එක එක හැඩෙන් කියවන්න

Monday, May 4, 2026

කොවුල් වත...

කොවුලෙකි ඌ දැන්,

අගනුවර අතු අග නිවසන..

සති අන්ත වල පවා

විහිලුවටවත් 

ගී නොගයන...


අර්ථය අපැහැදිලි "අර්ථ ක්‍රමයේ"

කරවටක් ගිලී පීනන,

ඉඩක් එන දවසක

ලිහී විසිරුණු ස්වර ඛණ්ඩ

තුඩෙන් අහුලන හීන දැක දැක..

කොවුලෝ,

දැන් ඉතින් නොදැනීම

ඇවිත් මැදිවිය - එළිපත්ත ලඟ...!!!


එකෝමත් එක ඉස්සර

බංකුවක් තියාගෙන මිදුලේ

ඇඟිලි නමමින්

තරු රටා ඇහිලුව මිතුරේ..

ඉඩ ලදොත් දවසක..

ගෑස්ටික්, ප්‍රෙෂර් පෙති තාරුකා

තබා බටහිර ක්ෂිතිජේ,

තරු රටා අහුලමු,

අතරින් පතර මරු මරු රටා හමුවේ...!!!


දුම් වළාකුළු අතර

රාත්‍රිය හෙමිහිට පැතිරෙයි,

නෙක තරු රැසින් එක එක

බහල අඳුරේ වැළලෙයි..

තනුවකින් මගහැරුණු ස්වරයක්

ඔහේ ඔබ මොබ පාවෙයි,

ආං.. අර අඩහඳ ආයෙම

අහක බලමින් හිනැහෙයි...


-මුදිත්-

04.05.2026

Image By Gemini AI



Sunday, January 18, 2026

අපි...?

"අනන්ත සයුරේ.. බියකරු දිවි දියඹේ.."
පාළුව ඉරාගෙන
ඈතින් ඇසෙයි කපුගේ..

රැඳී ඉන්නට මතකයක් නැති

පලා යන්නට සිහිනයක් නැති

ඇත්තටම අපි..! 

කොහොම වෙන්නද අපගේ..?


රැය හෙමින් දිගු වෙයි..

මං හෙමින් වැතිරෙන්නම්

ජීවිතය නම්,

තිත්ත කරුවල හිරගේ...


ඇත්තටම අපි,

කොහොම වෙන්නද අපගේ..?


-මුදිත්-

26.10.2025


Paint : Deep Yearning (2020) by Lizelle Lazarus

Monday, December 29, 2025

කල්පනා ලෝකෙක, දිග රස්තියාදුවක් ගහන්න...

    වෙලාව හවස හයට කිට්ටුයි. මම ඉන්නෙ කල්පිටියෙ - ඈත උච්චමුණි තුඩ තෙක් විහිදෙන පටු වැලි තීරුව දිගේ ඔහේ ඇවිදින අතරෙ.. මගේ දකුණු පැත්තෙන් ඉතාම සංවේදී කඩොලාන පරිසර පද්ධතියකට ජීවය පොවමින් කල්පිටිය කලපුව විහිදිලා තියෙන අතරෙ වම් පැත්තෙන් කෙළවරක් නැතිව විහිදුණු ඉන්දියානු සාගරය. මෙහෙම කිව්වා වුණත් අර්ධද්වීපයක් වුණු කල්පිටියෙ, මගේ දකුණතින් විහිදෙන කලපුව තැනෙන්නෙත් ඉන්දියානු මහා සාගරයෙන්මයි. ඒ අර්ථයෙන් ඒත් මේත් එකම ඉන්දියානු සාගරයමයි. මේ ගමනට කල්පිටිය යොදාගත්තෙ විශේෂ හේතුවකට නෙමෙයි. මාතර ඉපදුණු හැදුණු වැඩුණු මට, සාගරය- වෙරළ කොහොමටත් දුලබ අත්දැකීම් වුණේ නෑ. අඩුම තරමින් සතියකට වතාවක් වත් මූදු වෙරළට ගිය අතීතයක් මට තිබුණා. මේ වෙලාවෙ මට ඕන කළ වැදගත්ම දේ විවේකය.. නිදහස. මාතරින් පිට වෙරළාසන්න තැනක නිවාඩුවක් ගතකරන්න  කවදාවත්ම මට ඕන වුණේ නෑ. මේ වතාවෙ හරිම අහඹුවෙන් මේ ගමන කල්පිටියට යෙදුණා. 

    මම ඇවිදිමින් ඉන්න වැලි පරය ගූගල් සිතියමේ නම් වුණේ sand route නමින්. ඇත්ත.. උච්චමුණියට යන කෙනෙකුට යන්න තියෙන ගොඩබිම් මාර්ගය මේක - ඒ වගේම මේක වැලි පාරක්. මේ දිගට තැනින් තැන පොල් අතු වලින් කෙරුණු ධීවර වාඩි තිබුණා. සමහරක කිහිප දෙනෙක් බෝට්ටු සූදානම් කරමින් ඉන්නේ බොහෝ දුරට රෑ රස්සාවෙ යන්න වෙන්න පුළුවන්. වෙරළ පුරාම තැනින් තැන බෙලි කටු, කොරල් කැබලිති වගේම ඉඳහිට දැලි පොත්තක් දෙකක්, මැරුණු මාළුවෙක් එහෙමත් විසිරිලා තිබුණා. ඊට ඈතින්, වාඩි වලට මීටර් කීපයක් මෑතින් සාගරය විසින් තරයේම ප්‍රතික්ෂේප කරපු කුණු රොඩු, වැටියක් වගේ ගොඩගැහිලා තිබුණා. මාරුවෙන් මාරුවට හැපෙන බිඳෙන රැළි දිහාත්, මට ඉස්සරහින් විහිදෙන වැලි තීරය දිහාත් බලමින් මම ඇවිද්දා. දවල් ගිනි අව්වෙ රස්නෙ නිවිල තිබුණු නිසාත්, ලුණු වාෂ්පෙන් සීතල වුණු මූදු හුළඟට නිදහසේ මගෙ සැහැල්ලු කමිසෙ අස්සෙන් රිංගන්න බාධාවක් නොතිබුණු නිසාත් කාලයක් තිස්සෙ මග හැරුණු සනීපයක මාව ගිල්වමින් හැන්දෑව ගෙවෙමින් තිබුණා. මගේ ගමන එක සැරේ නතර වුණේ කැපිලා පෙනෙන තරම් හැඩ බෙලිකටුවක් දකින්න ලැබීමෙන්. වෙරළ පුරාම එක එක තරමේ සිප්පි කටු විසිරිලා තිබුණා වුණත් මේ බෙලි කටුව පැහැදිලිවම ඒවායින් වෙනස්. බොහොමයක් අනෙත් කටු දෙපියන් බෙල්ලන්ගෙ. එක්කෝ රුපියල් දෙකේ කාසියක් තරමෙ පොඩි කාවාටි. ඒත් මේ මතුපිට නෙරුම් වලයන් කීපයක් තියෙන තද රෝස පාටකට හුරු අඟල් හයක් විතරවත් දිග බෙල්ලෙක්. මේ ලස්සන පෙනුම හින්දම ඉබේටම වගේ මගේ පියවර ඒ පැත්තට බර වුණා.

