එක එක හැඩෙන් කියවන්න
Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Friday, November 22, 2024

මේක හොල්මන් (ගැන) කතාවක්

  මං හිටියෙ හැටන් වල. පහුගිය දවස් පුරාම නුවර තිබුණෙ මිශ්‍ර කාලගුණයක්. හිතුනම පෑව්වා, හිතුනම වැස්සා. මට පායන්න ඕන කියලා හිතුනම අහසට වහින්න හිතුනා. අහසට පායන්න හිතුනම මට වහින්න ඕන වෙලා තිබුණා. නුවරට මාවත් මට නුවරත් ගලපගන්න බැරි වුන තැනදි මං තීරණයක් ගත්තා, දවසකට දෙකකට කොහේ හරි යන්න. ගිටාර් එකත්, තව ඇඳුමකුත් අරගෙන, මේ සිද්ධියට කලින් දවසෙ මං පාරට බැස්සෙ නුවරඑළියෙ යන්න. කාලෙක ඉඳන් දන්න කියන කාලගුණයක්, දේශගුණයක් තියෙන තැනකට යන එක මගේ ඇතුලට උවමනා වෙලා තිබුණා. මං පේරාදෙණිය හංදියට ඇවිදගෙන ආවා. ගම්පොළ, පැණිදෙනිය බස් සෑහෙන්න ගියා. ඒත් නුවරඑළියට යන එක බස් එකක් වත් ආවෙ නෑ. මටත් තවදුරටත් නුවර එක්ක පැටලි පැටලි බස් හෝල්ට් එකක චාටර් වෙන්න පුළුවන් කමක් තිබුනෙත් නෑ. ඊළඟට ආපු පළවෙනි ම බස් එක හැටන්. දෙපාරක් නොහිතා මං ඒ බස් එකට නැග්ගා. ඒක හැටන් වුනත් නුවරඑළියක් කරගන්න පුළුවන් විදිහෙ වෙලාවක්. එන අතරෙ නවතින්න තැනක් බුක් කරගත්තා. ඒ විදිහට, මේ සිද්ධියට කලින් දවසෙ මං හැටන් ආවා. ඉතිං මේ කියන දවසෙ මං හිටියෙ හැටන් වල.

අරමුණක් නැතුව ආපු ගමනට අරමුණක් එකතු කරගන්න මට ඕන වුනේ නෑ. ඒ ගමන එන්න කලින් මට වෙන වෙන අරමුණු තිබුණා. අරමුණක් නැතුවම එළියට බැස්සෙ, ඒ තිබුණු අරමුණු සෑහෙන්න බර ඒවා වුණු නිසා. මං එවෙලෙ ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙන්න හදපු බස් එකක නැග්ගා. පර්ස් එකේ තිබුණු පනහෙ කොළයක් කොන්දොස්තර අතට දුන්නා. දන්න මිනිහා වගේ සල්ලි දීපු නිසා මිනිහා මට පනහෙ ටිකට් එකක් කැඩුවා. මට උවමනා වුනේ හිතුනු තැනකින්, හිතුනු වෙලාවක බහින්න. ඒක වංගු පිරුණු පාරක්. කොහෙට යන පාරක්ද කියලා මම දැනන් හිටියෙ නෑ. ෆෝන් එක අතට අරන් මැප් එක බැලුවා නම් දැනගන්න තිබුණා. ඒත් ඒ තරමෙ අරමුණක් වත් මට ඕන වුණේ නෑ. ලොකු හේතුවකට නොවුනත්, මං එක්ක මගට බැහැපු මගේ ගිටාර් එක, මගේ කකුල් දෙක අතරට වෙලා බස් එකේ රිදම් එක අඳුරගනිමින් හිටියා. පහලින් පයිනස් ගස් වැවුනු බෑවුමකුත්, පාරෙ අනිත් පැත්තෙන් උසට තණකොළ වර්ගයක් වැවිලා තිබුණු වංගුවකින් මම බැහැගත්තා. ලඟපාත මොකවත් ම පේන්න නොතිබුණු නිසාද කොහෙද ඩ්‍රයිවර් තවත් ටිකක් එහාට බස් එක නොනවත්වා යන්න හැදුවත්, දෙතුන් පාරක් බෙල් එක ගහද්දි බස් එක නතරවුනා. මිනිහා පස්ස හැරිලා ප්‍රශ්නාර්ථ බැල්මකින් මං දිහා බැලුවා. මං හිනාවක් දාලා බස් එකෙන් බැස්සා. බස් එක ඊළඟ වංගුවෙන් මැකිල ගියා.

මම බස් එක ගියපු පැත්තටම පයින් ඇවිදන් ගියා. මම ආපු පැත්තට වාහන කීපයක් ගියා. මං යන පැත්තට ඊට වඩා අඩු වාහන ගාණක් ගියා. ඒ අඳුර බෝවෙන්න පටන් ගන්න වෙලාව. මනුස්සයෙක් බයිසිකලයක් පැදගෙන මගේ ඉස්සරහට ආවා. 

“අයියේ, මේ ඉස්සරහ ගෙවල් එහෙම තියෙනවද?” මං ඒ මනුස්සයගෙන් ඇහුවා.

“ගෙවල් තියෙන්නෙ තව එහා, මේ කිට්ටුව නෑ. තේ කඩයක් නම් ඉස්සරහ තියෙනවා.” මං ඒ මනුස්සයට ස්තූති කරලා ආපු විදිහටම ඉස්සරහට ඇවිදන් ගියා. හැටන් ස්ටෑන්ඩ් එකෙන් ගතපු සමෝසා දෙකක් මගේ ගිටාර් බෑග් එකේ බව මට මතක් වුණේ ඒ වෙලාවෙ. මං එයින් එකක් හපන්න පටන් ගත්තා. හැටන් වල හැන්දෑ හීතල එක්ක වුණත් සමෝසා එකේ ළා රස්නයක් එතකොටත් ඉතිරි වෙලා තිබුණා. සමෝසා දෙක ඉවර වෙද්දි, කලින් මට ඉස්සරහින් තිබුණු වංගුව පහුවෙලා, අර මනුස්සයා කියපු තේ කඩේ මට පේන්න තිබුණා. තවමත් කට පුරා දැවටි දැවටි තිබුණු සමෝසා එකේ රස එක්ක තේ කඩේ දකිද්දිම මගේ හිතට ආවෙ උණු උණු කෝපි එකක අඩුපාඩුව. ඊළඟ මොහොතෙ මං හිටියෙ ඒ පොඩි කඩේ ඉස්සරහ තිබුණු පයිනස් කොට කෑල්ල උඩ.  

“මාමෙ, මට නෙස්කැෆේ එකක් දාන්නකො..”

“නෙස්කෝපි නං නෑ මහත්තයා, මහත්තයට කිරි කෝපි එකකට ඉඟුරු කහට එක්ක තේ යාරයක් දාලා දෙන්නද..?” ඒක කොහෙත්ම බෑ කියවෙන විදියෙ යෝජනාවක් නෙමෙයි. ඒ කිරි කහට එක්ක කවලම් වුනු කෝපි කෝප්පෙ තිබුණෙ පුදුමාකාර රහක්. මං හිතන්නෙ ඒකෙ එනසාල් ඇටයක් එහෙමත් තියෙන්න ඇති.

“මේක මරු...” මට කියවුණා. මාමා හිනාවුනා. “මේ පාරෙ තව එහාට ටවුමක් එහෙම නැද්ද..?” මං ඇහුවා. 

“මහත්තය යන්න ගියපු පැත්තට නං ටවුමකට තව සෑහෙන්න දුරයි. ඊට වඩා කිට්ටුයි ආපහු හැටන් වලට යන එක. මහත්තය කොහෙට යන්නද..?” 

“මං යන්න නම් ඕන හැටන් වලට, මේ නිකමට වටපිට බල බලා ඇවිදන් ආවෙ. ආපහු යන්න වාහනයක් අල්ලගන්න තමයි ටවුමක් හෙව්වෙ.” “ආහ්.. හැටන් වලට නං අපේ කොල්ලගෙ ත්‍රීවිල් එකේ ගිහින් දාන්න කියන්න පුළුවං. කොහොමත් මේ කරුවල වැටෙන වෙලාවෙ ඔය පැත්තට පයින් ගියා කියල නං වැඩක් නෑ මහත්තයා. ඔය ඉස්සරහ වංගුවේ පොඩි පල්ලියක් තියෙනවා, හැබැයි ඒකත් වහල දාලා දැං. ස්වාමි කෙනෙක් වත් නෑ, සතියට දෙවතාවක් ඇවිත් පූජාව තියල යනව විතරයි. මේ කරුවලේ ගියා කියල බලන්න දෙයක් නෑ ඒකෙත්..” 

ඒ කොහොම වුණත් අංකල්ගෙ වචන ටිකට, තවත් ටිකක් එහාට ඇවිදන් යන්න ආපු මගේ ආසාව යටගහන්න බැරිවුණා. ආපහු හැටන් වලට යන්න ත්‍රීවීල් එකකුත් තියෙන එකේ, තවත් ටිකක් රෑ වෙන එක මට ගැටලුවක් වුණේ නෑ. මං ඉස්සරහට ඇවිදන් ගියා. වැඩි දුරක් නොගිහින් ම, අන්ධකාරයට අයිති පොඩි එළියක් මට පේන්න ගත්තා. “පල්ලිය” මං අනුමාන කළා. හැටන් වල හැන්දෑවකට ආවේණික හීතලත්, පුංචි හිරිකඩ රැල්ලකුත්, අඳුරත් මගේ ආධ්‍යාත්මයේ  සියුම් ම තත පවා මේ මොහොත වෙනුවෙන් සුසර කරමින් තිබුණා. ගේට්ටු කණුවෙ එල්ලිලා දෙපැත්තට විහිදිලා තිබුණු ගේට්ටු පියන් දෙක, එන ඕනෙම අමුත්තෙක් පිළිගන්න සූදානම් වෙලා හිටියා. එක අතකින් මාමා කියපු කතාව හරි, මේ කරුවලේ කෙනෙකුට පයින් ම ගිහින් බලන්න තරම් දෙයක් එතන නෑ කියලා හිතෙන එක සාධාරණයි. ඒත් අන්ධකාරය, හීතල එක්ක බැඳුනු හුදෙකලාවට අසීමිතව ඇලෙන මට, එතන එක මොහොතකට ස්වර්ගයක් වුණා. 

