එක එක හැඩෙන් කියවන්න
Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Thursday, December 5, 2024

එකම මන්දාකිණියක, වෙන වෙනම තරු දෙකක...

 "එකම මන්දාකිණියක
වෙන වෙනම තරු දෙකක.."
මතක හැටියට නම්
එහෙමයි උන්නෙ නුඹ - මං..

වැඩිපුර කතා බස්..
ඒ වුණත් හදවතින් දෙඩුවේ
වචන අතරේ - හිස්තැන්..

සඳට නතු වුන රැයක,
තරු..! 
සඳට අවනත නැති තැන්..
රැය - අහස - සඳ - තරු
නිහඬවම හිඳිමින්
නිතර ඇවිලෙන උන්...

ඇත්තටම අපි..!
පෙම් කලාවද රහසින්....?

තරු අතර ඉතිරි ඉඩ බෙදාගෙන විඳිමූ
තුරු අගිසි මල් දරයි, බලාගෙන ඉඳිමූ
කරුවලත් රළු නොවෙයි සඳ රැසක් අඳිමූ
කඳු අතර හිස්තැනක, බදාගෙන ඉඹිමූ

-මුදිත්-
22.10.2024





Wednesday, September 18, 2024

පාවෙලා යන එකද සංසාරෙ...?

බඩ ඉරිඟු දැලි රැවුලු
හේබෑ ව  කලු ගැහුනු
පඬු පාට ගිනි කාෂ්ඨක යායෙ,
දූලි සුවඳක එතී
නාටු හුළඟක් දිගේ 
ඒ වුනත්, වැහි වළාවක් වගෙයි
නුඹ ආවෙ..

ඇත්තමයි! ඒ තමයි,
ඉවුරු දෑලේ එතී
හුරතලේ ගලන්නට
මහ ඇළට දිය පොදක් නැති කාලෙ...

ජීවිතේ මුඩු වුනත්
ආදරේ එහෙමයැ,
වෙන් කරපු එක ම එක
සෘතුවක් තිබුණියැ,
පපු පොතේ ලා රැක්ක
ඉරිඟු බිත්තර මිටත්
ඒ නිසයි උගුල්ලා බිම ලෑවෙ...

වළාකුළු පාවුනා
ඉරිඟු ඇට බොල් වුණා,
ආදරෙත් හරියටම ඒ වාගෙ...

වැහි වහින ඉසව්වල
නන් පාට මල් පිපෙන
කතාවක මුණ ගැහෙන තුරු ආයෙ,
එකම අතකට ගලන
තඹ පාට හුළඟක් ව 
පාවෙලා යන එකද සංසාරෙ...?

-මුදිත්-
01.09.2024

Image source: Internet



Monday, May 3, 2021

රිය කවුළුවට එපිටින්...

මන්දාරමක අවා'ඳුරු
පැල්ලම් ඇඳෙයි
කවුළුව මත,
වැහි බිඳුවක් ගැටී
වේගයෙන් යයි
මා පසුකර...

මොටෝ රිය පහනක
එළිය දියැවෙයි
වැහි බිඳුවක,
දැල්වී - නිවී, යළි දැල්වෙන
කදෝකිමි එළියකි
මා ඇස තුළ...

නතර වනු බැරි බව
කනට කොඳුරා කියා
ඉගිල්ලී යයි කාලය,
නුඹ පෙනී- නොපෙනී
යළිත්, යළි යළිත් යයි
රිය කවුළුවෙන් මා පසුකර...

-මුදිත්-
2021.05.03


Image by Mudith Vidanagamage

Sunday, April 4, 2021

තිගැස්සුම් -සසැලුම් -ඉහිලුම්...

සියක් වසකට එපිට
මියගිය
තරුවක මළානික එළිය පොද
මංමුලා වැලකි
රැය'ඳුර මත...

තිගැස්සුම්
කදෝකිමි එළියකි
ලොවට මා පෙන්වන,
අඳුරු සෙවනැලි'තර
සැඟවුණ...

සඳ,
ඉතින් ඔබ
සීරුවට නිදන්නේ කෙලෙසද
මෙතරම් ම සසැලෙන
වැව් දිය මත...


-මුදිත්-
03.04.2021


සිතුවම අන්තර්ජාලයෙනි.

Sunday, February 7, 2021

සඳ නිවී ගිය රැයක...

ගිනි දැවී අවරගිර
ශේෂ කල භෂ්ම පොදියකි,
ගණඳුර..
පියමැන ගෙවා යා යුතු
සංසාරයකි රැය,
ඇස ලඟ...

ඔබ අතින් ගෙන දැල්වූ
තාරකා ඇස් පවා 
නිවී යන..
සිත පුරා හළාහල  විෂ ය,
මතකයක ඉහිරුණ
සඳ දිය...

චන්ද්‍ර බිම්බය මැකී ගියමුත්
අහසින් ඇස් මුදන්නට
බැරි කම,
සඳට නොව අහසටම
පෙම් කල හදවතිනි
වැළපුම...

-මුදිත්-
2021.02.05



 

Friday, January 8, 2021

සුබ පැතුම් පත් කුමට...?