    එකෝමත් එක ඉස්සර කාලෙකත් මේ වගේම වෙරළෙ ඇවිදලා එද්දි නා නා ප්‍රකාර ජීවිත වල සුන් බුන් එකතු කරන් ආපු පුරුද්දක් මට තිබුණා. එක්තරා මොහොතක කාගෙ හරි ජීවයෙ කොටසක් වෙලා තිබුණු එහෙම දේවල් කාමරේ තැන තැන, පොත් රාක්කෙ උඩ, මේසෙ උඩ නිස්කලංකව සීතලට වැතිරිලා ඉන්න එක මට ගැටළුවක් උනේ නෑ. සමහර සත්තුන්ගෙ ඇට කටු පවා මේ අතරෙ තිබුණා. ඒවයෙ අමුතු පාට, හැඩ තල එහෙම උනේ ඇයි කියන එක ගැන මහ රෑ පාන්දර වෙනකල් කල්පනා කර කර මනෝ ලෝක වල රස්තියාදු ගහන එක, ඒ සමහර රටා, හැඩතල පොඩි නෝට් පොතක සටහන් තියන එක, ඒ කාලෙ මගේ ජීවිතේ ලොකු කොටසක්.. මම හෙමිහිට බෙල්ලා ලඟ ඉඳගත්තා. 

ඒක නිකම්ම බෙලි කටුවක් නෙමෙයි...
    මේක නිකම්ම බෙලි කටුවක් නෙමෙයි. තාපස කකුළුවෙකුගෙ ගේ පොඩ්ඩක්. වෙරළෙ ටිකක් ඇවිදින කෙනෙකුට තාපස කකුළුවෙක් අමුතු දර්ශනයක් වෙන්නෙ නෑ. හික්කඩුව, මාතර, දික්වැල්ල, නිල්වැල්ල මේ විදියට මට හුරු පුරුදු දකුණු දිග වෙරෙළ තීර වලත් තාපස කකුළුවො ඕන තරම් දකින්න ලැබෙනවා. ඒත්... මේ අද දකින්නෙ මම හැබැහින් දැක්ක ලොකුම තාපස කකුළුවා. තාපස කකුළුවා අනිත් කකුළුවන්ගෙන් වෙනස්. අනෙත් කකුළුවන්ට වගේ ඌටම කියලා ඝන කැල්සියම් ආවරණයක් නෑ. ඉතින් කොහොමද ආරක්ෂා සහිතව, පරෙස්සමට මේ පරිසරවල තහවුරු වෙන්නෙ? ඒක සිද්ධ වෙන්නෙ හරි අපූරු ක්‍රමයකට. ඒ තමයි මේ කකුළු විශේෂය තමන්ට ඉන්න ගෙයක් හොයාගන්න එක - නිකම්ම ගෙයක් නෙමෙයි, යන තැනකට උස්සන් යන්න පුළුවන් ගෙයක්. මේ ගේ වෙන්නෙ බොහෝ විට මැරුණු බෙල්ලෙකුගෙ කටුවක්. තාපස කකුළුවෙක් මෙහෙම කටුවක් ඇතුළට රිංගලා උගේ මෘදු ශරීර කොටස - මේ තමයි වැදගත් ඉන්ද්‍රියයන් ගණනාවක් පිහිටපු බඳ කොටස - ඒ ඇතුළෙ රඳවාගන්නවා. මේ නිසා උගෙ ශරීර හැඩයත් අපි දන්න සාමාන්‍ය කකුළුවෙකුගෙන් වෙනස්. තාපස කකුළුවෙකුගෙ අඬු, එහෙම නැතිනම් පාද පිහිටන්නෙ ශරීරයෙ ඉදිරි කොටසෙ. එහෙම නැතිව සාමාන්‍ය කකුළුවෙකුගෙ වගේ ශරීරයෙ අගටම යනතුරු නෙමෙයි. පහළ රූප සටහනෙන් ඒ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි.

සාමාන්‍ය කකුළුවා

කටුවක් නැති තාපස කකුළුවා

    ඉතින් එතකොට මේ සත්තු වර්ධනය වෙද්දි මොකද වෙන්නෙ? ඒකටත් උත්තරයක් තියෙනවා. ඒ තමයි තමන්ගෙ කටුව තමන්ට ප්‍රමාණවත් නොවෙන්න ගන්න කොට, තමන්ගෙ ප්‍රමාණයට සෑහෙන තරමෙ අලුත් කටුවක් හොයාගන්න එක. එතෙන්දි එක කකුළුවෙක් අතහරින පරණ ගෙදර, ඊට වඩා පුංචි කකුළුවෙකුගෙ අලුත් ගෙදර බවට පත් වෙන්නත් පුළුවන්. විශ්වාස කරන්න පුළුවන්ද, මේ සත්තු විශාලත්වයේ පිළිවෙලට පෙළගැහිලා එක මොහොතක මේ අපූරු ගෙවල් හුවමාරුව ගණුදෙනු දාමයක් විදියට සිද්ධ කරන අවස්ථා තියෙනවා. මේ සබැඳිය එහෙම අවස්ථාවක් ගැන.

    මේ කතා අතරට නොකියාම බැරි තවත් එකක් තමයි තාපස කකුළුවා එක්ක මුහුදු ඇනිමොනි (sea anemone) සහජීවී සම්බන්ධය. මේ ගැන උනන්දු කෙනෙකුට ඒ ගැන පොඩි කතාවක් මෙතනින් බලාගන්න පුළුවන්..

    තාපස කකුළුවො ගැන එහෙන් මෙහෙන් අහුලගතපු දේවල් ඔලුවට එමින් තියෙද්දි, මම බොහොම උද්‍යෝගෙන් මට හමුවුණු කකුළුවාව නිරීක්ෂණය කරන්න ගත්තා. මීට කලින් මම නොදැකපු විදියෙ කෙඳිමය ස්වභාවයක් මේ කකුළුවගෙ තිබුණා. හරියට වයසක පාටක් වගෙයි ඒ පෙනුම මගෙ ඔළුවෙ සටහන් වුණේ. මේ මුළු වෙලාවටම ඌ කිසිම චලනයක් නොපෙන්නපු නිසා මම ඌට පොඩි තට්ටුවක් දැම්මා.. හරි නම් හැංගෙන්න ඕන. එහෙමයි මේ සත්තු. ඒත් කිසිම හැල හොල්මනක් නෑ. මැරිච්ච එකෙක්.. බොහොම පොඩි වෙලාවකින් මට ඒක පැහැදිලි වුණා. ඒත් මැරිලා ලොකු වෙලාවක් වෙන්න බෑ වගේ එකකුත් ඉවෙන් වගේ මට දැනෙනවා. බොහොම කාලෙකට පස්සෙ අද, මේ වෙලාවෙ - මැරුණු කකුළුවෙකුත්, ඌගෙ අවසාන ගේ පොඩ්ඩ වෙච්ච බෙලි කටුවත්, ඊටත් එපිටින් ඈතින් ඈතට විහිදෙන මහා සාගරයත් ඉස්සරහ උක්කුටියෙන් ඉඳගෙන ඉන්න වෙලාවෙ, මට කාලෙකට පස්සෙ ක්ෂුද්‍ර බවක් දැනෙන්න ගන්නවා. මේ පේන මහ සාගරය.. එකම රහස් ගබඩාවක්..! අනිත් අතින් කලපුව.. වෙනමම ගුප්ත ලෝකයක්..! මට ඉහළින් අහස තවත් ඈතින් ඈතට ඈත් වෙමින් ලෝකය එන්න එන්නම විශාල වෙමින් තියෙනවා.. මට මගේ යටි පතුලට දැනෙන තෙත වැල්ලෙ සංවේදනයේ කළින් දැනුනාට වැඩි සියුම් තීව්‍ර බවක් දැනෙනවා. වෙන වෙලාවක නම් මේක මට නොදැනෙන්න වුණත් බැරි නෑ. අත් පය පවා නුහුරු බවකින්, නුහුරු විදියකට පිහිටලා වගෙයි. ඒ වුණත් මේ නුහුර ඇතුලෙ, මාව කෑල්ලෙන් කෑල්ලට ගලවලා, තිබුණාටත් වැඩිය හරිම මිම්මට හරිම විදියට සවි කළා වගෙ පුදුමාකාර පහසුවක්, සැහැල්ලුවක් තියෙන බව නම් පැහැදිලියි. අභ්‍යන්තර අවයව, කොටින්ම සෛලයෙන් සෛලය පවා.. 

