එක එක හැඩෙන් කියවන්න
Showing posts with label විරහව. Show all posts
Showing posts with label විරහව. Show all posts

Monday, December 27, 2021

මිස් වේවි මම හෙටත්...

"කොයි තරම් ෆොටෝ ගත්තත් බලන්නකො, ඔයාගෙ එකම එක ලස්සන ෆොටෝ එකක් නැති හැටි.."
-මිතුරියක්-

නින්නාද දී නැගෙන කවිය, එළිවැට බින්ද
දම් පාට හැන්දෑව අහස කෙළවර ඇන්ද
ගංගාව මත අතැර මහනෙලක මකරන්ද
සංකාව මේ තරම් වර නගනු කවුරුන්ද

දුරින් පිපි මදහසය මං ළඟට ළං නූන
පුරුද්දකි ඇස කඳුළ කැමරාව මට ගේන
දුරුත්තක සීතලෙන් හිරි වැටී හිත හීන
උරිස්සක සැඟවුනිද රෑ සඳේ ඇගෙ මූණ

බිඳෙන වැව් දිය මතම තව සොයමි සඳ බිඹුව
රිදෙන හැම මොහොතකම පිරිමදිමි සිත මුදුව
සිඳෙන බව දැන දැන ම තත් පෙළන රැය, නුඹව
ඇඳෙන සිතුවම් පෙළට අරගනිමි මතකැ'තුව

ඉස්සර ම මතකයක පැහැයක් ව නැවතුනත්
අස්වසන සුරත වී හිඳින්නෙමි නුඹ ලඟත්
දිස්නෙ දෙන තරු අතර සැරිසරමි, ඒ වුණත්
ලස්සන ම පොටෝවල මිස් වේවි මම හෙටත්

-මුදිත්-
27.12.2021


Painting: "Photographer" by Vera Dorkina

Monday, September 20, 2021

පිනි මත ය - ඔය සිලිටි පා ලකුණ...

ඝනව එන සීතෙන්
මිහිදුමකි මා දෑස් මත්තෙන්..
හිරිකඩ ය - මල් පෙති මත
පිනි මත ය - සිලිටි පා සලකුණ,
දකිමි නැවතී මෙතෙකින්...

පසු හඹා එනු බැරි
මේ හැටි ම රළු පයකින්..
කොයි ලෙස ගලා ආවද
කෙටි කථාවක - දිගු ඡේද
නතර විය යුතු කුඩා තිතකින්...

හිරිකඩට එපිටින්
නුඹ ඇති නතර වී,
ඔය හිතට රිසි තැනෙකින්..

ශීතලම රැයෙහිත්
තුහින මිහිදුම් සළුව
තුරුළු කරගමි දෙඅතින්..
අතැර යනු බැරි සුවඳක්
තවමත් ඉතිරි වී ඇතියෙන්...

-මුදිත්-
2021.08.11


Painting: Mountains In The Mist by Joyce Combs

Friday, January 8, 2021

සුබ පැතුම් පත් කුමට...?

අත හැරෙන බව ලියා දැනුම් දී කල් ඇතිව
වැහි කඳුළු බර පවා අහසකට හුරු කෙරුව
හිම මිදුණ දුරුත්තක ශීතලෙන් ඇණ ගැසුව
හද ගැහුණ එක පවා පුදුමයකි ඔබ නැතිව

කාලයට තටු ලැබී හෘද තානය බින්ද
තාලයට ඉගිලුනේ කොතැන වුණ වරදින්ද?
ඔය ළයට හිස තියා සිතින් සිය වර වින්ද
ආලයට කල් පිරිනි නිහඬවම ඉකිබින්ද

තාරකා ඇස් අගින් රාත්‍රිය උරාගෙන
පායනා සඳ ඔබෙයි, අමාවක ඉරාගෙන
පීදෙනා සියපතක වේදනා දරාගෙන
ගීතිකාවක් නැගෙයි බෝ පෙරුම් පුරාගෙන

තැනි බිමට කඳුළු දෙන අඩ සඳට ඉඩ දෙන්න
පිනි ඉහුනු පෙති පවා සසැලුනි ද දුක දන්න
තුති පිදුම් සන්ධ්‍යාව මට එපා, නුඹ ගන්න
ඉතිරි වුණු මතකය ම මට ඇති ය නවතින්න

සියුම් රිදුමක් ඇතත් හදෙහි ගැඹුරුම තැනක
හැඬුම් දහසක් හඬා කඳුළු තවරා කුමට
කැලුම් දෙන සිනහවක් පැලඳ ගෙන එනු මිසක
රිදුම් පිරි සුබපැතුම් ලියා නොගෙනෙමි නුඹට

කරුවලෙක සඳ මඬල තුරුළු කරගමි ඇසින්
හුරු තැනක නතර වෙමි මතක අහුලන රිසින්
තරු ලකුණ රැය අහස මත තවම ඇති හෙයින්
තුරු හිසක මල් පිපෙයි හෙට පවා අප නමින්


-මුදිත්-
2021.01.02






Tuesday, February 25, 2020

කොහොමද...?