අත හැරෙන බව ලියා දැනුම් දී කල් ඇතිව
වැහි කඳුළු බර පවා අහසකට හුරු කෙරුව
හිම මිදුණ දුරුත්තක ශීතලෙන් ඇණ ගැසුව
හද ගැහුණ එක පවා පුදුමයකි ඔබ නැතිව

කාලයට තටු ලැබී හෘද තානය බින්ද
තාලයට ඉගිලුනේ කොතැන වුණ වරදින්ද?
ඔය ළයට හිස තියා සිතින් සිය වර වින්ද
ආලයට කල් පිරිනි නිහඬවම ඉකිබින්ද

තාරකා ඇස් අගින් රාත්‍රිය උරාගෙන
පායනා සඳ ඔබෙයි, අමාවක ඉරාගෙන
පීදෙනා සියපතක වේදනා දරාගෙන
ගීතිකාවක් නැගෙයි බෝ පෙරුම් පුරාගෙන

තැනි බිමට කඳුළු දෙන අඩ සඳට ඉඩ දෙන්න
පිනි ඉහුනු පෙති පවා සසැලුනි ද දුක දන්න
තුති පිදුම් සන්ධ්‍යාව මට එපා, නුඹ ගන්න
ඉතිරි වුණු මතකය ම මට ඇති ය නවතින්න

සියුම් රිදුමක් ඇතත් හදෙහි ගැඹුරුම තැනක
හැඬුම් දහසක් හඬා කඳුළු තවරා කුමට
කැලුම් දෙන සිනහවක් පැලඳ ගෙන එනු මිසක
රිදුම් පිරි සුබපැතුම් ලියා නොගෙනෙමි නුඹට

කරුවලෙක සඳ මඬල තුරුළු කරගමි ඇසින්
හුරු තැනක නතර වෙමි මතක අහුලන රිසින්
තරු ලකුණ රැය අහස මත තවම ඇති හෙයින්
තුරු හිසක මල් පිපෙයි හෙට පවා අප නමින්


-මුදිත්-
2021.01.02






Saturday, April 18, 2020

දෛව

"ඔයා දෛවය විශ්වාස කරනවද?"
"උඹ දෙවියො විශ්වාස කරනවද?"

  බොහෝ පිළිතුරු කෙළවර වූයේ හිස්තැනකිනි. හිස්තැනෙහි කෙළවර සීමා වූයේ ප්‍රශ්නාර්ථමය බැලුම් වලිනි. එසේම, ඒ සියලු හිස්තැන් ද, ප්‍රශ්නාර්ථද මඳක් හෝ දෙවියන්ට බරව ම පැවතුනි. ඉදින්, මේ සටහන කියවන්නෝද පිළිතුරු දුන් නොදුන් නුඹලාම හෙයින් සටහන මෙසේ අරඹමි.

  දෛවය අපව කොනහන්නට තෝරා ගත්තේ වෙනම ම ආකාරයකි. ඈ නමින් උත්තරා විය. (ඈ උත්තරා වූ හැම විටම මම නිරුත්තර වූයෙමි. ඔව්,)මම නමින් නිරුත්තර වූයෙමි. තරුවකින්, ඈත ග්‍රහලොවකින් ඉහිරෙන එළිය පොද වුව ඉරණම් තීරණය කරන්නට වරම් ලද කොදෙව්වක, ආශ්වාස ප්‍රාශ්වාස වා රැල්ලක් හෝ බෙදා ගත නොහෙනැයි සිතිය හැකි තරම් දුර වූ දෙතැනක ඉපිද, ඈ නමින් උත්තරා විය, මා නමින් නිරුත්තර විය.

  එදා වැස්සේ පුදුම වරුසාවෙකි. සෘතුවක විළි බර, තඩි වෙරළු ගෙඩි තරම් වැහි වතුර ගුලි ලෙස, අතොරක් නැතිව ඇද වැටුනේය. උඩු වියන කිටි කිටියේ තොල් විකා ගෙන පළමු අඩ හෝරාව අල්ලාගෙනම උන්නේය. එහෙත් ඒ වැහි වතුර; දහසකුත් පපු කුහර තුල දැවී ගිය සිතුවිලි වලින් නික්මුණු සුසුම් දියවී ගොස් විස ව ගිය වැහි වතුර, සාන්ද්‍ර අම්ලයකට වඩා උකු විය, රුදුරු විය. හෝරාවක් නිමා වෙද්දී නිවර්තන පත්‍ර අඹරාව, කෙසඟ, පත්-නහරමය දැලක් පමණක්ම විය. ඉන් පසුව වැහි වතුර හෝස් ගා ගෙන පොළෝ තල මත්තෙහි හපා කන්නට විය. එකා මත එකා ඇද හැලුනු ඒ විසල් වැහි බිඳු එකිනෙකා පරයා, පොලෝ මත්තෙහි ඇදී ගිය දිගු ගමන් සියල්ල ම කෙළවර වූයේ එකම එක් මහ විසල් සමුදුරකිනි. එකී සමුදුර කරා වැහි දිය රැගෙන ආ විසල් දිය සීරාවෝ කා අතින් හෝ ගංගා නමින් නම් ලබා තුබුණෝය. වැහි දියෙහි දියව ගිය සුවහසක් සිහින බිජු කඩිමුඩියේ ප්‍රරෝහණය වන්නට පටන් ගෙන තිබුණේ වැහි දිය, ගංගා වන්නටත් පෙරාතුවදී මය. දිය කඩිති හා ගංගා තුළ රහසේම තැනුනු ගර්භාශ තුළ මේ ප්‍රරෝහණ කර්තව්‍යය ලොවට රහසේ සිදුවෙමින් පැවතින. කරුණු කාරණා එතරම්ම රහසේ සිදු වුවද කොහේ හෝ තැනෙකින් කාන්දු වූ "ඔත්තුවක්", දිය සීරා ඔස්සේම පාව ගොස් "හරි තැනට" ලඟා වී තිබුණෙන්, සිහින පසු හඹමින් දිය සීරා ඔස්සේ ඇදෙනා කඩදාසි ඔරු තිහ හතලිහක් ඒ වන විටත් දක්නට ලැබුණි. ඔරු කඳන් මත තද කලු අකුරින් මුද්‍රිත පුවත් කතුවැකි, තීරු ලිපි මෙන්ම අතරින් පතර වූ සෙනෙහෙ කොළ මත වූ පෙම් වදන් ද කියවමින් ඇතැම්හු මේ දසුන විඳිමින් හුන්නෝය. කෙසේ හෝ කරුණු කාරණා මෙසේ පෙළ ගැසෙමින් ඒ ඓතිහාසික "සිහින දඩයම" එසේ ඇරඹී තිබිණි.

