එක එක හැඩෙන් කියවන්න

Thursday, September 29, 2022

රුවලින් මිදුනු පසු...

ඉරී ගිය රුවලකි
ඉදින් මින් මතු
රුවලින් මිදී ගිය ඔරුවකි...

ඈත සක්වලක හිඳ
මග කියන තාරකාවනි,
තැනින් තැන විසිරුණු
ගල් පර සහ තවත් බාධක 
නුඹ සිටින අහසට නොපෙනෙයි..
නමුත් ස්තූතියි...
කවුරුන් කෙසේ කීවත්,
තිත්ත කරුවල රැය
මෙතැන් සිට විශ්වාස කල නොහැකියි..

නිදැල්ලේ පාවීම
කොතෙක් කල් කරන්නද..?
නිදැල්ලේ පාවෙන සුළඟක්
කනට කර විමසයි,
තනාගෙන හබලක්
ඉවුරක රැඳෙන තුරු
ගං දිය කැලැත්තිය යුතුවෙයි..

අවසරයි..
මෙතැන් සිට ඉදිරියට
ඕලු මහනෙල් කිහිපයක
නින්ද පිපිරී ඇහැරෙයි,
නෙළුඹු දඬු කිහිපයක
සුවපහසු කලාපය දෙදරයි,
ඇතැම් විට
මත්ස්‍ය පිරිවර මුවින්
කුණුහරුපයක් දෙකක් විසි වෙයි..
ගංදිය පවා 
තව මදක් හෝ බොරවෙයි...

මක්කරන්නද,
රුවලින් මිදී ගිය පසුවත්,
නිදැල්ලේ පා වීම
ඔරුවකට අකැපයි..
ඉවුර මුණගැසෙන තුරු
ඔරුවක දිවි සැරිය ඔහොමයි...

-මුදිත්-
29.09.2022

Image from Internet


Wednesday, September 7, 2022

සොඳුර, නුඹ සුවයෙන්ද...?

විසල් කුටියෙන් පිටත ලෝකය
තිතක් කොට දක්වයි
කුඩා කවුළුව..
මහා වැසි සිරකර
නිහඬව, නිසලව හිඳියි
ආකාශ වස්තුව...

රැළි රෙද්ද මෑත් වෙයි,
සුළඟක වෙස් රැගෙන
මායාව ගලා එයි..
පළුදු වුනු අත්තටු අතුල්ලා
රෑසියක වෙණ වැයුම
ඇරඹෙයි...

'ඇත්තමයි,
දැන් දැන් මට හරිම වෙහෙසයි..'

කාලය ඝනීභූතව 
නතර වී දැයි
ඝටිකා මුහුණ මත..?
ඈත හිඳ ගී ගයන
අර රොබින් කුරුල්ලා..
උටත් මග වැරදී ද..?
තැනින් තැන පිපි මල්
කහ ගැහී බිම හැලුණු තුරුපත්
එකින් එක පසු කොට,
මිදී ගිය විල් දියෙන් විමසමි
කුමක්දැයි මේ සෘතුව...?

මංමුලා වැලක් වී ලියලන
දින පොතක් මත අදත් ලියැවෙයි
'සොඳුර, නුඹ දැන් සුවයෙන්ද...?'

-මුදිත්-
2022.09.07

සිතුවම අන්තර්ජාලයෙනි

Monday, July 11, 2022

නුඹත් හරියට මහවැලියෙ දියවර වගේ...

සැඳෑ ඉර දියැවෙන,
මල් හලා ගිය වසන්තය 
තවමත් නතර වී ළතැවෙන
මහවැලියෙ ඉවුරු වාටිය දිගේ..
මැකෙන තුරු කාලයේ කඳුළින්
නුඹට හමුවෙයි හෙටත්
නිහඬ පියවර ලකුණු මගේ...

රැයේ තිස් වැනි පැයට
හංස ගීතය ගයන
තරුවක එළිය පොද දිගේ,
ඇවිද එන හැම සිහිනයෙම
පෙත් මග නතර වන තැන,
දෙපැත්තට හිත බෙදන
ගලහ හන්දිය වගේ...

හන්තාන මුදුනතින් ගිලිහුන
අවසාන කඳුළත් අරගෙන,
සමන් ගිර කී ලෙසටම
ලකුණකුදු නොතියා
නැගෙනහිර වෙරළට නික්මුණ..
නුඹත් හරියට
මහවැලියෙ දියවර වගේ...

-මුදිත්-
2022.07.11
Photo By: Lahiru Rumesh

Monday, June 13, 2022

විලක විල් දිය මතට බැස එන්න රිසි සිතින්

කොහොම නුඹ උන්නාද අහසකට වී ඉතින්...?

රැයක හිස පිරිමදින සරත් සුළඟක අතින්

සඳක මුහුලස ලිහෙයි හන්තාන මුදුනතින්...

-මුදිත්-
2022.06.13
Image source: Internet


Wednesday, May 25, 2022

හෙට අනිද්දට 'තිහයි'...!

තෙරැපෙන මිනිස් පොදියක
හැමදාම හිමිදිර
රැගෙන යමි රන්තලිය,
ටාටා ලේලන්ඩ් වල..
අතෙකින් සල්පිල් ය - අතෙකින් පෝලිම් ය
ඒ වුණත් 'හැන්ඩ්සම්' 
මනමාලයෙකි නගරය...

සිරිත් සේ හැම හවසම,
පුදා දී යෞවනය
ඉනික්බිති ජීවිතය
සේරිවාණිජ අතට..
මිටින් ගෙන බාල කාසිය,
හැරී එමි තොටුපොළින්
උණ ගැනුණු විසාලා නුවරට...

සත් දිනක් මඟුල් කෑ
සිටු කෙනෙකු ගැන පුවත,
කියවා සිනහසෙමි
ඉතිහාස කතාවක..
නින්දට පෙර වරක් - සිපගමි පුරුදු පරිදිම
නුඹේ පින්තූරය
පසුම්බිය පතුලේ සුරකින...

-මුදිත්-
15.05.2022

සිතුවම: අන්තර්ජාලයෙනි.