මං ඇරලා තිබුණු ගේට්ටුවෙන් ඇතුළු වුණා. පල්ලිය ලඟට යන්න තිබුණු වැලි අතුරපු පුංචි පාර දෙපැත්තෙ තිබුණෙ කුරුස හැඩ සොහොන් කොත්. හරියටම නොපෙනුනත් අන්ධකාරය අතරින් පවා මල් වවලා තියෙන බව පෙනුනා. වටේ දැවටෙන හුළඟට මුහුවෙලා තිබුණු සුවඳින් ඒ බව තහවුරු වුණා. පල්ලියට ඉස්සරහින් පහළ රිදී පාට ලොකු පිට්ටනියක් වගේ ස්වාභාවයක් තිබුණා. ඒ රිදී පාට උඩ ඊට උඩින් තිබුණු ආලෝක ලප වල නලියන ප්‍රතිබිම්බ කැලතෙමින් තිබුණා. ඒ පෙනුනු ලොකු රිදී පාට තිරය, නම නොදන්නා ජලාශයක් බව මට තේරුණා. අර කියාපු මල් සුවඳ මිශ්‍ර හුළඟෙ තිබුණු තෙත්බර ගතිය, හැටන් වල වාතයේ තෙතමනයට වැඩියෙන් තෙත බව දැනෙන්න ඇත්තෙ ඒ නිසාම වෙන්න ඇති. පුංචි කාලෙ පවා, මට අදටත් මතක සමහර අවස්ථා තිබුණා මේ හැඩේ හුදෙකලා මොහොතවල් වලට මං තදින් බැඳුනු. මගේ පපුව මට්ටමට විතර උසකට නැගුනු සොහොන් කොත්, ස්මාරක අතරෙ, ජීවී බව උතුරන වෙන කිසිම තැනක නොතිබුණු නිස්කලංක බවක් මට දැනුනා. මේ හැඟීම් සමුදාය අතරෙ තව මොහොතක් රැඳෙන්න තද උවමනාවක් මං ඇතුලෙ මෝදු වෙමින් තිබුණා. මළවුන්ගෙ සාමයට බාධා නොකර මං හෙමිහිට ලඟ තිබුණු හතරැස් හැඩේ සොහොන් කන්ඩියක් උඩ වාඩි වුනා. විශ්වාස කරන්න, ඒ මොහොතෙ තිබුණෙ හරිම මායාවී ගතියක්, දැවටෙමින් තිබුණු තුනී වාතයට තිබුණෙ දරාගන්න බැරි තරමෙ තෙතමනයක්, තෙතමනයට විතරක් ගේන්න බැරි තරමෙ හීතලක්. මම අත් දෙකෙන් මගේ ඇඟ වට කරලා වෙලා ගත්තා. අන්ධකාරයම පුංචි එළියක් වෙලා අවකාශයට ඉහිරෙමින් තිබුණා.

“මහත්තයා.. මහත්තයා මේ කරුවලේ මොනව කරනවද..?”

ඒ සද්දෙන් ගැස්සිලා ගියපු මම හැරිලා බැලුවා. වයසක සීයා කෙනෙක්.

“මොනවත් නෑ සීයේ. නිකං මෙතන ඉන්න හිතුණා.” මං උත්තර බැන්දා. සීයා යන්තමට හිනා වෙලා, මට එහා පැත්තෙන් වාඩි වුණා.

“මෙහෙම තැනක තියෙන නිස්කලංක බව, සැහැල්ලුව දරාගන්න හැම මනුස්සයෙකුටම බෑ මහත්තයා. ඒක හරිම ටික දෙනෙකුට විතරක් පිහිටන කලාවක්...”

මං නිශ්ශබ්දව ටිකක් වෙලා හිටියා. පහල ජලාශයේ රිදී පාට ඡායාව උඩ නා නා විධ හෙවනැළි ඇඳෙමින් තිබුණා. “ සීයා මේ රෑ, මේ හීතලේ මෙතන මොනවද කරන්නෙ...?” මං සීයගෙන් ඇහුවා. “මේ පල්ලිය බලාගන්නෙ මං තමයි මහත්තයා. මෙහෙම ගොඩනැගිල්ලකට වුණත් අන්ධකාර රෑකට පාළුව දැනෙනෙව, ඒ බව දැනෙන්න- තේරෙන්න මේ බිත්ති වලට කන් දෙන්නම ඕන...”

ඒ මනුස්සයෙගෙ උත්තරේ ගැන මම කල්පනාවට වැටුනා. පාළු ගොඩනැගිල්ලකට වුණත් අන්ධකාර රෑක තනිකමක් දැනෙනව කියන එක විකාර කතාවක් වගේ පෙනුනත්, ඇත්තටම එහෙම වෙන්න බැරිද? මේ වගේ වයසක මනුස්සයෙකුගෙන් ඒ වගේ අදහසක් මතුවීම ම හරි පුදුමයක් විදියට මට දැනුනා. 

“එතකොට සීයට මේ අන්ධකාරෙ, හීතලේ තනියක් පාළුවක් දැනෙන්න නැද්ද?  බයක් දැනෙන්නෙ නැද්ද..? මේ සොහොන් කොත් අතරෙ ඉඳපු එකම දවසක වත් එහෙම දැනිල නැද්ද..?” මං ඒ වයසක මනුස්සයගෙන් ඇහුවා. ඒ මනුස්සය හිනා වුණා. “මට මොන තනියක්ද මහත්තය, මේ මුළු වටපිටාවක් මං එක්ක ඉඳිද්දි.. මේ හැම දේකටම, ඒ ඒ දේවල් වලට ආවේණික පණක් තියෙනවා. හොල්මන් කියලා දෙයක් නෑ මහත්තයා. නෑමයි කියන්නත් මං දන්නෙ නෑ. ඒත් මං දන්න දේ මේකයි. ජීවත් වෙලා ඉන්න කාලෙ මනුස්සයෙකුට කියාගන්න බැරිවුණු, ඉඩක් නොලැබුණු, එක්කෝ කීවත් අනෙක් අය ඇහුම්කන් නොදුන්නු කොච්චරක් නම් දේවල් ඇත්ද.. ඉතිං මිනිස්සු ඇත්තටම කතා කරන්න ගන්නෙ මැරුණමයි මහත්තයා. ඒ කියාගන්න බැරිවුණු දේවල්, ඒ මිනිස්සු මැරුණට පස්සෙ කියන්න ගන්නවා, ඇහුම්කන් දීල බැලුවොත් තේරෙයී, ඒ හුඟක් දේ ඇත්ත. දරාගන්න හරි අමාරු තරම් ඇත්ත. ඒත්, තාමත් ඒ ඇත්තට ඇහුම්කන් දෙන්න බය, අපි කරන්නෙ හොල්මන් කියලා මහ දුස්ඨ විදියකට ඒ මැරුණු මිනිහව හංවඩු ගහලා ආයෙම තනි කරලා දානවා. ඒක හරි නපුරු වැඩක් මහත්තයා. මළාට පස්සෙ වත් තමන්ට තමන්ගෙ හිත නිදහස් කරගන්න ඉඩ නොදෙන එක මහා පවුකාර වැඩක්. හොඳයි, මට අවංකවම කියන්න, මහත්තයා හොල්මන් විස්වාස කරනවද..? මහත්තයට එහම එකෙක් මුණ ගැහිලා තියෙනවද?”

“ම්ම් හ්ම්ම්.. එහෙම බැලුවම සීයගෙ කතාවත් ඇත්ත. අනේ මංදා මටත් හොල්මන් ගැන ඔය මිනිස්සු කියන විදියට නම් දැනිල නෑ. ඉතිං නොදැනුනු දෙයක් ගැන මිනිස්සු කියන පලියටම විස්වාස කරන්න මං ලෑස්ති නෑ.” මං උත්තර දුන්නා.

“මං මෙතන අවුරුදු කීයක්ද..? හොල්මන් ද මොකක්ද මංදා මහා අමුතු හැඟීමක් දැනුනු වෙලාවල් එක දෙකක් නැතුවම නෙමෙයි. සමහර විට උන් ඉන්නව ඇති මහත්තයා, ඒත් අර කියන්න වගේ නපුරු, දුෂ්ඨ ජාතියක් කියල නං මට කවමදාවත් දැනිල නෑ..”

සීයා කියපු අදහස් මගේ ඔලුවට ගිලා බැස්සෙ වතුරට අතෑරපු ඊයම් බරු වගේ. ඇත්තටම මැරුණට පස්සෙ හරි මිනිස්සු උත්සාහ කරන්නෙ තමන්ගෙ හිත නිදහස් කරගන්න වෙන්න බැරිද? මගේ හිත මේ වගේ දාහක් දේවල් මගෙන් අහන්න පටන් ගත්තා. ආයෙම කෙළවරක් නැති තැනකට යන්න ගියපු මගේ කල්පනාව බින්දෙත් සීයා මයි.