සරා මල් පාර දිග
පෙරාගෙන ආ මතක රැස,
දරා රළු ළ'මැද්දක
සිනහසෙන ඇසක අග මදහස,
ඉතා දිගු හෝරාවල
ඉපදුණු පිපුණු හිතවත්කම,
ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

ජීවිත බැඳුම් නටුවෙන්
මිදී වියැලුණු තුරුපත
නිදැල්ලේ රැගෙන ගිය
නුඹ ම විනි නම් ශරත් සුළඟද
ඉතින් නුඹ ගිය පසුව,
අලුත් සළු පිළි පැලැඳ
හෙටත් සරසවි බිමට - වසන්තය වඩින බව
ඉඳුරාම කියන්නේ කොහොමද...?

මේ වලා වියන යට
මැයි මාර, රොබරෝසියා මල්
හෙටත් මේ හැඩයෙන් ම
පිපෙතැයි කියන්නේ කොහොමද...?
හන්තාන, මල් පාර
මහවැලිය ගං දෑල
හෙටත් අද වාගේම
හිඳිතැයි කියන්නේ කොහොමද...?

ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

-මුදිත්-
25.02.2020


Friday, November 9, 2018

ඒ අතීතයෙ හැඩතල..

හැන්දෑව අතරින් පියමැන
සංතාප වළා පෙළකින්
මිදී ආවද ප්‍රේමිය,
එ'තරම් ම මෘදු ළයකින්
ඒ තරම් බර සුසුමින්
වෙළී පැටළී ගියේ කෙළෙසද
සංසාරගත ප්‍රේමය...?

පුරාතන මතක පොදි ලඹ දෙන
හන්තාන මුදුනින් නැගී,
ඉපැරණි ම බිම මත ලියැවුණ..
හාදු වංගුව පතුළට
මුදා අත් හළ කවියක,
රහසින් බිඳි බිඳී යනු ඇති
ජීවිතෙන් ගිලිහුණු එළිවැට...

ලියවැල ලිහී ඉහිරුණු බිම
මතක මල් පෙති ඉහී
සුළඟක ගසා ගෙන ගිය ඉම..
යොදුන් ගණනක් දුර
නාඳුනන සයුරක
ගිලී මියැදී යන්නැති
මහවැලිය ගෙන ගිය පෙම...
                                         -මුදිත්-
                                2018.10.30

Tuesday, September 4, 2018

සුරත බැඳි මුතු දෙපොට...

හිත තබා නික්මුණෙන් මතකයක හැඩහුරුව
සිහින ඉවකර ඇදෙන කඳුළකිය නිම නැතිව
ළය පුරා පටලැවී - අතෙහි පැටලෙනු බැරිව
කල්පයක් කල් බලා හුන් අහස, සඳ නැතිව

ගණාඳුරු සිත පුරා නොනැවතී පා නැගුව
සදාතන සිහිනයකි සොඳුරු හැඩතල මැව්ව
පුරාතන මතකයෙක බැඳුම් වරපට ලෙහුව
සරාසඳ වියැකුණිද අඳුරු කළුවට මුහුව

වළා පෙළකට නැගී සැඟවෙන්න හැකි ඔබට
ගෙවා සපැමිණි දුරද, දුරක් නොවුණිද සිතට..?
නිවාලනු නොහැකියෙන්, නැගෙන කඳුළින් ඇසට
අතෙහි පටලා තබමි කළු ගැහුණු මුතු දෙපොට

මගහැරුණු මුතු ඇටය මත නිදන් කර මතක
අත බඳිමි මුතු දෙපොට කඳුළ සඟවා ඇසක
හාදුවක් පළන්දා සියුමැලි ම කොපුලතක
පැතිර යමි දියැවෙමින් සන්තාප කළුවරක
                                                                    -මුදිත්-
                                                            2018.08.31

Tuesday, June 26, 2018

කතාවක ඉතිරි අඩ...

එකකට පසු එකක්
තවමත් දැල්වෙනා දුම්වැටි,
කාලය ගොලුව ගොස් නැති බව
ඉඟියකින්
ඔබට හඟවනු ඇති..

බිඳී ගිය වීදුරුවක
බිම පුරා ඇති කැබලිති,
අතරින් පතර බිම විසිරුණු
මලකින් ගිලිහි ගිය මල් පෙති,
සුසුමන් දෙක තුනක්
කුටිය හැර දා යනු බැරි......