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

   මම පුරා පෑ දොළහක තරම් වූ දිගු රාත්‍රී නින්ද බිඳ ඇහැරුනෙමි. වෙලාව උදෑසන දහයයි කාලට මදක් වැඩියෙනි. කවුළුවට එපිටින් තොරතෝංචියක් නැති වරුසාවය. මම පසුගිය රැයේ වර්ෂාව ඇරඹුණු මොහොතක් සොයා මතකය  වෙහෙසුවෙමි. නැත, ඒ වගක් ලියැවුණු මතකයක සේයාවකුදු නැත. "එහෙනං රෑ මැද්දෑවෙ වෙන්නැති" මම මට ම කියා ගතිමි. මේ වහින්නේ හය මසක් පුරා මගහැරී තිබූ වර්ෂාවයි. තෙමෙන්නට බලා හුන් සිහිනමය වර්ෂාවයි. ඇරැඹෙන මොහොත තෙක් ඇඟිලි ගනිමින් බලා හුන් වර්ෂාවයි. ඇත්තෙන්ම, වරුසාවකට එතරම් ම රුදුරුව පිටුපා හිඳින්නට පුළුවනිද. මම වහා එළියට පැන්නෙමි. අහා.. වැහි බිඳු ගත තෙමා හරිනා පහස.. මම වර්ෂාවට ඉඩහැර දෑස පියාගත්තෙමි.

   මා දෑස හැරියේ සියුම් යමක් පයෙහි ගැටීමෙනි. "කඩදාසි ඔරුවක්..!!!" එය ඉතා සියුම් රේඛා ඔස්සේ නමා සකසා තිබූ හුරුබුහුටි කඩදාසි ඔරුවකි. එය මා පයේ හැපෙමින්, දිය පහර මත ලෙලැවෙමින් උන්නේ ලලනා ලාලිත්‍යකිනි. එතැන් හිඳ මගේ විඥානය තුළ එය, "ඈ" ලෙස ලැගුම් ගත්තේය. එය තර්කමය ප්‍රශ්නාර්ථයන් නැතිවම කාන්තා ඔරුවක් වූයේ එලෙසය. අන් සියලු කරදහි ඔරු පරිද්දෙන් ම ඈ ද මේ සිහිනමය වැස්සේ කලඑළි බැස තිබුණාය. පොතේ හැටියට නම්, ඒ සිහින දඩයමට ය. එහෙත් ඈ මැවූ ලාලිත්‍යයත්, ඈ මැවූ චමත්කාරයත් ඒ ක්ෂණික විචිකිච්ඡාව මා කෙරෙන් පළවා හැරියා ය. මම පහත් වී, ඈ මා සුරත මතට ගත්තෙමි. එකෙනෙහි ඈ තුනී බඳ මත වූ මුද්‍රිත, කුඩා, තද කලු අකුරු අතරින් කෝළ "පදුකෝනියානු" මදහසක් පැළැඳ ගත්තී, වර්ෂාවෙන් තෙමී ගිය ගහකොළ අතරින් නැගී ආ සිහිනමය සුසුවඳ දෙතුන් ගුණිතව මා වෙලා නැගෙන්නට විය. කෙමෙන් ඈ මදහස අඩක් පියැවෙමින් ගිය මා දෙනෙත් අතරින් රිංගා ළමැද්දට ගලා යන්නට විය. ඊළඟ තත්පරය මා උන්නේ කඩදාසි ඔරුව තුළ එරමිණියා ගොතාගෙන ය. කුඩා ඔරු පතුල පුරා පසුගිය ශරත් සෘතුව පුරා ගසින් ගස- අතින් අත ගිලිහුණු පඬු පෑ පත්‍ර විසිරී තිබුණේය. ඒ සෑම පත්‍රයකම පාහේ සියුම් නිය තුඩකින් කැටයම් කළ කවියක් බැගින් වූ කවි දුසිම් දෙක තුනක් ඔරු පත්ලේ වැතිර උන්නෝය. මම පත්‍රයක් අතට ගතිමි. කිසියම් නොතේරුණු බසකින් ලියා තිබුණද ඒ කවියක් ම බව මා හදවතේ ගැඹුරුම තැනෙකින් ආ දෝංකාරයකින් සටහන් විය. මම පත්‍රය තිබූ තැනින් යළි තබන්නට සැරසුනෙමි. පත්‍ර පලසට යටින් එතැන වැතිරී උන්නේ පසුගිය වසන්‍තයට උරුමකම් කියන්නා වූ අවපැහැව ගිය මලක් හා ඒ වටා වැතිරී උන් මල් පෙති හත අටකි. මම පත්‍ර පලස අතින් එහෙ මෙහෙ කළෙමි. "මල්..!" ඒ යට වැතිර උන්නේ පෙර වැනිම මල් සමූහයකි. මම ඒ සියලු දෙය උන් තැන්වලම තබා වට පිට බැලුවෙමි. ඇද හැලුණු වර්ෂාව තුනී වී ගියද ඒ පරිච්ඡේදය නිමා නොකරනු වස් සිහින් වැහි පොද සේලයක් තවදුරටත් ඇදහැලෙමින් පැවතින.