“මහත්තය මොකද සද්දයක් නැති වුනේ.. නොදැනුනාට දැං සෑහෙන්න රෑ වෙලා. යන එන වාහනයක් අල්ලගන්න එක ලේසි නෑ මේ වෙලාවට. ආයෙ එහෙම එකකට රස්තියාදු නොවී ඔතන ටිකක් එහායින් තියෙන විලියම් මල්ලිගෙ කඩෙන් එහේ පුතාගෙ ත්‍රී විල් එක කතාකරන් හැටන් වලට ගියානම් හරි..” මටත් වෙලාව ගැන ඔලුවට ආවෙ සීයගෙ කතාවෙන්. තවත් රෑ වෙන තුරු ඉන්න හිතක් ආවෙ නෑ මට. මගෙ හිතේ දෝංකාර දිදී තිබුණෙම සීයා කියපු කතාව. ඒ සිතිවිල්ලෙන්ම සීයට සමු දීලා මං ආපහු එන්න මගට බැස්සා. කියපු විදියටම ත්‍රී වීල් එක කතා කරගන්න ලැබුණු හින්දා තවත් රෑ නොවී කාමරේට එන්න පුලුවන් වුනා. රෑ නින්ද එනතුරු ගෙවුණු මුළු වෙලාව පුරාමත් මගේ ඔළුව ඇතුලෙ කැරකි කැරකි තිබුණෙ නමක් ගමක් නොදන්න ඒ වයසක මනුස්සය කියපු කතාව. ජීවත් වෙලා ඉන්න තුරු කියාගන්න ඉඩක් නොලැබෙන දේවල් කොයි තරම් නම් මනුස්සයෙක් ලඟ තියෙන්න පුලුවන්ද? තමන්ගෙ හෘද සාක්ෂිය බර කරන ඒ වගේ දේවල් වලින් ඇත්තටම මිනිහෙක්ව නිදහස් කරන්න මරණයට විතරක් ම පුලුවන්ද? සොහොන්පල්ලෙක් තරම් මළවුන් එක්ක ගණු දෙනු කරපු මනුස්සයෙකුට හොල්මන් ගැන දැනෙන ඒ වගේ බර හැඟීමක්, නිකම්ම නිකම් වචන ටිකක් විතරක් වෙන්න පුලුවන්ද..? මේ වගේ කෙළවරක් නැති ප්‍රශ්න, සිතුවිලි විදියට මගේ ඔලුව පුරාම කරක් ගහන්න ගත්තා. ඒ සිතිවිලි එක්කම මට නින්ද යන්න ඇති. පහුවෙනිදා පාන්දර මං ඇහැරුණේ ටිකක් දවල් වෙලා. මගේ හිතේ ලොකු හිඩැසක් තියෙන බව මට දැනෙන්න වුණා. මහ ලොකු උගතෙක් වගේ නොපෙනුනු අර වයසක මනුස්සයව ආයෙම මුණගැහිලා මට ඒ අදහස් ටික ඇතුලට තව තව යන්න උවමනා වුණා. එදා දවසත් ඒ වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරපු මම, ඒ පුංචි පල්ලියට යන්න ආයෙම මගට බැස්සා. වැඩි වෙලාවක් නොගිහින් මට අර කඩ පොඩ්ඩ හමුවුනා. හැන්දෑවත් උදේ පාන්දරත් කියන දවසේ කෙළවරවල් දෙක ඒ පළාතට දුන්නෙ හාත්පසින්ම වෙනස් හැඩතල දෙකක්. මම පල්ලිය මිදුලෙ සීයව විපරම් කළා. මනුස්සය පේන්න හිටියෙ නෑ. මේ තරම් පාන්දරින් නම් එන්නෙ නැතුවත් ඇති. ඒ එක්කම ඒ මනුස්සයගෙ ගෙදරට ගොඩවෙලා එන්න ඇත්නම් කියල ආපු සිතිවිල්ලත් එක්ක මම ආපහු කඩේ පැත්තට යන්න හැරුනෙ සීයගෙ ගෙදරට යන විදියක් හොයා ගන්න අදහසින්. ඊළඟ මොහොතෙ කඩේ මාමගෙ අතින් වක්කරපු පෙණ උතුරන තේ යාරයක් බොන ගමන්, මං ආපු කාරණාවට බැස්සා.

“මාමා, අර පල්ලිය බලාගන්න සීය කෙනෙක් ඉන්නෙ, ඒ මනුස්සය මේ කිට්ටුවද..?”

මං මාමගෙන් ඇහුවා. මොහොතකට කර කර ඉඳපු වැඩේ නතර කරල මං දිහා බලන් ඉදපු මාමා හෙමින් මං දිහාවට ඇවිදන් ආවා.

“ගෙවල් නං මේ ළඟ. මහත්තය ඇයි එහෙම ඇහුවෙ..?” මාමා ආපිට ඇහුවා.

“නෑ නෑ එහෙම වැදගත් දේකට නෙමෙයි. ඊයෙ රෑ මං පල්ලියට ගිය වෙලේ කතාවට වැටුණා. හොඳ මනුස්සයෙක් වගෙයි, මං අද ආවෙත් තව ටිකක් කතා කරන්න හිතාගෙනමයි...”

මාමා මං දිහා මොහොතක් බලා ගෙන හිටියා.

“ඩේවිඩ් අයියා මැරිලා දැං ටිකක් කල් වෙනව මහත්තයා. මහත්තය ඔහොම එකක් අහවි කියල මුලින්ම මට හිතුනා. ඕව ඕනවට වඩා හිතට ගන්න එපා. මේ වටපිටේ කීප දෙනෙකුත් මරණෙන් පස්සෙ කීප සැරයක් ඩේවිඩ් අයියව පල්ලියෙ වත්තෙදි දැකල තිබුණා. උන් නම් මගෑරල ඇවිත් තිබුණා. මහත්තය ඒ වගක් දන්නෙ නැහැනෙ. මේ වෙනකං මං හිතුවෙම ඕක විකාර බොරු කතාවක් කියලා. ඒත් මේ විත්තියක් නොදන්න මහත්තය ඔහොම එකක් ගැන කියද්දි මට දැං නං ඒක බොරු කතාවක් කියල හිතෙන්නෙ නෑ. කොහොම උනත් මහත්තයල තරුණ ළමයි, ඕව හිතට ගන්න ඕන දේවල් නෙමේ..”

මාමගෙ ඒ කතාව මට අදහන්න බැරි වුනා.

“එතකොට මාමා කියන්නෙ ඒ මනුස්සය මැරුණු මනුස්සයෙක් කියලද...?”

“හ්ම්ම්... ඒ විතරකුත් නෙමේ, ඩේවිඩ් කියන්නෙ ජීවත් වෙලා ඉන්නකල් කා එක්කවත් වැඩි කතාවකට ගියපු මනුස්සයෙකුත් නෙමේ. වැඩි හරියක් ඔහේ පැත්තක් බලාගෙන හිටපු මනුස්සයෙක්. මං හිතන්නෙ නෑ කාටවත් මිනිහ එක්ක කතා කරන්න තරම් දෙයක් තිබුණ කියලවත්. මහත්තයට අද ආපහු කතා කරන්න එන්න හිතෙන තරමට ම මහත්තය එක්ක මිනිහ කතා කළා කිව්වහම මට වැඩියෙම පුදුම හිතුනෙ මහත්තයට මැරිච්ච ඩේවිඩ් ව මුණ ගැහුනු එක ගැනත් නෙමේ, මහත්තය එක්ක ඒ මනුස්සය අච්චර කිට්ටුවෙන් කතා කළා කිව්ව එක ගැනයි.”

මාමා ඒ ටික කියද්දිම මට ආයෙමත් මතක් උනේ ඒ මනුස්සය කිව්ව කතන්දර ටිකයි.


-මුදිත්-
04.06.2021




Wednesday, September 18, 2024

පාවෙලා යන එකද සංසාරෙ...?

බඩ ඉරිඟු දැලි රැවුලු
හේබෑ ව  කලු ගැහුනු
පඬු පාට ගිනි කාෂ්ඨක යායෙ,
දූලි සුවඳක එතී
නාටු හුළඟක් දිගේ 
ඒ වුනත්, වැහි වළාවක් වගෙයි
නුඹ ආවෙ..

ඇත්තමයි! ඒ තමයි,
ඉවුරු දෑලේ එතී
හුරතලේ ගලන්නට
මහ ඇළට දිය පොදක් නැති කාලෙ...

ජීවිතේ මුඩු වුනත්
ආදරේ එහෙමයැ,
වෙන් කරපු එක ම එක
සෘතුවක් තිබුණියැ,
පපු පොතේ ලා රැක්ක
ඉරිඟු බිත්තර මිටත්
ඒ නිසයි උගුල්ලා බිම ලෑවෙ...

වළාකුළු පාවුනා
ඉරිඟු ඇට බොල් වුණා,
ආදරෙත් හරියටම ඒ වාගෙ...

වැහි වහින ඉසව්වල
නන් පාට මල් පිපෙන
කතාවක මුණ ගැහෙන තුරු ආයෙ,
එකම අතකට ගලන
තඹ පාට හුළඟක් ව 
පාවෙලා යන එකද සංසාරෙ...?

-මුදිත්-
01.09.2024

Image source: Internet



Thursday, June 6, 2024

නික්මුණිද, ඇතුළු හද වනයට..

ඒ අවුරුද්දෙ මැද හරියෙ ඔය කියන දවසෙ හම්බුනාට පස්සෙ එයා ගැන කිසිම ආරංචියක් නෑ. ඒක හරියට එයා මේ ලෝකෙන්ම ගැලවිලා ගියා වගෙයි.

