එක එක හැඩෙන් කියවන්න
Showing posts with label සාමාජීය. Show all posts
Showing posts with label සාමාජීය. Show all posts

Friday, February 4, 2022

(ඒ)ටිපිකල් කතාවක්...


ඉතිහාසයක් පුරා, අඩු පාඩුවක්- පංගු පේරුවක් නැතිව සැනසිල්ල බෙදා දුන් වෙරළක්.. ඇස් මට්ටමට තරමක් ඉහලින්, හැන්දෑ දම් පාට ඉහිරෙන්න පටන් ගත් අහසක්.. මධු සාද සුන් බුන් - ටින් බෙලෙක් බෝතල්.. 
ඒක ටිපිකල් වෙරළක්...

ඈ ආවේ ඔහුගේ බාහුව වැරෙන් බදාගෙන. 
අත් හරින්න නොදෙන තාලේ බැම්මක්. 
කරේ එල්ලුනු මල්ලක්.. 
අතක හිරවුණු, ලොකු පොඩි මල් පිපුණු කුඩයක්.. 
ඈ ටිපිකල් කෙල්ලක්...

ඔහු ආවේ ඈ තදින් එල්ලුනු බාහුව දරාගෙන.
දෑස් මත තිබුණා අත් හරින්නෙම නෑ කියන බැල්මක්.
කරේ තිබුණෙ නෑ එල්ලුනු මල්ලක්,
ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්..
ඌ ටිපිකල් කොල්ලෙක්...

ඒ වගේ වෙරළකට, ඒ වගේ හැන්දෑවකට අංගසම්පූර්ණ වෙන්න මහ ගොඩක් දේවල් ඕනෑ වෙන්නෙ නෑ.

හෙමි හෙමින් බැඳෙන අත් ඇඟිලි.
සීරුවෙන් ලිහෙන අත් ඇඟිලි..
හුරු අත- නුහුරු අත,
නුහුරු අත- හුරු අත.
හුරු- නුහුරු, නුහුරු- හුරු,
ආයෙමත් බැඳුන අත් ඇඟිලි..

එතැන තිබුණා දිවුරුම් දහසක්. රැළි අවුත් යන පමාවට, වෙරළ මත ලියැවුණු ගිවිසුම් ම දස දහසක්. දම් පාට, අළු පාටකට හැරුණා. ගිහින් එන්නම් කියාගෙන ඉරත් ගිලුණා. ඒක ටිපිකල් දවසක්...

*****
ඈ ආවේ හඬමින්. ඔහුගේ අත තදින් ගසමින්. කරේ එල්ලුනු මල්ලක්. අතක හිරවුණු කුඩයක්. එදා වාගේ නොවුණත්, තවම ටිපිකල් කෙල්ලක්.
ඔහු ආවේ ඈ වෙත යමක් කියමින්. කරේ තිබුණේ නෑ එල්ලුනු මල්ලක්. ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්. එදා වාගේ නොවුණත්, තවම ටිපිකල් කොල්ලෙක්.
හැන්දෑව බෝ වුණේ ඉර හැරෙන්නත් කලියෙන්. ඔහු ගියා ඇයට පියවර දෙක තුනක් ඉස්සරහින්, ඈ ගියා ඔහුට පියවර දෙක තුනක් පස්සෙන්. එතැන තිබුණා රතු වුණු ඇස්.
විද්‍යුත් චුම්බක තරංග වල එල්ලීගෙන කෙටි පණිවුඩ ඉගිලුණා වේගයෙන්, එහෙටත්- මෙහෙටත්. මේත් ටිපිකල් දවසක්...

*****
ඉතිහාසයක් පුරා, අඩු පාඩුවක්- පංගු පේරුවක් නැතිව සැනසිල්ල බෙදා දුන් වෙරළක්.. ඇස් මට්ටමට තරමක් ඉහලින්, හැන්දෑ දම් පාට ඉහිරෙන්න පටන් ගත් අහසක්.. මධු සාද සුන් බුන් - ටින් බෙලෙක් බෝතල්.. ඒ අතර මිනිස් පොකුරක්. ඒ මිනිස් පොකුර මැද, ඈ නිසොල්මන් කෙල්ලක්..

ඈ අවුත් තිබුණේ දිය රළක අත තදින් බදාගෙන.
ඈ එදා උන්නෙ තනියෙන්.
ඈ ව වෙරළෙන් තියපු දිය රළ, ගිහින් තිබුණා ආයෙත්.
කරේ පැටලී තිබුණා මල්ලක්.
කියන්නට යමක් තිබුණා වගේ පෙනුනත්, ඈ මුව පිරී තිබුණා සිහින් වැල්ලෙන්.
ඉරත් නැවතී බලා උන්නා මොහොතක්, ගිහින් එන්නම් කියා නොපෙනී ගියා ඈතින්...