   කුඩා කඩදහි ඔරුව, ගල් බොරළු කැට අතරින් සීරුවට වංගු ගනිමින් ඉදිරියට ඇදී ගියේය. අතරින් පතර කුඩා ගප්පි පැටවුන් සේලමය වරල් සලමින් නැංවූ රළ ගෙඩි විසින් කුඩා ඔරුව ඔසවා අතහැරියේය. එහෙත් පුංචි තණකොළ මල් රෙහෙණු ඉහිරුනු කුඩා දිය සීරා මත විචිත්‍රය මවමින් ඔරු පොඩිත්ත ලාලිත්‍යමය ගමනෙහි ම යෙදුනේය. කාලය පුරුදු රිද්මයට ම ගලා යන්නේ එක් මොහොතක ඔරුව තණ පිඩැලි ඇල්ලූ බිම් කට්ටියකින් සීමා වූ කුඩා දොළ පහරකට හැරී ගමන් කරන්නට විය. දොළ පහර දෙපැත්තේ, විසල් වැහි වතුර බිඳු දෙවුරෙහි හොවාගත් තුරුණු තණ පඳුරු මා දෙසට හිස් නමාගත් ඉරියව්වෙන් ම උන්නෝය. ක්‍රමයෙන් වැහි අඳුර, සැඳෑ බිම් කරුවල බවට වෙස් මාරු කරගනිමින් මුළු ලොවම තිත්ත කරුවල ලාටුවක ගිල්වා දැම්මේය. එනමුදු ඔරුව තවදුරටත් නිසල ගමනෙහි ම යෙදී උන්නාය. කලුව අතරින් කිසියම් ම හෝ ඡායාවක් දෘශ්‍යමාන වන මොහොත වන විට අලුයම හතර ආසන්න වන්නට ඇත. කෙමෙන් ඒ නව උදෑසන දිගහැරෙමින් තිබුණේ ඇසට ආගන්තුක වටපිටාවක හැඩතල මතුකරමින්‍ ය. පළමු හිරු දළුව ම කුඩා ඔරු බඳ මත පතිත වූයේ පෙරදින ඔරු පතුල මත නුවූ මකරන්ද පිරි මල් කෙමි දුසිමක් පමණ පෙන්වමිනි. එලෙස මා ලද එකම, ඉමිහිරිත ම ආහාරය මට හමුවීය. මද්දහන පසුවන තුරුම ඔරුව ගමනෙහි යෙදී, කෙමෙන් වේගය අඩුව ගොස් නෙළුම් පත්‍රයක මායිමේ තැවරී නතරවිණ. ඉන් පසු එළැඹි ඒ මොහොත සිත්තමක් මෙන් මා මතකයෙහි කිඳා බැසගත්තේය. නෙළුමක් මැදින් මතුවී නෙළුම් පෙත්තක් දිගේ ලතාවට ඇවිද ආවේ අපූරු යෞවනියකි. සුකුමාලියකි. මුදා හැරි මුහුලස ලතාවට ලෙලැවෙද්දී ඈ මවෙතට ඇවිද ආවාය. පෙර හමුනොවූ ආගන්තුක මුහුණක් වුවද අතිශය හුරු පුරුදු හැ‍ඟුමක රශ්මියක් ඈ වටා නැගෙන්නාක් මෙන් මට දැනින. ඈ මා වෙත පැමිණ මදහසක් පෑවාය. "පදුකෝනියානු මදහස..!!!" මේ අර ඔරු පොඩිත්‍ත මා වෙත පෑ සිනහව ම නොවේද..? මා ඒ සිතුවිල්ලෙහි ම ගිලී හිඳිද්දී නිද්‍රා සුරතකින් මා අතක් ගෙන, කොහි හෝ ඈ මා කැන්දාගෙන ගියාය. එය එක් නෙළුම් පතකින් වියන් බැඳි තවත් නෙළුම් පත් වේදිකාවක් විය. ඒ මත තැබූ කුඩා තිරිවානා ගල් කැටයක් මත ඈ මා හිඳුවා, මට කෙලින් ම මුහුණ ලා තැබූ තවත් එවැනිම ගල් කැටයක් මත ඇයද හිඳගත්තාය.

"ඔයා..? ඔයා කවුද?' ඈ සංවාදය ඇරැඹුවාය.