නිහඬවම පියමැන
හද මැදින් විහිදෙන දෙණි පෙත,
ඇතුළු හද වනයට
නොදොඩා නොකියාම නික්මුණිද..
නිහඬ නිසලම තැන් වසාගත් 
ඔබ ද අව'ඳුරු මිහිදුම...?

කැලඹුම් මෝසමට ඉඩ දී
නුවරුන් දහක් ඇස් මගහැර..
නැතක් කල් වස් වසා එකලාව
නැමුණිද ඇතුළු හද තුළටම,
නොදැනීම...?

නිහැඬියාවේ හැඬුම මත
මරණ දහසක රිදුම් ලියලයි,
සදාකාලික ශිශිරයක
උණුහුම පතා, මතක මිට ඇවිලෙයි..
හුදෙකලාවේ ඈත කෙළවර
හිස්කම පවා, තව හිස්කමක් පමණයි,
විශ්වයේ සමහර හිස්තැන්
මළවුන්ට විතරක් ම උරුමයි...

-මුදිත්-
02.06.2024

Image source: Internet


Sunday, June 2, 2024

මොනවාද ඉතිරිව ඇත්තේ...

හරිත වන කැටියේ
කේතුධාරී තුරු සෙනගකගේ
පැවැත්මේ මායා සුසුමයි මේ
ඝන ඝනව
මා වටා කැටිවෙන්නේ...

හරිතව සදාකල්
නිරන්තර වැසි වසින - නිවර්තන හදවත
මා නමින් රැකගන්නට
පිලිණ දුන් වන තීරයයි මේ
මා වටා පැතිරී හිඳින්නේ...

නිල්ල වැඩිපුර නොගෑවුණු
මැදී ගිය මංතීරු අතරේ,
විලවුන් සුවඳ දියැවුනු
ඩා බිඳක සිහිලේ..
මට තවම හමු නොවුණු
යමක් මිහිරක් ඇති,
ඒ නිසයි ඔබ ඔතැන ඇත්තේ...

සංසාර මාවත - බෙදි බෙදී යන විට
එක මගක් පමණක් නොවෙයි
එකම ගඟ හරහා යන්නේ..
මේ විසල් විශ්වයේ
කුරා කුහුඹුවන් අපි,
මේ මොහොත මිස මොනවාද
ඔබට මට ඉතිරිව ඇත්තේ...

-මුදිත්-
19.05.2024 (සිංහරාජ වන මායිමේ හිඳ)

Photo by : Mudith Vidanagamage

මතක මීදුම මැද..

මැදී ගිය පටු මගක,
මඩ කඩිත්තක දියැවෙයි 
රබර් යායට ඉහළින් එබුණ සඳ...

සෙත් පතා තුන් ලොවටම
සියක් සැතපුම් දුර ගෙපැලක
දැනුදු දැල්වෙනු ඇති පාන් පැල...

කුරුලු පාලුව පුරා, පාලුව ම රජවෙන දවසක් ගැන..
සිහිනයක වත් දැක තිබුණාද, 
නිහඬවම ඉන්නේ මහ නියර...?

-මුදිත්-
2024.02.13

Old Man, Painting by Dominique Dève

Friday, April 5, 2024

සඳට ඉඩ දෙන්න පෙර...

දොළ දියෙන් දොවාගෙන අත පය,
රබර් යායක් යටින්
ඇදි ඇදී එයි ගොම්මන...

වැඩ ඇරී එන'තර - මහ නියර මගහැර

අඳුර ඩිංගක් ගනව ගිය තැනකදි

කිරිලි තුඩකට මාරුවෙයි

සකලයන් අඹන්නෙකු අත ඇති වී මිට...


ඉර ඇනෙයි ලුණු මිරිසක් ව අවරදිග..


සුනු සහල් බත් මිටක්

සරිවෙයි සම සමව

කටවල් තුනකට,


සඳට පුළුවනි දැන්

කැමති යෝගයකින්

උදා වෙන්නට අහසට...


-මුදිත්-

2023.10.07


ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූප සබැඳිය: https://deborahsilvermusic.com/?q=leaf-and-vase-original-geometric-cubist-still-life-painting-ii-ab974RtW 


Wednesday, December 20, 2023

ඇත්තම සතුට..!

නිමා වෙලා යන විට අවසන් එපිය
ජීවිත කතන්දර සේරම එක කොපිය
ආයෙත් කටේ දාගෙන ඊයේ ටොපිය
"ඇත්තම සතුට..!" සොයමින් යන අපි අපිය

-මුදිත්-
20.12.2023

සිය ගණනක උපාධි අපේක්ෂක කොලු කෙල්ලන් සැරිසරන BMICH පරිශ්‍රයේ බංකුවක, මල්ලීගේ උපාධි ප්‍රදානෝත්සවය අහවර වන තෙක් තාවර වෙන අතරතුරේදී ය.

Image: Happiness by Shira Sela

Thursday, November 30, 2023

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට

නිමිත්ත: කුලී කාමරයේ බිත්ති පැල්මක දළු ලා වැඩෙන පැණි කොමඩු පැළයකි.


තෙත රැඳි ඉසව් නොදැනිම මගහැරුණාද

දළුලන හරිත රේඛා මග හැරියාද

සීනෙක පෙනුණු රහසක් මග කීවාද

නොලැබුණු යමක් වෙනුවෙන් මෙහි ආවාද


ඉඳහිට ඉහෙන දිය මිස, දිය මං නැතුවා

දුහුවිලි කහට කුණු මිස පොහොරක් නැතුවා

දළ රළු දළඹ මත මහ පොළොවක් නැතුවා

හෙමිහිට මුල් අදිනු මිස සරණක් නැතුවා


"ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට"

සීනෙන් වැටෙන විට මතකයෙ මහ හෙළට

මා වාගෙම උඹත් යනවා ඇති ගමට


ජීවයෙ රටා ඇඳ රළු බිතු කොපුල පිට

දුර නෑයෙකු ලෙසින් මට පෑ සිනහ කට

කොටුවුණු අගනුවර මුල් නැති පොළොවකට

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට


-මුදිත්-

30.11.2023


ඡායාරූපය අන්තර්ජාලයෙනි.

Saturday, July 15, 2023

ඈත මැදපෙරදිගේ නගරෙක - තනි උනා මම..

විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

ඉතින් වැරදිලාවත්
ඔබ ගියත් දැක දැක,
නො එන බව
සහසුද්දෙන් ම දැන දැන...

එකෝමත් එක කලක
ඔබෙ ඔඩොක්කෙන් ගිලිහුණු
වියළි රටකජු පොතු වගේ..
විසිරුණා,
මේ වියළි හුළඟට මුහුවෙන
සියලු දේ (මමත් ඇතුලුව)..

බොහෝ දවසට
ඔබෙ උකුළ උඩ ඉතුරු වුණ
නවකතා පොත වගේ,
හුළඟකට බර වැඩි
කාරෙකක්, පුටුවක්, බිල්ඩිමක්..
හතරැස් ව නැවතුනා තැන තැන...

අන්තිමේ,
විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

-මුදිත්-
14.07.2023

Image source: internet



Saturday, July 8, 2023

ඒ ඇරුණම වෙන අපහසුවක් නෑ මෙතන...

මං ඇඳි පුටුවෙන් වාඩි උනා. 
නෑ වැරදියි.. මං ඇඳි පුටුව කියලා හිතන් ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා...
නැහ්..
මං ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා.

හැන්දක බොකුටු මූණත උඩ ඉර ඇකිලිලා ගිහිං, එතනින් විසිවුණු එළිය සීරාවක් ඇහේ ඇනෙන එක ඇරුණාම වෙන අපහසුවක් නෑ මෙතන.

"චරස්" බෝතලේ සීල් මූඩිය කැඩුනා. 
වීදුරුවෙ බිත්තිය දිගේ හුජ්ජ පාටට වැක්කෙරුණා. 
"බ්ලොප්.." අයිස් කැටයක් වැටුණා. 
ඔන්න නිහැඬියාවක්.
"ඕක ගනින් බං..!" වීදුරුව මගේ අතට ආවා. 
"චියර්ස්...!"

"අර ඉර එළිය..." නෑ එක්කො ඕන නෑ. කියන්න ගියපු එක අරක්කු උගුර එක්කම ගිලුණා.
"හුහ්" උගුරට අරක්කු සැර දැනුනා.

....

"දැං එතකොට කොයි කාලෙක වගේද උඹ පිළිවෙලක් වෙන එක ගැන හිතන්න හිතන් ඉන්නෙ?"
කොහේ හරි ලඟම තැනක කපුටෙක් කෑ ගෑවා. මේක කපුටො අඬන වෙලාවක් ද?

පිළිවෙලක්.. පිළිවෙලක්...

මාලු කපන වීඩියෝවක් මගේ ඔළුව ඇතුළේ දිගෑරෙන්න ගත්තා.
ලේ.. වතුර.. සේදුවා..
කුණු-රතු පාට වතුර... 
බොකු-බඩවැල්..
කපුටෙක්.. 
රවුම් රවුම් පෙති.. පෙති බාග.. 
කොටු කොටු...
ඉවරයි..

පිළිවෙලක්.. පිළිවෙලක්...

ඊළඟට ඔලුවට ආවෙ කෝකියෙක්. වීඩියෝ වල ඉන්න, අත වකුටු කරලා ලුණු ගම්මිරිස් ඉහින කෝකියා.  
තැටියක දෙපැත්ත දැම්මා. රත් උනු තෙල් පටලයක් සර සර ගෑවා. සුදු දීසියක, සැරසිලි මැද, බාගෙට පැලහුණු මාළු පෙත්තක්.. අත් ඇඟිලි පොකුර උල් උනු කට ලඟට ආවා. ඇඟිලි තුඩු පොකුරට දෙන හාද්දක ඉංගිතයක්.. රසයි...