*****
ඉතිහාසයක් පුරා, අඩු පාඩුවක්- පංගු පේරුවක් නැතිව සැනසිල්ල බෙදා දුන් වෙරළක්.. ඇස් මට්ටමට තරමක් ඉහලින්, හැන්දෑ දම් පාට ඉහිරෙන්න පටන් ගත් අහසක්.. මධු සාද සුන් බුන් - ටින් බෙලෙක් බෝතල්.. 
ඒක ටිපිකල් වෙරළක්...

ඈ ආවේ ඔහුගේ බාහුව වැරෙන් බදාගෙන. 
අත් හරින්න නොදෙන තාලේ බැම්මක්. 
කරේ එල්ලුනු මල්ලක්.. 
ඈත් ටිපිකල් කෙල්ලක්...

ඔහු ආවේ ඈ තදින් එල්ලුනු බාහුව දරාගෙන.
දෑස් මත තිබුණා අත් හරින්නෙම නෑ කියන බැල්මක්.
කරේ තිබුණෙ නෑ එල්ලුනු මල්ලක්,
ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්..
ඌත් ටිපිකල් කොල්ලෙක්...

“මේ බලන්නකො මේක...!”
ඇගේ පාමුල තිබුණා වැල්ලෙන් වැහී ගිය, ලොකු පොඩි මල් පිපුණු කුඩයක්...

*****
-මුදිත්-
04.02.2022

Image: Dark Beach by Ellen Mulligane



Saturday, December 4, 2021

හඳුනාගැනීමේ පෙරෙට්ටුව

ඔබ මැවූ මිනිසෙකුම ද,
මේ දැවෙන්නේ මා පසෙකින්..?

බොහෝ කල් වැයකොට
කිම ඔබ මැවූයේ මිනිසෙකු,
ඔබ වෙත අඳ ව නොබැඳුණු...?

නුඹේ දෙව් නාමෙන්,
වෙන් කළෙම් මූල ධාතුවටම..
පළමුව අත් පයෙන්, 
දෙවනුව ගලින් - පොලු මුගුරෙන්,
ඉනික්බිති සුවිශුද්ධ ගින්නෙන්...

එයින් පසුවය දුටුවේ
ලෙය ද මස් ඇට නහර
සම සම ව ඇති බව..
ඔබ සුවච පුත්  මා මෙන්
එක ලෙසම පිහිටිය බව...

උතුම් වූ දෙවිඳුනි
බලා මේ පින්තූරුව,
දන්වා එවනු මැන දේව පණිවුඩයක
මේ දැවෙන මිනිසා ද
ඔබ මැවූ මිනිසෙකුම ද...?

-මුදිත්-
2021.12.04


සටහන: 
පාකිස්ථානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වූ ප්‍රියන්ත දියවඩන මහතා, සිය සේවා ස්ථානයෙහි අලවා තිබූ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක පෝස්ටර් පත්‍රිකාවක් ගලවා දැමීම හේතුවෙන්, එහි සේවය කල, එකී ආගමික අන්තවාදයට සම්බන්ධ පිරිසක් විසින් අමානුශික ලෙස, මරණයට පත්වන තෙක් පහර දී, ඉනික්බිති ගිනි තැබූ පුවතක් ඉකුත් දා වාර්තා විණි. එකී පුවත හා සබැඳිව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඉහත ඡායාරූපයෙහි දැක්වෙන්නේ සිය පිරිවර විසින් වධහිංසනයට ලක්කොට මරා දැමූ "මිනිසාගේ" දැවෙන සිරුර පසුබිම් වන පරිදි හිඳිමින් 'සෙල්ෆි' ඡායාරූපයක් ලබා ගන්නා තවත් "මිනිසෙකි" .

Friday, July 16, 2021

මිස්සක පව්ව මත දී, මුවෙක් කී කව...

දඩයම් හීය මානා
මිග පා ලකුණු පිට පැන්නූ
මහ රජුනි - තරහ අවසර,
කමා කර කිව මැනවි
ඉතිහාස ලියැවිල්ලේ
කවර රූපකයක් ද ඔබ...?

මිස්සක පව්ව පිට
ඔබ තනා දුන් අත් වැට ය,
සෙල්මුවා පියගැට පෙළ ය..
මිහිඳු හිමියනි අපට ද
නැගගත හැකිය දැන් ඉහළට,
උපදවා ගෙන බැති සිත්
අවට සිරි නැරඹිය හැකිය...