    බෙලි කටුව දිහාට මගේ අත කිට්ටු වුණේ ඉබේටමයි. මේ මම නෙමෙයිද? එහෙමත් නැත්නම් හැබෑම මම, මේ පොඩි මොහොත ඇතුලෙ මට හම්බුණු මම ද..? කාලෙකට ඉස්සර ඔහේ ඇවිදිමින්, අහුල ගතපු රහසක් ගානේ විශ්මපත් වෙමින් ඉඳපු මාව, මේ මායාකාරී මොහොත විසින් නැවත හොයාගත්තු බවක් මට දැනෙනවා. දිය රළක් ඇවිත් ගියා. තව ටිකකින් ඇඳිරි වැටෙන්න නියමිතයි. කකුළුවා විසින් මෙතෙක් දුර අරන් ආපු බෙලි කටුව, මට අමතක නොවෙන මතකයක් වේවි. මේ මොහොත මට විශේෂයි. මම ආපහු යන්න හැරෙනවා. අවුරුදු ගාණකට පස්සෙ, කල්පනා ලෝකෙක දිග රස්තියාදුවක් ගහන්න බෙලිකටුවක් අද මාත් එක්ක අපේ ගෙදර යනවා.

-මුදිත්-

27.12.2025

Sunday, November 9, 2025

එකෝමත් එක ඈත දවසක..

පරිණාම සිතියමේ අග උන්

හෙල්ලක් අතින් ගත් මිනිසා,

කොහේදෝ සිට පැමිණ

අනින්නට ගත් හින්දා,

ටයි ගැටය ඩිංගක් බුරුල් කර

මං කොන්ද දිගහැරියා...


ඔය අතර, 

ශිෂ්ඨාචාර සැලසුම් ප්‍රකාරව

හා හා හරි හාවා - කැලේ මැදින් ආවා..

ජෛවගෝල රක්ෂිතයක් තුලදී 

ඉබ්බා, අභියෝග කෙරුවා

පිටපතේ හැටියට තරඟෙ කෙරුණා...


අවසානයේදී, සභා තොමෝ සතුටිනි

අත්පුඩිත් ඔල්වරසනුත් නැගුනා...


එකෝමත් එක ඈත දවසක...,

හිටිවනම සිහියට ආවෙන්

කට නිසා නැහුණු මී මුත්තා,

නොකියාම බැරි ටිකත් - නොකියා ගිලගෙනම

ඒ ඉතිහාසගත මොහොතෙත්

කට කොනින් සිනාසී උන්නලු

ඩාවින්ට හමුවුණු ඉබ්බා...


-මුදිත්-

18.05.2025


Image generated using Google Gemini


මේ තරම් තරු පිරුණු රැයකත්...!

මේ තරම් තරු පිරුණු රැයකත්

නුඹ නමින් - නුඹ වන්

එකදු තරු රටාවක් නැති හැටි...!


සඳක කරුවල පළුව මත

බොහෝ දේ සිදුවෙයි..

කිසිවක් ම සිදු නොවන සේ

රාත්‍රිය නම් සියලු දේ

එතැන ඉපැදී, එතැන්හිම මිය යයි...


කවුරු කොයි ලෙස කීවත්

සඳ එළිය අතරින්,

කරුවලත් පොළොව මත ඉහිරෙයි,

අඳුර මත ලැග ගත් මගේ ඇස්

ආකාස ඉවුරු දිග පීරයි...


මේ තරම් තරු පිරුණු රැයකත්

නුඹ නමින් - නුඹ වන්

එකදු තරු රටාවක් නැති හැටි...!


කුමක් හෝ වරදක්,

කොතැන හෝ සිදුව ඇති..

තවත් ටිකකින්

තවත් හෙටකට එළිවනු ඇති...


-මුදිත්-

26.03.2025

Image generated using Google Gemini


Friday, September 19, 2025

ඇයි මේ කලබලේ...?

කලට නිල්ලට පීදෙන යායක
පුරන් වූ කට්ටියේ, වගුරු දිය අල්ලක
වෙල් පලා නෙළන්නී..
දවසට මිටක් ගානේ පීදෙන
මේ මහා පොළොවේ,
ඈ වෙනුවෙන් ශේෂ සාරය...

මහා හිමිදිරි පාන්දර
'ස්වර්ණ හෝරාවේ',
අවසාන තත්පර කිහිපයේ
ඇයි මේ කලබලේ,
ඈව සුරකින්නට කැමරා රාමුවේ..?

ඉතිහාසය පුරා
කාගෙ හෝ අම්මෙක් ව, අක්කෙක් ව
පැමිණියා සේ ඈ මෙතැනට..
හෙටටත්, මතු මතුත් 
ඉඳුරාම එයි ඈ නෙළන්නට
දවසට මිටක් ගානේ පීදෙන
මේ මහා පොළොවේ,
ඈ වෙනුවෙන් ශේෂ සාරය...

-මුදිත්-
17.02.2025

Image from web


 





Thursday, February 27, 2025

ඔබ සිටින්නේ හැන්දෑවක...

ඔය දෑස් යට මන්දාරම...

පිනි බිංදු වැටුනත්
ලකුණක්, හඬක් නොතියා
ඔබට වැඩියෙන් මං දන්නවා
මන්දාරමක හැඩතල...

හීකඩේ හීතල..!
වළා කැටි යට දම් පාට..!!
ඒ සියල්ලට වැඩියෙන්
ඔය දෑස් යට මන්දාරම...!!!

ඔබ සිටින්නේ හැන්දෑවක...

මන්දාරම් අඳුර දියැවුණු
හීතල බෝම කුරිරුයි..
ඔබට වැඩියෙන් මං දන්නවා
දෑත් ගුලියේ පටලාගත්
අවසාන උණුසුම් කැරැල්ලත්
මැරී අවසන් බව...

බුර බුරා එන හීකඩ..!
කොනිති ගහනා හීතල..!!
ඒ සියල්ලට වැඩියි
ඔය දෑස් යට මන්දාරම...!!!

ඔබටත් රහසින් ම,
ඔබ සිටින්නේ හැන්දෑවක...

-මුදිත්-
15.01.2025

Image: Mystery 05-01-M2C-43 by Wil Lof (2005)


Thursday, December 5, 2024

එකම මන්දාකිණියක, වෙන වෙනම තරු දෙකක...

 "එකම මන්දාකිණියක
වෙන වෙනම තරු දෙකක.."
මතක හැටියට නම්
එහෙමයි උන්නෙ නුඹ - මං..

වැඩිපුර කතා බස්..
ඒ වුණත් හදවතින් දෙඩුවේ
වචන අතරේ - හිස්තැන්..

සඳට නතු වුන රැයක,
තරු..! 
සඳට අවනත නැති තැන්..
රැය - අහස - සඳ - තරු
නිහඬවම හිඳිමින්
නිතර ඇවිලෙන උන්...

ඇත්තටම අපි..!
පෙම් කලාවද රහසින්....?