පිළිවෙලක්.. පිළිවෙලක්...

හැඳි ගෑරුප්පු පිහියා.. දිස්නයි.
"කාට කන්නද?" මං ඇහුවා.

ෆෝන් එක වැදුනා, චාජරේ ළඟට අඩි එකාමාරක දුර. 
"හරි නේද එහෙනම්..?" ඇහුණා. 
"හරි හරි" කිව්වා.

ෆෑන් එක හෙමින් කැරකෙන නිසා රස්නෙයි. ඊටත් මෙතන දැන් තුන්දෙනෙක්. ඒ මදිවට අරක්කු සිගරැට්..

"කෝ බං උඹේ ඈෂ් ට්‍රේ එක..?"
"එහෙම එකක් නෑ.."
"මොකක්..? මොන ... ගනිං ඔන්නොය කොළ කෑල්ලක් වත්.."
"ඕන්නෑ.. ඔය හිස් පෙට්ටියට දාපං"
"තමුසෙ හරි යකෙක් නෙ.."

ආයෙම ෆෝන් එක ටිං ගෑවා.

_Need your approval here for further proceedings. Please fulfil the requirement as it is necessary._

කාගේ හරි හිතේ තිබුණු හැඩේ එන විදියට, සුද්ද පවිත්‍ර කරලා, කපලා කොටලා, පිහලා මේසෙට ඇරපු දීසියක තියෙන පිළිවෙල ඒකෙ තිබුණා.

_Approved_

"මේක හරියන්නෑ බං. උඹ එන්න එන්නම කටුවට වදින ඉබ්බ වගේ වෙනවා. උඹට ඔය තරමට මිස් වෙන්නේ මොකක්ද..?"

"මාව.."

තව ටික වෙලාවක් ගියා. ස්වර ඛණ්ඩ කීපෙකුත්, සිගරට් දුම් රැල්ලකුත් ඉතුරු වෙද්දි කාමරේ හිස් උනා. වැහිලා තිබුණු දොර දිහාට මගේ ඇස් ගියා. මේ ටික අහක් වෙලා යන්න දොර ඇරලා දැම්මා නම්.. 

එක්කෝ ඕන්නෑ...

එකම ඉරියව්වට පය හිරි වැටුණු කොස්ස ඉබේම බිම වැටුනා.
ෆෝන් එක වැදුනා.
ෆෑන් එක පරණ වේගෙටම සැහැල්ලුවෙන් කැරකුනා.
බිම වැටුණු කඩල ඇටේක හෙවණැල්ල, පහළ මිදුලෙ තිබුණු කතුරු මුරුංග ගහේ හෙවනැල්ල තරමටම දික් වුණා.
පහළ තට්ටුවේ ගෙදර දොර ඇරුනා. වැහුනා...

මං ඇඳි පුටුවෙන් වාඩි උනා. 
නෑ වැරදියි.. මං ඇඳි පුටුව කියලා හිතන් ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා...
නැහ්..
මං ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා. 

හැන්දක බොකුටු මූණත උඩ ඉර ඇකිලිලා ගිහිං, එතනින් විසිවුණු එළිය සීරාවක් ඇහේ ඇනෙන එක ඇරුණාම වෙන අපහසුවක් නෑ මෙතන.

-මුදිත්-
08.07.2023

Image: Alone In The Room painting by Wissam Beydoun
Image source: Internet

Thursday, February 2, 2023

ළං ළංව - අතින් අත නොගෙන ම...

ඇතැම් හැන්දෑවරු වල
තඹ පැහැය විසිරුණු
මැදී ගිය මාවතක,
අපේ ඒ පියවර
තිබෙන්ටත් පුළුවනි
නොතිබෙන්නටත් පුළුවනි...

කෙළවරක් නොහැඟෙන - සංසාර ගමනක
ගව් ගණන් දුර එක්ව එන්නැති,
ඇතැම් විට නො-එන්නැති..
ඒ වුනත්, එහෙව් දුර ගමනක්
අතින් අත නාල්ලා
ළං ළං ව එන්ට වුව පුළුවනි...

සෑම බැඳුමකටම
ප්‍රේමයැයි නම් තබන
මේ කළල් ගොහොරුවේ,
කල්ප ගණනකට පසු
පියුමක් පිපෙන්නට පුළුවනි..
ඒ පිපුනු ඇසිල්ලේ
පරව යන්ටත් පුළුවනි...

අවසානයේ අප,
කෙටිම කෙටි කතාවක
ඡේද දෙක තුනකින් - ලද චරිත නිමා කල
එකම පටු මගක යන - නාඳුනන්නන් පමණකි...

-මුදිත්-
2023.02.01



Sunday, January 1, 2023

ඇය, සිහින සහ තව තවත් සිහින

මහලු නේපථ්‍යාගාර බිත්තියත්, මෙපිටින් එල්ලා ඇති කුඩා තිරකඩටත් අතරින් හැඩකාර කෙල්ලක් මතුවෙයි. දෙපස විපරම් කරයි. ගත රේඛාවක පවා තැවරුණු කෙලිලොල් බවකි. උරමඬල මත දුනු හී දරනා කාලවන් තුණු දේහධාරී රුව හිටිවනම ප්‍රාදූර්භූත වූවාක් වැන්න. ගත ලකුණින් වනචාරී ය. මස් පිඬු කැපී පෙනෙනා සේ ළපැත්තේ ඇඳි වෙස්ගැන්නුම් රේඛා ය. බොඩි පේන්ටින් ය. සුනම්‍ය ඉරියව්ධාරී ය.  මොහොතකට පෙර ද දැක පුරුදු රුව විමසන මොළය, විදුලි වේගයෙන් හැඳුනුම් ලකුණු ගලපා දෙයි. වැදි රජු ය. මේ දැන් තිරකඩින් මෑත් වූ බුහුටි තරුණිය වහා ඔහු අතින් ඇද, ඩා බිඳෙන් දිලිහෙන අඳුරු කොපුලත හාදුවක් පලන්දා සැනින් අතුරුදන් වන්නී ය.

-මනමෙ කුමාරි ද? මම අසමි.
            -නෑ. නමක් මුහුණක් නැති නාඳුනන හඬකින් පිළිතුරු සැපයෙයි.
            -එහෙනං?
            -අත් උදව්කාර කෙල්ලක්. වැදි රජාට ඉන්න එකාගෙ ලයින් එකක්..!
            -.....!!!

කෙල්ල මැකී ගිය පසුබිමේ මනමේ කුමරියත්, කුමරුත් පිවිසෙයි. වැදි රජු සිනාසී දෙදෙනාටම ‘හග්’ එකක් දෙයි. ඉනික්බිති සිනහසෙමින් මංගල අසිපත කුමරු අතට දෙයි. මේ තිරය පිටුපස ය. නේපථ්‍යාගාරය අද්දර ය. මනමේ කුමරු පෙරළා සිනහ සී වරක් අසිපත දෙස බැල්මක් හෙලා ඉනික්බිති කොපුවේ ලා ගනී.

-Uber එකක් දාගෙන තුන් දෙනාම යමං. වැදි රජු කියයි.

ඉන්පසු මනමේ කුමරිය හා වැදි රජු නේපථ්‍යාගාරය දෙසට නික්මෙයි. මොහොතකට නේපථ්‍යාගාරයට යාබද පටු බිම් තීරුවෙහි මනමේ කුමරුන් පමණක් තනිවෙයි. මොහොතක් උන් ලෙසම තාවර වන කුමරා එක්වරම කොපුවෙන් අසිපත ඇදගන්නේ, මුළු කඩු තලයම ගිලීයන සේ වැරෙන් අසිපතින් ළයට ඇන ගනී. පැලී ගිය ළමැද්දෙන් විදින්නට වූ කැදලි කැදලි වන් රත් පෑ රුධිර ධාරා, සර්ප පැටවුන් ව ‘පූෂ්’ ගා පිඹිමින් මා කරා ඇදී එන්නට වෙයි.

පිපිරෙන්නට තරම් වන පපු ගැස්මකින් මම තිගැස්සී ඇහැරෙමි. නළල දෙපැත්තෙහි වූ නාඩි දෙකක ගැස්ම, හිස් කබල තුළ යකුළු පහරක් ව දෝංකාර දෙයි. දෙකන් පල්ලේ විලාප ලන මුහුදක ‘හෝ’ හඬ ය. ඇඳ රෙද්ද දහදියෙන් තෙත් ව ගොස් ය. මම කෙළ ගිලින්නට තැත් කළෙමි. දිව, මුළුමනින්ම වියැළී ගිය මුඛ කුහර පත්ලේ නන්නත්තාරව හැකිළී ඇත්තේ ය. කටේ කෙළ බිඳක් නැති වන සේ, සිරුරෙහි වූ ඇදගත හැකි අවසාන දිය බිඳ තෙක් ඇදි ඇදී දහදිය ව යහන මත වගුරා ඇති ලෙසකි. මම වීදුරු ජෝගුව ගෙන මුවට ඇල කරමි. බස බස ගා මුව තුළට දිය ඉහිරෙයි. වැඩිමනත් දිය මුව දෙපසින් පෙරි පෙරී දිය ඇල්ලක් ව පපු මඬල තෙමාගෙන සරම මතට ඇද හැලේ. මම ඇල් මැරී ගිය දියෙහි සිහිලස විඳ ගනිමි. මේ දුටුවේ පෙර නුදුටු සිහිනයකි. නුහුරු ය. එහෙත් සැමදා නින්ද බිඳිනා හුරු පුරුදු තිගැස්ම ය. පසුගිය රෑ ගණනේ මගහැරුණු නින්දක නිදි වාරික පොළිය ද සමග මෙසේ ඇතැම් දිවා කාලයන් හි දී දෑසට ඇතුළු වේ. නා නා විධ සිහින වල අතවරයෙන්, ජීවිතයට වඩා මරණයට ළං ව දැනෙනා තිගැස්මකින් බිඳී යන්නේ එවන් වූ දිවා නින්ද ය.