ස්ථූප - පිළිම - ස්මාරක
පෙනේ පූජා නගරය,
දසරාජ ධර්මය මතින්
ගඩොලින් ගඩොල ඉදිවන...

කුකුස නම් හිමියනි,
අතරින් පතර තවමත් ඇසෙයි
සහෝදර මුව රැළක
මරහඬ..
ඉවකින් මෙන් දැනෙයි
දඩ කෙළිය
කෙළවර නැති වග...

උස් ය හිමියනි මේ,
ඔබ නැගුණු ගිරි මුදුනත..
පහදා දෙනු මැනවි හැකි නම්
දඩ කෙළිය - දඩබිම
අප හට නොපෙනෙනා කාරණ...

-මුදිත්-
2021.06.24
(පොසොන් පුන් පෝදා ය)



Sunday, May 31, 2020

ජීවිතය ඩොලර් විස්සක්..!



අමෙරිකාවේ මිනෙසොටාහි දී පොලිස් නිලධරයෙකු විසින්, ඩොලර් විස්සක සොර මුදල් නෝට්ටුවක් භාවිතා කළැයි සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී, දණහිසක් සැකකරුගේ ගෙල මත තබාගෙන හිඳීම හේතුවෙන් අදාල සැකකරු ගෙල සිරවී මියයයි.
-පුවතක්-

වර්ණදේහය රුදුරුව
වැඩියෙන් වැගිරුවා මෙලනින්..
ඉතින් උඹ කල්ලෙක්,
තාර කළු කල්ලෙක්..

ඔව්..!
ෆ්ලොයිඩ් උඹ,
සුධාවල ලෝකයක,
තිත්ත කළුවර තිතක්..
නැවුම් කිරි කොතළයට,
අතහැරුණු ගොම බිඳක්..
ගෙල සිරවුනේ එහෙයිනි,
සුදෝ සුදු පයකින්,
ජීවිතය ඉල්ලූ 
අවසාන මොහොතේදිත්...

ජීවිතය ඩොලර් විස්සක්,
ඔව් ෆ්ලොයිඩ්,
ජීවිතය ඩොලර් විස්සක්..!

-මුදිත්-
31.05.2020

පසු සටහන: 
කළු ජාතිකයෙකු වන "ජෝර්ජ් ෆ්ලොයිඩ්" නැමැත්තා ඉකුත් විසිපස් වැනිදා අමෙරිකාවේ මිනෙසොටා හි දී සුදු ජාතික පොලිස් නිලදරුවකු විසින් අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ ඩොලර් විස්සක සොර මුදල් නෝට්ටුවක් භාවිතා කිරීමේ වරදට සැකපිට ය. එහිදී ෆ්ලොයිඩ් විසින් අත්අඩංගුවට පත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් "ඩෙරෙක් චෝවින්" නම් වන අදාල නිලධාරියා විසින් සැකකරු බිම පෙරලා මිනිත්තු නවයකට ආසන්න වේලාවක් සිය දණහිසින් සැකකරුගේ ගෙල තෙරපා ගෙන හිඳියි. තමාට හුස්ම ගත නොහැකි යයි ෆ්ලොයිඩ් ආයාසයෙන් පවසා හිඳිද්දීත් දිගින් දිගටම එසේ හිඳීම හේතුවෙන් ෆ්ලොයිඩ් මිය යන්නේ මරණ මංචකයේදී "mommy.. mommy..." ලෙස සිය මව ඉල්ලා යදිමිනි .


සැලකිය යුතු පිරිසක් අවට රැස්වී හිඳිද්දීත් මෙසේ ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවීම පිටුපස ඇති සමාජ-දේශපාලනික කරුණු තම තම නැණ පමණින් කියවා ගැනීම ඔබට භාර කරන්නේ, සිරි ලංකාව වැනි රටක පවා වෙනත් පැහැයකින්, වෙනත් හැඩයකින් සිදු වූ මීට නෑකම් කියන්නා වූ සිදුවීම් මෑත ඉතිහාසයේ ද දුලබ නොවූ බැවිනි. කෙසේ හෝ, ඇමෙරිකානුවන් විසින් වරක් කළු ජාතිකයෙකු ස්වකීය රටෙහි ප්‍රධාන පුරවැසියා කළ ද මානව සංහතිය තුළ ඔඩුදුවා ඇති වර්ගවාදී විසරය සුවපත් කිරීමෙහිලා වන සැබෑ පිළියම එවැනි "තෙල් ඉලීමකින්" එහා ගිය ප්‍රතිකාරයක් විය යුතු බව, වටහා ගත යුතුව තිබේ.