ඇත්තටම මම කවුද? මම සිතුවෙමි. කඩදාසි ඔරුවක නැගලා මේ තරම් දුරක් පාවෙලා ආපු මිනිහෙක්?
"මම" අවසානයේ මම එලෙස පිළිතුරු බැන්දෙමි.

ඇය: ඊට වඩා පැහැදිලි හඳුන්වා දීමක් නැද්ද?"

මම: තමන් තමන් ම බව කියන්න ඊටත් වඩා පැහැදිලි විදියක් තියෙන්න පුලුවන්ද?

ඇය: සමාවෙන්න "මම" ඒත් මෙතන ප්‍රශ්න අහන්න නියමිත මට.

මම: කඩදාසි ඔරුවක නැගලා නොදන්න පළාතකට ආපු මිනිහෙකුටත් අහන්න දාහක් ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ඇය: හ්ම්.. ඒත් ඒකෙම අනිත් පැත්ත, කඩදාසි ඔරුවක නැගලා නොදන්න පළාතකට පාවෙලා ආපු
මිනිහෙක්ගෙන් අහන්නත් දාහක් දේවල් තියෙන්න පුළුවන්.

මම: හොඳයි, අහන්න..

ඇය: ඒ කඩදාසි ඔරු බඳේ තිබුණු ටික කියෙව්වද?

මම: නැහැ. බැරිවුණා.

ඇය: ආහ්.. එහෙමද?

මම නිහඬව හිඳිමි.

ඇය: ඔබ තමයි "සිහින රැස්කරන්නා". එහෙම නේද?

මම තවදුරටත් නිහඬවම හිඳිමි.

ඇය: මොකද කථා නැත්තෙ, ම්ම්..? (පදුකෝන්මය සිනහව කාජල්මය දෑසක්ව දොඩමළු වෙයි.)

මම: හොඳයි, එහෙම කියමු. ඊළඟට..?

ඇය: ඔයා සෙල්ලමට එන විදියට මං ආසයි වගේ. ම්ම්.. කෙලින් කථා කරමු, ඇයි සිහින රැස් කරන්නෙ?

මම: හීන කියන්නෙ නන්නත්තාරෙ යන්න ඕන දේවල් නෙමෙයි.

ඇය: ඒ වුණත් හීන නිසා මිනිස්සු නන්නත්තාරෙ යනවා.

මම: නැහැ, ඒක වැරදියි. ඒක ඔයාම හදලා එළියට දාපු අදහසක්. හීන නිසා මිනිස්සු ජීවත් වෙනවා.

ඇය: නැහැ, හීන නිසා මිනිස්සු අමාරුවෙ වැටෙනවා. බලන්න ඔබ දිහා.

මම: නැහැ, ඒක වෙනස්. හීනයක් වෙන්න පුළුවන්. ඒත් මම ආවෙ ඒ කඩදාසි ඔරුව නිසා මට දැනුනු හැඟීම නිසා. මම ඒ හැඟීමට බැඳුණා.

ඇය: ඔරුවකට..?

මම: ඒක නිකම්ම ඔරුවක් නෙමෙයි. ඔයා ඒක දන්නවා ඔයා ඒකට කාවද්දලා තිබුනෙ ඔයාව. මං ඒ ඔරුවෙන් දැක්කෙ ඔයාව. මම බැඳිලා තියෙන්නෙ ඔයාට.

ඇය නිහඬ මලානික බැල්මකින් බලා උන්නාය.
මේක වෙන්න තිබුණෙ ම මෙහෙම වෙන්න ඇති.

මම: එහෙමත් දේවල් වෙනවද?

ඇය: මේ වෙලා තියෙන්නෙ.

මම: මම සැරයක් කිව්වෙ, මට දැනුනු හැඟීම නිසා. ඒක ආදරේ වෙන්න ඇති. මං හිතනවා එහෙම. ඒත් ඔයා ඒක පාවිච්චි කලා මාව මෙතෙන්ට ගෙන්න ගන්න. මාත්, මේ හැම තැනකම ඉහිරිලා පැතිරිලා දළු දාන්න නියමිත හීන සේරමත් විනාශ කරලා දාන්න. එහෙම නේද?

ඇය: (මලානිකව) ඔබට ප්‍රශ්න අහන්න බැහැ.

මම: ඔයාට මම කිව්ව දේ ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.

ඇය: ඔයා ඇත්තටම ඒ කඩදහිය කියෙව්වෙ නැද්ද?

මම: (සිනාසෙමින්) නැහැ. ඇයි ඔයාගෙ සැලසුමට අව්ලක්ද..

ඇය: ඇත්තටම ඔයා මේ දකින දේ මගේ සැලසුමක් නෙමෙයි. මාත් මේකෙ එක පුංචි කෑල්ලක් විතරයි. ඇත්තටම මගේ සැලසුමේ තිබුන එකම දේ, ඔයා ඒ කඩදහිය කියවාවි කියන බලාපොරොත්තුව විතරයි.

මම: මොකද්ද ඔයාගෙ ඒ මහ ලොකු සැලසුමේ තිබ්බෙ?

ඇය: තාමත් ඔයාට ප්‍රශ්න අහන්න බෑ. ඒත් දැන් මට කෝකත් එකයි.

මම: ඉතිං?