බරැති අඩි හඬක් මා දෑසෙහි ගැටේ.

ළං ළංව රැළි වී ඇති ඝන ජනෙල් තිර රෙද්දෙන් දිවා හිරු රැසෙහි වැඩි පංගුව වළකාලයි. තිර දෙකක් අතර වූ පටු විවරයකින් සෝමාරි අන්ධකාරය ඉරාගෙන කඩා වැදි හිරු රැස් තීරයක් ලියන මේසය මත බරැති අඩි තබමින් ඇවිදින්නේ, දින කිහිපයකින් අලුත් නොකල මල් බඳුන අසල මදක් නවතියි. අතට හසු වන මලක් ගෙන දෑතින් ම පොඩි කරයි. මලෙහි විලාපය දෑසේ ගැටෙද්දී එ හඬ පරයා, හිරු රැස වියරුවෙන් සිනහසෙයි. මට දෑස වසන්නට ඕනෑය. එහෙත් ඇසි පිය නොසෙල්වී ම තිබෙයි. තවමත් විලාප දෙන මලෙහි ගන්ධය කාමරය පුරා විසිරෙයි. මම අතට හසුවන කොට්ටයක් ගෙන හිස සිරකර ගනිමි.

*** *** ***

ගස් කඳෙහි කෙටූ කැපුම් සලකුණු අනුව හතලිස් අට පෝයක් හමාරය. එනම් සාර අවුරුද්දක් ගෙවී ඇත්තේය. ඇත්තය. එහෙත් කොතැන් සිට සාර අවුරුද්දක් ද..? කවදා සිට සාර අවුරුද්දක් ද..? පළමුවැනි කැපුම ලූයේ කවදා ද? සිරිතේ හැටියට නම් පෝය හඳ මැකෙන්නා හා ම හිමිදිරි පාන්දර ය. එහෙත් කවර හේතුවකට ද? මම පිටුපසින් මා වෙත කොඳුරන හඬට අවනතව පියවර තබමි.

-මං බොට වඩා නිස්සද්දයි ද මංදා.. නාඳුනන හඬින් මිමිණෙයි.

මම තව තවත් සීරු මාරුව පා නගන්නට තතනමි. පා පැටලෙන්නට වෙයි. මගේ ම පය මට ම අවනත නොහී, තබන තබන පියවර තැබෙනුයේ නුහුරට ය. බිම වසා ගත් කටු පොකුරු, පතුලේ මස පලාගෙන කිඳා බසියි.

-ඉක්මන් නොකෙරුවොත් වස පාපයක් වෙන්නෙ. අඩි ඉක්මන් කෙරුවනං..

ඉදින් මට නතරවන්නට නොහැකිය. මා උරමත ජීවිතයක බර වෙයි. පාප කඳක බර වෙයි. උසුලා ගත නොහී දෙපා ඇඹරෙයි. එහෙත් මට නතරවන්නට නොහැකිය. මම නොනැවතී ලේ ගලන දෙපා අද්දමි. හතිලන හඬක් ඇසෙයි. මෑතිනි. ඒත් කොයිබින් ද? කොයි ඉසව්වේද? මගේ ඉඳුරන් කිසිවක් නොකියයි.

-ඉක්මන් කරපං. ඔය ඔතන.. කොකා ඇදපං. ඉක්මන් කරපං...!!!

මම තිගැස්සුණෙමි. “කොකා ඇදපං..?” මම වහා මා සුරත දෙස බලමි. වෙඩිල්ලක් කෙටූ බෙහෙත් තුවක්කුව මා අතය.

-මං කවුද..? මම අසමි.

-උඹ තමයි දඩයක්කාරයා..

මම කලබලයෙන් තුවක්කුව උරයට වත්තම් කරගන්නට වෑයම් කරමි. මා සුරත වෙවුලයි. තුවක්කු ඇස හතර අතේ වැනෙයි. ඒ හා ම තිරිසන් උගුරක ගොර ගොරය ද නැගි නැගී එයි. එහෙත් ඒ කොයි අත ද..? මා ඒ මේ අත වැනෙනු දැනෙයි. වන බූටෑව බිඳී යන හඬ ඇසෙයි. එහෙත් ඒ කොයි ඉසව්වේද..? මොහොතකින් ගැහැණු ගිරියක විලාපය වන බූටෑව පලාගෙන නැගී තවත් මොහොතක් රැව් නැගී මැකී යන්නේ තවත් තිරිසන් ගොරයකින් පසු මූකලාන ම කිසිවක් සිදු නුවූ සේ පුරුදු නිහැඬියාවෙහි ගිලෙයි. මම වහා ඇසටු රුක් මූලය කරා දිව යමි. නැගි නැගී එන්නාවූ පාප බර කඳින් මා උර ද, දෙප ය ද එන්න එන්නම බර වෙයි. මා දෙ පය විළුඹු තෙක් පොළෝ තුළ ගිලී ඇත්තේය. මම නැවතුමක් නොතබා ම දිවයමි. දැන් දැන් ඈත ඇසටු රුක් මූලය පෙනෙන්නට වෙයි. මා, මේ සියලු පාපයෝ රුක්ඛ මූලයෙහි තබා පිටදී වාරු ගත යුතු ම වෙයි. දැන් දණක් තෙක්... නැත. ඉණ තෙක් මා කය පොළොවෙහි ගිලී ඇත්තේය. තව දුරටත් පොළොවක සංවේදනයක් මා දෙපයට නොදැනෙයි. මගේ පා නිදැල්ලේ වැනෙයි. ඊළඟ මොහොත මා ඇස් මානයේ පොළෝ තලය පෙනී ඝන අන්ධකාරයේ මා දෙඇස ගිලී යයි.

*** *** ***

            ඈ එක ම තැන නිශ්චලව හිඳිමින් එකපිට එක සිහින කියෙව්වාය. සයිබරේ ඈත ඉසව් වල පවා කරක් ගසමින් නිධාන කථා ඇහින්දාය. දිගු රාත්‍රීන් පුරා තාරුකා ගණන් තබ තබා එකී තාරකා තිත් යා කළාය. සඳ කෙඳිති පිස දම දමා, වළා කැබලිති අතරින් කුඩාතම තාරුකාව පවා පාදාගන්නට තැත් කළාය. හති වැටෙන තුරු හැකි තරම් තාරුකා මතු කරගත්තාය. අවසානයේ එක්තරා එක් රැයක ඒ සියලු තාරුකාවෝ සක්වළට පවරා දෙන්නට තීරණය කළාය.

            මම මහාද්වීපයෙන් මහාද්වීපයට පනිමින්, කැමරාවක් අතපත් දඩයක්කාරයෙකුව උන්නෙමි. පාප බරින් ද, විඩා වේදනාවෙන් ද ඔද්දල් වූ ආධ්‍යාත්මය වත්තම් කරගෙන නැවතුමක් සොය සොයා ලුහුබඳින දඩයක්කාරයෙකු ව උන්නෙමි.

