එක එක හැඩෙන් කියවන්න

Saturday, July 8, 2023

ඒ ඇරුණම වෙන අපහසුවක් නෑ මෙතන...

මං ඇඳි පුටුවෙන් වාඩි උනා. 
නෑ වැරදියි.. මං ඇඳි පුටුව කියලා හිතන් ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා...
නැහ්..
මං ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා.

හැන්දක බොකුටු මූණත උඩ ඉර ඇකිලිලා ගිහිං, එතනින් විසිවුණු එළිය සීරාවක් ඇහේ ඇනෙන එක ඇරුණාම වෙන අපහසුවක් නෑ මෙතන.

"චරස්" බෝතලේ සීල් මූඩිය කැඩුනා. 
වීදුරුවෙ බිත්තිය දිගේ හුජ්ජ පාටට වැක්කෙරුණා. 
"බ්ලොප්.." අයිස් කැටයක් වැටුණා. 
ඔන්න නිහැඬියාවක්.
"ඕක ගනින් බං..!" වීදුරුව මගේ අතට ආවා. 
"චියර්ස්...!"

"අර ඉර එළිය..." නෑ එක්කො ඕන නෑ. කියන්න ගියපු එක අරක්කු උගුර එක්කම ගිලුණා.
"හුහ්" උගුරට අරක්කු සැර දැනුනා.

....

"දැං එතකොට කොයි කාලෙක වගේද උඹ පිළිවෙලක් වෙන එක ගැන හිතන්න හිතන් ඉන්නෙ?"
කොහේ හරි ලඟම තැනක කපුටෙක් කෑ ගෑවා. මේක කපුටො අඬන වෙලාවක් ද?

පිළිවෙලක්.. පිළිවෙලක්...

මාලු කපන වීඩියෝවක් මගේ ඔළුව ඇතුළේ දිගෑරෙන්න ගත්තා.
ලේ.. වතුර.. සේදුවා..
කුණු-රතු පාට වතුර... 
බොකු-බඩවැල්..
කපුටෙක්.. 
රවුම් රවුම් පෙති.. පෙති බාග.. 
කොටු කොටු...
ඉවරයි..

පිළිවෙලක්.. පිළිවෙලක්...

ඊළඟට ඔලුවට ආවෙ කෝකියෙක්. වීඩියෝ වල ඉන්න, අත වකුටු කරලා ලුණු ගම්මිරිස් ඉහින කෝකියා.  
තැටියක දෙපැත්ත දැම්මා. රත් උනු තෙල් පටලයක් සර සර ගෑවා. සුදු දීසියක, සැරසිලි මැද, බාගෙට පැලහුණු මාළු පෙත්තක්.. අත් ඇඟිලි පොකුර උල් උනු කට ලඟට ආවා. ඇඟිලි තුඩු පොකුරට දෙන හාද්දක ඉංගිතයක්.. රසයි...

පිළිවෙලක්.. පිළිවෙලක්...

හැඳි ගෑරුප්පු පිහියා.. දිස්නයි.
"කාට කන්නද?" මං ඇහුවා.

ෆෝන් එක වැදුනා, චාජරේ ළඟට අඩි එකාමාරක දුර. 
"හරි නේද එහෙනම්..?" ඇහුණා. 
"හරි හරි" කිව්වා.

ෆෑන් එක හෙමින් කැරකෙන නිසා රස්නෙයි. ඊටත් මෙතන දැන් තුන්දෙනෙක්. ඒ මදිවට අරක්කු සිගරැට්..

"කෝ බං උඹේ ඈෂ් ට්‍රේ එක..?"
"එහෙම එකක් නෑ.."
"මොකක්..? මොන ... ගනිං ඔන්නොය කොළ කෑල්ලක් වත්.."
"ඕන්නෑ.. ඔය හිස් පෙට්ටියට දාපං"
"තමුසෙ හරි යකෙක් නෙ.."

ආයෙම ෆෝන් එක ටිං ගෑවා.

_Need your approval here for further proceedings. Please fulfil the requirement as it is necessary._

කාගේ හරි හිතේ තිබුණු හැඩේ එන විදියට, සුද්ද පවිත්‍ර කරලා, කපලා කොටලා, පිහලා මේසෙට ඇරපු දීසියක තියෙන පිළිවෙල ඒකෙ තිබුණා.

_Approved_

"මේක හරියන්නෑ බං. උඹ එන්න එන්නම කටුවට වදින ඉබ්බ වගේ වෙනවා. උඹට ඔය තරමට මිස් වෙන්නේ මොකක්ද..?"

"මාව.."

තව ටික වෙලාවක් ගියා. ස්වර ඛණ්ඩ කීපෙකුත්, සිගරට් දුම් රැල්ලකුත් ඉතුරු වෙද්දි කාමරේ හිස් උනා. වැහිලා තිබුණු දොර දිහාට මගේ ඇස් ගියා. මේ ටික අහක් වෙලා යන්න දොර ඇරලා දැම්මා නම්.. 

එක්කෝ ඕන්නෑ...

එකම ඉරියව්වට පය හිරි වැටුණු කොස්ස ඉබේම බිම වැටුනා.
ෆෝන් එක වැදුනා.
ෆෑන් එක පරණ වේගෙටම සැහැල්ලුවෙන් කැරකුනා.
බිම වැටුණු කඩල ඇටේක හෙවණැල්ල, පහළ මිදුලෙ තිබුණු කතුරු මුරුංග ගහේ හෙවනැල්ල තරමටම දික් වුණා.
පහළ තට්ටුවේ ගෙදර දොර ඇරුනා. වැහුනා...