මුවින් නොදෙඩූ බොහෝ දේ
ඉඟියකින්
ඔබට පවසනු ඇති...
                                                  -මුදිත්-
                                          2018.06.26

Monday, May 28, 2018

මැදියමක ..

හදවතේ සියුම් තැන්
මත ම ලැග හුන් මතක..
දිග හරිමි දෙපාමුළ
අඩක් වියැකුණු සඳක...
සිහිසන් ව ගිය නමුදු
තව නො මළ සිහිනයෙක..
නුඹ සිටින'යුරු දකිමි,
කිමිදෙමින් මධුවිතක...
                                 -මුදිත්-
                          2018.05.28

Monday, May 7, 2018

නික්මෙමි...

නොතෙමී හිඳිනු පිණිස ම
ශීතලෙන් මිරිකෙමින් වුව
උයන් කුටියකට වී
දිගු වස්සානයක්
පසු කලෙමි..

හේමන්තයේ එකින් එක
ගිලිහෙමින් යන පත් දැක
ගැඹුරුතම දහමක් අස
තාවර ව ගිය සිත
කූද්දා ඇහැරමි..

වසන්තයෙ පිපි මල් වල
එකිනෙක පැටලි මුදු සුවඳට
සෘතුවක් පුරා කවි ලීවෙමි..

දාහය ම කඳුළු කොට වගුරන
විසල් රුක් සෙවණක
මලානික පත් ගණිමින්
ගිම්හානයක් පසු කෙරුවෙමි..

මල් වරා ලූ පසුවත්,
තෙත සිඳී ගිය පසුවත්,
මෙතෙක් මල් දුන් බිම මත
නතර වී මග බැලුවෙමි..

ඉනික්බිති එක් මොහොතක
ඉඩෝරය වී - නුඹම සපැමිණ
දන්වා සිටින විට
මෙ බිම අතහැර යා යුතු ම වග,

ඉටි මලක් කොට, මතක රැස
පළන්දා - මල් වැරූ අතු අග
මඳක් තාවර ව හිඳ
මෙයින් නික්මී යන්නෙමි...
                                               -මුදිත්-
                                       2018.05.06

Thursday, July 27, 2017

පිළිතුරක්....

දන්වා එවු නමුත්
කෙටිම කෙටි පණිවුඩයක,
අඳුරත්, පාළුවත් පමණක්
නුඹ අසල ගැවසෙන බව..

කලින් දන්වා නොපැමිණි
වසන්ත දෙක තුනක්
පසු කෙරුවද,
සොඳුර නුඹ නොදනී
මෙ'නුවර
කෙටි දිවා කලකුත්
දිගම දිග
රැයකුත් උරුම
හුදෙකලා සිසිරයක් බව...

                                        -මුදිත්-
                                2017.07.17


Painting :   "June's Ascension" - Timothy Rees {figurative art beautiful female standing woman digital painting}

Sunday, June 11, 2017

සයුර මුණගැසුණු පසු..

සරැළි නැංවූ සිහින කරදියෙහි ගිලෙන කල
වෙරළ බැම්මෙහි හැපී බිඳී යයි සිනහ රළ
ගව් ගණන් ගෙවා ආ ගංගාව ගිලී මළ
සමුදුරක් තිබුණාද අප දුටුව සිහින වල

                                                          -මුදිත්-
                                                    2017.06.10


Sunday, June 12, 2016

"අප" යන අනුක්තය...

නුඹ,
  රැයෙක- ගණ අඳුරක..
  හිස්තැනකි
  කළු වළාවක් යට...

මම,
  බුබුළකි දැවී ගිය..
  සියළු වෙර ගෙන- නුඹ අස
  වරක් පමණක් දැල්වුණ...

                             -මුදිත්-
                     2016.06.11


Friday, December 18, 2015

හිස්තැනක හිඳ....

අවරග ඉතිරි වුණු
අවසාන රන් රේඛාවද
අතකින් පිසදැමූ පසු..
සන්ධ්‍යාව දැන් ඉතින්
අවසන් ය...

සැඳෑ සාදයෙහි අවසන
හිස් වුණු මධු බඳුන් ගෙන
ආකාස උයනේ තැනින් තැන,
වළාකුළු පවා අසරණය
ඉබාගාතේ ඇවිදින...

අහසේ කෙළවරින් ගිලිහෙන
තරුවක මළානික ප්‍රේමය
ශිශිර සුළඟක හැපී
ගලා එද්දී පාතට..
සියුම් රිදුමක් සමග
ඇසේ..
හදවත් කුහරයක බොල් හඬ...

ප්‍රියාවිය,
නුඹ මැවූ සැඩ සුළඟට
ගිලිහුණු බව හැඟේ
ශිශිරයේ අවසන් තුරු පත...

jdslanka අඩවියේ "අවකාශ"යට>>>>>
                                                  -මුදිත්-
                                           2015.11.28