*** *** ***

           මා උන්නේ පාරාදීසයක ය. එකම ඇස් බැල්මෙන් පොකුණු පතුළ තෙක් දැකිය හැකි නිසල, නොකිළිටි ජල තලය ය. පොකුණු තෙර නිදහස ආශ්වාදනය කරමින් සාරසුබාවට වැඩුණු ඵලින් බර මිදි වැල් ය. ළය මට්ටමට නූස් වූ රත් පෑ ඵලයෙන් දිලිහෙන්නා වූ දෙළුම් පැළ ය. දෑස් එක එල්ලෙහි සරුවට වැඩුණු රනින් දිලිහෙන තැඹිලි පැළ ය. මේ නම් පාරාදීසයක් නොවන්නේ කෙළෙසින් ද..? රිසි ලෙස අවට විඳ ගන්නා දෑස මඳකට නතර කරගන්නේ පොකුණු කණ්ඩිය අසල ම ජලය තුළ වූ දිලිසුමකි. මම විපරම් ව විමසමි. රනින් කළ කිසිවක කාන්තියකි. නැගෙන්නා වූ සිත් දෙගිඩියාව පරයා මම සීත දිය තුළට අතපොවමි. පුදුමයකි, නෙතින් දුටු සිහිලස අංශු මාත්‍රයකුදු ජලයේ නොවේ. මම දිලිසුම් දුන් වස්තුව වෙත නෙත් යොමුකළෙමි. මා අත ගැටුණු දියෙන් නැගුණා වූ තරංගයෝ පෙරැළි කරමින් උන්නේ පෙර වූ නිසලතාවය මත ය. පොකුණු පත්ල කෙසේ වෙතත් ජල තලයෙන් අඟලක් තරම් වත් යටට නොපෙන්වන සේ පමණටත් වැඩියෙන් ජල තලය උදම් වී ඇත. මා මෙතරම් චණ්ඩ ලෙස ජල තලය ස්පර්ශ කළේ නැත. කෙසේ හෝ දැන් දිලිසුම් දුන් වස්තුව ද පෙනෙන්නට නැත. පොකුණු දිය එසේ හැසිරෙන්නට තීරණය කරද්දී මම ද උත්සාහය අත් නොහරින්නට තීරණය කළෙමි. දැන් ඉතින් කෝකත් එක ය. මම මතක සීමාව දෑතින් පිරික්සමි. ගල් බොරළු අතරේ, පෙඳ පාසි අතරේ අවසානයේ එකී සිලිටු වස්තුව මා අතැඟිලි අතරට හසු විය. මම එය වහා අත්ලට ගතිමි. මුදුවකි. තනි රන්මුවා මුදුවක පලාවන් ගල් දෙකක් මැද, රත් හිරියල් පෑ ගලක් ඔබ්බවා, මා සුරත මැදැඟිල්ලෙහි මිනුම් ගෙන සෑදුවාක් මෙන් වූ මුදුවකි. එහෙයින් ම මම එය පැළැඳගන්නට තීරණය කළෙමි. කැළඹුණු පොකුණු දිය යලි නිසොල්මන් වීමට යම් කාලයක් ගන්නා බව පෙනෙන්නට වූ හෙයින් මම පාරාදීසය පුරා සිතැඟි පරිදි ඇවිද යන්නට තීරණය කළෙමි. මෑත ගී ගයනා කුරුළු සමූහයා ය. ඈත නෙත නිවනා සමනළ සේනා ය. මලින් පිරි කුඩා පඳුරු මත රැඟුම් රඟනා බඹර මී මැසි සමූහයා ය. දිලිසුම් නගන තරමට පුෂ්ටිමත් ව පිම්බුනු අඹ ඵල ය. රඹ ඵල ය. වැනුමකට පවා ඉසිඹුවක් නොදෙනා තරමේ සෞන්දර්‍යයකින් ආඪ්‍ය වූ වටපිටාව ය. මම  අඹයක් නෙළා ගැනුමට නැග ආ ආශාවෙන් යුතුව කදිම අඹයක් වෙත සුරත දිගු කරමි. එකෙනෙහිම සුරතේ මැදැඟිල්ල, මුදුව ලූ තැනින් රිදුම් දෙන්නට වන්නේ මම සැනෙකින් සුරත ආපසු ඇදගන්නට වීමි. රිදුම එලෙසින්ම ය. මම මැද ඇඟිල්ල පිරික්සමි.  මුදුව යන්තම් තද ව ඇති සෙයකි. මම සුළු මොහොතකට මුදුව ගලවා ලන්නට තැත් කරමි. පුදුමයකි. ගලවා ගන්නට නොහැකි තරමට මුදුව තදවී ඇත. නැත, නැත.. ගලවා ගන්නට තැත් දරනා හා ම එය තව තවත් තද වන්නේ ය. දැන් දැන් ඇඟිල්ලේ වේදනාව ඉවසුම් නොදෙනා තරමට ම නැගී එන්නට වෙයි. මට මුදුව ගලවා ගන්නට ම ඕනෑ ය. නැතහොත් තව සුළු මොහොතකින් ඇඟිල්ල කැඩී යන තරමට ම මුදුව කුඩා වී යනු ඇත. කළ හැකි අන් විසඳුමක් නොවූ තැන වේදනා විකල්ලෙන් ම නැඟ ආ සිතුවිල්ලකට අනුව මම ඇඟිල්ල හකුළා ගැනීමට තැත් දැරුවෙමි. ශරීරයේ රැඳි සියලු වෙර යොදා තැත් දරත් ම පුදුමයකට මෙන් වේදනාව යාන්තමින් අඩුවී යන්නාක් මෙන් දැනෙන්නට විය. මම එයින් ලද සහනයෙන්, තව තවත් අතැඟිල්ල කුඩා කර ගැනීමට ම වෙර ලූයෙමි. දැන් දැන් ඇඟිල්ල කුඩා වන අයුරු මට ද පෙනේ. නැත, ඇඟිල්ල පමණක් නොව සුරත ද කුඩා වෙමින් යන්නේ ය. මට, මා සිරුර දෙස බැලුනේ නිතැතින් මය. මා ලිලිපුට්ටෙකු වෙමින් උන්නේ ය. මට කෑ ගැසුනි.  එහෙත් අසුරු සැනෙකින් මා කුහුඹුවෙකු තරමට ම ක්ෂුද්‍ර වී මුදුවේ සිදුර අතරින් අනන්තය තෙක් ඇද වැටෙනු දැනෙන්නා හා ම ඊළඟ තත්පරය කළු කුහරයක් තුළට ඇද ගැනෙන්නාක් මෙන් සියලු දෙය ඝන අන්ධකාරයේ ම ගිලී ගියේ ය.

*** *** ***

            ඒ මා ලබාගත් අවසාන ඡායාරූපය යි. කැමරා ලෙන්සුව හා ඒකාත්මිකව ලබාගත් සුරතාන්ත මොහොතයි. හති ගසන කෙටි තත්පර අතර අතරමං මොහොතයි. මා ඉකුත් සිහිනය දුටුවේ ශරදයේ සැන්දෑවක අවසාන තුරුපත් කිහිපය ගසකින් අත්හැරෙන මොහොතක, ආලින්දයේ වූ ඇඳි පුටුවක් මත්තෙහි දී ය. මම හුරු පුරුදු භූමියෙන් බොහෝ ඈතට ගසාගෙන විත් තිබුණි.

ඉදින්, ඉකුත් සිහිනය මා යළි හැරී යා යුතු බව කී සංඥාව ම වූයේ ය.

*** *** ***

 එළැඹ ඇත්තේ අපගේ අවසාන හමුවීමයි. හුරු පුරුදු කොදෙව්වේ, අගනුවර ඉතා මෑතක ඉදිකරන ලද කෝපි හලක් අප වෙනුවෙන් අසුන් යුගලක් පරෙස්සම් කරගෙන තිබුණි. ඒ, ඈ කල ඔන්ලයින් ඉල්ලීමකට අනුව ය.

-ඉතිං.. ඔයා අන්තිමට ආවා ඒ කියන්නෙ. මං හිතුවෙ අතුරුදහන් උනාම තමයි කියලා.. ඈ සිනහසෙන්නීය. කොහොම හරි ඒක ලොකු කාලයක්.. ගෙවුණු කාලෙ...

            -ඔව්, ඇත්ත..මං ලෝකෙ පුරාම වගේ ඇවිද්දා.

-කොහොමටත් ඔයා නතර වෙන්න කැමති මනුස්සයෙක් නෙමෙයි නේ. මතකද ඔයාම එහෙම කිව්වා අපි අඳුරගත්තු මුල් දවස් වල ම..? ඈ දෑස ඉරක් සේ සිහින් වෙයි.

-ඔව්.. ඔයාට තරමට ම මටත් මතකයි. ඒ මුළු දුරම මං ඇවිද්දෙ මේකට. මං හිතන්නෙ මම මට ඕනෙ කරල තිබුණු අන්තිම පින්තූරෙත් ගත්තා. අන්තිම ම පින්තූරෙ. හැම වැඩකටම තියෙනවා යුනීක් ඔර්ගස්ම් එකක්. මං හිතන්නෙ මගේ පින්තූර ගැනිල්ලෙ ඕර්ගස්ම් එක තමයි ඒක. ඉතිං මේ පින්තූරෙන් පස්සෙ මට, පළවෙනිම වතාවට නවතින්න පුළුවන් බව දැනුනා.

            -මහන්සිද..?

            -චුට්ටක්වත් නෑ..

      -ඉතිං කෝ ඒ පින්තූරෙ..? බලන්න බැරි එකක් වෙන්න බෑ නෙ?

-පිස්සුද.. බලන්න බැරි දෙයක් කොහොමද පින්තූරයක් වෙන්නෙ.. සේරටම කලින් මට ඔයාගෙන් දෙයක් අහන්න පුළුවන්ද? මේ පින්තූරෙ ගැනම තමයි.

            -ඉතිං අහන්න.. ඕනෙ දෙයක් අහන්න.. මුල ඉඳන්ම ඔයාට ඒ නිදහස තිබුණා.

-ඔව්, මං දන්නවා. මේකයි.. මේ ෆෝල්ඩර් එකේ මම ගත්තු හැම ෆොටෝ එකම තියෙනවා. එහෙම කිව්වට මෙතන මහ ගොඩක් ෆොටෝස් නෑ. ඔතනින් ඔයාට වැඩිපුරම දැනෙන, සෙට් වෙන ෆොටෝ එක මට තෝරල දෙන්න.. ඇති තරම් වෙලාව ගන්න. වෙලාවෙ අව්ලක් නෑ.

            -ම්..ම්.. හරි ඉන්නකෝ...

කාලය ගෙවී යයි. හති ගසන කෙටි තත්පර ද, මග බලන දිගු තත්පර ද එක එකක් පැටලෙන්නට වෙයි. එකකට පසු එකක් ලෙසද, එක මත එක එකක් ලෙසද පැටලෙන ලිහෙන, ලිහි ලිහී පැටලෙන හරඹය කෙමෙන් අවසාන වන ලකුණු පලකරමින් කෙටි-දිගු තත්පර, හුදෙක් ම තත්පර බවට රූපාන්තරණය වෙමින් සිය විශේෂණ පද වලින් මිදීමට පටන් ගෙන, අවසානයේ අති සාමාන්‍ය තත්පර බවට පත් වූවෝ ය.

-මෙන්න මේක. ඈ කීවා ය. ඇයි කියල අහන්න එපා. ඇහුවත් හරි කෙලින් හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ. මේක මට බැලන්ස් වගේ. හැම අතින්ම.. colors, frame එක, composition, සේරම... මට ඊට වඩා කියන්න තේරෙන්නෙ නෑ. ඒත් මේක තමයි ඒක.