තරු අතර ඉතිරි ඉඩ බෙදාගෙන විඳිමූ
තුරු අගිසි මල් දරයි, බලාගෙන ඉඳිමූ
කරුවලත් රළු නොවෙයි සඳ රැසක් අඳිමූ
කඳු අතර හිස්තැනක, බදාගෙන ඉඹිමූ

-මුදිත්-
22.10.2024





Friday, November 22, 2024

මේක හොල්මන් (ගැන) කතාවක්

  මං හිටියෙ හැටන් වල. පහුගිය දවස් පුරාම නුවර තිබුණෙ මිශ්‍ර කාලගුණයක්. හිතුනම පෑව්වා, හිතුනම වැස්සා. මට පායන්න ඕන කියලා හිතුනම අහසට වහින්න හිතුනා. අහසට පායන්න හිතුනම මට වහින්න ඕන වෙලා තිබුණා. නුවරට මාවත් මට නුවරත් ගලපගන්න බැරි වුන තැනදි මං තීරණයක් ගත්තා, දවසකට දෙකකට කොහේ හරි යන්න. ගිටාර් එකත්, තව ඇඳුමකුත් අරගෙන, මේ සිද්ධියට කලින් දවසෙ මං පාරට බැස්සෙ නුවරඑළියෙ යන්න. කාලෙක ඉඳන් දන්න කියන කාලගුණයක්, දේශගුණයක් තියෙන තැනකට යන එක මගේ ඇතුලට උවමනා වෙලා තිබුණා. මං පේරාදෙණිය හංදියට ඇවිදගෙන ආවා. ගම්පොළ, පැණිදෙනිය බස් සෑහෙන්න ගියා. ඒත් නුවරඑළියට යන එක බස් එකක් වත් ආවෙ නෑ. මටත් තවදුරටත් නුවර එක්ක පැටලි පැටලි බස් හෝල්ට් එකක චාටර් වෙන්න පුළුවන් කමක් තිබුනෙත් නෑ. ඊළඟට ආපු පළවෙනි ම බස් එක හැටන්. දෙපාරක් නොහිතා මං ඒ බස් එකට නැග්ගා. ඒක හැටන් වුනත් නුවරඑළියක් කරගන්න පුළුවන් විදිහෙ වෙලාවක්. එන අතරෙ නවතින්න තැනක් බුක් කරගත්තා. ඒ විදිහට, මේ සිද්ධියට කලින් දවසෙ මං හැටන් ආවා. ඉතිං මේ කියන දවසෙ මං හිටියෙ හැටන් වල.

අරමුණක් නැතුව ආපු ගමනට අරමුණක් එකතු කරගන්න මට ඕන වුනේ නෑ. ඒ ගමන එන්න කලින් මට වෙන වෙන අරමුණු තිබුණා. අරමුණක් නැතුවම එළියට බැස්සෙ, ඒ තිබුණු අරමුණු සෑහෙන්න බර ඒවා වුණු නිසා. මං එවෙලෙ ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙන්න හදපු බස් එකක නැග්ගා. පර්ස් එකේ තිබුණු පනහෙ කොළයක් කොන්දොස්තර අතට දුන්නා. දන්න මිනිහා වගේ සල්ලි දීපු නිසා මිනිහා මට පනහෙ ටිකට් එකක් කැඩුවා. මට උවමනා වුනේ හිතුනු තැනකින්, හිතුනු වෙලාවක බහින්න. ඒක වංගු පිරුණු පාරක්. කොහෙට යන පාරක්ද කියලා මම දැනන් හිටියෙ නෑ. ෆෝන් එක අතට අරන් මැප් එක බැලුවා නම් දැනගන්න තිබුණා. ඒත් ඒ තරමෙ අරමුණක් වත් මට ඕන වුණේ නෑ. ලොකු හේතුවකට නොවුනත්, මං එක්ක මගට බැහැපු මගේ ගිටාර් එක, මගේ කකුල් දෙක අතරට වෙලා බස් එකේ රිදම් එක අඳුරගනිමින් හිටියා. පහලින් පයිනස් ගස් වැවුනු බෑවුමකුත්, පාරෙ අනිත් පැත්තෙන් උසට තණකොළ වර්ගයක් වැවිලා තිබුණු වංගුවකින් මම බැහැගත්තා. ලඟපාත මොකවත් ම පේන්න නොතිබුණු නිසාද කොහෙද ඩ්‍රයිවර් තවත් ටිකක් එහාට බස් එක නොනවත්වා යන්න හැදුවත්, දෙතුන් පාරක් බෙල් එක ගහද්දි බස් එක නතරවුනා. මිනිහා පස්ස හැරිලා ප්‍රශ්නාර්ථ බැල්මකින් මං දිහා බැලුවා. මං හිනාවක් දාලා බස් එකෙන් බැස්සා. බස් එක ඊළඟ වංගුවෙන් මැකිල ගියා.

මම බස් එක ගියපු පැත්තටම පයින් ඇවිදන් ගියා. මම ආපු පැත්තට වාහන කීපයක් ගියා. මං යන පැත්තට ඊට වඩා අඩු වාහන ගාණක් ගියා. ඒ අඳුර බෝවෙන්න පටන් ගන්න වෙලාව. මනුස්සයෙක් බයිසිකලයක් පැදගෙන මගේ ඉස්සරහට ආවා. 

“අයියේ, මේ ඉස්සරහ ගෙවල් එහෙම තියෙනවද?” මං ඒ මනුස්සයගෙන් ඇහුවා.

“ගෙවල් තියෙන්නෙ තව එහා, මේ කිට්ටුව නෑ. තේ කඩයක් නම් ඉස්සරහ තියෙනවා.” මං ඒ මනුස්සයට ස්තූති කරලා ආපු විදිහටම ඉස්සරහට ඇවිදන් ගියා. හැටන් ස්ටෑන්ඩ් එකෙන් ගතපු සමෝසා දෙකක් මගේ ගිටාර් බෑග් එකේ බව මට මතක් වුණේ ඒ වෙලාවෙ. මං එයින් එකක් හපන්න පටන් ගත්තා. හැටන් වල හැන්දෑ හීතල එක්ක වුණත් සමෝසා එකේ ළා රස්නයක් එතකොටත් ඉතිරි වෙලා තිබුණා. සමෝසා දෙක ඉවර වෙද්දි, කලින් මට ඉස්සරහින් තිබුණු වංගුව පහුවෙලා, අර මනුස්සයා කියපු තේ කඩේ මට පේන්න තිබුණා. තවමත් කට පුරා දැවටි දැවටි තිබුණු සමෝසා එකේ රස එක්ක තේ කඩේ දකිද්දිම මගේ හිතට ආවෙ උණු උණු කෝපි එකක අඩුපාඩුව. ඊළඟ මොහොතෙ මං හිටියෙ ඒ පොඩි කඩේ ඉස්සරහ තිබුණු පයිනස් කොට කෑල්ල උඩ.  

“මාමෙ, මට නෙස්කැෆේ එකක් දාන්නකො..”

“නෙස්කෝපි නං නෑ මහත්තයා, මහත්තයට කිරි කෝපි එකකට ඉඟුරු කහට එක්ක තේ යාරයක් දාලා දෙන්නද..?” ඒක කොහෙත්ම බෑ කියවෙන විදියෙ යෝජනාවක් නෙමෙයි. ඒ කිරි කහට එක්ක කවලම් වුනු කෝපි කෝප්පෙ තිබුණෙ පුදුමාකාර රහක්. මං හිතන්නෙ ඒකෙ එනසාල් ඇටයක් එහෙමත් තියෙන්න ඇති.

“මේක මරු...” මට කියවුණා. මාමා හිනාවුනා. “මේ පාරෙ තව එහාට ටවුමක් එහෙම නැද්ද..?” මං ඇහුවා. 

“මහත්තය යන්න ගියපු පැත්තට නං ටවුමකට තව සෑහෙන්න දුරයි. ඊට වඩා කිට්ටුයි ආපහු හැටන් වලට යන එක. මහත්තය කොහෙට යන්නද..?” 

“මං යන්න නම් ඕන හැටන් වලට, මේ නිකමට වටපිට බල බලා ඇවිදන් ආවෙ. ආපහු යන්න වාහනයක් අල්ලගන්න තමයි ටවුමක් හෙව්වෙ.” “ආහ්.. හැටන් වලට නං අපේ කොල්ලගෙ ත්‍රීවිල් එකේ ගිහින් දාන්න කියන්න පුළුවං. කොහොමත් මේ කරුවල වැටෙන වෙලාවෙ ඔය පැත්තට පයින් ගියා කියල නං වැඩක් නෑ මහත්තයා. ඔය ඉස්සරහ වංගුවේ පොඩි පල්ලියක් තියෙනවා, හැබැයි ඒකත් වහල දාලා දැං. ස්වාමි කෙනෙක් වත් නෑ, සතියට දෙවතාවක් ඇවිත් පූජාව තියල යනව විතරයි. මේ කරුවලේ ගියා කියල බලන්න දෙයක් නෑ ඒකෙත්..” 