-මුදිත්-

Thursday, May 28, 2020

ඒ මරණයෙහි හැඳුනුම්පත..

රාමසාන් දිනය වෙනුවෙන් පැවැත්වූ මුදල් ආධාර බෙදීමකදී, සිදුවූ තෙරැපීමකින් කාන්තාවන් තිදෙනෙක් මරුට.
-පුවතක්-

වසංගතයද? සාගින්නද?
ළයෙහි මිටි මෙළැවුණ
අවසාන සුසුමද?
තුළාවක ලා බැලුවම
වැඩියෙන් ම බර කෝකද?

තෙරැපෙන මිනිස් පොදියක
රාමලාන් සඳ මිරිකිණ..
නොදුටුවාවද මිනිසුනි?
අත ළඟම දිළිසෙනා කහවණු
දෑස් ගිණිකණ කෙරුවෙද?

නරුම වී ගිය පා යට
පෑගුනේ ඇය පමණද..?

සිදුරු වුණ සෙරෙප්පුය තැන තැන
කිලුටු කඩමළු රෙදි ය විසිරුණ,
ඉහළ දිගුකල අතකි මියැදුන
මේ තමයි, ඒ මරණයෙහි හැඳුනුම්පත...

-මුදිත්-
05.27.2020

සිතුවම: Angel of death- Andreduran

Friday, January 3, 2020

ඕපපාතික කුරුල්ලා

සුපෝෂිත ජල තලය විදගෙන
මජර පල් ගඳ පොකුණු දිය පිට
එක් ඇඟිල්ලක් ඉහළ ඔසවා,
නැගුනි ඉඳුවර නටුව
පුරා කල්පයකට පසුව...

නොගැටෙන ලෙස කුණක් කිලුටක්
කෙළෙස් අතකින් ඉඳුලක්
පැතුමකි සිතෙහි පොපියන,
මත්ස්‍ය පිරිවර වෙනුවෙන්
පූදනු පිණිස පියුමක්...

කොහෙන්දෝ ආ කුරුල්ලා
මස බුදින පිළිහුඩුවා
අරක් ගත්තේ පියුම් හිස,
එකක් නෑරම ගිලියි කුඩමසු
විලෝපී තුඩගෙහි අමුණා...

-මුදිත්-
2019.12.30


මල් නෙළන මල්

"මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට"
මං කියන්නෙ කාට කාට
මලක් නේද කහට පාට?

ඇත්තටම සිංදුවේ හැටියට
මායි - අක්කයි, අපිත් පොඩි මල්
පුංචි වෙනසක් තියෙනවා මිස්
පොඩි වුනත් අපි මල් නෙලන මල්...

වනේ පිපුනත් මඩේ පිපුනත්
මල් කියන්නේ මල් තමයි මිස්,
ඒ වුණත් බුදු සාදු පාමුල
නොතියනා පොඩි මලක් මං, මිස්...

නෙලුම් කහටත් - ඕලු කහටත්
වෙන වෙනම සුදු ගවුමෙ ඉහුණත්
ඇඟට ඇඳලා බලන ජාමෙට
පේන්නෙම මට එකම පාටක්...

මගේ වැඩ පොත
ඔව් අදත් හිස්
දන්නවද, ගුරු මේසෙ උඩ ඔය
තියෙන්නේ මං නෙළුව මල්, මිස්...

වනේ මැද්දේ විසල් මහ ගස්
යටින් පිපෙනව පොඩි කැලෑ මල්
වැස්ස ඩිංගක් අහක බැලුවම
ඉස්සරින් මැළවෙන්නෙ ඒ මල්...

හෙටත් එන්නම් මලක් අරගෙන
නැති වුනොත් ගුරු මේසෙ හරි හිස්,
ගෙදර වැඩ ටික හෙටත් බැරි වෙයි
තරහ ගන්නට එපා ලොකු මිස්,

කොච්චරක් තැලුවත් කමක් නැහැ
විසි කරන්නට එපා පොත, මිස්...

-මුදිත්-
2019.12.30

Diego Rivera - The Flower vendor (Girl with Lilies)

Wednesday, August 14, 2019

අමුතු දූපතේ අපි එක්ක උඹ..

බාරයක් ඔප්පු කිරීම සඳහා, අයහපත් සෞඛ්‍ය තත්වයේ සිටි වියපත් ඇතින්නක් දළදා පෙරහැරේ ගමන් කරවයි.