මට ඒ පින්තූරය, මා සිතූ පින්තූරය ම දැයි සැකයක් නොවීය. ඒ තරමට ම ඒ එයම බැව් මම දැනසිටියෙමි. එහෙයින් ඈ අතට පත් කල ඡායාරූප සහිත වූ මා ජංගමය යළි මා අතට නොගෙන ම මම මෙසේ කීවෙමි.

            -හරි, දැන් ඔය ෆොටෝස් සේරම sort කරන්නකො, old to new වෙන්න.

-ම්.. හරි.. මේ මේ.. පොඩ්ඩක් ඉන්න. මේකද එතකොට ඔයා ගත්තු අන්තිම ෆොටෝ එක..? විස්මපත් ඈ දෙනෙත මා වෙත වීය. මම කිසිත් නොකියා සිනහසුනෙමි.

            -ඒකට නම් coincidence කියල කියන්න හිතෙන්නෙ නෑ මට. ඈ කීවාය.

-ඔව්. එහෙම කියන්න ඕනෙත් නෑ. ඔය ෆොටෝ එකෙන් overall මට feel වෙන්නෙ ඔයාව. මටත් ඒක විස්තර කරන්න තේරෙන්නෙ නෑ. මම හිටියෙ මහ පැටලැවිලි ගොඩක. හේතුවක්, අගක්- මුලක් හිතාගන්න බැරි පැටලැවිලි ගොඩක. එහෙම කාලෙකදි තමයි ඔය ෆොටෝ එක ගැනුනෙ. ගත්තු ඒ ෆොටෝ එක දිහා එවෙලෙ ආයෙ බලනකොට දැනුනු හැඟීම නම් කවමදාවත් මට විස්තර කරගන්න බැරිවෙයි. කොහොම හරි ඉන් පස්සෙ අර පටලැවිලි තුනී වෙලා ගියා වගේ දැනුනා. මට දැනෙන විදියට ඒ තමයි මම ඔයාව අවබෝධ කරගත්තු වෙලාව. ඔයාව කියවල ඉවර උනා වගේ දැනුනු වෙලාව. පොතක් කියවල ඉවර උනාම, ඒකෙ තිබුණු කාරණා බරක් නැතුව අවබෝධ උනාම මිනිහෙකුට දැනෙන්නෙ කොහොමද, අන්න ඒ වගේ හැඟීමක්. ඊට වඩා ඒ ගැන කියන්න මට තේරෙන්නෙ නෑ, ඉතින් ඒ නිසා තව තව විස්තර කරන්න කියලා කියන්න එපා.

ඈ නිහඬවම මා දෙස බලාගත්වනම උන්නාය.

-මට තව එකම එක දෙයක් තියෙනව ඔයාට කියන්න බැරිවුන. ඒක හීනයක්.. ඔය කියපු දවස් වලම, ෆොටෝ එක ගත්තට පස්සෙ දැක්කෙ. අර ඉස්සර දකිනව වගේම අමුතු හීනයක්..

-කියන්නකො.. ඈ ඒ හුරුපුරුදු අතීත ඉරියව්වට මාරු වෙමින් කීවාය.

-මං හිටියෙ පාරාදීසෙක. නිල් කැටේට වතුර තියෙන පොකුණක් තිබුණා. මං දැකපු පැහැදිලි ම, පිරිසිදු ම වතුර. ඒකෙ අයිනකට කිට්ටුව පතුලෙ තිබුණා මුද්දක්. ලස්සන ගල් තුනක් අල්ලපු මුද්දක්. මං ඒක අරගත්තා. පොකුණ නං කැමති උනේම නෑ වගේ ඒකට. ඒත් මං ගත්තා. අරන් මගේ මෙන්න මේ ඇඟිල්ලෙ දාගත්තා. දාගෙන වටපිටේ හැඩ බල බලා ඇවිදිද්දියි මට තේරුණේ ඒ මුද්ද එන්න එන්නම හිරවෙන බව. කොහොම හරි ඒක ඇඟිල්ලෙ ඇටේ තද කරන තරමට ම හිරවෙන්න ආවා. මට වෙන කරගන්න කිසිම දෙයක් නැති තැන කැක්කුමේ විකාරෙන්ම මම ඇඟිල්ල හීනි කරගන්න දැඟලුවා. තර්ක කර කර හිතන්න පුලුවන් වෙලාවක් නොවුනට මට එවෙලෙ හිතුණා මුද්දට වඩා චුට්ටක් හරි ඇඟිල්ල පුංචි උනා නම් මේක ගලවගන්න පුලුවන් වෙයි කියලා. මාර වැඩේ කියන්නෙ ටිකකින් මුද්ද බුරුල් වෙන බව දැනුනා. බලනකොට ඇඟිල්ල නෙමේ, එහෙමපිටින්ම මම කුරුමිට්ටෙක් වෙන්න පටන් අරන්..! ඒ කුරුමිටි වෙන එක නතර නොවී මම මුද්දටත් වැඩියෙන් පුංචි වෙලා මුද්ද ඇතුලෙන් මහා අන්ධකාරෙකට වැටුණා. ඒ එක්කම මං ගැස්සිලා ඇහැරුණා..

කෙටි නිහැඬියාවකින් පසු ඈ දොඩමළු වූවාය.

-ඒකත් අර ඉස්සර වගේ විකාර හීනයක්ම තමයි. ඔයා කිව්ව වගේම ඉස්සරත් ඔයා දැකපු විදියෙ ඒවා වගේ. ඈ අතීත කතා ඔස්සේ ඇවිදයන්නී ය. කොහොම හරි මේකෙ නම් මට තේරුමක් තේරෙන්නෙ නෑ..

-ඒකට කමක් නෑ, ඒක සාධාරණයි. ඒකෙ තේරුම මං දැන් දන්නවා. මං ආවෙ ඒක ඔයාට කියන්නත් එක්කම තමයි.

-ඒ මොකද්ද..? ඈ අසන්නීය.

-මං divorce උනා..

ඈ දෑස අයාගත්වනම මා දෙස බලා හිඳින්නී, මොහොතකින් ඉවත බලා ගත්තාය.

            -මං marry කළා..!

*** *** ***

කථාව  එලෙසින් නිමා වන්නට ඇතැයි ඔබද සිතන්නට පිළිවන. එහෙත් ඒ ඈ විසින් ඉල්ලා සිටි අවසානයයි. දැන් මෙතැන් සිට ලියැවෙන්නේ ඔබත්, ඇයත් දැනගත යුතු සැබෑ අවසානයයි.

..............................

- ඒකත් අර ඉස්සර වගේ විකාර හීනයක්ම තමයි. ඔයා කිව්ව වගේම ඉස්සරත් ඔයා දැකපු විදියෙ ඒවා වගේ. ඈ අතීත කතා ඔස්සේ ඇවිදයන්නී ය. කොහොම හරි මේකෙ නම් මට තේරුමක් තේරෙන්නෙ නෑ..

-ඒකට කමක් නෑ, ඒක සාධාරණයි. ඒකෙ තේරුම මං දැන් දන්නවා. මං ආවෙ ඒක ඔයාට කියන්නත් එක්කම තමයි.

-ඒ මොකද්ද..? ඈ අසන්නීය.

-මං marry කළා..!

ඈ දෑස අයාගත්වනම මා දෙස බලා හිඳින්නී, මොහොතකින් ඉවත බලා ගත්තාය.

            -මමත් marry කළා..!

*** *** ***

 ප.ලි:

ඉහත කථාව නිම කිරීමෙන් පසුව මම එය ඊ ලියමනක අමුණා ඈ වෙත ද යැවීමි. ඉන්පසු මේ අරභයා ඈ හා කෙරුණු කෙටි සංවාදය, ඔබ තුළ ද වියවුලක් වේ නම් එය ලිහා දමනු වස් මෙහි සටහන් කර තබන්නෙමි.

ඇය: ඔයා ඇත්තම end එක කියල අර විදියට ලිව්වට ඒක ගැලපෙන්නෙ නෑ නේද..?

මම: ඇයි?

ඇය: අර හීනෙ හැටියට ඔයා මුද්දකින් හිරවෙනවා. අන්තිමේ ඔයා ඒකෙන් ගැලවිලාම යනවා. I mean නිදහස් වෙනවා. එහෙම නේද..?

මම: ඔව්.

ඇය: ඉතිං එහෙම අදහසකට ගැලපෙන්නෙ divorce වෙනව කියන එක නේද..?

මම: ඔව්..

ඇය: ඔව් ඔව් කියන්නෙ අනේ, එහෙනම් කොහොමද ඔයා marry කරපු එකක් ගැන කියන්නෙ?

මම: ඉතිං ඇත්තටම මම marry කළානෙ. ඒකයි.

ඇය: හරි හරි.. මම දැන් පිළිගන්නව අමාරුවෙන් හරි ඔයා ඇත්තටම marry කරපු බව.. ඒත් ඉතුරු සේරම එක්ක ගැලපෙන නිසානෙ මං divorce එකක් ගැන කිව්වෙ. ඉතිං divorce එකක් නේද ගැලපෙන්නෙ ඇහුවම ඒකට ඔයත් “ඔව්” කිව්වෙ..?

මම: මම divorce උනාට පස්සෙ තමයි marry කළේ.

ඇය: මොකක්..? ඇත්තටම divorce නුත් උනාද?? ඒ කාගෙන්ද..???

මම: ඔයාගෙන්..!

-නිමි-

-මුදිත්-
16.12.2022

සිතුවම් අයිතිය: Dibya Ruchi (අන්තර්ජාලයෙනි)