ඒ කොහොම වුණත් අංකල්ගෙ වචන ටිකට, තවත් ටිකක් එහාට ඇවිදන් යන්න ආපු මගේ ආසාව යටගහන්න බැරිවුණා. ආපහු හැටන් වලට යන්න ත්‍රීවීල් එකකුත් තියෙන එකේ, තවත් ටිකක් රෑ වෙන එක මට ගැටලුවක් වුණේ නෑ. මං ඉස්සරහට ඇවිදන් ගියා. වැඩි දුරක් නොගිහින් ම, අන්ධකාරයට අයිති පොඩි එළියක් මට පේන්න ගත්තා. “පල්ලිය” මං අනුමාන කළා. හැටන් වල හැන්දෑවකට ආවේණික හීතලත්, පුංචි හිරිකඩ රැල්ලකුත්, අඳුරත් මගේ ආධ්‍යාත්මයේ  සියුම් ම තත පවා මේ මොහොත වෙනුවෙන් සුසර කරමින් තිබුණා. ගේට්ටු කණුවෙ එල්ලිලා දෙපැත්තට විහිදිලා තිබුණු ගේට්ටු පියන් දෙක, එන ඕනෙම අමුත්තෙක් පිළිගන්න සූදානම් වෙලා හිටියා. එක අතකින් මාමා කියපු කතාව හරි, මේ කරුවලේ කෙනෙකුට පයින් ම ගිහින් බලන්න තරම් දෙයක් එතන නෑ කියලා හිතෙන එක සාධාරණයි. ඒත් අන්ධකාරය, හීතල එක්ක බැඳුනු හුදෙකලාවට අසීමිතව ඇලෙන මට, එතන එක මොහොතකට ස්වර්ගයක් වුණා. 

මං ඇරලා තිබුණු ගේට්ටුවෙන් ඇතුළු වුණා. පල්ලිය ලඟට යන්න තිබුණු වැලි අතුරපු පුංචි පාර දෙපැත්තෙ තිබුණෙ කුරුස හැඩ සොහොන් කොත්. හරියටම නොපෙනුනත් අන්ධකාරය අතරින් පවා මල් වවලා තියෙන බව පෙනුනා. වටේ දැවටෙන හුළඟට මුහුවෙලා තිබුණු සුවඳින් ඒ බව තහවුරු වුණා. පල්ලියට ඉස්සරහින් පහළ රිදී පාට ලොකු පිට්ටනියක් වගේ ස්වාභාවයක් තිබුණා. ඒ රිදී පාට උඩ ඊට උඩින් තිබුණු ආලෝක ලප වල නලියන ප්‍රතිබිම්බ කැලතෙමින් තිබුණා. ඒ පෙනුනු ලොකු රිදී පාට තිරය, නම නොදන්නා ජලාශයක් බව මට තේරුණා. අර කියාපු මල් සුවඳ මිශ්‍ර හුළඟෙ තිබුණු තෙත්බර ගතිය, හැටන් වල වාතයේ තෙතමනයට වැඩියෙන් තෙත බව දැනෙන්න ඇත්තෙ ඒ නිසාම වෙන්න ඇති. පුංචි කාලෙ පවා, මට අදටත් මතක සමහර අවස්ථා තිබුණා මේ හැඩේ හුදෙකලා මොහොතවල් වලට මං තදින් බැඳුනු. මගේ පපුව මට්ටමට විතර උසකට නැගුනු සොහොන් කොත්, ස්මාරක අතරෙ, ජීවී බව උතුරන වෙන කිසිම තැනක නොතිබුණු නිස්කලංක බවක් මට දැනුනා. මේ හැඟීම් සමුදාය අතරෙ තව මොහොතක් රැඳෙන්න තද උවමනාවක් මං ඇතුලෙ මෝදු වෙමින් තිබුණා. මළවුන්ගෙ සාමයට බාධා නොකර මං හෙමිහිට ලඟ තිබුණු හතරැස් හැඩේ සොහොන් කන්ඩියක් උඩ වාඩි වුනා. විශ්වාස කරන්න, ඒ මොහොතෙ තිබුණෙ හරිම මායාවී ගතියක්, දැවටෙමින් තිබුණු තුනී වාතයට තිබුණෙ දරාගන්න බැරි තරමෙ තෙතමනයක්, තෙතමනයට විතරක් ගේන්න බැරි තරමෙ හීතලක්. මම අත් දෙකෙන් මගේ ඇඟ වට කරලා වෙලා ගත්තා. අන්ධකාරයම පුංචි එළියක් වෙලා අවකාශයට ඉහිරෙමින් තිබුණා.

“මහත්තයා.. මහත්තයා මේ කරුවලේ මොනව කරනවද..?”

ඒ සද්දෙන් ගැස්සිලා ගියපු මම හැරිලා බැලුවා. වයසක සීයා කෙනෙක්.

“මොනවත් නෑ සීයේ. නිකං මෙතන ඉන්න හිතුණා.” මං උත්තර බැන්දා. සීයා යන්තමට හිනා වෙලා, මට එහා පැත්තෙන් වාඩි වුණා.

“මෙහෙම තැනක තියෙන නිස්කලංක බව, සැහැල්ලුව දරාගන්න හැම මනුස්සයෙකුටම බෑ මහත්තයා. ඒක හරිම ටික දෙනෙකුට විතරක් පිහිටන කලාවක්...”

මං නිශ්ශබ්දව ටිකක් වෙලා හිටියා. පහල ජලාශයේ රිදී පාට ඡායාව උඩ නා නා විධ හෙවනැළි ඇඳෙමින් තිබුණා. “ සීයා මේ රෑ, මේ හීතලේ මෙතන මොනවද කරන්නෙ...?” මං සීයගෙන් ඇහුවා. “මේ පල්ලිය බලාගන්නෙ මං තමයි මහත්තයා. මෙහෙම ගොඩනැගිල්ලකට වුණත් අන්ධකාර රෑකට පාළුව දැනෙනෙව, ඒ බව දැනෙන්න- තේරෙන්න මේ බිත්ති වලට කන් දෙන්නම ඕන...”

ඒ මනුස්සයෙගෙ උත්තරේ ගැන මම කල්පනාවට වැටුනා. පාළු ගොඩනැගිල්ලකට වුණත් අන්ධකාර රෑක තනිකමක් දැනෙනව කියන එක විකාර කතාවක් වගේ පෙනුනත්, ඇත්තටම එහෙම වෙන්න බැරිද? මේ වගේ වයසක මනුස්සයෙකුගෙන් ඒ වගේ අදහසක් මතුවීම ම හරි පුදුමයක් විදියට මට දැනුනා. 