                                             - තවත් එක් සිදුවීමක් -


දරා නැගි කොපුල් පිට පුපුරු ලන වේදනා ගලනා
පුරා නැති පෙරුම් දම් පුරන්නට සසර සැරිසරනා
මරා ගනු බැරි සිතින් පුරුද්දට කොදෙව්වට එබෙනා
සරා සඳ මුදුන් වින නිකිණි අහසට කඳුළු පුරනා

කුලේ මුත් සද්දන්ත, අනේ නුඹ නිස්සද්ද?
පින් කුසල් පුරන්නට ඉතින් මෙහි ආවාද?
කල් බලා පුරන්නට පිළිවෙතක් තිබුනාද?
අනේ දුක දකින්නට බුදු නෙතක් නැතිවාද?

ඉපල් දර අතු මතට එලුව සේ කඩ රෙද්ද
සැකිල්ලකි වේදනා දරාගෙන නිස්සද්ද
නිසොල්මන් කඳුළු බර කොතරම්ද ළය මැද්ද
විකල් වද මිනිසුනේ දකින්නට දුක නැද්ද?

සාධුජන හඬ නැගී සරුප බිත්තර බිඳුන
සරා සඳ හිරි වැටී නිකිණි අහසින් වැටුන
දරා ගනු බැරි සයෙන් පිරිත් පැන් කළ සිඳුණ
උරා ගත් මෙත් බෙලෙන්, කොදෙව්වකි උණ ගැණුන

දණ නමා බැති සිතින් ඉහළ මාලය වඳින
පින පතා තරඟයට කුසල් පිලිවෙත් පුරන
මැන බලනු බැරි තරම් දහම් බණ පද අසන
උණ ගැනුනු මහ සෙනග පතයි නුඹටත් නිවන


-මුදිත්-
2019.08.14


Friday, June 21, 2019

නටුවකින් තව මලක් ගිලිහුණි...

මන්දපෝෂණය හේතුවෙන් තිස්සමහාරාම, රාජපුර ප්‍රදේශයේ මාස 11ක් වයසැති බිළිඳෙක් මියයයි.
                                                                                            -පුවතක්-


නටුවකින් තව මලක් ගිලිහුණි..
පෙත්තක් පළමුවෙන්,
එකක් පසු තව එකක්,
හෙමි හෙමිනි - පිළිවෙළිනි...

දළු ලන - පඳුරු ලන
අන්ධකාරමය හෝරා මැද ද
හෝරා කටු නොනැවතී කැරකුණි..
හිතවත,
වෙඩි බෙහෙත් දුම් මැදත්
ලේ පිළී ගඳ මැදත්
සිංහ ගෙරැවිලි මැදත්
බිඳ බිඳ දුක උරා බී ගෙන
මළානික නටු අග
ඒ වුණත් කිරිකැටි මල් පිපුණි...

කුමන අඳුරක පිපුණත්,
කුමන නටුවක පිපුණත්..
මලක් නම් කිරිකැටි,
දෙ අත් බැඳ වටකොට
රැකගත යුතු නොවෙද මිනිසුනි...?

අන්ධකාරය අරගෙන
සළ මිනිස් රූ ඇවිදින
මූකලන්බත් කොදෙව්වේ,
දහස් නොව දස දහස්
රැඟුම් - සංවාද මැද
රැය ඔහේ දිගු වුනා පමණකි...

ඒ දහස් සංඛ්‍යාත
කථා - සංවාද මැද
මගහැරුනු බොහෝ දේ විණි..
පෙත්තෙන් පෙත්ත ගිලිහුණු
ඒ මලෙහි වැලපුම
ඉන් එකක් පමණකි මිනිසුනි...

-මුදිත්-
2019.06.21



පසු සටහන:
සිව් දෙනෙකුගෙන් යුත් පවුලක, ලාබාලතමයා වන ඉහත එකොළොස් මස් වයස් බිළිඳා මිය යන්නේ මන්දපෝෂණයෙනි. ඉදින්, සාඩම්බර ඉතිහාසය කෙසේ වර නැගුවත්, මේ මොහොත ගෙවා දමමින් සිටින අප හුදෙක් ම ළපැටියෙකුට කන්ට බත් දෙකටක් දිය නොහැකි රටක් - ජාතියක් පමණක් ම බව ශපථ කරමින් පවතී.

(එමෙන්ම පසුගිය තෙමසක කාලය තුල ඉතා ප්‍රබලව සිංහල බෞද්ධ ජන සමාජය තුල නැගී ආ "සිංහල දරුවන් වැඩියෙන් වදාපල්ලා" යන කරුණද , එසේ හඬ නැංවූ ව්‍යාපාර අද කොහිද යන්නද  විලිලජ්ජා වරහන් තුළ බහා හෝ යලි සිහිපත් කල යුතුව ඇත.)