ඇය: මේ හැම දේකටම හොරෙන්, පිටින් මම ඒක ලිව්වෙ ඔයාට කියවගන්න. ඒකෙ ලියලා තිබ්බෙ "මේ බෝට්ටුවට නගින්න එපා!" කියලා. මුලු කොළයක් පිරෙන්නම මං ලිව්වෙ ඒක. ඔයා පිලිගන්නවද එහෙම දෙයක් ඇතුලෙත් තියෙන්නෙ ආදරේ කියන එක?

මම: ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

-නිමි-

-මුදිත්-
2019.11.12

Tuesday, February 25, 2020

කොහොමද...?

සරා මල් පාර දිග
පෙරාගෙන ආ මතක රැස,
දරා රළු ළ'මැද්දක
සිනහසෙන ඇසක අග මදහස,
ඉතා දිගු හෝරාවල
ඉපදුණු පිපුණු හිතවත්කම,
ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

ජීවිත බැඳුම් නටුවෙන්
මිදී වියැලුණු තුරුපත
නිදැල්ලේ රැගෙන ගිය
නුඹ ම විනි නම් ශරත් සුළඟද
ඉතින් නුඹ ගිය පසුව,
අලුත් සළු පිළි පැලැඳ
හෙටත් සරසවි බිමට - වසන්තය වඩින බව
ඉඳුරාම කියන්නේ කොහොමද...?

මේ වලා වියන යට
මැයි මාර, රොබරෝසියා මල්
හෙටත් මේ හැඩයෙන් ම
පිපෙතැයි කියන්නේ කොහොමද...?
හන්තාන, මල් පාර
මහවැලිය ගං දෑල
හෙටත් අද වාගේම
හිඳිතැයි කියන්නේ කොහොමද...?

ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

-මුදිත්-
25.02.2020


Wednesday, October 2, 2019

මේ තමයි මං දන්න ප්‍රේමය...

තෙහෙට්ටුව මුදා හැර
ඉඩ දෙන්න ඔය මුහුලට,
පැටැලෙන්න මේ හුළඟට..
වූලකට අවනතව
ඉන්න ඇහැකිද දවසම..?

අරන් ආ හැම බර ම
තියා මොහොතකට බිම,
දෑත් විහිදන්න අහසට..
ඇස් පියා මොහොතකට
එන්න, විඳගමු මේ සැහැල්ලුව...

දෑත දෑතින් අරන්
කැරකෙමුද රවුමක්
එකතැන තියා ලෝකය..?
මේ නිසල වෙරළ ම
ලෝකයක් වෙයි එතකොට...

ඔය දෙපා පොඩි තියා
ඇවිදින්න මේ රළ මත,
අඳුරුතම සි‍ඳු පතුළ- මවන සුදු මුදු මදහස..
දන්නවද මේ සිනහ පෙණ පිඬ
ඇත්තට ම, ඒ තමයි ප්‍රේමය...

-මුදිත්-
2019.10.02


Monday, March 11, 2019

ඇස හැරිය තුරුපත..

නිමිත්ත: පොතක පිටුවක් අතර හිඳ, අහඹුවෙන් බිම පතිත මතක තුරුපත...

නිදා හුන් නින්ද බිඳ ඇහැරුනිද එක් වර
සුධාවල පොත් පිටුව කඳුලකින් තෙත් කර
මුදාහල හැම සුසුම යලි එකට එක් කළ
විඩාපත් තුරු පතකි මතකයෙහි වක්කඩ
_________________________________________________

ගිමන් හරින පඬුවන් සළුවෙන් බන්දා
නිධන් වලාකුළු පොකුරෙන් පොදි බැන්දා
එ'රන් අහස කළුවෙන් වැළලුනු හන්දා
පතන් බිමට කඳුලක් වැටුනිද මන්දා

මුදුන් කර බැන්ද තුරු වියනක මුහුල
සුළං පහර වැද ගිලිහුණ පත් යුවල
නිදන් කර මතක පොත පිටු'තර නිසල
සුපෙම් පහුර ඇදුනි ය අතහැර හබල

සැනසුම් සිතින් දිගු දුර විත් මල කැටුව
සුවඳක්, රොනක් නොවිඳ ම සුළඟට පිදුව
කැටයම් කළ සඳුන් දර සෑයක, තැනුව
ඉවසුම් සුසුම් මැද නින්දක මල් නටුව

එකිනෙක බැඳෙන තුරු දෙතැනක පෙරුම් පිරූ
අතැඟිලි තුඩක් කොඳුරයි, සිහිනයක් දුටූ
මළ තුරු පතක් මතකය අවුළුවන'යුරූ
තවමත් සිඹිමි ඒ සෙනෙහස් නටුවෙ කටූ

බලන්, නෙත'ග අවසඟ හසරැල් ලකුණූ
අසන්, ලයක ගිගිරුම් නගනා අකුණූ
නොකල් වද  නමුදු එක දෙක මල් පිපුණූ
විලේ, හෙටත් මා නැතිවද මල් දරණූ

-මුදිත්-
2019.03.09


Saturday, January 12, 2019

මුණගැහෙමු?