“එතකොට සීයට මේ අන්ධකාරෙ, හීතලේ තනියක් පාළුවක් දැනෙන්න නැද්ද?  බයක් දැනෙන්නෙ නැද්ද..? මේ සොහොන් කොත් අතරෙ ඉඳපු එකම දවසක වත් එහෙම දැනිල නැද්ද..?” මං ඒ වයසක මනුස්සයගෙන් ඇහුවා. ඒ මනුස්සය හිනා වුණා. “මට මොන තනියක්ද මහත්තය, මේ මුළු වටපිටාවක් මං එක්ක ඉඳිද්දි.. මේ හැම දේකටම, ඒ ඒ දේවල් වලට ආවේණික පණක් තියෙනවා. හොල්මන් කියලා දෙයක් නෑ මහත්තයා. නෑමයි කියන්නත් මං දන්නෙ නෑ. ඒත් මං දන්න දේ මේකයි. ජීවත් වෙලා ඉන්න කාලෙ මනුස්සයෙකුට කියාගන්න බැරිවුණු, ඉඩක් නොලැබුණු, එක්කෝ කීවත් අනෙක් අය ඇහුම්කන් නොදුන්නු කොච්චරක් නම් දේවල් ඇත්ද.. ඉතිං මිනිස්සු ඇත්තටම කතා කරන්න ගන්නෙ මැරුණමයි මහත්තයා. ඒ කියාගන්න බැරිවුණු දේවල්, ඒ මිනිස්සු මැරුණට පස්සෙ කියන්න ගන්නවා, ඇහුම්කන් දීල බැලුවොත් තේරෙයී, ඒ හුඟක් දේ ඇත්ත. දරාගන්න හරි අමාරු තරම් ඇත්ත. ඒත්, තාමත් ඒ ඇත්තට ඇහුම්කන් දෙන්න බය, අපි කරන්නෙ හොල්මන් කියලා මහ දුස්ඨ විදියකට ඒ මැරුණු මිනිහව හංවඩු ගහලා ආයෙම තනි කරලා දානවා. ඒක හරි නපුරු වැඩක් මහත්තයා. මළාට පස්සෙ වත් තමන්ට තමන්ගෙ හිත නිදහස් කරගන්න ඉඩ නොදෙන එක මහා පවුකාර වැඩක්. හොඳයි, මට අවංකවම කියන්න, මහත්තයා හොල්මන් විස්වාස කරනවද..? මහත්තයට එහම එකෙක් මුණ ගැහිලා තියෙනවද?”

“ම්ම් හ්ම්ම්.. එහෙම බැලුවම සීයගෙ කතාවත් ඇත්ත. අනේ මංදා මටත් හොල්මන් ගැන ඔය මිනිස්සු කියන විදියට නම් දැනිල නෑ. ඉතිං නොදැනුනු දෙයක් ගැන මිනිස්සු කියන පලියටම විස්වාස කරන්න මං ලෑස්ති නෑ.” මං උත්තර දුන්නා.

“මං මෙතන අවුරුදු කීයක්ද..? හොල්මන් ද මොකක්ද මංදා මහා අමුතු හැඟීමක් දැනුනු වෙලාවල් එක දෙකක් නැතුවම නෙමෙයි. සමහර විට උන් ඉන්නව ඇති මහත්තයා, ඒත් අර කියන්න වගේ නපුරු, දුෂ්ඨ ජාතියක් කියල නං මට කවමදාවත් දැනිල නෑ..”

සීයා කියපු අදහස් මගේ ඔලුවට ගිලා බැස්සෙ වතුරට අතෑරපු ඊයම් බරු වගේ. ඇත්තටම මැරුණට පස්සෙ හරි මිනිස්සු උත්සාහ කරන්නෙ තමන්ගෙ හිත නිදහස් කරගන්න වෙන්න බැරිද? මගේ හිත මේ වගේ දාහක් දේවල් මගෙන් අහන්න පටන් ගත්තා. ආයෙම කෙළවරක් නැති තැනකට යන්න ගියපු මගේ කල්පනාව බින්දෙත් සීයා මයි.

“මහත්තය මොකද සද්දයක් නැති වුනේ.. නොදැනුනාට දැං සෑහෙන්න රෑ වෙලා. යන එන වාහනයක් අල්ලගන්න එක ලේසි නෑ මේ වෙලාවට. ආයෙ එහෙම එකකට රස්තියාදු නොවී ඔතන ටිකක් එහායින් තියෙන විලියම් මල්ලිගෙ කඩෙන් එහේ පුතාගෙ ත්‍රී විල් එක කතාකරන් හැටන් වලට ගියානම් හරි..” මටත් වෙලාව ගැන ඔලුවට ආවෙ සීයගෙ කතාවෙන්. තවත් රෑ වෙන තුරු ඉන්න හිතක් ආවෙ නෑ මට. මගෙ හිතේ දෝංකාර දිදී තිබුණෙම සීයා කියපු කතාව. ඒ සිතිවිල්ලෙන්ම සීයට සමු දීලා මං ආපහු එන්න මගට බැස්සා. කියපු විදියටම ත්‍රී වීල් එක කතා කරගන්න ලැබුණු හින්දා තවත් රෑ නොවී කාමරේට එන්න පුලුවන් වුනා. රෑ නින්ද එනතුරු ගෙවුණු මුළු වෙලාව පුරාමත් මගේ ඔළුව ඇතුලෙ කැරකි කැරකි තිබුණෙ නමක් ගමක් නොදන්න ඒ වයසක මනුස්සය කියපු කතාව. ජීවත් වෙලා ඉන්න තුරු කියාගන්න ඉඩක් නොලැබෙන දේවල් කොයි තරම් නම් මනුස්සයෙක් ලඟ තියෙන්න පුලුවන්ද? තමන්ගෙ හෘද සාක්ෂිය බර කරන ඒ වගේ දේවල් වලින් ඇත්තටම මිනිහෙක්ව නිදහස් කරන්න මරණයට විතරක් ම පුලුවන්ද? සොහොන්පල්ලෙක් තරම් මළවුන් එක්ක ගණු දෙනු කරපු මනුස්සයෙකුට හොල්මන් ගැන දැනෙන ඒ වගේ බර හැඟීමක්, නිකම්ම නිකම් වචන ටිකක් විතරක් වෙන්න පුලුවන්ද..? මේ වගේ කෙළවරක් නැති ප්‍රශ්න, සිතුවිලි විදියට මගේ ඔලුව පුරාම කරක් ගහන්න ගත්තා. ඒ සිතිවිලි එක්කම මට නින්ද යන්න ඇති. පහුවෙනිදා පාන්දර මං ඇහැරුණේ ටිකක් දවල් වෙලා. මගේ හිතේ ලොකු හිඩැසක් තියෙන බව මට දැනෙන්න වුණා. මහ ලොකු උගතෙක් වගේ නොපෙනුනු අර වයසක මනුස්සයව ආයෙම මුණගැහිලා මට ඒ අදහස් ටික ඇතුලට තව තව යන්න උවමනා වුණා. එදා දවසත් ඒ වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරපු මම, ඒ පුංචි පල්ලියට යන්න ආයෙම මගට බැස්සා. වැඩි වෙලාවක් නොගිහින් මට අර කඩ පොඩ්ඩ හමුවුනා. හැන්දෑවත් උදේ පාන්දරත් කියන දවසේ කෙළවරවල් දෙක ඒ පළාතට දුන්නෙ හාත්පසින්ම වෙනස් හැඩතල දෙකක්. මම පල්ලිය මිදුලෙ සීයව විපරම් කළා. මනුස්සය පේන්න හිටියෙ නෑ. මේ තරම් පාන්දරින් නම් එන්නෙ නැතුවත් ඇති. ඒ එක්කම ඒ මනුස්සයගෙ ගෙදරට ගොඩවෙලා එන්න ඇත්නම් කියල ආපු සිතිවිල්ලත් එක්ක මම ආපහු කඩේ පැත්තට යන්න හැරුනෙ සීයගෙ ගෙදරට යන විදියක් හොයා ගන්න අදහසින්. ඊළඟ මොහොතෙ කඩේ මාමගෙ අතින් වක්කරපු පෙණ උතුරන තේ යාරයක් බොන ගමන්, මං ආපු කාරණාවට බැස්සා.

“මාමා, අර පල්ලිය බලාගන්න සීය කෙනෙක් ඉන්නෙ, ඒ මනුස්සය මේ කිට්ටුවද..?”

මං මාමගෙන් ඇහුවා. මොහොතකට කර කර ඉඳපු වැඩේ නතර කරල මං දිහා බලන් ඉදපු මාමා හෙමින් මං දිහාවට ඇවිදන් ආවා.