Tuesday, February 6, 2018

නිදහස...

තුරු වැල් අත් පසුරු බැඳ
මග දෙපස හිඳ හිනැහෙත්..
පළන්දා හැම නටුවක් අග ම
විළිකුන් සුරත් ඵලයක්...
අත මඳක් දිගු කරමි
අතින් අල්ලා බලනු රිසියෙන්,
එසැනින් මවෙතය
'ඇල්ලීම සපුරා තහනම්..!'
ලියා ඇති ඇස් දහසක්...

කොන්ක්‍රීට් හිස් වසාගෙන
පිපී සුළඟට වැනෙත්
දහසක්
මදාරා- පරසතු මල්..
ඒ සමග දන්වා තබා ඇති වග නම්
'සුවඳ බැලුමට තහනම්...!'

සොඳුර, මේ මාවතේ අග මය
සොඳුරු ම වසත් උයනත්..!
ඉතින්,
මුණගැසෙනු හැකි අපට
ගෙවන්නට නිසංසල මොහොතක්...!

ගත එතෙන මඳ සුළඟින්,
අතු අග මල් කිරුළු සැදි
නිවර්තන තුරු වියනින්,
ස්‍රැතිය දැන පෙම් ගී ගයන
කවිකාර පෙම් විහඟුන්,
ඈත ඉඳ අර..! අත වනන
සුන්දර වසත් උයනක්...!

...............
දොරටුවෙහි පොඩියට ලියා ඇති
'පෙම්වතුන් පිවිසීම තහනම්...!!'
                                                    
                                                      -මුදිත්-
                                              2018.02.05

Wednesday, October 4, 2017

නෘත්‍යංගනා..

කඳුළු තුඩුවෙන් ඉගිල
සිහින සැරියෙන් පසුව,
බිම පතිත පියාපත
කටු ඇණුනු බඳ අතැ'ර..

මුදා අත් හළ බැවින්
නම නොදන්නා බිමක,
සැනෙළි පහනෙක ගොදුර
විය යුතුය මුදු අඳුර..

ගතෙහි සළු විනිවිදින
නෙතක අත් පහර මැද,
කඳුළු බිඳුවක් හිඳී
කොපුල් තලයෙක වැතිර..

නැගෙන ගී රාවයෙන්
මිදී, දුර යනු බැරිව,
පයේ හැපි හැපි හඬයි
අතරමං වූ ගිගිර...
                                                -මුදිත්-
                                        2017.09.30

Friday, July 21, 2017

නාටාමිගේ හිමිදිරියක්...

රැය අඳුරත් සමග ඉර පොරකන පැයට
කකියන නහර වැල් පිරිමැද එක දිගට
අහසට කලින් ඇහැරෙන කපුටන් හඬට
ඇහිපිය හරිමි එල්ලෙන නිදිගැට බරට

හිස්බඩ සනසනා පිටකොටුවේ කහට
තිත්තම පැණි රසයි කටගෑවම දිගට
ලෝකය ලොකු වැඩිය අප වැනි පොඩි අයට
පුංචි ම කුහුඹුවන් පෑගෙයි ලොකු පයට

ගරුතර තේජ ලීලාවෙන් වැඩ හිඳින
ලොරි පෙළ අලස ලීලාවෙන් මග බලන
කොළ, එළවලු පිරී තරවුනු මළු අහින
මේවා නොවෙද මගෙ හිමිදිරි සුබ දසුන

සිනහව නමැති, දුක සඟවන පිට පොත්ත
ගලවා බලන විට ඇතුලින් ඇති පැත්ත
කිසිදා වෙනස් නොවෙනා නොමියෙන ඇත්ත
කාරා ඉවත ලනු බැහැ දිවියේ තිත්ත
                                                                  -මුදිත්-
                                                          2017.07.16

Saturday, January 28, 2017

සරෝජා..

මහ වැසි වැටෙයි නුවරට..
සරෝජා,
නුඹ අවුත් වැස්සක්ව
හෙමිහිට
ඇද වැටෙයි
හිත් පෙති මත...

කඩුපුල් ය, රෑ කුමාරි ය
රැයක පිපි වන මල් ය,
නුවරින් ගව් ගණන් ඈතට
දිව ගිය පළමු වැනි පාඩම...

"වනක්කම් ආසිරියර්"
නන්නාඳුනන අකුරුය..
ඒ වුණත්
උණුහුම් ම වචන ය...

එකෝමත් මහ රෑක
ආනා, ආවන්නා
ඊනා, ඊයන්නා
එකට ලිව් ලොකු අකුරු
හෝඩියම විසුරුවා ගෙන
මහා පිපුරුමෙන් පසු,
යළිත් දළු දැම්මා
විශ්වය..

