්‍රියාවක් පෙන්වීමේ යාන්ත්‍රණයක් නැති ක්ෂුද්‍ර ප්‍රාණියෙක් විසින්, ලෝකය තමන්ගේ යැයි සලකමින් උන් මහා ජීවියාගේ පැවැත්මට මැද ඇඟිල්ල පෙන්වමින් ඉන්නා මොහොතක් මේක.

     එක්තරා එක දවසක, චීනයේ එක මුල්ලකදි ධාරක ජීවියෙක්ව ආක්‍රමණය කර ගන්නා මේ වෛරසයා, අද වෙද්දි ලෝකයේ සාමාන්‍ය හෘද ස්පන්දනය වෙනස් කරමින්, ලෝක බලවතා ලෙසට උදම් අනමින් උන් අමෙරිකාව පවා දණින් ඉන්දවමින්, පෘථිවි තලය පුරාත්, සාගරය හා ආකාසය පුරාත් වේගයෙන් කරක් ගසමින් පෘථිවියේ භාරකාරීත්වය පවරාගෙන උන් අපේ ජීවිත, සති-මාස කිහිපයක් තුළ lockdown කරන්න සමත් වෙලා අවසානයි. ඉතින් අකමැත්තෙන් හෝ මේ විරාමය ඇතුලෙ අපව ගාල් කරමින්, මේ වෛරසයා විසින් මේ කරමින් ඉන්නේ ජීවිත පැවැත්ම පිළිබඳව වන තිත්ත කසායක් අපට පෙවීමයි කියලා මට හිතෙනවා.

     මෙතෙක් කාලයක් අවසානය, නිමාව, මරණය කියන සත්‍යතාවන් පවා අමතක කරවන සුළු තරඟයක උන් මිනිස් වර්ගයා මේවෙද්දි නැවත වරක් මරණයේ ආමන්ත්‍රණය ඇතුලෙන් ජීවිතයට ඇහුම්කන් දෙන්න පෙළඹිලා. උදේ පාන්දර ඇහැරගෙන race එකක දුවන්න සුක්කානම අතට ගතපු, පාරෙ බස් එකට, කෝච්චියට, බයික් එකට නැගපු ජීවිත මේ වෙද්දි ටිකක් දවල් වෙනකම් නිදාගනිමින් ඉන්නවා. තමන්ගෙ දුව පුතා එක්ක නැවත වරක් හෝරා කිහිපයක් තදියමක් නැතිව ගතකරමින් ඉන්නවා. අතහැරගන්න බැරි පුරුදු කියලා මානසිකව හංවඩු ගහගතපු දේවල් එකින් එක අතහරිමින් ජීවිතය ගෙවන්න හුරුවෙමින් ඉන්නවා. සිගරැට් එක නැතිව වැසිකිළි යන්න බැරි වුණු අය, කිසීම කරදරයක් නැතිව ඒ වැඩේ කරමින් ඉන්නවා. හවසට හීන් අඩියක් නොගහා ගෙදර එන්න බැරි වුණු පිරිමි, ඒ කිසිවක් නැතිව දරු පැටව් එක්ක අල්ලාප සල්ලාපයේ හැන්දෑව ගෙවමින් ඉන්නවා. ගෙදර බතක් උයාගන්න එක වේදනාවක් කරගෙන කඩෙන් රෑ කෑම කන්න පෙරැත්ත කරපු ගැහැණු, දන්නා සූප ශාස්ත්‍ර සියල්ලම දමමින් තමන්ගෙ දරු පැටවුන්ට, ස්වාමිපුරුෂයාට රෑ කෑම හදන්න පෙළඹිලා තියෙනවා. සොසේජ්, මීට් බෝල්ස්, පෝකීස් නැතුව සොහොන් වගේ පාළුවට පෙණුනු කෑම පිඟාන, අද පලා මැල්ලුමෙන්, කරවල බැදුමෙන් සර්ව සම්පූර්ණ ව පේන්න පටන් අරන් තියෙනවා. EGB, Coke නැතුව කෑම එපා කියපු අය කිරි හොදියි බතුයි රහ කර කර කමින් ඉන්නවා. මස් මාළු නැතිව කන්න පිරිය නෑ කියපු අය, හරි අපූරුවට සම්බෝලයි බතුයි කමින් ඉන්නවා. සිංහල අවුරුදු දාට විතරක් එක මේසෙක කෑම කාපු, එදාට විතරක් බිරිඳට සැමියාට බත් කටක් කවාපු අයට අද අවුරුදු නැතිවම ඒ සතුට ආදරය බෙදාගන්න පුලුවන් බව වැටහිලා තියෙනවා. අවුරුදු ගණනක් විලාසිතාවට Book Fair ගිහින් ගෙනාපු පොත් එක දෙක රාක්ක වලින් එළියට ඇවිත්, පොතක් පතක් කියවන්න තවමත් අපිට පුලුවන් බව සාධනය කරමින් ඉන්නවා. වැට මායිමේ තියෙන කොස් ගහේ වඳුරන්ට රිලවුන්ට ඇරපු කොස්, අපිටත් කන්න පුලුවන් බව යළි වටහාගමින් ඉන්නවා. තරඟයට එකතු කරපු චිත්‍රපට, සංගීත ඇල්බම් හීන් සැරේ රසවිඳිමින් අතීතෙට පොඩ්ඩක් ගිහින් එන්න වෙලාව හදාගනිමින් ඉන්නවා. දාහක් බඩු මුට්ටු පිරිවරාගෙන ගෙවන මොකක් හරි එකකට ජීවිතය කියනවට වඩා, සරලව ගෙවෙන ජීවිතේක මොකක්දෝ අමුතු සැහැල්ලුවක් වගේ එකක් දැනෙමින් තියෙනවා. මෙච්චර දවසක් උන්නද මළාද වගක් නොතිබුණු දවසෙ පඩියෙන් ජීවිතේ ගොඩ දාගතපු අල්ලපු ගෙදර එකා කාලද දන්නෙ නෑ කියල සිතිවිලි වලට එන්න හිතේ ඉඩ හැදෙමින් තියෙනවා. හෙට දිහාට ඒ මනුස්සයගෙ පැත්ත පොඩ්ඩක් බලන්න ඕනෙ කියල හිතෙමින් තියෙනවා. කොටින්ම ජීවිතය කියන්නෙ තරඟයට දුවනවට වඩා තමන්ගෙ ආදරණීයයන්, අසල්වැසියන් එක්ක හිමින් තාලෙ ඇවිදගෙන යන්න ඕන ගමනක් නේද කියන එක, අපි මැරෙන මිනිස්සු නේද කියන එක අත්විඳිමින් ඉන්නවා.

     කෙටියෙන්ම කියනවා නම් මට දැනෙන හැටියට, තමන්ට කියා ජීවිතයක්, පැවැත්මක් නැති වෛරසයක් විසින්, සියල්ලම තමන්ගෙ කරගෙන උන්නු අපිට ජීවිතය කියාදෙමින් ඉන්නවා.

-මුදිත්-
27.03.2020