“ගෙවල් නං මේ ළඟ. මහත්තය ඇයි එහෙම ඇහුවෙ..?” මාමා ආපිට ඇහුවා.

“නෑ නෑ එහෙම වැදගත් දේකට නෙමෙයි. ඊයෙ රෑ මං පල්ලියට ගිය වෙලේ කතාවට වැටුණා. හොඳ මනුස්සයෙක් වගෙයි, මං අද ආවෙත් තව ටිකක් කතා කරන්න හිතාගෙනමයි...”

මාමා මං දිහා මොහොතක් බලා ගෙන හිටියා.

“ඩේවිඩ් අයියා මැරිලා දැං ටිකක් කල් වෙනව මහත්තයා. මහත්තය ඔහොම එකක් අහවි කියල මුලින්ම මට හිතුනා. ඕව ඕනවට වඩා හිතට ගන්න එපා. මේ වටපිටේ කීප දෙනෙකුත් මරණෙන් පස්සෙ කීප සැරයක් ඩේවිඩ් අයියව පල්ලියෙ වත්තෙදි දැකල තිබුණා. උන් නම් මගෑරල ඇවිත් තිබුණා. මහත්තය ඒ වගක් දන්නෙ නැහැනෙ. මේ වෙනකං මං හිතුවෙම ඕක විකාර බොරු කතාවක් කියලා. ඒත් මේ විත්තියක් නොදන්න මහත්තය ඔහොම එකක් ගැන කියද්දි මට දැං නං ඒක බොරු කතාවක් කියල හිතෙන්නෙ නෑ. කොහොම උනත් මහත්තයල තරුණ ළමයි, ඕව හිතට ගන්න ඕන දේවල් නෙමේ..”

මාමගෙ ඒ කතාව මට අදහන්න බැරි වුනා.

“එතකොට මාමා කියන්නෙ ඒ මනුස්සය මැරුණු මනුස්සයෙක් කියලද...?”

“හ්ම්ම්... ඒ විතරකුත් නෙමේ, ඩේවිඩ් කියන්නෙ ජීවත් වෙලා ඉන්නකල් කා එක්කවත් වැඩි කතාවකට ගියපු මනුස්සයෙකුත් නෙමේ. වැඩි හරියක් ඔහේ පැත්තක් බලාගෙන හිටපු මනුස්සයෙක්. මං හිතන්නෙ නෑ කාටවත් මිනිහ එක්ක කතා කරන්න තරම් දෙයක් තිබුණ කියලවත්. මහත්තයට අද ආපහු කතා කරන්න එන්න හිතෙන තරමට ම මහත්තය එක්ක මිනිහ කතා කළා කිව්වහම මට වැඩියෙම පුදුම හිතුනෙ මහත්තයට මැරිච්ච ඩේවිඩ් ව මුණ ගැහුනු එක ගැනත් නෙමේ, මහත්තය එක්ක ඒ මනුස්සය අච්චර කිට්ටුවෙන් කතා කළා කිව්ව එක ගැනයි.”

මාමා ඒ ටික කියද්දිම මට ආයෙමත් මතක් උනේ ඒ මනුස්සය කිව්ව කතන්දර ටිකයි.


-මුදිත්-
04.06.2021




Wednesday, September 18, 2024

පාවෙලා යන එකද සංසාරෙ...?

බඩ ඉරිඟු දැලි රැවුලු
හේබෑ ව  කලු ගැහුනු
පඬු පාට ගිනි කාෂ්ඨක යායෙ,
දූලි සුවඳක එතී
නාටු හුළඟක් දිගේ 
ඒ වුනත්, වැහි වළාවක් වගෙයි
නුඹ ආවෙ..

ඇත්තමයි! ඒ තමයි,
ඉවුරු දෑලේ එතී
හුරතලේ ගලන්නට
මහ ඇළට දිය පොදක් නැති කාලෙ...

ජීවිතේ මුඩු වුනත්
ආදරේ එහෙමයැ,
වෙන් කරපු එක ම එක
සෘතුවක් තිබුණියැ,
පපු පොතේ ලා රැක්ක
ඉරිඟු බිත්තර මිටත්
ඒ නිසයි උගුල්ලා බිම ලෑවෙ...

වළාකුළු පාවුනා
ඉරිඟු ඇට බොල් වුණා,
ආදරෙත් හරියටම ඒ වාගෙ...

වැහි වහින ඉසව්වල
නන් පාට මල් පිපෙන
කතාවක මුණ ගැහෙන තුරු ආයෙ,
එකම අතකට ගලන
තඹ පාට හුළඟක් ව 
පාවෙලා යන එකද සංසාරෙ...?

-මුදිත්-
01.09.2024

Image source: Internet



Friday, August 23, 2024

හද ගැහුණු තැන එතැනය...

නිල්ගලේ නිල්ල තැවරුණු තැන,
රඹකැන් ඔයේ,
සීතල කඳුළු තැවරුණු තැන..
ගල්ලෙනක පපු ගැබ..
ඇසුණත් නො ඇසුණත්,
හද ගැහුණු තැන එතැනය...

ඉමක් නොපෙනෙන වන ගැබ,
එක කුස උපන් ගහ වැල,
සතා සීපා, කුරුළු පිරිවර,
අතැර, එක දවසක
බිමෙන් පිටමං වීය උරුමය...

ලතු උලා හැඩ වී විසිතුරුව
දුර ගමන් යන අතර,
ශිෂ්ටාචාරය..
මොහොතකට ගොඩවී රතුගලට
කොටුකරයි කැමරා ඇසට,
කහට බැඳි කඩ දතින් හිනැහෙන
ඉතිහාසයක මුල් උරුමය...

-මුදිත්-
07.07.2024

සටහන: 
ඌව පළාතට අයත් නිල්ගල වන මායිමෙන් විහිදෙන දානිගල පර්වත ගල්ලෙන් සිය වාසස්ථාන කරගනිමින් අතීතයේ නිල්ගල ආදිවාසී ප්‍රජාව ජීවත් වූහ. පසුකාලීනව ආරම්භ කෙරුණු සේනානායක ව්‍යාපෘතිය හා ඉඟිනියාගල වේල්ල ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් සිය මුල් බිම් අතැර නික්මෙන්නට යෙදුනු එකී ආදිවාසීන්ගෙන් පිරිසක් වර්තමාන රතුගල ආශ්‍රිත ප්‍රදේශයට ද සංක්‍රමණය වූහ. වර්තමානය වන විට අති දුෂ්කර කෘෂිකාර්මික දිවියකට හුරුවෙමින් සිය ජීවිතය ගැටගසා ගැනීමට ඔවුන්ට සිදුවී ඇති අතර "රතුගල ආදිවාසී උරුම ගම්මානයෙහි" ඔවුන්ගේ පාරම්පරික ආයුධ, උපකරණ සහ මුල් වාසස්ථාන වූ ගල්ලෙන් ආදිය මහජන ප්‍රදර්ශනය පිණිස පවතින්නේ වෙයි. 

රතුගල ආදිවාසී ගම්මානයේ ප්‍රදර්ශනයට තබා ඇති ආදිවාසීන් භාවිතා කළ සාම්ප්‍රදායික උපකරණ

රතුගල ආදිවාසී ගම්මානයේ ප්‍රදර්ශනයට තබා ඇති ආදිවාසීන් ගේ ඡායාරූප කිහිපයක්

ඡායාරූප අයිතිය: Mudith Vidanagamage

Thursday, June 6, 2024

නික්මුණිද, ඇතුළු හද වනයට..

ඒ අවුරුද්දෙ මැද හරියෙ ඔය කියන දවසෙ හම්බුනාට පස්සෙ එයා ගැන කිසිම ආරංචියක් නෑ. ඒක හරියට එයා මේ ලෝකෙන්ම ගැලවිලා ගියා වගෙයි.