ඒ වුණත්
ඇස් පොඩි අතර හිස්තැන
සරෝජා,
නුඹේ පොඩි ඇස් දෙක...

කැටයම් කැපුව හැක කඳුලක
ඇවැසි නම් රැකගන්නට
සමරුවක් ලෙස සදහට..
ඒ වුණත් කඳුළු වත් නොහලාම
නුඹ සැඟව ගොස් තිබුණා
තිත්ත ම තිත්ත කළු කුහරෙක...
                                              -මුදිත්-
                                      2017.01.29

Sunday, November 20, 2016

ඔබ ගිය පසු...

පෙරදා සිරිතට ම මළ හිරු බසියි ඔහේ
මතකය අවදිවෙයි - සුපුරුදු හැඟුම් ලිහේ
නුඹගෙන් සොරාගත් සුමධුර ස්වරය මෙහේ
ඇළ, දොළ, මඳ නළක සැන්දෑ කලෙක ඇහේ

                                                                      -මුදිත්-
                                                              2016.11.11

Saturday, March 5, 2016

ෆාතිමා..

සුමුදු වත,
සඳ රැස
විඳින්නට,
රිසි ලෙස..

මෑත් කළ නොහැකිද
ටිකකට,
කවුළුව වසා ඇති
තිරපට...

                    -මුදිත්-
             2016.03.01



Wednesday, January 13, 2016

චිත්‍රාවියකගෙන් හසුනක්...

සැළලිහිණියෙක්, ගිරවෙක්
අඩුම තරමේ කපුටෙක්
සොයාගන්නට නොමැත පෙම්වත
හිත මිතුරු දූතයෙකු ලෙස..
ඉතින් මේ වගතුග
අමුණා එවමි සුළඟක...

කපු තෙම වඩින තුරු
වාසලේ හරි කලබල
මහළු බමුණන් නිබඳ
කියත් කේලම් විස්තර..
අඟුටු වාමන සෙනග
බීඩි දුම් උර උර
සරත් නිරතුරු
එක්ටැම් කුළුණ පාමුල..
විටෙක මුර බල්ලන් ද
හතිලන හඬ ඇසෙයි වටපිට...

ඈත වෑ කන්ද මුල
එදා අප සක්මන් කල තැන..
"සිකියුරිටි" නා රජු ද නිරතුරු
පෙන ගොබ සතම පුප්පයි,
මේ කුටිය අවටින් හමන
සුළඟට පවා සසැලිව..

ඉතින් පෙම් කුමරුවනි
පිපුණු මල් දුටුව පසු,
ඔහොමයි මෙහෙ අලුත් විස්තර...

                                         -මුදිත්-
                                  2016.01.13

Friday, December 11, 2015

ඇත්තටම පව් නැද්ද...??

නිදහසේ සැමරුමට
අහසට විසි කරන්නට
ඇත්තටම පව් නැද්ද,
පරවියකු අල්ලන් සිර කෙරුම...?
අළු පාට අහස දිග
නිල් පාට තවරන..
සුදෝ සුදු තටු අතර
තියෙන්නට පුළුවනි
දහසකුත් මල් හීන...

ඇත්තටම පව් නැද්ද...??

කොයිතරම් ඉඩ තියෙන මුත්
ගාලු මුවදොර අහස යට..
පුලුවන් ද ඇත්තටම
එක මලක් වත් අලවන්න,
හිත කැමති හැටියට...?
දිගට හරහට මල් පිපෙන්නෙත්
කියා දී ඇති හැටියට..
ලියා දී ඇති තැන්වල...

ඇත්තටම පව් නැද්ද...??

ඉස්තරම් සුනුසහල් ඇට ගිලින
තෙල් පිරුණ ගෙල වටා
සිහිනියට පෙඳ වැඩුණ
පරෙවි රැජිණියන් ඇති..
ජීවිතය කියන්නේ ඒකද...?
ඇස් අගින් ඉඟි කරන
නොතේරෙන බහකින් දොඩන
අහස අත වනනු ඇති..
නිදහස ය කියන්නේ ඒකද...?

ඇත්තටම පව් නැද්ද...??

                                         -මුදිත්-
                                  2015.12.11

Saturday, December 5, 2015

කුමට සොයමුද පතිනි අම්මා....

නිමිත්ත:
මැද පෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක, එහි ම සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු හා ඇතිවූ අනියම් සබඳතාවක් හේතුවෙන්, දඬුවම් ලෙස ගල් ගසා මරා දැමීමට නියම වෙයි.