ඉතින් හැම දේම ඉවරයි තමයි. ඒ වුණත් හිතවත්කම අරන් හෙටත් අපි මුණගැහෙමු? බැරි  කමක් නැහැ නේද?
                                                                                                       
                                                                                                         -කෙටි පණිවුඩයකින්-

අවාලූ රැය අඳුර සුපෙම් කැටයම් නෙළුව
චන්ද්‍ර බිම්බය දිලුනු ආකාස වැලි මළුව
හැකිලි හැකිලී ගොසින් සුපෙම්බර සඳ පළුව
පුංචි තරුවක් ලෙසින් මකන්නද රැය කළුව

පය තියා ගනු බැරිව හුරු පුරුදු සක්මනට
මුණ ගැසෙන්නේ කොහොම ඔය තරම් ඉක්මණට
නෙත් දෙකෙන් පෙළන්නද හදවතක තත්, බරට
පළන්දා තව කුමට පිනි කඳුළු ඇස් අගට

දෙපා යට ගලා යයි මහවැලිය - කඳුළු ගඟ
තිරිකුණාමල වෙරළ මත හැපෙයි විරහ රළ
ඇසෙන් ගිලිහී වැටුණ'යින් සොඳුර, කඳුළු බිඳ
නැගෙනහිර වෙරළ'ගින් ඇසෙයි ඉකි බිඳුම් හඬ

රළ නැගෙන රළ බිඳෙන තැන මඳක් නවතින්න
නිල නිලන රළ අතර සිහිනයෙන් කිමිදෙන්න
හිත පෙළන මතකයෙන් හැකි වෙතොත් වෙන්වෙන්න
මල් පිපෙන තැන හෙටත් මුණ ගැසෙමු - සමුගන්න

-මුදිත්-
2019.01.12


Saturday, April 22, 2017

මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන...

ඇහැරියෙ නැති වුණත් කඩුපුල් මල් යාන
අසිරියෙ නැහැ නොවෙද අඩුවක් රැය ගේන
සිසිරයෙ මීවිතක් මෙන් හිත පිරිමදින
මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන

                                                   -මුදිත්-
                                           2017.08.04

ප්‍රේමය දිය දහරක් ව පැවතින...

මලින් මල් ගැවසී ගිය
අතින් අත් පැටලී ගිය
හරිත උද්‍යානයේ ඉපැදී,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

උඩු ගං බලා පිහිනා ගිය
මත්ස්‍ය, දියකා පිරිවර ද..
ඔහේ පහලට ගලා ගිය
වියැළිව හැලුණු තුරුපත් ද, මල් පෙති ද..
මුහුලසෙහි ගවසාගෙන,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොදන්වා සපැමිණි ග්‍රීස්මෙක
"නවතිනු" යි කී විට ඉඩෝරය
ඔච්චමට සිනා සී
නොනැවතී ගලා ගිය,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොනැවතී සිඳු තෙක් පැමිණ
සිනහ සී අතිනත් බැඳි දාක
කරදියෙහි ගිලී
මිය යන තුරු ම
ඔව්..!
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

                                            -මුදිත්-
                                     2017.04.08

Sunday, February 12, 2017

ඒ තමයි මගෙ සෙනෙහස...

නුඹ සඳ ව
ගලා එයි පාතට,
තෙම තෙමා තනි යහනත..
දෝතට ගනිමි සඳ වතුර
දැන දැන ම
හලාහල විෂ බව...

සඳ එළිය
කොපුළතෙහි තවරන
හැම හාදුවම කෙළවර..
කඳුළකි,
ඇහි පියන'තර සිරවෙන..
ගලා එන්නට නියමිත...

ඒ තමයි මගෙ සෙනෙහස...
                                                -මුදිත්-
                                        2017.02.12

Monday, July 11, 2016

දස්කොන්...

තරු අගිසි වසාගෙන
උතුරා හැලෙනකොට
සඳදිය,
සිරි යහන පුරාවට
සෙවනැළි මවයි
සකි නුඹ..
ඇත්තමයි
නුරාවෙක නම් නොවෙයි හදවත...

සැලෙයි තිරපට
සුළඟට,
නිවී ගිය පසු- පහන් සිළ
අඳුර දැවටෙයි සියොලඟ..
මුදු හාදුවකි කොපුලත
නුඹේ උණුසුම මා ලඟ...

තිගැස්සී ඇහැරෙමි..!!
අසිපත් ගැටෙන හඬකට,
සිහිනයෙන්- රෑ මැදියම..
සවන් පත් වෙහෙසමි,
විමසමි..
මිමිණේද නුඹ නම
සුළඟකින් හෝ හෙමිහිට...

                                  -මුදිත්-
                         2016.06.29

Anna Razumovskaya Praying For Love Painting


Saturday, March 5, 2016

ෆාතිමා..

සුමුදු වත,
සඳ රැස
විඳින්නට,
රිසි ලෙස..

මෑත් කළ නොහැකිද
ටිකකට,
කවුළුව වසා ඇති
තිරපට...

                    -මුදිත්-
             2016.03.01



Friday, November 6, 2015

අපි බඳිමූ...!!!