නිහඬවම පියමැන
හද මැදින් විහිදෙන දෙණි පෙත,
ඇතුළු හද වනයට
නොදොඩා නොකියාම නික්මුණිද..
නිහඬ නිසලම තැන් වසාගත් 
ඔබ ද අව'ඳුරු මිහිදුම...?

කැලඹුම් මෝසමට ඉඩ දී
නුවරුන් දහක් ඇස් මගහැර..
නැතක් කල් වස් වසා එකලාව
නැමුණිද ඇතුළු හද තුළටම,
නොදැනීම...?

නිහැඬියාවේ හැඬුම මත
මරණ දහසක රිදුම් ලියලයි,
සදාකාලික ශිශිරයක
උණුහුම පතා, මතක මිට ඇවිලෙයි..
හුදෙකලාවේ ඈත කෙළවර
හිස්කම පවා, තව හිස්කමක් පමණයි,
විශ්වයේ සමහර හිස්තැන්
මළවුන්ට විතරක් ම උරුමයි...

-මුදිත්-
02.06.2024

Image source: Internet


Sunday, June 2, 2024

මොනවාද ඉතිරිව ඇත්තේ...

හරිත වන කැටියේ
කේතුධාරී තුරු සෙනගකගේ
පැවැත්මේ මායා සුසුමයි මේ
ඝන ඝනව
මා වටා කැටිවෙන්නේ...

හරිතව සදාකල්
නිරන්තර වැසි වසින - නිවර්තන හදවත
මා නමින් රැකගන්නට
පිලිණ දුන් වන තීරයයි මේ
මා වටා පැතිරී හිඳින්නේ...

නිල්ල වැඩිපුර නොගෑවුණු
මැදී ගිය මංතීරු අතරේ,
විලවුන් සුවඳ දියැවුනු
ඩා බිඳක සිහිලේ..
මට තවම හමු නොවුණු
යමක් මිහිරක් ඇති,
ඒ නිසයි ඔබ ඔතැන ඇත්තේ...

සංසාර මාවත - බෙදි බෙදී යන විට
එක මගක් පමණක් නොවෙයි
එකම ගඟ හරහා යන්නේ..
මේ විසල් විශ්වයේ
කුරා කුහුඹුවන් අපි,
මේ මොහොත මිස මොනවාද
ඔබට මට ඉතිරිව ඇත්තේ...

-මුදිත්-
19.05.2024 (සිංහරාජ වන මායිමේ හිඳ)

Photo by : Mudith Vidanagamage

මතක මීදුම මැද..

මැදී ගිය පටු මගක,
මඩ කඩිත්තක දියැවෙයි 
රබර් යායට ඉහළින් එබුණ සඳ...

සෙත් පතා තුන් ලොවටම
සියක් සැතපුම් දුර ගෙපැලක
දැනුදු දැල්වෙනු ඇති පාන් පැල...

කුරුලු පාලුව පුරා, පාලුව ම රජවෙන දවසක් ගැන..
සිහිනයක වත් දැක තිබුණාද, 
නිහඬවම ඉන්නේ මහ නියර...?

-මුදිත්-
2024.02.13

Old Man, Painting by Dominique Dève

Friday, April 5, 2024

සඳට ඉඩ දෙන්න පෙර...

දොළ දියෙන් දොවාගෙන අත පය,
රබර් යායක් යටින්
ඇදි ඇදී එයි ගොම්මන...

වැඩ ඇරී එන'තර - මහ නියර මගහැර

අඳුර ඩිංගක් ගනව ගිය තැනකදි

කිරිලි තුඩකට මාරුවෙයි

සකලයන් අඹන්නෙකු අත ඇති වී මිට...


ඉර ඇනෙයි ලුණු මිරිසක් ව අවරදිග..


සුනු සහල් බත් මිටක්

සරිවෙයි සම සමව

කටවල් තුනකට,


සඳට පුළුවනි දැන්

කැමති යෝගයකින්

උදා වෙන්නට අහසට...


-මුදිත්-

2023.10.07


ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූප සබැඳිය: https://deborahsilvermusic.com/?q=leaf-and-vase-original-geometric-cubist-still-life-painting-ii-ab974RtW 


Wednesday, December 20, 2023

ඇත්තම සතුට..!

නිමා වෙලා යන විට අවසන් එපිය
ජීවිත කතන්දර සේරම එක කොපිය
ආයෙත් කටේ දාගෙන ඊයේ ටොපිය
"ඇත්තම සතුට..!" සොයමින් යන අපි අපිය

-මුදිත්-
20.12.2023

සිය ගණනක උපාධි අපේක්ෂක කොලු කෙල්ලන් සැරිසරන BMICH පරිශ්‍රයේ බංකුවක, මල්ලීගේ උපාධි ප්‍රදානෝත්සවය අහවර වන තෙක් තාවර වෙන අතරතුරේදී ය.

Image: Happiness by Shira Sela

Thursday, November 30, 2023

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට

නිමිත්ත: කුලී කාමරයේ බිත්ති පැල්මක දළු ලා වැඩෙන පැණි කොමඩු පැළයකි.


තෙත රැඳි ඉසව් නොදැනිම මගහැරුණාද

දළුලන හරිත රේඛා මග හැරියාද

සීනෙක පෙනුණු රහසක් මග කීවාද

නොලැබුණු යමක් වෙනුවෙන් මෙහි ආවාද


ඉඳහිට ඉහෙන දිය මිස, දිය මං නැතුවා

දුහුවිලි කහට කුණු මිස පොහොරක් නැතුවා

දළ රළු දළඹ මත මහ පොළොවක් නැතුවා

හෙමිහිට මුල් අදිනු මිස සරණක් නැතුවා


"ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට"

සීනෙන් වැටෙන විට මතකයෙ මහ හෙළට

මා වාගෙම උඹත් යනවා ඇති ගමට


ජීවයෙ රටා ඇඳ රළු බිතු කොපුල පිට

දුර නෑයෙකු ලෙසින් මට පෑ සිනහ කට

කොටුවුණු අගනුවර මුල් නැති පොළොවකට

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට


-මුදිත්-

30.11.2023


ඡායාරූපය අන්තර්ජාලයෙනි.

Monday, October 9, 2023

දැන් ඉතින් නිදහසේ සැතපෙන්න

ඉහළින් බොරව කැළඹුණු ගඟ දියකි නිතින්

ගුණ-දොස් නැගෙත, මනු දම් සැඩ රැළිති ලෙසින්

දෑලේ ඉවුරු තුරු සෙන් හිස් නමති සෙමින්

ඔබ පා වෙන්න පහළට මල් පියලි මැදින්


ජැක්සන් ඔබට සුව නින්දක්...!

-මුදිත්-
2023.10.09

සේයාරුව අන්තර්ජාලයෙනි

Tuesday, September 26, 2023

සිප් එක ඇරුනු ප්‍රේමය...

පොලිසිය විසින්, උද්‍යානයක අශෝබන ලෙස හැසිරුනු තරුණ තරුණියන් පිරිසක් අල්ලයි.
-පුවතක්-

තත්පර කටු - ඔරලෝසු මුහුණත්
බොරු කර,
මහ දවල් දොළහටත්
උදා වෙන්නට පුළුවනි රාත්‍රිය...

කියවගන්නට බැරිව සෘතුව,
නාඹර කදෝකිමියන් රෑන්
ඉගිලෙන්න පුළුවනි එහෙම දවසට..

වැස්ස, උඹ වැස්සේ
වැරදි දවසක...

"පබ්ලික් පාක්" ලෙස
වර්ණ ගැන්වූ මකුළු දැල් වල
කුරුකුහුඹු - කදෝකිමි,
ජෝඩු පැටලුණ හවසට,

ප්‍රේමයේ දිග පළල 
මිමි මැනගෙන,
"මොබයිල් ජිප්" එකක් එයි
ප්‍රේමයට නිර්වචන අරගෙන...

-මුදිත්-
26.09.2023