ගිනි දැවෙන කතර පිට පැණි පිරුණු දඬු බෑය
නරුමකම සඟවාන කහවණුම ගෙන පෑය
මරු සිටින දිසාවේ සැඟව හිඳි දර සෑය
කිරිලියන් අපමණක් මරා පළහා කෑය
___________________________________________________

අසන වගතුග රිදුම් සනහන බිඳක් තෙත රැඳි හදවතක් නැති
බිමක කවදා සිනහසෙන්නද විසිර ගිය සඳ සියපතක පෙති
සියල් කෙළෙසුන් නැසූ පොළොවක සියල් සත වෙත මෙත සදන නිති
ඉරෙන් එපිටට පා තැබුණු තැන ඉබේ එසවෙන කැට මුගුරු වෙති

උපන් බිමමය රැඳී උන්නේ නිබඳ හිත යට සරල සුන්දර
රැඳී ඉන්නට වරම් නැතිවුණ අගහිඟ ය ජීවිතයෙ අද්දර
ණයට ගත් අත්තටු විදාගෙන පියාඹා ගොස් බිමෙන් පෙම්බර
කොපමණක් කිරිලියන් උන්නද තුරුළු කරගත් නරුම ගින්දර

සිතේ සිරවුණ නේක අගහිඟ ඇස් අගිස්සෙන් වාං දැම්මා
අතේ ගුලිවුණ කඳුළු අරගෙන නරුම කතරට බාර වෙම්මා
උපන් බිම මත රැඳෙනු බැරි වුණ වරද වහගෙන, වැරෙන් බුම්මා
සැරද මහතුනි තරහ අවසර, කුමට සොයමුද පතිනි අම්මා
                                                                            
                                                                                         -මුදිත්-
                                                                                  2015.12.04

Wednesday, December 2, 2015

කදෝකිමි වත...

වසන්තය ගෙට ආ සඳ
කොවුලෝ එමට ඇත
උද්දාම ගී ගයන්නට...
මධු බඳුන් අපමණ ඇත
සව්දිය පුරන්නට..
මඳක් හිස ඇලකර...

වසන්තය ගෙට ගන්නට
දහදිය හෙලූ, තැන තැන
ලේ කඳුළු වැපිරූ, බිම මත..
කදෝකිමියන් වෙති එක දෙක
එ'සියල්ලට ම ඉඩ දී
රහසේ අඳුරේ ම දියවෙන....

                                 -මුදිත්-
                          2015.11.23

Friday, November 6, 2015

අපි බඳිමූ...!!!

ටික ටික වඩිනකොට වයසත් බරසාර
දෙන්නම වෙලා බෑ ලෝකෙට ණයකාර
අතමිට හොයන් බඳිනා කොට කරකාර
ගෙවිලා වයස අපි දෙන්නගෙ හැඩකාර

යන්තම් සිනා නුඹෙ මූණට කුමක් වැනී
රන්දම් වැලට මුතු ඇට ඇමිණුවා වැනී
මොකටද සැලුන් අක්කල ලඟ දණින් වැටී
ඔය ලස්සන වටී මට මහ මෙරක් වටී

මල් බොකෙ මොටද මිදුලෙම පිපිලා රෝස
තව තරු මල් තියේ යහනේ ආකාස
පළඳාගෙන හිතේ පෙම්බර මදහාස
තව පහු නොකර අපි කියමුද මේ රහස

හැරිලා බැලුවාම පහුවුණු හැමදාම
එක එක හැඩෙන් ලස්සන දවසක් නේද..?
පැටියෝ ටිකක් නැවතී හිතුවම මේම
නැකතක් කියා මොකවත් තව ඕනෑද..?

සාරිය හදා දෙයි අහසේ සේද වළා
මුදුවක් තනමු තරුවක කැටයමක් කපා
පලවැල තියේ නටු අග මුදු සිනා පපා
මීවිත පිරේ මල් කෙමිවල දෝරෙ ගලා

කවුරුත් නෑසියන්මයි බැලුවාම සොයා
ලඟ උන්නා හුඟක් හිත් අපි අතැර නොයා
කෙනෙකුට දෙන්නෙකුට මොකටද මගුල් කියා
ලොවටම කියමු සුළඟේ පණිවුඩය ලියා

"සෙට්බැක්" මොටද සඳ පලුවේ වාඩි වෙමූ
"ලයිටිං" ඉස්තරම් සඳ මඬලෙන් ඉහුනූ
තව මල් කම් මොටද රැය යට මල් පිපුනූ
"තැන්ක්‍ යූ කාඩ්" සුළඟේ පා කර යවමූ

                                                   -මුදිත්-
                                            2015.11.07