ටික ටික වඩිනකොට වයසත් බරසාර
දෙන්නම වෙලා බෑ ලෝකෙට ණයකාර
අතමිට හොයන් බඳිනා කොට කරකාර
ගෙවිලා වයස අපි දෙන්නගෙ හැඩකාර

යන්තම් සිනා නුඹෙ මූණට කුමක් වැනී
රන්දම් වැලට මුතු ඇට ඇමිණුවා වැනී
මොකටද සැලුන් අක්කල ලඟ දණින් වැටී
ඔය ලස්සන වටී මට මහ මෙරක් වටී

මල් බොකෙ මොටද මිදුලෙම පිපිලා රෝස
තව තරු මල් තියේ යහනේ ආකාස
පළඳාගෙන හිතේ පෙම්බර මදහාස
තව පහු නොකර අපි කියමුද මේ රහස

හැරිලා බැලුවාම පහුවුණු හැමදාම
එක එක හැඩෙන් ලස්සන දවසක් නේද..?
පැටියෝ ටිකක් නැවතී හිතුවම මේම
නැකතක් කියා මොකවත් තව ඕනෑද..?

සාරිය හදා දෙයි අහසේ සේද වළා
මුදුවක් තනමු තරුවක කැටයමක් කපා
පලවැල තියේ නටු අග මුදු සිනා පපා
මීවිත පිරේ මල් කෙමිවල දෝරෙ ගලා

කවුරුත් නෑසියන්මයි බැලුවාම සොයා
ලඟ උන්නා හුඟක් හිත් අපි අතැර නොයා
කෙනෙකුට දෙන්නෙකුට මොකටද මගුල් කියා
ලොවටම කියමු සුළඟේ පණිවුඩය ලියා

"සෙට්බැක්" මොටද සඳ පලුවේ වාඩි වෙමූ
"ලයිටිං" ඉස්තරම් සඳ මඬලෙන් ඉහුනූ
තව මල් කම් මොටද රැය යට මල් පිපුනූ
"තැන්ක්‍ යූ කාඩ්" සුළඟේ පා කර යවමූ

                                                   -මුදිත්-
                                            2015.11.07

Friday, October 30, 2015

නුඹ ඇවිත් යන්නැති...

දවල් දොළහේ පැයට
ඉස්පිරිතාල ගේට්ටුව
පහුකර..
ගලාගෙන එන- මහා ගංගාවක
පුංචි ම බිඳිත්තක් වී
නුඹ එන්න ඇති
තනියම...

දන්න හඳුනන
උකුසු ඇස් මගහැර
දුක සැප අහන්නට
දෑසට වත් ඉඩක් නැතිකොට..
බෙදාගෙන හෙලන්නට ඇති
තව කඳුළු බිංදුවක්..
තනියෙන්ම
හිතේ හිරකරගෙන...

කාලයක් පුරාවට
කියවන්ට මග බැලූ
"ඇට මැස්සා"..
සැළලිහිණියක වෙස් ගත්
න(ර්)ස් නෝනා කෙනෙකු බාරේ,
නතර කර තනියට
මා ළඟ...

නුඹ ඇවිත් යන්නැති
නොකියම....
                                   -මුදිත්-
                            2015.10.11

Thursday, August 6, 2015

බිම්සරා...

ගලා යන ලෙස නයගරා
ගලාවිද සෙනෙහස බිම්සරා
කුමාරිය වුනත් නුඹ සඳසරා
එදා වගෙ නෑ අද මල්සරා..

විද්දත් කැඩුණු හී තුඩකී
වැදුනත් වැරදි එල්ලයකී
හිත මිස කිසිත් නැති අතකී
ඉතින් ප්‍රේමය දුකකී..

රැකියාව හිස්තැනකී
"සිහින" විකුණනු නොහැකී
හොඳ හිත නවාතැනකී
"ජීවිතය" බිඳුණු පඩිපෙළකී..

අකුරු අඩු නැති කවකී
පිදිය හැකි එපමණකී
හිනැහී හඬවන්ට නොහැකී
භාවනාවම සැපකී...

                                  -මුදිත්-
                           2015.08.05

Sunday, December 28, 2014

ජීවිතේ දිගු වන්දනාවට ඉතින් මෙතෙකින් නතර වෙන්නම්...

කලා සොළසට හොරෙන් ඇඳෙනා,
නුඹේ වත හෙටටත් දකින්නම්..
දෑත බැඳගෙන ඈත සිටියත්,
සෙනෙහසින් ආසිරි පතන්නම්..
හැරෙන්නට මොහොතකට මත්තෙන්,
ආයෙමත් නැවතී දකින්නම්..
ජීවිතේ දිගු වන්දනාවට,
ඉතින් මෙතෙකින් නතර වෙන්නම්...

නුඹේ පියවර මතින් හෙමිහිට,
පා තබාගෙන ඇවිද ආ දා..
කොහේ කොතැනක නමුත් වැරදී,
දෙපා පැටලී ඇදන් වැටුනා..
කියාගන්නට අකුරු මදිවුනු,
කවිය නිහඬව ගොලුව ගියදා..
දෑස තදකර දැහැනකට වැද,
රහසේම ගොලුවෙලා උන්නා...

නිසල නිල් දිය පොකුණු දෑසට,
අවසාන පෙම් කවිය ලියමී..
නෑඹුල්ම හිරු කිරණ අහුලා,
නුඹේ ලෝකය එළිය කරමී..
හදේ පුදසුන -නුඹට වෙන් කළ,
සදා සුවඳැති මලින් සදමී..
තවත් භවයක මුණ ගැසෙන්නට,
රහසේම හිඳ පෙරුම් පුරමී...

 -මුදිත්-
 2014.12.28