මං ඇඳි පුටුවෙන් වාඩි උනා. 
නෑ වැරදියි.. මං ඇඳි පුටුව කියලා හිතන් ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා...
නැහ්..
මං ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා. 

හැන්දක බොකුටු මූණත උඩ ඉර ඇකිලිලා ගිහිං, එතනින් විසිවුණු එළිය සීරාවක් ඇහේ ඇනෙන එක ඇරුණාම වෙන අපහසුවක් නෑ මෙතන.

-මුදිත්-
08.07.2023

Image: Alone In The Room painting by Wissam Beydoun
Image source: Internet

Tuesday, May 9, 2023

දැන් ඉතින් අප දෙදෙන..

ළමැද්දෙන් පැළී ගිය නිම්නය
මේ බෙයද නුඹ මා වෙන්කළ...

මම,
සීරුවෙන් තෝරන,
පිළිතුරු බඳිමි මුදු වදනින්..
නුඹ,
තියුණු අසිපතකින්
ඉසියුම් ම හද ඉසව් ලිය ලා
හැරී යයි පෙත් මගකින්...

ඉදින් මට එනු බැරි..
නතර වී ඉනු බැරි..
ලේ ගලන හදකින්
යමි සෙමෙන් මැරි මැරි...

නුඹට පෙනෙනා පිණිස
හුස්ම පිඹ ඇවිලූ
දහසකුත් තාරුකා එළි,
නිම්න බිම ඉහළින්
රටාවක අමුණා ඇති..
හෙට උදාවන පැයට
නුඹ'තින් ම ගිනිගෙන දැවෙන්නට
දිරාපත් අහස සැරසෙන හැටි... 

දැවී ගිය තාරුකා භෂ්මපත් කෙඳිරිලිය
හැරී යන තොටුපොළක වේදනා හසරැළිය
ඉදින් අප වෙන් කලද සංසාර සැඩ සුළිය
මතු මතුද මුණගැසෙන තාරකා දුහුවිලිය

-මුදිත්-
10.05.2023

"Faded away" painting by Miroslav Zgabaj


Sunday, April 23, 2023

ෆර්මිනා...

ෆර්මිනා,
කොළරාව සේ පැතිර
පිළිකාවක් සේ නැගෙයි
ආලය...

සිහිනයෙන් හිස හැපී
ආලයේ එළිවැටක,
ජීවිතය ඇද වැටෙයි
කවියක - සළාවැටුමක..
රැය පවා නින්ද නැති නුවරක,
ප්‍රේමයේ වැළපුම් ස්වරය
මැග්දලේනාව සේ
නොනැවතී ගලන හඬ ඇසෙනවද...

ඉසියුම් ම හද බිතක 
ඉවුරු මායිම හැපෙන
කේශනාළිකා හිස් පුපුරයි..
ඉදින් මා දල්වන,
ශිශිරයේ නැහැඹුල් ම හිරු කිරණ
ඔය දෑස් මත පිපී දිලිහෙයි..
ප්‍රේමයේ දිග පළල හඳුනන
මැග්දලේනා ඉවුරු දිග
පිරිමි කඳුළක් හෙටත් පාවෙයි..
ෆර්මිනා,
එකම එක මොහොතකට
ජීවිතයෙ අගිස්සක
ප්‍රේමයට කල්පයක් ඉඩ තිබෙයි...

-මුදිත්-
2023.04.21



Sunday, February 5, 2023

අහසින් අතහැරුණු
වීදුරු සඳක කැබලිති,
කිඹුල් ඇළ මුහුණත පුරා
විසිරෙයි...

මැදියම් හෝරාව අස
අඩදැණිව,
තිත්තම තිත්ත රැය,
මොහොතකට නවතියි...

'දැන් මට හරිම වෙහෙසයි..'
සක්වළෙන් සක්වළ ගෙවා ආ
ඈත දුර තරුවක
ආලෝක කිනිත්තක්
මගේ දෑසට කොඳුරයි...

සොඳුරිය..
නොකල්හි ගඟ දියට වට,
සඳ එළිය වුව
හලාහළ විෂ මැයි...

-මුදිත්-
2023.02.05



Thursday, February 2, 2023

ළං ළංව - අතින් අත නොගෙන ම...

ඇතැම් හැන්දෑවරු වල
තඹ පැහැය විසිරුණු
මැදී ගිය මාවතක,
අපේ ඒ පියවර
තිබෙන්ටත් පුළුවනි
නොතිබෙන්නටත් පුළුවනි...

කෙළවරක් නොහැඟෙන - සංසාර ගමනක
ගව් ගණන් දුර එක්ව එන්නැති,
ඇතැම් විට නො-එන්නැති..
ඒ වුනත්, එහෙව් දුර ගමනක්
අතින් අත නාල්ලා
ළං ළං ව එන්ට වුව පුළුවනි...

සෑම බැඳුමකටම
ප්‍රේමයැයි නම් තබන
මේ කළල් ගොහොරුවේ,
කල්ප ගණනකට පසු
පියුමක් පිපෙන්නට පුළුවනි..
ඒ පිපුනු ඇසිල්ලේ
පරව යන්ටත් පුළුවනි...

අවසානයේ අප,
කෙටිම කෙටි කතාවක
ඡේද දෙක තුනකින් - ලද චරිත නිමා කල
එකම පටු මගක යන - නාඳුනන්නන් පමණකි...

-මුදිත්-
2023.02.01